Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටයිටැනික් එතරම් සුවිසාල ඛේදවාචයක් බවට පෙරළුනේ ඇයි?

1912 දී  එවකට විශාලතම සුඛෝපභෝගී මගී නෞකාව, එංගලන්තයේ සවුතැම්ටන් වරායේ සිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට  ගිය මංගල ගමනේ අතරමඟ දී අත්ලාන්තික් සයුරේ ගිලී ගියේ ය. නැවේ ගමන් කළ මඟීන් 2220කට ආසන්න සංඛ්‍යාවකින්, දිවි ගලවාගත්තේ 700 දෙනකු පමණි. ඉතිරි 1500කට අධික පිරිස අත්ලාන්තික් සයුරු පතලේ සදහටම සැඟවී ගියේ ය. ඒ ඛේදවාචකය එකලත්, ඉන්පසු බොහෝ කලකටත් ලොව රැව් පිලිරැව් දුන් ප්‍රවෘත්තියක් විය.

මියගිය ගණන හරියටම කීය ද?

නැව ගිලී වසර 106ක් ගත වී වුව ද, මියගිය සහ නැවේ සිටි සම්පූර්ණ පිරිස ගැන නිවැරදි යැයි ඒකාන්තයෙන්ම පිලිගත් වාර්තාවක් නොමැත. කාර්යයමණ්ඩලයේ ස්ථිර සේවකයින් අතර, හදිසියේම කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් ද සිට ඇත. ටයිටැනික් නැවේ සිට දිවි ගලවාගත් ඇතැමුන්ගේ නම් පවා, මුලින් තිබූ ලැයිස්තුවල දකින්නට නොලැබුනි. ව්‍යාජ ටිකට් හරහා කූට ක්‍රම වලින් ද නැවට මිනිසුන් ඇතුල් වී තිබුණි. එසේම ලොව විශාලතම නැවේ ගමන් කිරීමට ටිකට් ගත්ත ද, එහි ගමන් නොගත් පිරිසක් ද සිට ඇත. කෙසේ වෙතත් මිනිසුන් 1500 ට ආසන්න ප්‍රමාණයක් ඒ සිදුවීමෙන් මියගිය බව සාමාන්‍ය පිලිගැනීම වේ.

titanicfacts.net

ජීවිතාරක්ෂක බෝට්ටු මදි වීම

ටයිටැනික් සිදුවිමෙන් එතරම් ජීවිත හානි සිදුවීමට ජීවිතාරක්ෂක බෝට්ටු මදවීම සෘජුවම හේතුවිය. 2220ක පිරිසකට තිබුණේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණි. සියළුම පිරිසට ජිවිත ගලවාගැනීමට නම් බෝට්ටු 68ක් වත් උවමනා වේ. එවකට නීතිය අනුව තබාගත යුතු ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණය නැවේ බරට සමානුපාතික විය. එහෙත් ටයිටැනික් ඛේදවාචකයෙන් පසු නැවේ සියලුම ජනයාට සරිලන ජිවිතාරක්ෂක බෝට්ටු නැවක අනිවාර්යෙන්ම තිබිය යුතු යැයි නීතියක් අමරිකානු සහ බ්‍රිතාන්‍ය නාවුක පාලන අධිකාරින් විසින් ගන්නා ලදී.

නැවට අනතුරු ඇඟවීම සහ ලබාගැනීම

1912 දී, අද මෙන් දියුණු රේඩියෝ සන්නිවේදන ක්‍රමවේද නොතිබුණි. එකල නැවේ පැවතියේ මෝස් කේත ආධාරයෙන් පණිවුඩ යැවීමේ ක්‍රමවේදය යි. එවැනි අනතුරු ඇඟවීමේ සංඥා 6ක් වෙනත් නැව් මඟින් යවා ඇතැයි වාර්තා වේ. එහෙත් එවකට පැවති තාක්ෂණික දුබලතා සහ බාධා සහිත කාලගුණය හේතුවෙන් ඒ සංඥා නොලැබුණි ද? නොඑසේ නම් ඒවා ලැබී, එහෙත් ක්‍රියාත්මක නොවුණි ද යන්න නොදනී.

titanicfacts.net

ඇත්තටම අයිස් කන්ද දුටුවා ද?

