වතිකානුව යනු ලොව කුඩාම ස්වාධීන රාජ්‍යයයි. මෙය ජනගහණය හා ප්‍රමාණය යන අංශ දෙකෙන්ම ලොව කුඩාම රාජ්‍ය බවට පත් වී ඇත. මෙහි විශාලත්වය හෙක්ටයාර 44ක් වේ. වතිකානුවේ දේශ සිමා තාප්ප මගින් වෙන් කොට දක්වා ඇත. පාප් වහන්සේ හා බැඳී ආගම මුල් කරගත් පාලන රටාවක් සහිත වතිකානුව අතීතයේ පටන් බොහෝ ක්‍රිස්තියානු බැතිමතුන්ගේ පූජනීය නගරයක් බවට පත් වී තිබේ. මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වන්නේ ලොව කුඩාම රාජ්‍ය පිළිබඳ ඔබ නොදත් තොරතුරු ගණනාවක් ඉදිරිපත් කිරීමටයි.
ඉතිහාසය
වතිකානුවේ ආරම්භය කතෝලික ධර්මය හා බැඳී පවතින්නකි. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ සාන්ත පීටර්ස් සොහොන උඩ විශාල පල්ලියක් ඉදි කිරීමත් සමඟ මෙම ප්‍රදේශය වන්දනා ගමන් හා වාණිජ කටයුතු වලට ප්‍රසිද්ධ විය. නමුත් 1309 දී පාප් වහන්සේගේ පල්ලිය ප්‍රංශයට ගෙන යාම නිසා ජනයා මෙම ප්‍රදේශය අත් හරින ලදී. 1377දි නැවත මෙම පල්ලිය ගෙන ඒමත් සමඟ Apostolic මාලිගාව, Sistine දෙව්මැදුර ආදිය වතිකානු නගර සීමාව තුල ස්ථාපනය විය. වතිකානු රාජ්‍ය වර්තමානයේ පවතින ආකාරයට පිහිටුවන ලද්දේ 1929 වසරේදියි.
ටිබර් ගංගාවේ බටහිර කොටසේ වතිකානුව පිහිටා ඇත. රෝමානු රාජ්‍ය කාලයේදී මෙය පරිපාලන ප්‍රදේශයක් ලෙස පැවතුණි. ක්‍රිස්තු වර්ෂ 64දි රෝමයේ විශාල ප්‍රදේශයක් ගින්නෙන් විනාශ විය. මෙහිදී Nero අධිරාජ්‍යයා සාන්ත පීටර් හා අනෙකුත් ක්‍රිස්තියානි දෝෂධාරින් වතිකානු කඳු පාමුල විශාල සුසාන භූමියක වලදමන ලදී. මින් පසු කොන්ස්තන්තින් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමත් සමඟ සාන්ත පිටර්ගේ සොහොන් ගෙය උඩ විශාල පල්ලියක් ඉදි කරන ලදී. මෙය ක්‍රිස්තියානු වන්දනා කරුවන්ගේ පූජනීය භූමියක් බවට පත් විය. මේ නිසා පූජකයන්ගේ නිවාස විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශය තුළ ඉදි විය.
ක්‍රිස්තු වර්ෂ 846දි මුහුදු කොල්ලකරුවන්ගේ පහර දීමක් නිසා සාන්ත පීටර් සොහාන මත ඉදි වූ දෙවු මැදුරට හානි සිදු විය. මේ නිසා හතර වන පාප් වහන්සේගේ අණ පරිදි එම දෙව් මැදුරේ ආරක්ෂාවට එය වටා තාප්පයක් ඉදි කරන ලදී. අඩි 39 උස මෙම තාප්පයෙන් වර්තමාන වතිකානු රාජ්‍ය සීමාව හා බොර්ගෝ දිස්ත්‍රික්ක ආවරණය විය. මෙම තාප්පය අඛණ්ඩව 1640 කාලයේදී පැමිණි 8 වන පාප් වහන්සේගේ කාලය දක්වා ප්‍රසාරණය කරමින් සංවර්ධනය කරන ලදී.
නීතිය හා පරිපාලනය
1987 නොවැම්බර් මස 25 වන දින කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාවක් මඟින් අධිකරණ බලය විනිසුරු වරුන් වෙත පවරා ඇත. ඔවුන් එම බලය භාවිත කරන්නේ පාප් වහන්සේගේ නාමයෙනි. සිවිල් හා අපරාධ ක්‍රියා පටිපාටින් තුලින් සිවිල් හා අපරාධ වරදවල් සම්බන්ධ වගකීම් ස්ථාපිත කර ඇත.
