ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට අධික ප්‍රමාණයක රන් කාසි, රන් දම්වැල්, දියමන්ති යොදා නිමකරන ලද ප්‍රතිමා හා විවිධ මැණික් වර්ග වලින් සමන්විත ගුහා හයකින් යුක්ත හින්දු දේවාලයක් අසල්වැසි ඉන්දියාවේ ඇති බව ඔබ දැනගෙන සිටියාද?
ලොව ධනවත්ම හින්දු දේවාලය ලෙස සැලකෙන ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් (Thiruvananthapuram) ප්‍රදේශයේ පිහිටා තිබෙන ශ්‍රී පද්මනාබස්වාමි දේවාලය පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූයේ එහි රහසිගත ලෙස සඟවා තිබූ අති විශාල ධනය හේතුවෙන්. ඉතින් අද ලිපිය ඒ පිළිබඳවයි.
විෂ්ණු දෙවියන් වෙනුවෙන් තැනුණු පද්මනාබස්වාමි දේවාලය
මීට වසර 5000කට පමණ ඉහතදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න පටන් ගන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් විසින් උපකල්පනය කරන නමුත් පද්මනාබස්වාමි දේවාලයේ ආරම්භය පිළිබඳව එතරම් පැහැදිලි සාක්ෂියක් ඉතිහාසයෙන් සොයා ගැනීම අපහසු වී තිබෙනවා.
තවත් මූලාශ්‍රයන්ට අනුව මෙම දේවාලය 16 වන ශතවර්ෂයේදී ගොඩනඟා තිබෙන අතර ත්‍රිවන්කෝර්හි රජවරුන් (Kings of Travancore) විසින් ඝන ගල් බිත්ති යොදාගනිමින් ඉතා ශක්තිමත් ගුහා හයක් නිර්මාණය කළ බව දැක්වෙනවා. මෙම ගුහා අනවසරයෙන් විවෘත කිරීම තුළින් මහත් ව්‍යසනයක් ඇතිවිය හැකි බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා. ගුහා විවෘත කිරීම මගින් ඒ තුළ සිටින විශාල නාගයින් දෙපළක් මතු විය හැකි බවත් එය ඉතා විනාශකාරී විය හැකි බවත් ජනප්‍රවාදයේ තව දුරටත් සදහන්ව තිබෙනවා.
සම්ප්‍රදායික මහරාජාවරුන්ගේ පාලනයට නතු වූ දේවාලය
ක්‍රිස්තු වර්ෂ 16 වන සියවසේ සිට දේවාලයේ කළමනාකාරීත්වය සිදු කරන්නේ ත්‍රිවන්කෝර්හි රාජකීය පරපුරකට අයත් වූ මහරාජාවරුන් විසිනි. ඒ අනුව 2013 වසරේ සිට වර්තමානය දක්වා දේවාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මෝලම් තිරුනාල් රාමා (Moolam Thirunal Rama Varma) නම් මහරාජාවරයායි.
2011 වසර පමණ වන විට පද්මනාබස්වාමි දේවාලය තුළ ඇති වස්තුව පිළිබඳව ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම විවිධ අන්දමේ ආන්දෝලනාත්මක පුවත් පැතිරී යනවා. මෙතරම් විශාල ධනයක් එක් මහරාජාවරයෙක් ඇතුළු ඉතා සුළු පිරිසක් විසින් කිසිඳු විනිවිධ භාවකින් තොරව පාලනය වීම පිළිබඳව හිටපු පොලිස් නිළධාරියෙක් වන සුන්දර රාජන් (Sundara Rajan) විසින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනවා. ඒ 2011 වසරේදි යි..
විරෝධතා මධ්‍යයේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණය
පෙත්සම සැළකිල්ලට ගනු ලබන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වහාම ක්‍රියාත්මක වූ අතර දේවාලය සතුව ඇති ධනය පරික්ෂා කර බැලීම සදහා සත් දෙනෙකුගෙන් යුක්ත වූ විශේෂ කණ්ඩායමක් පත් කරනු ලබනවා.
තවද ත්‍රිවන්කෝ රාජකීය පවුලේ (Royal family of Travancore) බලතල සීමා කරන අතර දේවාලය පාලනය කිරීමෙන් ඔවුන් සම්පූර්ණයෙන් ඉවත් කරන අධිකරණය, දේවාලය කළමනාකරණය සදහා නව කමිටුවක් පත් කරනු ලබනවා. ගුහා හය හි ද්වාර විවෘත කර බැලීම පිළිබඳව රාජකීය පවුල්, මහරාජාවරයා ඇතුළු බැතිමතුන් දැඩි විරෝධයක් දක්වනවා.
B ලෙස නම් කළ ගුහාව තුල සර්පයන් ගැවසෙන බැවින් එය විවෘත නොකරන ලෙසයි රාජකීය පවුල් විසින් බලකෙරෙන්නේ. එම ගුහාව විවෘත කිරීම ඉතා අනතුරුදායක බවත් එය විවෘත කිරීම ව්‍යවසනයකට අත වැනීමක් බවත් රාජකීය පවුල විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනවා.