ටයිටැනික් නැව හැපුන අයිස් කන්ද තත්පර 30කට පෙර දුටුවේ නම් අනතුර වලක්වාගත හැකිව තිබූ බව අධ්‍යයනයන් වලින් හෙලි වී තිබේ. එහෙත් සැබැවින්ම ශිත සමයේ අඳුරු රාත්‍රී කාලයේ දුරදක්නවලින් ඈත බලා, අයිස් කන්දක් හඳුනාගත නොහැකි ය. ඇතැම්විට පියවි ඇසට පෙනෙන සීමාවවත් දුරදක්න වලින් රාත්‍රියේ මීදුම්බර තත්ත්වයන් යටතේ නොපෙනී යාමට ඉඩ ඇත. ඒ අවස්ථාවේ දුරදක්න භාවිත වී නොමැති බව බොහෝ විද්වතුන්ගේ අදහස වේ.

ඇතුලත සන්නිවේදනය

ටයිටැනික් නැව එවකට තිබූ විශාලතම මගී නාවුක යාත්‍රාව වේ. එහි දිග මීටර 269කි. ඒ මහා ඛේදවාචකය සිදුවන්නේ 1912 අප්‍රේල් 14 දින මැදියම් රාත්‍රියේ දී ය. අද මෙන් අභ්‍යන්තර සන්නිවේදනය දියුණු නොවූ එකල, අයිස් පරය දැකීමේ සිට නැව හැරවීම දක්වා විධානය අදාල පිරිස් වෙත ගමන් කොට ක්‍රියාත්මක වීමට මද වේලාවක් ගත වන්නට ඇත.

නැවේ ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කිරීමේ දී ද, නැවේ එන්ජිමෙන් ආ සාමාන්‍ය දුම්රිය එන්ජින් 20ක පමණ තීව්රතාවයෙන් යුතු මහා ශබ්ධය බාධාවක් වී තිබේ. එම අවස්ථාවේ දී ඒවා දියත්කරවීමට හස්ත සංඥා උපකාර කරගෙන තිබේ.

natgeotv.com

ජීවිතාරක්ෂක උපක්‍රම

1500ක් දෙනා එකවර ගිලී මියගිය අමු සොහොනක් වන් බිමට මුලින්ම පැමිණි නැව කාර්පතියා නම් නැවකි. ඒ 1912 අප්‍රේල් 15 වැනි දා පාන්දර 4ට ආසන්නව ය. එනම් නැව ගිලී පැය දෙකක් ඇතුලත ගලවාගැනීමට වෙනත් නැවක් පැමිණේ. කාපෙතියා නැව ජීවතුන් අතර සිටින මගීන් සිටීදැයි බැලීමට නැවේ එන්ජින් ක්‍රියාවිරහිත කර, ශබ්ධ කරන කිසිවෙක් සිටීදැයි සොයාබලා තිබේ. එහෙත් දැඩි ශීතල අයිස් වතුර මත පාවෙමින් තිබූ බොහෝ සිරුරු ප්‍රාණය නිරුද්ධ වූ ඒවා විය. ඒ සමගම ජීවිතාරක්ෂක බෝට්ටු වලට ගොඩ වූ පිරිස්  නැවට ඇතුලත් කරගන්නා ලදී. මහා ටයිටැනික් අනතුරින් දිවි ගලවාගත් වාසනාවන්තයෝ 705ක් කාර්පෙතියා නැවේ සිටියෝ ය.

ගුවන් තාක්ෂණය නොදියුණු,  අසුරු සැණින් හෙලිකොප්ටර ගොස් සොයාබලන වර්ථමානයට සියවසකටත් එහා ගිය එදා ගලවාගැනීම් මෙහෙයුම් අද තරම් ලෙහෙසි නැත.  ටයිටැනික් අනතුරින් රැකගත් ජීවිත 700ක් සමග දින තුනක් පමණ යාත්‍රා කොට කාපෙතියා නැව නිව්යෝක් වරායට සේන්දු වූයේ අප්‍රේල් 18 වැනි දා ය. ඒ එදා තිබූ ප්‍රබලතම ජීවිතාරක්ෂක උපක්‍රමය විය. ඒ සදහා කාපෙතියා නැවේ කාර්යමණ්ඩලයට සම්මාන පදක්කම් ආදිය ද හිමි වුණි.

