කොත්මලේ කියන්නේ ස්වාභාවික කඳු පන්ති රැසකින් වට වුණු ජනප්‍රවාදවලින් පිරුණු ගමක්. කොත්මලේ සුන්දරත්වය හරියටම පිළිබිඹු වෙන්නේ නියං කාලේදී කඩදොර විහාරය සහ නටබුන් වී ගිය ගම නිරාවරණය වූ පසුවයි. කඩදොර විහාරය සහ කොත්මලේ ඔය පිටුපස තියෙන්නේ දුක්බර ඉතිහාසයක්. රටේ සමස්ත ජනතාවගේ උන්නතියට විශාල නිහඬ මෙහෙවරක් සිදු කරපු කොත්මලේ ගැන අපූරු තොරතුරු බොහොමයක් මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් වේවි.
ඉතිහාස කතාව සහ ජනප්‍රවාද
මෙරට කඳුකර ප්‍රදේශය ඈත අතීතයේ සිටම මලය රට ලෙසින් හැඳින්වූණු අතර කොත් වැනි කඳු මුදුන් සහිත කඳු වැටිවලින් ගහණ වී ඇති පෙදෙස යන අරුත් ඇතිව මෙම ප්‍රදේශය කොත්මලෙයි ලෙස හැඳින්වී පසුව කොත්මලේ ලෙස හැඳින්වෙන්නට ඇති බවට ජනප්‍රවාද අනුව සිතන්නට පුළුවන්.
කොත්මලේ ඔය වටා ගොඩනැගෙන මෙම කොත්මලේ ප්‍රදේශය දුටුගැමුණු රජු හා සබැදි ඉතිහාසයකට ද නෑකම් කියනවා. මහාවංශයේ සඳහන් වෙන පරිදි පිය රජතුමා හා උරණ වූ ගැමුණු කුමාරයා විහාර මහා දේවියගේ උපදෙස් පරිදි පලා යන්නේ කොත්මලේ ප්‍රදේශයටයි. එසේ පලා ගිය ඔහු කොටගෙපිටිය ඌරු පැලැස්ස කියන ගොවි ගෙදර නතර වෙලා හිටියා කියලත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එවන් ජනප්‍රවාද අනුව වසර දෙදහසකටත් වැඩි කාලයක් තිස්සේ මෙම කොත්මලේ ග්‍රාමයේ ඉතිහාසය ගලා යනවා.
එ මෙන්ම පඩුවස්දෙව් රජ කාලයේ පටන් දිගු ඉතිහාසයක් කියාපාන පුරාණ සෙල් ලිපි සහ වෙහෙර විහාර රැසක් ද මේ කොත්මලේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.
සැබෑවක් වූ කොත්මලේ ගණිතයාගේ අනාවැකිය
කොත්මලේ ගණිතයා පිළිබඳව කතාවත් තවමත් මිනිසුන් අතර ප්‍රකට ජනප්‍රවාදයක්. කිර්ති ශ්‍රී රාජසිංහ රජ කාලේ සිටි කොත්මලේ ගණිතයා එකල පැවසූ පරිදි අනාගතයේ දවසකදී කඳු දෙකක් යා වෙලා කොත්මලේ ඔය උතුරු දෙසට ගලාගෙන ගොස් රට සශ්‍රික වෙනවා ලු. ඒ අනාවැකිය පසු කලෙකදී සැබෑ වෙන්නේ කඩදොර සහ තිත්පනේ කඳු යා කිරීමෙන් කොත්මලේ ඔය හරහා ඉදි වූ වේල්ලෙන්.
කොත්මලේ ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ ව සිංහල විශ්වකෝෂයෙහි මෙලෙසින් සඳහන් වෙනවා.
“කාවන්තිස්ස රජු ගේ කාලයේ දී ත් මේ පෙදෙසට කොත්මලය යන නම පාවිච්චි වී ඇත. මෙහි ඉතිහාසය එයට ද වඩා පැරැණි ය. සීතාඑළිය, රාවණා ඇල්ල වැනි ස්ථාන නාමවලින් ඒ බව පෙනේ. මෙහි බොහෝ ස්ථානවල පස කළු පැහැති වීමට හේතුව ප්‍රවාද අනුව හනුමා විසින් ගිනි තැබීම ය. කුවේණි ගේ දරුවන් පලා ගිය බව කියනුයේ ද කොත්මලයට ය. ගැමුණු කුමරු පලාවුත් වාසය කළේ කොත්මලේ කොටගේපිටියේ ය. කාලිංග මාඝගේ කාලයේ දී දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ සඟවා තැබුවේද කොත්මලේ ය. ඉංගී‍්‍රසින් මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලාවුත් සැඟ වී සිටියේ කොත්මලේ ය. 1818 කැරැල්ල අවස්ථාවේ කැප්පෙටිපොළ, කිවුලේගෙදර, කැටකැලේ ආදී කැරලි නායකයන් රක්‍ෂාවරණය සොයා ආවේ කොත්මලයට ය.”
