Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘96 ලෝක කුසලානය දිනූ සිංහ පෝතකයන් වර්තමානයේ කොහිද? – පළමු කොටස

1996 ලෝක කුසලානය ලංකාවට ගෙන එන්නට කැපවී කටයුතු කළ සිංහ පෝතකයන් වර්තමානයේ කරන්නේ කුමන කටයුතුද? ඔවුන් දිගටම ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වී කටයුතු කරනවාද? නැත්නම් වෙනත් ක්ෂේත්‍ර වලද? අපි පොඩ්ඩක් ඒ පිළිබඳව සොයා බැලුවා.

අර්ජුන රණතුංග

අර්ජුන රණතුංග (The Cricket Monthly)

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අර්ජුන රණතුංග ගැන අමුතුවෙන් හදුන්වන්න දෙයක් නැති තරම්. අර්ජුන ලෝක කුසලානේ දිනපු කාලේ අපේ ටීම් එකේ අයට අද වගෙ කෝටි ගණන් ගෙව්වේ නෑ.  ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තම පෞද්ගලික මුදලින් කන්න බොන්න දීලා තමන්ගේ ගෙදර නවත්වාගෙන  පුහුණුවීම් කටයුතු වලට එක්කන් ගිය නායකයෙක් වශයෙනුයි 1996 ජයග්‍රාහී කණඩායමේ ක්‍රීඩකයන් අර්ජුනව හදුන්වන්නේ.

කඩුළු අතර දිවීම වෙනුවට කඩුලු අතර ඇවිදීමේ කලාව හදුන්වා දුන් අර්ජුන 1996 ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය දරමින් අවසන් තරඟයේදී ඕස්ට්‍රේලියානුවන්ට අමතක නොවෙන පාඩමක් උගන්වනවා.

නමුත් 1999 වසරේදී ලෝක ශුරතා තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වු දුර්වලතා හේතුවෙන් රණතුංගට න‍ායකත්වය අහිමි වෙනවා. නමුත් එම වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රිඩකයන් ලෙස නම් කෙරුණු ක්‍රීඩකයන් 5 දෙනා අතරට ඔහුද අයත් වෙනවා. අර්ජුන රණතුංග 2001 වසරේදී ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගන්න අතර ඉන් පසු දේශපාලනයට පිවිසෙනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක නායකත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණ ඔස්සේ දේශපාලනයට පිවිසෙන ඔහු එම රජයේ නියෝජ්‍ය සංචාරක ඇමති පදවියට පත්වෙනවා. වර්තමානයේ  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව එතරම් සතුටකින් පසු නොවෙන අර්ජුන ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශ කරනවා. “පසුගිය කාලේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව හුඟක් දුරට විනාශ වී ගියා. ක්‍රීඩා පිට්ටනි හැදුවත් ක්‍රීඩකයන් හදලා නෑ. මම ඒ පිළිබඳව කලකිරීමෙන් ඉන්නේ.”

සනත් ජයසූරිය

සනත් ජයසූරිය (Zee News)

1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවති කාලයේ සනත් ජයසූරිය ඔහුගේ උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් තරඟවල පන්දුවට පහර දීමේ විප්ලවයක් ඇති කළ තරුණ ක්‍රීඩකයෙක්.

මෙහිදි සනත් භාවිතා කළ උපක්‍රමය වන්නේ පළමු ඕවර කිහිපය තුළ පන්දු යවන්නන්ගේ සෑම පන්දුවක්ම පිටියේ සෑම අන්තයකටම එල්ල වෙන ලෙස දිගට හරහට පහර එල්ල කරමින් ඔවුන් මානසිකව දුර්වල කිරීමයි. ලෝක කුසලානය ජයගැනීමට මූලික හේතුවක් වූ සනත්ගේ මෙම ක්‍රමය පිළිබඳව ග්ලෙන් මැක්ග්‍රාත් මෙසේ සඳහන් කරනවා.  “ඔහුගේ දැවැන්ත ඉනිමයන් විසින් 1996 ලෝක කුසලාන තරඟාවලියේ පළමුවෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළ යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳ සැමගේ අදහස් වෙනස් කළා”

පසුව ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ කටයුතු කළ ඔහු 2015 අප්‍රේල් මාසයේදී  ජාතික තේරීම් කමිටු සභාපති ධූරයෙන්  ඉල්ලා අස්වීමට තීරණය කරනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත යොමු කරනවා. 2016 වසරේ නැවතත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කරන අතර ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය පවසන ආකාරයට සිව් දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙසයි ඔහුව පත් කරන්නේ.