රාජ්‍ය දෙපාර්තමේන්තු
වතිකානු රාජ්‍ය පාලනය වන්නේ රාජාණ්ඩු ක්‍රමයට යි. රාජ්‍යයේ ප්‍රධානියා පාප් වහන්සේ වන අතර සියලු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය පාප් වහන්සේ සතු වේ. පාප් වහන්සේ මියගොස් ඔහුගේ උරුමකරුවෙක් එම තනතුරට පත් කරගන්නා කාලය තෙක් ඉහත බලයන් මෙහෙයවනු ලබන්නේ කාදිනල් තුමන්ලාගේ විද්‍යාලය විසිනි. පාප් වහන්සේ තෝරා ගනු ලබන්නේද කාදිනල් තුමන්ලා විසිනි. එලෙස තෝරා ගන්නා පුද්ගලයා එම තෝරා ගැනීම පිළිගත් දින සිට වතිකානුවේ පාලකයා බවට පත්වේ.
අන්තර්ජාතික සම්බන්ධතා
වතිකානුවට බොහෝ තානාපති සම්බන්ධතා පවතී. මීට අමතරව වතිකානුව අන්තර්ජාතික සංවිධාන වල සාමාජිකත්වය දරයි. ඉන් කීපයක් ලෙස UPU, ITU, UNESCO, UNWTO, WOIP දැක්විය හැක.
ජනගහණය
වතිකානු රාජ්‍ය සඳහා රාජ්‍ය භාෂාවක් නොමැත. නමුත් නිතරම භාවිතා වන භාෂාව වන්නේ ලතින් භාෂාවයි. වතිකානු රාජ්‍යයේ සාමාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව 900ක් පමණ වේ. ඔවුන්ගෙන් ඇතැමෙක් වතිකානුව තුළම සේවය කරන අතර තවත් කොට්ටාශයක් ලෝකය වටා ඇති තානාපති කාර්යාල වල සේවය කරයි.
වතිකානු හමුදාව
ලෝකයේ කුඩාම හමුදාව සිටින්නේ වතිකානු රාජ්‍යයටයි. දෙවන ජුලියස් පාප් වහන්සේ වර්ෂ 1506 දී වතිකානුවේ ආරක්ෂාවට හමුදාවක් පිහිටුවන ලදී. මෙය යුධ භටයින් 200කින් සමන්විත විය. මෙම හමුදා භටයින් 200ම ස්විස්ටර්ලන්ත ජාතිකයින් විය. මෙම හමුදාව පිහිටුවීමට හේතු වුයේ ආක්‍රමණශීලි චාර්ල්ස් කෑන් අධිරාජ්‍යයාගෙන් වතිකානුවට අභියෝග එල්ලවිය හැකිව තිබූ නිසාවෙනි. අද වන විට වතිකානු හමුදාවේ භටයින් ප්‍රමාණය 110 දක්වා අඩු කර ඇත.
වතිකානු හමුදාවට බඳවා ගන්නේ ස්විස් ජාතිකයින් පමණක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය පාප් වහන්සේට ආරක්ෂාව සැපයීමයි. බැලු බැල්මට මොවුන්ගේ නිල ඇඳුම හමුදා නිල ඇඳුමක් මෙන් නොපෙනේ. එය විසිතුරු ඇඳුමකි. මිට අමතරව ලොව වැඩිම වයින් ප්‍රමාණයක් පානය කරන රට ලෙසද වතිකානුව දැක්වේ.
යටිතල පහසුකම්
වතිකානු රාජ්‍ය සඳහා එයටම වෙන් වූ දුකථන පද්ධතියක්, තැපැල් කන්තෝරුවක්, උද්‍යාන, කාලගුණ නිරික්ෂනාගාරයක්, ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක්, බැංකු පද්ධතියක්, ඔසුසල් ආදිය පවතී. නමුත් අහාර සැපයීම, විදුළිය සැපයීම, ජලය හා ගෑස් සැපයීම වැනි සේවාවන් ආනයන කිරීම සිදු කරයි. ආනයන අපනයන වලදී අදායම් බදු ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. බොහෝවිට වතිකානු රජයට ආදායම් ලැබෙන්නේ ස්වෙච්ඡා පරිත්‍යාග ලෙසිනි. 1983 වසරේ සිට වතිකානුව ඔවුන්ගේම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ ගුවන්විදුලි ප්‍රචාරයන් ලෝකය පුරා භාෂා 40කින් පමණ ශ්‍රවණය කළ හැක. වතිකානු නගරය 1984 සිට UNESCO ලෝක උරුමයක් ලෙසින් නම් කර ඇත.
ආහාර රටාවන්
මොවුන්ගේ ප්‍රධාන ආහාර රටාවන් රෝමයට සමාන වේ. මොවුන්ගේ මතය අනුව ලෝකයේ වඩාත් රසවත්ම ආහාර පිසීමේ කලාවක් ඇත්තේ මොවුන්ටයි.
වතිකානු පුස්තකාලය
වතිකානු පුස්තකාලයේ අත් පිටපත් 150 000 පමණ පවතින අතර මුද්‍රිත පොත් මිලියන 1.6ක් පමණ පවතී. ඒවායින් බොහොමයක් ක්‍රිස්තියානු ආරම්භක සමයට අයත් වේ. වතිකානුව “ L’Osservatore Romano” නමැති දිනපතා පුවත්පතක් මුද්‍රණය කරයි.
කවරයේ පින්තුරය – wikimedia.org