“නවීන මාර්ග ඇතිවීමට පෙර කොත්මලේ ගමනාගමනයට දුෂ්කර ප්‍රදේශයක් ව පැවතුණි. එහෙයින් සෙසු ප්‍රදේශ වාසීන් ගේ ඇසුර මෙහි වැසියන්ට ලැබුණේ අල්ප වශයෙනි. මෙහෙයින් ඉතා පැරැණි සිංහල චාරිත්‍ර වාරිත්‍ර, ගති පැවතුම් සහ භාෂා ව්‍යවහාර මෙහි පැවතුණි. දැනට නම් කොත්මලය සිංහලයන්ට වඩා වතු කම්කරු ද්‍රවිඩ ජනයා පදිංචි ප්‍රදේශයකි.”
“පුහුල්පිටියේ රජ මහ විහාරය, දිඹුල විහාරය, දොරුවාදෙණියේ රංසිමාලකාරාමය, ක්ෂේත්‍රාරාමය, පි‍්‍රයබිම්බාරාමය, සුභද්‍රාරාමය, රාජගිරිලෙන විහාරය ආදී පෞරාණික විහාර බොහෝ ගණනක් කොත්මලේ ඇත්තේ ය. මෙයින් පුහුල්පිටියේ විහාර භූමිය ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාවෙන් හටගත් දෙසිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් රෝපණය කරන ලද සිද්ධස්ථානයකි. එ පමණක් නො ව මලියදේව රහතන් වහන්සේ දඹදිවින් වැඩමවන ලද දඹරන් පිළිමයක් ද වඩා හිඳුවා තිබෙන ස්ථානයක් හැටියට ද මෙය සැලැකේ. ගැමුණු කුමරු සිටි ස්ථානය සිහි වීම පිණිස ගල් තලාවක් මත ගොඩනැඟූ චෛත්‍යයක් ද මෙහි ඇත. දිඹුල විහාරය ක්‍රි.ව. 1237 පමණේ දී කරවූවක් බව එහි තිබී හමු වූ ලිපියකින් හෙළි වේ.”
කොත්මලේ ඔය සහ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය
හෝර්ටන් තැන්න මුල් කොටගෙන ආරම්භ වෙන දඹගස්තලා ඔයට පිදුරුතලාගල කඳුවැටිය මුල් කරගෙන ආරම්භ වෙන අග්‍රා ඔය සහ අතරමගින් පුණ්ඩලු ඔය සහ පන්නල් ආදී දියකඳුරු ගණනාවක් එකතු වෙලා කොත්මලේ ඔය සෑදෙනවා. මෙලෙසින් කිලෝමීටර් හැත්තෑවක් පමණ ගලා විත් එය පොල්ගොල්ල වේල්ලට කිලෝමීටර් හතළිහක් පමණ ඉහතදී උලපනේ පොල් වතුර ප්‍රදේශයේ දී මහවැලි ගගට එකතු වෙනවා. ඉන් අනතුරුව විශාල ජල ප්‍රවාහයක් බවට පත් වන කොත්මලේ ජලය මහවැලි ගඟ ලෙසින් ගලන්න පටන් ගන්නවා.
කොත්මලා ඔයේ ජලපෝෂක ප්‍රදේශය දිවයිනේ වර්ෂාවෙන් ඉතාමත්ම සාරවත් පෙදෙසක් වන අතර, වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000 සිට 5000 දක්‌වා ඉහළ අගයක් ගන්නා නිරිතදිග හා ඊසානදිග යන මෝසම් දෙකෙන්ම පෝෂිත ප්‍රදේශයක්. කොත්මලා ඔයේ සමස්‌ත ජලපෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 585 ක් පමණ වෙනවා. මේ නිසා වසර පුරාවටම කොත්මලා ඔය හරහා විශාල ජල ප්‍රමාණයක් මහවැලි ගඟට එක්‌වී පහළට ගලායනවා.
ඒ නිසාවෙන් මහවැලි ජල ප්‍රවාහය හරහා වේල්ලක් බැඳ ජලය රැස් කිරීමෙන් ආරම්භ වෙන පළමුවැනි මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඇති වෙන්නේ 1979 දී. අධ්‍යයන රැසකින් ලැබූ වාර්තාවලින් පසුව කඩදොර හා තිත්පනේ කඳු යාකරන කොත්මලේ වේල්ල ඉදි කෙරෙනවා.
ඉන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ ම ඇති වූ පළමු භූගත ජල විදුලි බලාගාරය ලෙසින් අටබාගේ ප්‍රදේශයේ ඉදිකළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉතිහාසයට එක් වෙනවා.
කොත්මලේ ශෝකාන්තය
රටටම විදුලිය සැපයුවත් මේ වේල්ල ඉදිකිරීමේ දී වර්ග කිලෝමීටර් 6.5ක භූමි භාගයක් ජලයෙන් යට වීම නිසාවෙන් පවුල් තුන් දහසක පමණ ජනතාවකට ජීවත් වූ ගම්බිම්, ඉඩකඩම් අතහැර ඉවත්වීමට සිදු වුණා. අතරමැද ගම් හැට හයක් මුළුමනින්ම විනාශ වෙනවා. එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වූ ගාමිණි දිසානායක මහතාගේ මව් පාර්ශවයේ පාරම්පරික මුල් නිවාස ද මෙලෙස විනාස වූ දේපල අතරට ඇතුලත්.
