බ්‍රික්ස් (BRICS) නමින් හඳුන්වන සංවිධානය එහෙම නැත්නම් බ්‍රික්ස් රටවල් ගැන ඔබ අසා තිබෙනවා ද? එක්සත් ජාතීන් විසින් ජාත්‍යන්තර සංවිධානයක් ලෙස පිළිගෙන ඇති එම සංවිධානය නිර්මාණය වීමට බලපෑ හේතුව, බ්‍රික්ස් සංවිධානයේ ඉතිහාසය හා, වර්තමානයේ දී එම සංවිධානයේ ක්‍රියා මාර්ගය පිළිබඳව, ඒ වගේම ඔවුන් කොතරම් ලෝක ආර්ථිකයට වැදගත් වෙනවා ද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ ලෙස හැඳින්විය හැකියි.
බ්‍රික්ස් සංවිධානය බිහි වීම
බ්‍රික්ස් සංවිධානයේ ආරම්භක සාමාජිකයන් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, හා චීනය යි. එය එවකට හඳුන්වනු ලබන්නේ බ්‍රික් (BRIC) සංවිධානය නමින්. එම සංවිධානය ආරම්භයේ දී නිත්‍යානුකූලව ව්‍යවස්ථාවක් නොතිබූ ස්ථිර මුලස්තානයක් ද නොතිබූ සංවිධානයක් වුණා. සංවිධානය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ රුසියාව යි.
බ්‍රික් සංවිධානයේ රටවල නියෝජිතයන්ගේ පළමු හමුවීම සිදුවෙන්නේ 2006 වසරේ දී යි. ඒ එවකට රුසියානු ජනාධිපති ධූරය දැරූ ව්ලැද්මියර් පුටින්ගේ මෙහෙයවීම මත යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව අවසන් වීමෙන් පසුව 2006 වසරේ සැප්තැම්බර් 20 වන දින බ්‍රසීලයේ, රුසියාවේ, ඉන්දියාවේ, හා චීනයේ ආරක්ෂක ඇමතිවරුන් එකතු වී සංවිධානය සම්බන්ධ ප්‍රථම හමුව පවත්වනවා. මෙම හමුවේ දී සියලු නියෝජිතයන් රටරටවල් අතර පවතින සම්බන්ධතා තව දුරටත් වැඩි දියුණු කිරීමට සිය කැමැත්ත පල කරනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේ මැයි 16 වන දින රුසියාවට එකතුවෙන බ්‍රික් රටවල විදේශ ඇමතිවරුන් ගෝලීය සංවර්ධන ගැටළු පිළිබඳව එක් සම්මුතියකට පැමිණෙන අතර ඒ සම්බන්ධයෙන් අන්‍යොන්‍ය රටවල් අතර පොදු එකඟතාවයකට පැමිණීමට සමත් වෙනවා. ඉන් අනතුරුව යි රටවල නායකයන් එකට එකතු වෙන්නේ. 2008 වසරේ තෝකියෝ G8 සමුළුවට සහභාගිවෙන එවකට රුසියානු ජනාධිපති දිමිත්‍රිව් මෙද්වදෙව් ඉන්පසුව බ්‍රික් රටවල ජනාධිපතිවරුන්ව මුණ ගැසීම යි. එය සිදුවෙන්නේ 2008 වසරේ ජූලි මාසයේ යි.
ප්‍රථම සමුළුව
බ්‍රික් සංවිධානයේ ප්‍රථම සමුළුව පැවැත්වෙන්නේ 2009 වසරේ යි. ඒ සඳහා සත්කාරකත්වය දරන්නේ රුසියාව යි. මෙම සමුළුවෙන් පසුව රටවල්වල නායකයන් එකට එකතු වී බ්‍රික්හි අරමුණු ඉලක්ක හා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දක්වනවා. බ්‍රික් රටවල ප්‍රධාන අරමුණ වන්නේ එම රටවල ආර්ථික සහයෝගීතාවය හා නැගී එන වෙළඳපල ආර්ථිකයන් සහිත රටවල පොදු අවශ්‍යතා ඉටු කිරීම යි. ඊට අමතරව කල්පවත්නා සාමය හා පොදු සමෘද්ධිය සහිත සාමකාමී ලෝකයක් ගොඩනැගීමට ද ඔවුන්ගේ ප්‍රධාන අභිමතාර්ථයක්.
