දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව සෝවියට් දේශය හා නේටෝ ප්‍රමුඛ ඇමරිකා එක්සත් ජනපදය අතර විරසකය ආරම්භ වෙනවා. මුහුණට මුහුණලා සටන් නොකෙරුවත් අනෙක් රට පරයා ලෝක බලවතා වීමේ අරමුණක් මේ රටවල් දෙකටම පැවතියා. 70 දශකය වන විට මෙම සීතල යුද්ධය ඉතා බලවත් වුණා.
සිතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හා සිවිල් ගුවන් යානා තාක්ෂණය අතින් තම ප්‍රතිවාදියා පරාජය කරන්නට මෙම රටවල් දෙකම නිතරම උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ලෝක ගුවන් යානා විද්‍යා ක්ෂේත්‍රයට ඇදහිය නොහැකි තරම් දැවැන්ත හා විශිෂ්ට නිර්මාණ රාශියක් බිහිවෙන්නේ.
සුදු හංසයා හෙවත් Tupolev Tu-160 නිර්මාණය වීමට බලපෑ හේතූ
70 දශකය අගදී ඇමරිකාව ඇතුළු බටහිර නේටෝ හමුදාව විසින් යුද්ධ උපායක් වශයෙන් සෝවියට් දේශය වටේට තම ප්‍රධාන ගුවන් කදවුරු කිහිපයක් ස්ථාපිත කරනවා. ඔවුන් සතුව තිබූ දිගු දුර බෝම්බ හෙළන යානා එම කදවුරු වලට ගෙන්වූ අතර නිතරම මෙම යානා සෝවියට් දේශ සිමාවේ කරක් ගසනවා. B-52 හා B-1 වැනි දැවැන්ත බෝම්බ හෙළන ගුවන් යානා ප්‍රතිවාදීන් සතුව තිබු අතර ඔවුන්ව අභිබවා යාමට සමත් වැඩ පිළිවෙලක අවශ්‍යතාව තදින් වටහාගත් සෝවියට් යුද්ධ බලධාරීන් ලොව විශාලතම බෝම්බ හෙළන යානාව නිර්මාණය කිරීමට පිඹුරුපත් සකස් කරනවා.
එවකට එම අභියෝගය භාර ගන්නා සෝවියට් දේශයේ විශිෂ්ටතම ගුවන් යානා නිෂ්පාදන සමාගම ටූපොලෙව් (Tupolev) තම වගකීම නිවැරදිව ඉටු කරමින් 1981 වසරේදී රුසියානු සුදු හංසයා හෙවත් ටූපොලෙව් TU-160 නම් ලොව විශාලතම බෝම්බ හෙළන යානය නිපදවන්නේ බටහිර ලෝකය තැති ගන්වමින්.
එවකට ඇමරිකාව සතුව තිබූ විශාලතම බෝම්බ හෙළන යානය වූ B-1Lancer යානයට වඩා යානයේ බලය, පියාසර හැකියාව, වේගය හා බෝම්බ ධාරිතාව ආදී සියළු අංශ වලින් පෙරමුණ ගැනීමට මෙම යානය සමත් වෙනවා. 1981 වසරේ දෙසැම්බර් මස 19 වන දින පළමු ගුවන් ගත කිරීම සිදු කළ අතර 1987 වසරේ සිට මෙම යානය සෝවියට් ගුවන් හමුදාවේ සක්‍රිය සේවයට එකතු වෙනවා.
ටූපොලෙව් TU-160 හි විශේෂත්වය
ලෝකයේ මෙතෙක් නිපදවූ බලවත් මූලෝපායික ගුවන් යානය ලෙසද, විශාලතම සුපර්සොනික් (ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කිරීමේ හැකියාව) යානය ලෙස හා වැඩිම කෲස් මිසයිල ප්‍රමාණයක් ගෙන යා හැකි යානාව ලෙසද මෙය වාර්තා තබා තිබෙනවා. එසේම ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීමට සමත් මෙම යානයට ලෝකයේ ඕනෑම යුද්ධ ඉලක්කයකට පහර දීමේ හැකියාව තිබෙනවා.
ඇමරිකාව හා නේටෝ සංවිධානය විසින් මෙය බ්ලැක් ජැක් ලෙස හඳුන්වන අතර වර්තමානය වන විට මෙම යානය රුසියාවේ ගුවන් ආරක්ෂණ වැඩපිළිවෙලට ප්‍රධාන දායකත්වයක් දක්වමින් ආක්ටික්, අත්ලාන්තික් හා පැසිෆික් කලාප වල මුර සංචාරයන්හි නිරත වෙනවා. තවද ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද B-1, B-52 හා B-2 වැනි බලගතු බෝම්බ හෙළන ගුවන් යානා පවා මෙම යානයට පසුපසෙනුයි සිටින්නේ.
යානයේ විශාලත්වය
උසින් මීටර් 13.1ක් හා දිගින් මීටර 54.1 ක් වන යානයේ පියාපත් අතර පරතරය මීටර් 55.7ක් වෙනවා. පියාපත් දිග හැරීමේ හා හැකිලීමේ හැකියාව මෙයට පවතින අතර අංශක 20,35 හා 65 යන කෝණ යටතේ ප්‍රධාන පියාපත් සකසා ගැනීමේ හැකියාව පවතිනවා. යානයේ බර කිලෝග්‍රෑම් 117,000කි. යානය ගුවන් ගත කළ හැකි උපරිම බර කිලෝග්‍රෑම් 275,000ක් වෙනවා.
