මනසින් ලොව ‘දියුණුම සත්ත්වයා’ ලෙසට කුඩා කාලයේ දී අප උගත් ‘මානවයා’, සියල්ල මූල්‍යමය වටිනාකමින් මනින ‘දේශපාලනික සත්ත්වයා’ගේ තැනට තල්ලු වෙමින් තිබීම අභාග්‍යයකි. එය ‘සමාජයීය සත්ත්වයා’ තුළ පරිණාමවාදය අබිබවා පරිමාණවාදය ඉස්මතු වීමකැ යි සිතේ. අප ගන්නා හුස්මවල වටිනාකම රුපියල්වලින් ගෙවිය හැකි ද?
කලපු සහා වෙරළාශ්‍රිත පරිසර පද්ධතීන් රැකගැනීමේ ලා දැවැන්තම කාර්‍යබාරයක් ඉටුකරන, ජෛව විවිධත්වයෙන් අනූන ස්වභාවික සම්පතක් ලෙස ‘කඩොලාන’ ශාක සම්පත හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.
ලොව පුරා කඩොලාන පරිසර පද්ධතීන් විසිරී ඇත්තේ, උතුරු අක්ෂාංශ 32ත් දකුණු අක්ෂාංශ 38ත් අතර රටවල් 112ක වැනි ප්‍රමාණයක යි. එනම්, ලංකාවත් ඇතුළුව ලොව මුළුමහත් භූමි ප්‍රමාණයටම කඩොලාන ව්‍යාප්තව පවතිනුයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට දශම 4ක (0.4%) ප්‍රතිශතයකි. ඉතින්, අප කඩොලාන බිම් රැකගත යුතු නොවේ ද?
මොනවද මේ කඩොලාන?
ලොව පුරා ඇති සත්‍ය කඩොලාන විශේෂයන් 54න් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන්නේ කඩොලාන විශේෂයන් 26ක් පමණි. ඒවා, සත්‍ය කඩොලාන 14ක් සහ ආශ්‍රිත කඩොලාන 12ක් වශයෙන් හඳුනාගෙන තිබේ.
‘සත්‍ය කඩොලාන’ ලෙස හැඳින්වෙන්නේ, සම්පූර්ණයෙන්ම කඩොලාන පරිසර පද්ධතියේ පමණක් දක්නට ලැබෙන, එම ශාක ප්‍රජාව තුළ කැපී පෙනෙන ශාකයක් ලෙස ද හා තනි විශේෂයක් වශයෙන් ද වර්ධනය වීමේ හැකියාවක් සහිත, ශුෂ්ක පරිසරයට අවශ්‍ය රූපීය අනුවර්තනයට සමත්, ශුෂ්ක පරිසරයට අනුගත වීමට අවැසි භෞතික අනුවර්තනයන්ගෙන් යුක්ත කඩොලාන ශාක විශේෂ ‘හඳුන්වයි. කඩොලාන පරිසර පද්ධතියේ දී මෙන්ම ඉන් පිටත දී ද දැකබලා ගත හැකි අනෙකුත් කඩොලාන විශේෂ ‘ආශ්‍රිත කඩොලාන’ ලෙස හඳුන්වනු ලැබේ. සත්‍ය කඩොලානවලට උදාහරණ ලෙස මල් කඩොල්, හීන් කඩොල්, මට්ටි කඩොල් ආදී කඩොලාන විශේෂයන් මෙන්ම මඩගස්, මණ්ඩ, සහ කිරල විශේෂයන් ද ගෙනහැර දැක්විය හැක. කටු ඉකිලි, කැරැන්කොකු හා ඇටුන වැනි කඩොලාන විශේෂයන් ‘ආශ්‍රිත කඩොලාන’ ගණයට අයත් වේ.