එයට ප්‍රතිචාර දක්වන හිටපු විගණකාධිපති විනොද් රායි (Vinod Rai) විසින් එය නිෂ්ප්‍රභා කරන්නේ තමන්ගේ දැනුමට අනුව 1990 සිට මේ දක්වා එම ගුහාව හත්වරක් විවෘත කර ඇති බව පවසමින්. කෙසේ හෝ අවසානයේ අධිකරණයේ නියෝග හේතුවෙන් විරෝධතාකරුවන්ට ඉන් ඉවත් වීමට සිදු වනවා.
වාර්තා කිරීමේ පහසුව සඳහා පරීක්ෂණ කණ්ඩායම් විසින් මෙම ගුහා හය A, B, C, D, E හා F ලෙස නම් කරනවා. දේවාලයේ පූජකවරුන්ගේ සහය ඇතිව පරීක්ෂණ කණ්ඩායම් විසින් ද්වාර විවෘත කරනු ලබනවා. එවකට ත්‍රිවන්කෝ හි මහරාජාවරයා ලෙස කටයුතු කරන්නේ තුන්වන තිරුනාල් මාර්තන්ඩයි.
ද්වාර විවෘත කිරීමෙන් පසු හමුවූ ධනස්කන්ධය
2011 වසරේ ජූනි 27 වනදා විශේෂ කමිටුව විසින් ද්වාර හයම විවෘත කරන අතර කණ්ඩායමේ සාමාජිකයෙක් වූ 75 හැවිරිදි විශ්‍රාමික කේරළ මහාධිකරණ විනිසුරු සී.ඩබ්ලිව්. රංජන්, ද්වාර විවෘත කිරීමේදී තමාට දැනුණු හැඟීම මෙසේ විස්තර කරනවා.
“ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් ක්‍රමානුකූලව භාණ්ඩ තැන්පත් නොකර තිබූ අතර . රත්තරන් බඳුන් කීපයක්, සමහර රත්තරන් කළගෙඩි, හා අනෙකුත් වටිනා දේවල් සෑම තැනම ගොඩ ගසා තිබුණා. එකවරම එය දැකීම මනස්කාන්ත දර්ශනයක් වුණා. ඒක ඉතා විශිෂ්ට අත්දැකීමක්. එම අවස්ථාව විස්තර කිරීමට මට වචන කිසිවක් නැති තරම්.”
පළමුවෙන් A ගුහාව විවෘත කරන අතර එයින් සොයාගත් දේවල් එළියට ගෙන විශ්ලේෂණය කර වාර්තා තැබීමට දින දොළහක කාලයක් ගත වෙනවා.
රන්, රිදී, මැණික් හා දියමන්ති
පෙරදිග ඉන්දියානු වෙළද සමාගම් යුගයට අයත් රන් කාසි කිලෝ 7ක්, රත්තරන් කිලෝ 1000කට අධික ප්‍රමානයක විවිධ කාසි, නැපොලියානු සමයේ රන් කාසි විශාල ප්‍රමාණයක්, අඩි 3.5ක් උස රනින් නිමකර දියමන්ති එබ්බවූ දේව ප්‍රතිමා, අඩි 18 ක් දිග රත්තරන් දම් වැල්, රත්තරන් වලින් සාදන ලද පොල් ගෙඩි හා රත්තරන් කළගෙඩි විශාල ප්‍රමාණයක් ගුහා තුළින් ඉවතට ගනු ලබනවා.
රත්තරන් වලට අමතරව දියමන්ති හා විවිධ මැණික් වර්ග රාශියක් ගුහා තුළ තිබී හමුවෙනවා. ඈත අතීතයේ සිටම ලොව නන් දෙසින් පැමිණි බැතිමතුන් විසින් මේවා ලබා දෙන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් විසින් නිගමනය කරනවා. සොයාගත් භාණ්ඩ වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 22කට අධික වන බව සදහන් වන අතර ඒවායේ පුරාවිද්‍යා වටිනාමක එමෙන් තුන්ගුණයක් පමණ වන බව පුරාවිද්‍යාඥයන් විසින් පවසනවා.
දේවාලයේ වත්මන් තත්වය
මේ වන විට දේවාලය CCTV කැමරා පද්ධතියකින් සමන්විත වන අතර ආරක්ෂක භටයින් 200කට අධික සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යොදාගෙන තිබෙනවා. දේවාලයේ තැන් කිහිපයක ආරක්ෂක කුටි පිහිටා ඇති අතර ඒවායේ මැෂින් තුවක්කු පවා සවිකර තිබෙනවා.
වර්තමානය වන විට රාජකීය පවුල් දේවාලය කළමනාකරණයෙන් ඉවත්කර ඇති අතර පාලනය මෙහෙයවනු ලබන්නේ විශේෂ කමිටුවක් විසිනුයි. 2015 වසරේ එම කමිටුව විසින් අතීතයේ සිට මේ දක්වා කාලය තුළ නැති වූ හා අස්ථානගත වූ දේවාලය සතු ධනය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා.
ධනය මෙසේම ගබඩා කර තිබිය යුතුද නැතිනම් ඒවා මුදල් කර ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යොදා ගත යුතුද යන්න මේ වන විට ගැටළුවක් වී ඇති අතර කෙසේ නමුත් දේවාලය සතු මේ අසීමිත ධනයට කුමක් සිදු කල යුතුද යන්න ඉන්දියානු අධිකරණය විසින් මේ වන තෙක් තීරණය කර නෑ.
කවරයේ ජායාරූපය – Creative Stellar’s