ගුවන් නියමුවන් දෙදෙනා සමඟ අවි හසුරවන්නා හා සන්නිවේදන ශිල්පියා යන හතරදෙනෙකු මෙහි ගමන් කරන අතර වරෙකට රැගෙන යා හැකි ඉන්ධන ප්‍රමාණය කිලෝග්‍රෑම් 148,000ක් තරම් වෙනවා. ලෝකයේ බෝම්බ හෙළන ගුවන් යානයක සවිකළ බලගතුම එන්ජින් පද්ධතිය අයත් වන්නේ මෙම යානයටයි. අධි බලැති කුස්නෙට්සොව් (Kuznetsov) NK-32 පසු දහන ටර්බෝ ජෙට් එන්ජින් හතරක් සතු වෙන අතර එන්ජින් යන්ත්‍ර සතු බලය 980.6 KN පමණ වෙනවා.
යානයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 2,200කට අධික වන අතර එය ශබ්දයේ වේග මෙන් දෙගුණයකටත් වඩා (2.05ක්) වැඩියි. ඒ වගේම නැවත ඉන්ධන පිරවිමකින් තොරව කිලෝමීටර් 12,300 – 14,000 දක්වා පියාසර කළ හැකි අතර ගුවනේදී ඉන්ධන පිරවීමේ හැකියාව පවතිනවා.
අවි පද්ධතිය
මෙහි ටොන් 40ක බර දරා ගත හැකි අවි රැඳවුම් කුටි දෙකක් නිර්මාණය කර තිබෙනවා. ඉතාමත් බලගතු දිගු දුර කෘෘස් මිසයිල වර්ගයක් වන රාදුගා (RADUGA)Kh 55 (X-55) මිසයිල 12ක් හෝ රාදුගා Kh-15p කෙටි දුර මිසයිල 24ක් රැගෙන යාමේ හැකියාවෙන් යුක්තයි. රාදුගා දිගු දුර මිසයිලයකට යානයේ සිට කිලෝමීටර් 3,000ක දුර ඉලක්කයකට ළඟා විය හැකි අතර මෑතකදී වැඩි දියුණු කරන TU- 160 යානා සඳහා Kh-101 හෝ Kh-SD කෘස් මිසයිල 12ක් සවි කර තිබෙනවා.
මිට අමතරව TNT ටොන් 44ක පිපුරුම් බලයක් ඇති ටොන් 7.8ක් බර වායු ඉන්ධන බෝම්බද යානය සඳහා භාවිතා වන අවියකි. න්‍යෂ්ටික බෝම්බ හැරුණුකොට ලෝකයේ ඇති ප්‍රබලම බෝම්බයක් ලෙස මෙය සළකනවා. යානයේ බුර්ලාක් (Burlak) බාහිර විශේෂ මිසයිල ලෝන්චරයක් භාවිතයට ගනිමින් අජටාකාශයට චන්ද්‍රිකා ප්‍රක්ෂේප කිරීමද, අජටකාශයේ ගමන් කරන සතුරු චන්ද්‍රිකා වලට පහර දීමටද මෙම යානය උපයෝගී කර ගන්නවා.
නියමුවන්ගේ ආරක්ෂාව සඳහා වෙඩි නොවදින නියමු කුටියක් ඇති අතර k-36DM වර්ගයේ ඇති නවීන ආසන පැරෂුට් ක්‍රමයක් ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම න්‍යෂ්ටික පිපිරීමකදී වායු ගෝලයේ ඇතිවෙන විකිරණශීලි හා විද්‍යුත් චුම්බක ශක්තීන්ට ඔරොත්තු දීමේ හැකියාවද පවතිනවා.
සතුරු අධෝරක්ත විමර්ශන හා රේඩාර් පද්ධති වලට හසු නොවී ගමන් කිරීමේ හැකියාව මෙන්ම සතුරු රේඩාර් හා සන්නිවේදන පද්ධති වලට බාධා පැමිණවීමේ හැකියාවද පවතිනවා.
කසාන් ගුවන් යානා නිෂ්පාදන සමාගම (Kazan) විසින් 2006දී හා 2008 වසරේදී වඩාත් වැඩි දියුණු කරන ලද TU-160 යානා මාදිලියක් රුසියානු ගුවන් හමුදාවට එකතු වෙනවා. එයට නවතම ප්‍රහාරක පද්ධතියක් (Fire Control systems) එකතු කිරීමට නිෂ්පාදකයන් විසින් තීරණය කර තිබෙනවා.
තවද මෙම යානා ප්ලාස්මා ස්ටෙල්ත් තාක්ෂණය (Plasma Stealth) සන්නද්ධ කිරීම හේතුවෙන් එයින් මුදාහරින මිසයිල වලට කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවන සේ ඉලක්කය වෙත ළඟා විය හැකි වෙනවා. රුසියාව විසින් මෙවැනි යානා 39ක් නිෂ්පාදනය කළත් වර්තමානය වන විට භාවිතයට ගැනෙන්නේ ඉන් 16ක් පමණයි. ඊට මුලිකම හේතුව වන්නේ නඩත්තු කිරීම සඳහා අධික වියදමක් දැරීමට සිදු වීමයි.
කවරයේ ජායාරූපය – Pinterest
මල් රේණු කස්තුරිරත්න ගේ රුසියානු අවි සවි පොතෙන් තොරතුරු උපුටා ගැනිණි.