Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිරුවත් වීමට නිදහස දිනාගත් නැගෙනහිර ජර්මන් වැසියෝ

පෞද්ගලික හෝ පොදු හෝ ස්ථානයක නිරුවත්ව හැසිරීම සංස්කෘතික සහ දේශපාලනික අර්ථයක් සහිත සමාජ ව්‍යාපාරයක් ලෙස ඇතැම් රටවල ක්‍රියාත්මක වනවා. ඉංග්‍රීසියෙන් මෙය naturism හෝ nudism ලෙස හඳුන්වන අතර, සිංහලෙන් අපට නග්නවාදය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය අනුගමනය කරන්නන්ට එහි වැදගත්කම පිළිබඳ වෙනම ම අර්ථකථනයන් තිබෙනවා.

බටහිර රටවල නග්නවාදයට වසර සියයකට වඩා වැඩි ඉතිහාසයක් තිබෙනවා. ජර්මනිය මෙහි පෙරමුණෙන් ම සිටි රටක්. එහි නග්නවාදය 1890 ගණන්වල සිට ක්‍රියාත්මක යි.

කොමියුනිස්ට් පාලනයක් යටතේ පැවති නැගෙනහිර ජර්මනියේ දී මෙම ක්‍රියාව පිළිබඳ රජය මුලින් එතරම් ප්‍රසාදයෙන් පසු වූයේ නැහැ. නමුත් පසුව රජය ඊට ඉඩ දුන්නා පමණක් නොව, එයට වක්‍රාකාරයෙන් අනුග්‍රහය පවා දැක්වූවායැ යි කියන්නට පිළිවන්. යුරෝපයේ ම නග්නවාදය විශාල වශයෙන් ජනප්‍රිය වූ රට වූයේ නැගෙනහිර ජර්මනිය යි.

නට්සි සමය​

ජර්මනියේ කලෙක පටන් නග්නවාදය ප්‍රචලිත වූ අතර, නට්සින් බලයට පත් වූ අලුත් ම ඒ පිළිබඳ එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැහැ. නමුත් පසුකාලීන ව, ඔවුන් තමන් විසින් ආර්යය ජාතිය ලෙස හඳුනාගත් ජර්මානුන්ගේ සෞඛ්‍ය සම්පන්න සිරුරු උත්කර්ශයට නැඟුවා. මේ අනුව නිරුවත්, සෞඛ්‍ය සම්පන්න සිරුර නට්සි ජර්මන් රජයේ ඇගයීමට ලක් වුණා. ඔවුනගේ කලා නිර්මාණවල පවා මාංශ පේෂිවලින් යුත් පිරිමි සිරුරු සහ කාන්තා සිරුරු දකින්න ලැබුණා. වීරත්වය සහ ශක්තිය ඒවායෙන් පිළිබිඹු වුණා. මෙය ම නග්නවාදය තුළ ද දකින්න ලැබුණා.

ඉවෝ සැලිගර්ගේ “ඩයනාවන්ගේ විවේකය” නම් චිත්‍රය​. නට්සි සමයට අයත් මෙයින් කාන්තාවන්ගේ ලාලිත්‍යය නොව වීර චරිත පිළිබිඹු කරයි (Ivo Saliger)

කොමියුනිස්ට්වාදී නැගෙනහිර ජර්මනිය නග්නවාදය පිළිබඳ අයහපත් හැඟීමක් ජනිත කරගැනීමට මෙම තත්ත්වය ද හේතු වුණා. ඔවුන් සැක කළේ මෙය නට්සිවාදී සංකල්පයක ශේෂයක් බව යි.

නිදහස් ශරීර සංස්කෘතිය​ (FKK)

නැගෙනහිර ජර්මනියේ ජනතාව පොදු වෙරළවල නිරුවතින් හැසිරීම යනාදී ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වුණා. මෙය හඳුන්වන ලද්දේ නිදහස් ශරීර සංස්කෘතිය යනුවෙන්. ජර්මන් භාෂාවෙන් එය හැඳින්වූයේ Freikörperkultur යනුවෙන්. කෙටියෙන් එය FKK නම් වුණා.

කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනිය පුද්ගල නිදහස බොහෝ සේ සීමා වූ රාජ්‍යයක්. එහි බුද්ධි අංශය වූ ස්ටාසි සංවිධානය සෝවියට් KGBයට ද වඩා බරපතල ලෙස රටේ ජනතාව ගැන විමසිල්ලෙන් හිටියා. මෙසේ සෑම ආකාරයක ම සීමාවන් පනවා තිබුණ රටක යනු විශේෂිත නිදහසක් වුණා. මේ නිසා ම එය ආරක්ෂා කර ගැනීමට ඊට සම්බන්ධ වූවන් විශේෂ උත්සාහයක් ගත්තා.