සාමාජික රටවල් අතර වෙළඳ හා ආර්ථික සහයෝගිතාවය, රටවල් හතර එකතු වී ලෝක ආර්ථිකයට කරන බලපෑම වැඩි දියුණු කිරීම, ඔවුන්ගේම මූල්‍ය ආයතනයක් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ජා වෙනවා.
2010 වසරේ දී මෙම සාමාජිකයන් අතරට එකතු වීම සඳහා දකුණු අප්‍රිකාව තම කැමැත්ත පල කරනවා. ඒ අනුව 2010 වසරේ දෙසැම්බර් 24 දින දකුණු අප්‍රිකාවට මෙම සංවිධානයේ සාමාජිකත්වය හිමිවෙන අතර බ්‍රික්ස් සංවිධානය ඉන් පසුව බ්‍රික්ස් නමින් හඳුන්වනු ලබනවා.
බ්‍රික්ස්හි විශේෂත්වය
බ්‍රික්ස් රටවලින් ලෝකයේ ඇති මුළු භූමි ප්‍රමාණයෙන් 27%ක ප්‍රතිශතයක් නියෝජනය වෙනවා. නවතම වාර්තා අනුව ලෝක ජනගහනයෙන් 42% කට වඩා වැඩි ප්‍රතිශතයක් මෙම රටවල් සමූහය විසින් නියෝජනය කෙරෙනවා. ඒ වගේම ලෝක ආර්ථිකයෙන් 27%කට වඩා බ්‍රික්ස් නියෝජනය කරනවා. මෙහි සාමාජිකයන් G8 හා G20 වැනි ප්‍රබල සංවිධාන ද නියෝජනය කරන බැවින් බ්‍රික්ස් සංවිධානයෙන් යම්කිසි ආර්ථිකමය තීරණයක් ගැනීම ලෝක ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කරවීමට සමත් වෙනවා.
බ්‍රික්ස් රටවල හතරවන සමුළුවේ දී එම රටවල් විසින් ඉතා වැදගත් තීරණයක් ගනු ලබනවා. ඒ රටවල එකමුතුවෙන් නව සංවර්ධන බැංකුව නමින් බැංකුවක් ආරම්භ කිරීමට තීරණයක් ගැනීම යි. ලෝක බැංකුවට විකල්පයක් ලෙසත් සාමාජික රටවල තිරසාර සංවර්ධන ක්‍රියාවලි හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සංවර්ධනය වෙමින් පවතින් වෙනත් රටවල ද මුල්‍යමය ණය මුදල් ලබා දීම සඳහා 2014 වසරේ දී නව සංවර්ධන බැංකුව ආරම්භ කරන අතර එහි මුලස්ථානය චීනයේ ෂැන්හයිහි පිහිටවනු ලබනවා. සාමාජිකයන් පස්දෙනාම මේ සඳහා සමාන මුදලක් ආයෝජනය කර තිබීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකියි.
බ්‍රික්ස් සමුළු
2009 වසරේ සිට වාර්ෂිකව බ්‍රික්ස් සමුළු පැවැත්වෙන අතර ඒවා සාමාජික රටවල තට්ටු මාරු ක්‍රමයට පවත්වනු ලබනවා. මේ වන විට බ්‍රික්ස් සමුළු 10ක් පවත්වා ඇති අතර 10වන බ්‍රික්ස් සමුළුව 2018 වසරේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු අතර 11වන බ්‍රික්ස් සමුළුව 2019 වසරේ නොවැම්බර් මාසයේ දී බ්‍රසීලයේ දී පැවැත්වීමට නියමිත යි. සංවිධානයේ තාවකාලික සභාපතිත්වය සාමාජික රටවල් අතර වසරෙන් වසර මාරු වෙන අතර යම් කිසි වසරක සමුළුව අවසන් වීමෙන් පසුව එහි සභාපතිත්වය හිමිවෙන්නේ ඊළඟ වසර සමුළුව පැවැත්වීමට නියමිත රටට යි. ඒ අනුව මේ වන විට බ්‍රික්ස්හි තාවකාලික සභාපතිත්වය උසුලන්නේ බ්‍රසීලය යි.