ග්‍රාම සේවා වසම් 16ක්, තේ වතු 4ක්, කඩදොර ශ්‍රී ප්‍රතිබිම්බාරාමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරාමය, හැදුණු වැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය වැනි පෞරාණික පන්සල් 18ක්, මොරපේ දේවාලය, හැදුණු වැව මැදගොඩ පත්තිනි දේවාලය වැනි හාස්කම් ඇතියි කියන දේවාල ද මේ ජලාශයට යට වෙලා තියෙනවා.
මෙම ගම්වල විසූ සමහරක් ජනතාව පාරම්පරිකව සහශ්‍ර දෙකකට අධික කාලයක් කොත්මලේ නිම්නය ආශ්‍රිතව වාසය කරපු මිනිසුන් වූ නිසා සිය මුල් ගම්බිම් අතහැර යාම ඔවුන්ට බොහෝ දුෂ්කර කටයුත්තක්ව තිබුණා. අද ද කොත්මලේ ජලාශය හිඳී යන නියන් කාලයට තමන්ගේ මුල් ගම් බිම් දැක බලා ගැනීමට ඔවුන් පැමිණෙනවා දැකිය හැකියි. එකල මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසාවෙන් උන් හිටි තැන් අහිමි වූ ජනතාව රජය විසින් කලා වැව, උල්හිටිය, මාදුරු ඔය වැනි ජලාශ යටතේ සංවර්ධනය කරන මහවැලි කලාපවල ඉඩම් දී පදිංචි කරවනු ලැබුවා.
නියං කාලෙට මතුවෙන අතීත මතක සහ කඩදොර විහාරය
කොත්මලේ ජලාශය ඉදි කිරීමේ දී යට වී ගිය කඩදොර විහාරය තවමත් නියං කාලයට ජලය සිඳී ගිය විටදී දැක ගත හැකි වෙනවා. කඩදොර විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළු වෙන ස්ථානයේ මකර තොරණ මෙන්ම පැරණි මස්කෙළිය නගරය ද මෙලෙස නියං කාලයට මතු වෙන නටඹුන් අතර වෙනවා. ගත වූ දශක තුනකට අධික කාලය පුරාම මෙම පැරණි විහාරස්ථාන දැක බලාගන්නට මහා ජනතාවට හැකිව තිබුණේ තුන් හතර වතාවක් පමණයි.
ආයෙත් නියං කාලයක් එනතුරු මෙම පැරණි නගරය සහ විහාරස්ථාන දැක බලාගන්නට මිනිසුන්ට සෑහෙන කාලයක් බලන් ඉන්නට වෙනවා. ඒ නිසාවෙන් ම නියං කාලෙට අතීත ගම්වාසින් වගේම පිට පළාත්වලින් මිනිසුන් දුර ගෙවාගෙන එන්නේ වැලි අස්සෙන් මතුවෙන මේ නටබුන් දැක බලාගන්න. අතීත ගෙවල් වල සමහර කොටස් ද නියං කාලයට මතු වෙනවා. එමෙන් ම නියං කාලයට වුවත් මතු නොවෙන සදාකාලිකව ජලාශය අස්සේම හැංගුණු සමහර මතකත් තියෙනවා.
යට වූ පුදබිම් සිහි කිරීමට දාගැබක්
මෙලෙසින් කොත්මලේ ජලාශය නිසා යටවී ගිය ගම්බිම්, පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන් 1983 දී මහවැලි මහා සෑය නමින් විහාරයක් ඉදිකිරීමට ගාමිණී දිසානායක මහතා කටයුතු කර තිබුණා. කොත්මලේ වේල්ල අභියස දකුණු ඉවුරේ පිහිටි කඳු ගැටයක පිහිටි මුහුදු මට්‌ටමේ සිට උස මීටර් 950 ක් වන භූමියක ඉදිකළ මීටර් අසූ තුනක් උස් වන මෙම දාගැබ අනුරාධපුර මහමෙවුනා උයනේ විරාජමානව වැඩ සිටින ස්‌වර්ණමාලී මහ සෑ රදුන්ට කරන ගෞරවයක් වශයෙන් උසින් අඩි දෙකක් අඩුවෙන් ඉදි කිරීමට තීරණය කෙරුණා.
ඉතිහාසයේදී වගේම මෑත කාලයේ දීත් ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල මෙහෙවරක් කරන ප්‍රදේශයක් විදිහට කොත්මලේ හඳුන්වන්න පුළුවන්. නියඟයක් ආපු වෙලාවක එ් ප්‍රදේශයට ගිහින් මේ කියපු නටබුන් දැක ගන්නටත් අමතක කරන්න එපා.
කවරයේ රූපය : by fawzan farook
මුලාශ්‍ර :
- දිනමිණ පැරණි පුවත්පත් ලිපි
- සිංහල විශ්වකෝෂය