කඩොලාන පද්ධතියේ පිහිටීම සහ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව වටා පිහිටි වෙරළබඩ කලාපයේ ගංගා මෝය, කලපු ඇතුළු වඩදිය-බාදිය ඇතිවන කිවුල්දිය තෙත්බිම් ආශ්‍රිතව මෙකී කඩොලාන ව්‍යාප්තව පවතී. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව ඉහත දැක්වූ පරිසර පද්ධතීන් ආශ්‍රිතව හෙක්ටයාර 12,000ක පමණ පෙදෙසක කඩොලාන ශාක වර්ධනය වී ඇතැයි සැලකේ. තවද , 2010 වසරේ දී හෙක්ටයාර 15,669ක භූමි ප්‍රදේශයක කඩොලාන වර්ධනය වී තිබුණ ද, 2019 වසර වන විට එය 12,700ක් තෙක් අවම වී ඇති බවට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ එකල ලේකම් අනුර දිසානායක මහතා වරෙක මාධ්‍ය වෙත පවසා තිබිණි. කෙසේ වෙතත්, දැනට කඩොලාන ව්‍යාප්තව පවතින ප්‍රදේශයන් ලෙස මීගමුව, පුත්තලම, මඩකළපුව, මාදුගඟ, කෝකිලායි, රැකව, බූන්දල, කලමැටිය, කිරල කැලේ, පානම, පොතුවිල්, උප්පාරු, ත්‍රිකුණාමලය, නයාරු, නන්දිකඩාල්, තොණ්ඩමන් ආරු, යාපනය, මණ්ඩගල් ආරු, වෙඩිතලතිව්, සහ කලා ඔය යනා දී පෙදෙස් දැක්විය හැකිය.
කඩොලාන පරිසර පද්ධතියක් වැදගත් වන්නේ ඇයි?
වෙරළබඩ කලාපයේ නිරන්තරයෙන් සිදුවන පාරිසරික වෙනස්වීම් විඳ දරා ගනිමින් හරිත පවුරක් සේ ක්‍රියාකිරීමේ ලා සමස්ත කඩොලාන පද්ධතිය සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකරයි. එමෙන්ම, සුනාමි සහ සුලිසුළං තත්ත්වයන්ගෙන් මානව සංහතිය මුදාගැනීම උදෙසා ද කඩොලාන පරිසර පද්ධතිය මනා පිටිවහලක් වනු ඇති. තව ද, මෙම පරිසර පද්ධතිය වර්තමානයේ දී විශාල වශයෙන් ඉහළ යමින් පවතින ගෝලීය උණුසුම අවම කරවීමට සුවිශාල දායකත්වයක් සපයයි. එපමණක් ද නොව; පාරිසරිකව, ජෛව විද්‍යාත්මකව, සෞන්දර්යාත්මකව මෙන්ම සමාජ ආර්ථික වශයෙන් ද ගත් කල කඩොලාන පරිසර පද්ධතිය ඉතාම වැදගත් ය.
කඩොලාන ශාකයන් විසින් සිදුකෙරෙන, විශේෂකොට සැලකිය යුතු ක්‍රියාවලියක් වන්නේ වායුගෝලීය කාබන් අවශෝෂණය සහ තැන්පතුව යි. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන මොවුන් ඒවා පත්‍ර, කඳ, සහ මුල්වල තැන්පත් කරති. ශාකය මියගොස් වැටීමේ දී ඔවුන් තමන් විසින් අවශෝෂිත කාබන් ද තමාත් සමගම රැගෙන යයි. කඩොලාන ශාකයන් සාමුද්‍රික පරිසරයන්ගෙන් 2%ක් පමණක් නියෝජනය කරනමුත්, කාබන් “වළ දැමීම” අතින් එම පරිසරයෙන් 10% – 15%ක තැනක් ලබාගනී.
කඩොලාන පරිසර පද්ධතියක් සතු අනෙකුත් ප්‍රයෝජන
මස් අතු, මත්ස්‍ය උගුල්, මත්ස්‍ය ගාල් ආදිය සැකසීමට මෙන්ම මාළු දැල් හා රුවල් ඩයි කිරීමට අවශ්‍ය ටැනීන් වර්ග ලබාගැනීමට යන කාර්යයන් හි දී ධීවර කර්මාන්තය වෙත කඩොලාන පරිසර පද්ධතිය උපකාරී වේ. එමෙන්ම ඉස්සන්, කකුළුවන්, සමහර මත්ස්‍ය විශේෂයන් බෝවන හා කුඩා පැටවුන්ගේ ආරක්ෂිත ස්ථානයක් ලෙස ද මෙය ප්‍රයෝජනවත් ය. සාමාන්‍යයෙන් කඩොලාන වැස්ම අඩු වෙද්දී අවට මුහුදේ/ කලපුවේ මත්ස්‍ය අස්වැන්න පහත යන බව නිරීක්ෂිත කරුණකි. වැනසී යන එක් කඩොලාන හෙක්ටයාරයකට, අවට මුහුදෙන් ලබාගත හැකි මත්ස්‍ය අස්වැන්න වසරකට කිලෝග්‍රෑම් 480කින් අඩු වන බවට ගණන් බලා ඇත.
ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට හා ජාන සම්පත ආරක්ෂා කිරීමට මෙන්ම පාරිසරික සංචරණය හා පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් ලෙස ද මෙකී පරිසර පද්ධතිය දායකත්වය සපයයි.
එමෙන්ම, කිරල (Sonneratia) නම් කඩොලාන විශේෂය පළතුරක් වශයෙන් ද, කටු ඉකිලිය (Acanthus) සහ මල් කඩොල් (Bruguiera) ආදිය ඖෂධ ලෙසත් භාවිතයට ගැනේ. වෙරළ, මෝය හා ගංගා ඉවුරු ඛාදනයට ද මෙකී කඩොලාන වැට බඳියි. 2004 දී කඩොලාන වැස්ම සහිත ප්‍රදේශවලට සුනාමිය බලපෑවේ ද සැලකිය යුතු තරම් අඩුවෙන් බව ඔබ දන්නා කරුණකි.
එපමණක් නොව; මුහුදට හා ගං මෝයට එක්වන රොන්මඩ, බැර ලෝහ ආදී අපද්‍රව්‍ය අවම කරමින් ස්වභාවික පෙරනයක් ලෙස ද ක්‍රියා කරයි. එතැනින් ද නොනැවතී; උරගයින්, මත්ස්‍යයින්, දේශීය සහ සංචාරක පක්ෂීන්ගේ වාසස්ථානයක් වශයෙන් මෙන්ම ශුෂ්ක පරිසර තත්ත්ව හමුවේ ජීවීන් අනුවර්තනය වී තම වර්ගයා ඉදිරියට ගෙන යන අයුරු නිරීක්ෂණය කළ හැකි ස්වභාවික විද්‍යාගාරයක් ලෙස ද කඩොලාන පරිසර පද්ධතිය හැඳින්විය හැකිය.
කඩොලාන පරිසර පද්ධතියට ඇති තර්ජන
මිනිසුන්ගේ අධි පරිභෝජනය හේතුකොට ගෙන කඩොලාන ශාක පද්ධතිය විනාශ වී යාම ඒවාට ඇති ප්‍රධානතම තර්ජනයකි. එමෙන්ම, මිනිසුන්ගේ නොදැනුවත්කම නිසාවෙන් දුර්ලභ කඩොල් විශේෂයන් පවා සුළු කාර්යයන් උදෙසා විනාශ කොට දැමීම ඛේදනීය තත්ත්වයකි. නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කඩොලාන කපා, වගුරුබිම් ගොඩ කිරීම ද නොමනා මිනිස් ක්‍රියාවකි (මෑතක දී මීගමුව ප්‍රදේශයේ ක්‍රීඩා පිට්ටනියක් සෑදීම වෙනුවෙන් එවන් විනාශයක් සිදුකිරීමට මාන බලද්දී, ඊට විරුද්ධ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් විසින් එම පෙදෙසට අදාළ දේශපාලන නියෝජිතයෙකු සමග වාචිකව උණුසුම් තත්ත්වයක් උද්ගත වීම කාලීන නිදසුනක් ලෙස ගත හැකිය). තව ද; ඉස්සන් කර්මාන්තය, ලුණු කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා වෙනත් සංවර්ධන ක්‍රියා සඳහා විශාල වශයෙන් කඩොලාන කපා එම බිම් යොදා ගැනීම මෙන්ම ඝන අපද්‍රව්‍ය හා අනෙකුත් විෂ සහිත අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස යොදා ගැනීම ද කඩොලාන වෙත එල්ල වන දැඩි තර්ජනයකි.
මෙකී සියල් කරුණු කාරණා පිළිබඳව සලකා බැලීමේ දී අවධාරණය වන්නේ, කඩොලාන පරිසර පද්ධතිය කෙමෙන් කෙමෙන් මියැදෙමින් පවතින බව යි. එම ව්‍යසනය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවීම බරපතල ඛේදවාචකයකි. කඩොලාන පරිසර පද්ධතිය වූ කලී අපද්‍රව්‍ය එක් කළ යුතු බිම් පෙදෙසක් හෝ කුඩම්මාගේ සැලකිලි ලබාදිය යුතු ගොහුරු බිමක් නොව, සොබාදහමේ අපූර්ව දායාදයක් බව සිහිතබා ගත යුතු ය. එහෙයින්, ළඟ නොබලා දුර බලන්න යැයි අප ඔබට යෝජනා කරන්නෙමු!