ටයිටැනික් වැදුනා යැයි එකල සැක කල අයිස් කන්දක්. (rarehistoricalphotos.com)

 

දැඩි ශීත කාලගුණය

1912 වර්ෂය යනු ඒ කාලයේ වසර 50කින් පැවති, ග්‍රීන්ලන්ත අයිස් කුට්ටි අත්ලාන්තික් සාගරයට තොග වශයෙන් නිකුත් වූ අයහපත් කාල වකවානුවකි. එසේ පාවෙන අයිස් කුට්ටි ප්‍රමාණය වැඩි බැව් එකල නැව් කිහිපයකින්ම සොයාගෙන තිබුණි. නැව ගිලෙන අවස්ථාවේ ජලය හිම මිදෙන ශිතලකින් යුක්ත විය. යම් ලෙසකින් මේ අනතුර සිදුවන අවස්ථාවේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -1ක් පමණ වී යැයි ගණන් බලා තිබේ. යම් ලෙසකින් මීට වඩා අංශක 10කින් හෝ උෂ්ණත්වය වැඩි වී නම්, මීට වඩා වැඩි ජීවිත ගණනක් (ජීවිතාරක්ෂක ජැකට්ටු ඇඟ ලා පාවුණු පිරිස) අනතුරින් බේරෙන්නට ඉඩකඩ තිබුණි.

අධික විශ්වාසය

ටයිටැනික් නැව අයිස් පරයේ හැපෙන්නේ 1912 අප්‍රේල් මස 18 වැනි දා රාත්‍රී 11.40ට ය. එය සම්පූර්ණයෙන්ම ගිලී යන්නෙ අලුයම 2.20ට වේ. මේ සම්පූර්ණ කාලය පෑ දෙකකුත් විනාඩි 40කි. එම කාලය තුල දියත් වූ, පිරී නොතිබූ ඇතැම් ජීවිතාරක්ෂක බෝට්ටුවල සිටියේ කිහිප දෙනෙකි. සිදුවීමේ මුල් කාලයේ දී නැව ගිලෙන බවක් ඇතැම් පිරිස් විශ්වාස කළේත් නැත.

චිත්‍රපටයේ ද දැක්වෙන ආකාරයටම පළමු පන්තියේ මඟීන් 320කින් 200කට ආසන්න පිරිසක් ජීවිත ගලවාගති. තුන්වැනි පන්තියේ ගිය මඟීන් 709කින්ම දිවි ගලවාගත්තේ මගීන් 172ක් පමණි. දළ වශයෙන් පළමු පන්තියේ මගීන් 62%ක් දිවි බේරාගත් අතර තුන්වැනි පන්තියේ පණ බේරාගත් මගීන් ප්‍රමාණය 25%ක් පමණි.

මුහුදු පතුලේ ටයිටැනික් (nationalgeographic.com)

ඔලිම්පික් නැව

ටයිටැනික් නැවට සෑම අතින්ම සමාන, ටයිටැනික් නිපදවූ සමාගමෙන්ම නිපදවූ RMS Olympic, මේ සිදුවීම සිදුවන අවස්ථාවේ නිව්යෝක් වලට ආසන්නව සිටියේ ය. ඔලිම්පික් නැව ද ටයිටැනික් විනාශයට පත් වූ පිරිස් ගලවාගැනීමට යෑමට ඉදිරිපත් වුවත්, කාපෙතියා නැවෙන් සියලුදෙනාම රැගෙන එන බැව් කී බැවින් ඔලිම්පික් නැව නිව්යෝක් වරායේම නැංගුරම් ලා තිබුණි. RMS Carpethia  නැවේ කපිතාන් තැන ඔලිම්පික් නැව නැතුවාට කමක් නැතැයි දන්වන ලදී. එහෙත් කාපෙතියා නැවෙන් ටයිටැනික් විපතින් ගැලවුණු අය පැමිණි විට වරායේ දී ඔලිම්පික් නැව ඒ ගලවාගැනීම් කටයුතු වලට උදව් වූයේය. එවිට ටයිටැනික් නැවට සෑම අතින්ම සමාන ඔලිම්පික් නැව දැකීම ටයිටැනික් විපතින් යාන්තම් දිවි ගලවාගත් පිරිසගේ හද සසල කරවන්නක් විය.