නැගෙනහිර ජර්මන් අභ්‍යන්තර අමාත්‍යාංශය සඳහන් කළේ නග්නවාදය ජර්මන් වැඩකරන ජනතාවගේ ස්වාභාවික සහ සෞඛ්‍යසම්පන්න සිතුවිලිවලට තර්ජනයක් බව යි. නමුත් FKK හි නිරතවූවන් එය පිළිගත්තේ නැහැ. 1950 දශකයේ දී නැගෙනහිර ජර්මන් රජය FKK මැඩලීමට උත්සාහ කරන විට මතු වූ පොදු ජන විරෝධය එම රජය පවා පුදුමයට පත් කළා. නැගෙනහිර ජර්මනිය වැනි රටක දී මෙම ප්‍රශ්නය සම්බන්ධ ව නිර්භීත ව ජනතාව විරෝධය දැක්වීම පුදුමයට කරුණක් වුණා. ජනතාව විසින් බලධාරීන්ට සැලකිය යුතු පෙත්සම් සහ ලියුම් ප්‍රමාණයක් යොමු කෙරුණා. එමෙන්ම රටේ නමක් දිනා සිටි සමහරුන් ද එම සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස වසර කිහිපයකට පසු රජය FKK සඳහා සීමා පැනවීම් අහෝසි කළා. පසු කලෙක යනු රටෙහි පිළිගත් සම්ප්‍රදායයක් බවටත් පත් වුණා.

බර්ලිනයට කිලෝමීටර් 300ක් උතුරින් පිහිටි බෝල්ටික් වෙරළබඩ ප්‍රෙරොව් නගරය නග්න වෙරළවල් සඳහා ප්‍රසිද්ධියට පත් වුණා. මෙය ප්‍රකට වෙරළක් වූ බැවින් මෙහි සිට ජනතාව රටින් පළා යනු ඇතැ යි සැකයට දේශසීමා ආරක්ෂකයින් 2500ක් එම ප්‍රදේශයට යොදවා තිබුණා. ඔවුනට බෝට්ටු ද දී තිබුණ අතර, රේඩාර් පවා ලබා දී තිබුණා. එමෙන්ම සර්ෆිං ක්‍රීඩාව සහ බෝට්ටු පැදීම ද තහනම් වුණා. මේ සියල්ල තිබිය දී ජනතාව වැල නොකැඩී එහි පැමිණියා.

ජර්මනියේ හුමාල ස්නානය කරන ස්ථානයක් (focus.de)

සාමාන්‍යයෙන් නග්නවාදී කණ්ඩායම් විවිධ සංගම් පිහිටුවාගන ඒ ඔස්සේ සිය කටයුතු කළා. නමුත් නැගෙනහිර ජර්මනියේ දී ඔවුනට සංවිධානය වීමේ අවසරය තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය වූයේ වැඩි වැඩියෙන් පිරිස ඒ කරා ඇදී ඒම යි. නිත්‍ය සංවිධානයකට නොබැඳී මෙම සංස්කෘතිය අත්හදා බැලීමේ හැකියාව ඊට හේතු වුණා.

ප්‍රෙරොව් හැරුණ විට වෙනත් වෙරළවල් ආශ්‍රිත ව මෙන්ම නැගෙනහිර ජර්මනියේ ඇතැම් විල් ආශ්‍රිත ව ද මෙසේ නිරුවත් වෙරළවල් බිහි වුණා.

ඇය අපේ සහෝදරිය යි

සාමාන්‍යයෙන් ඇති වන අදහස වන්නේ නිරුවතින් හැසිරීම ලිංගික ක්‍රියාවන් කරා යොමු වීමක් වන බව යි. නමුත් ලොව පුරා නග්නවාදීන් එය ප්‍රතික්ෂේප කරනවා.

1966 දී එක් සමීක්ෂණයක් සඳහා සහභාගී වූ නැගෙනහිර ජර්මානුවෙකු මෙය ප්‍රකාශ කර තිබුණා. “මෙහි කාන්තාව යනු රාගයට ලක්වන වස්තුවක් නොවේ. ඇය අපගේ සහෝදරියක්. මෙහි ඔබ ව උද්දීපනය කරන්නට බිකිනියක් නැහැ” මෙම තැනැත්තා පවසා තිබුණා.

නිරුවත් වෙරළක කාන්තාවක් (reisenexclusiv.com)

වෙරළෙහි නිරුවතින් හැසිරීම සියලු දෙනා සමානත්වයට පත් කරන්නක් වන බව හැඟීම මේ ඔස්සේ ඇති වුණා.

කල්ගත වෙද්දී හි නිරතවන්නන් සඳහා වන වාර ප්‍රකාශන පවා නිකුත් වන්නට පටන් ගත්තා. මේ ඇතැම් ඒවායෙහි කවරයේ පවා සම්පූර්ණ නිරුවත් මිනිසුන් හෝ ගැහැණුන් පෙනී සිටින ඡායාරූප පළ වුණා.

වර්තමානය

කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු ද නැගෙනහිර ජර්මනියේ නග්නවාදී සංස්කෘතිය ක්‍රියාත්මක වනවා. ජර්මනියේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රදේශ සැලකීමේ දී අදට ද නැගෙනහිර ජර්මනිය නග්න වෙරළ සඳහා ප්‍රකට යි. කොමියුනිස්ට්වාදය බිඳ වැටීමෙන් පසු යම් යම් සීමාවන් යළි ඇති වුණ ද එය දිගටම පැවතුණේ නැහැ.

වර්තමානය වන විට පැරණි බටහිර ජර්මනියේ ජනයා ද බෝල්ටික් ජර්මන් නිරුවත් වෙරළ කරා ඇදී යනු දකින්නට ලැබෙනවා. මේ අනුව පැරණි සංස්කෘතිය තවමත් සැලකිය යුතු ජනප්‍රියත්වයකින් යුතු ව ක්‍රියාත්මක යි.

කවරයේ පින්තූරය: නිරුවතින් මුහුදේ ස්නානය කරන්නන් පිරිසක් (CNN)

Related Articles