ඔලිම්පික් නැව (wikimedia.org)

ටයිටැනික් රැගෙන යා හැකි පිරිස හා සමාන පිරිසක් රැගෙන යා හැකි වුවත්, ඔලිම්පික් සතුව තිබුණේ ද ජීවිතාරක්ෂක බෝට්ටු විස්සක් පමණි. එංගලන්තයට පැමිණි වහාම ඔලිම්පික් නැව, තම ජීවිතාරක්ෂක බෝට්ටු වැඩි කිරීමට සහ ආරක්ෂක විධිවිධාන දියුණු කිරීමට නෞකාව නිපදවූ ආයතනයට යවනු ලැබී ය. ටයිටැනික් නැවට පෙර ලොව ලොකුම මඟී නැව වූ ඔලිම්පික්, ටයිටැනික් ගිලී යෑමත් සමග යලිත් මුල්තැනට පත් විය.

ටයිටැනික් සිනමා පටය

ටයිටැනික් ව්‍යයසනය එවකට ලොව කැළඹූ ප්‍රවෘත්තියක් විය. එසේම 1990 දශකයේ අග භාගයේ දී සිහිය ඇති වයසක වී නම්, ටයිටැනික් චිත්‍රපටය ලොව ජනප්‍රිය වූ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වූ බවට අනිවාර්යයෙන් මතක තිබිය යුතුය. මංගල ගමනේදීම මුහුදුබත් වූ ටයිටැනික් නැවේ එදා වටිනාකම ඩොලර් මිලියන 7.5කි. සියවසකට පසු, එනම් 2012 දී, එම  අගය එය ඩොලර් මිලියන 174කි. ටයිටැනික් චිත්‍රපටයේ වියදම 1997 දී ඩොලර් මිලියන 200කි. ඒ චිත්‍රපටයේ ආදායම ඩොලර් බිලියන 2ක් ඉක්මවීය. ඒ ආදායමෙන් ටයිටැනික් වැනි නැව් 4කට වඩා තැනිය හැකි ය.

ටයිටැනික් චිත්‍රපටයෙන් (elenouska15.deviantart.com)

ටයිටැනික් සිදුවීමෙන් පසු නාවුක ගමන් වල දි මගී ආරක්ෂාව, නාවුක ගමන් වලදී බාධක හඳුනාගැනීම ගැන නව පර්යේෂණ දියත් විය. ගිලුනු ටයිටැනික් සොයාගැනීමට ද විශාල පරිශ්‍රමයක් දැරූ අතර 1985 දී එය සොයාගන්නා ලදී. ඒ අතරතුරේ දී, ඉතා ගැඹුරු මුහුදේ මෙතෙක් සොයා නොගත් ජීවින් කිහිපදෙනෙක්ම සොයාගන්නට විද්‍යාඥයින්ට අවකාශ ලැබුණි. ගිලුනු ටයිටැනික් සොයාගැනීමම ගැඹුරු මුහුද ගැන එතෙක් තිබූ දැනුම් වළලු පුළුල් කරන්නක් විය.

ටයිටැනික් එදා මිනිසුන් 2200ක් නිව්යෝක් වරායට ගෙන ගියා නම් එය තවත් එක් ගමනක් පමණි. ටයිටැනික් යන නමින් මිනිසුන් රැසක් එක් මොහොතක දී දියේ ගිලී අතුරුදන් වුව ද, එයින් මිනිසා උගත් පාඩම් සහ පසුකාලීනව ලොවට දායාද වූ නිර්මාණයන් රැසකි.

Cover Image: mystic-investigations.w4lizsrnr.netdna-cdn.com

Related Articles