වර්තමානයේදී සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සමාජ සේවකයෙකු ලෙසද කටයුතු කරන අතර ශ්‍රි ලංකාවේ ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව ඔහු විසින් ඉටු කරන මෙහෙවර උදෙසා එක්සත් ජාතීන් මඟින් විශේෂිත ගෞරව තනතුරකින්ද පිදුම් ලබනවා.

2010 වසරේ මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙන සනත් ජයසූරිය 2013 වසරේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත් වෙනවා. 2015 වසරේ ඔහු ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

අසංක ගුරුසිංහ

අසංක ගුරුසිංහ (Critiquing Cricket)

1996 ලෝක කුසලාන තරඟාවලියේදී පිටිය විචිත්‍රවත් කළ මේ හයේ හතරේ සද්දන්තයා පිළිබඳව අපි කවුරුත් හොදින් දන්නවා. ලෝක කුසලානයෙන් වසර විස්සක් පමණ යනතුරු ඕස්ට්‍රේලියාවේ වාසය කළ අසංක ගුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2017 මාර්තු මාසයේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය පිරිනමනවා.

2019 ලෝක කුසලානය දක්වා කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් ක්‍රිකට් තේරීම් කමිටුව හා පුහුණුකාර මණ්ඩලය සමඟ එක් වී තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවීම ගුරුසිංහට පැවරෙන කාර්යයන් වෙනවා.

අරවින්ද ද සිල්වා

අරවින්ද ද සිල්වා (Cricinfo)

1996 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේ ඔහු ජයග්‍රාහී බල කණුවක් ලෙස නැඟී සිටින්නේ  විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ඕස්ට්‍රේලියා‍වට එරෙහිව ලබා ගනිමින් හොඳම ක්‍රීඩකයා වෙමින්.

ඒ අවධියේ දී ඔහුට අභියෝගයක් වූයේ ඉන්දියානු කණ්ඩායමේ සුනිල් ගවස්කාර් හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ රිකී පොන්ටින් පමණක් බවයි සදහන් වෙන්නේ. 2003 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගත් අතර 2016 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය මත අරවින්ද ද සිල්වා සභාපතීත්වය දරණ තවත් සමාජිකයන් සිව් දෙනෙකු ඇතුළත් මණ්ඩලයක් පත් කරනවා.

මාවන් අතපත්තු

මාවන් අතපත්තු (Read Sri Lanka)

2014 සැප්තැම්බර් මාසයේදී නව පුහුණුකරු තෝරා ගැනීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශය මත 1996 ලෝක කුසලානය නියෝජනය කළ මාවන් අතපත්තු හෙවත් එකළ ඉහළ තාක්ෂණයකින් පන්දුවට පහර දෙන්නන් අතරේ ප්‍රමුඛ ස්ථානයක් දිනා ගත් විශිෂ්ටයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු බවට පත් වෙනවා.

මේ අනුව 1999 දී රෝයි ඩයස් පුහුණුකරු තනතුර හෙබවීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර පුහුණුකරු තනතුරට පත්කෙරුණු පළමු අවස්ථාව මෙයයි. නිත්‍ය පුහුණුකරු වීමට ප්‍රථමව මාවන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු අංශය භාර පුහුණුකරු ලෙසයි.

අනතුරුව පැවැති එංගලන්ත සංචාරයේදී ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වන්නේ  පුහුණුකරුවා වශයෙන් මාවන් අතපත්තුගේ මඟ පෙන්වීම හේතුවෙන්.

පසුව ඔහු 2015 සැප්තැම්බර් මාසයේදී තම තනතුරෙන් ඉල්ලා අස් වෙන්නට තීරණය කරනවා.

රොමේෂ් කලුවිතාරණ

රොමේෂ් කලුවිතාරණ (Colombo Gazette)

කණ්‌ඩායමේ පිතිකරුවෙක්‌ වගේම කඩුලු පිටුපස සිට විශාල රාජකාරියක්‌ කළ ක්‍රීඩකයෙක්‌ට ලෙස 1996 ලෝක කුසලාන තරඟාවලිය පුරාවටම දස්කම් දැක්වූ විශිෂ්ට ක්‍රීඩකයා වෙන කිසිවෙක් නොව ආදරේට කළු යන නාමයෙන් ලොවක්‌ හඳුන්වන රොමේෂ් කලුවිතාරණයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණු කරුවෙක් ලෙස වසර 11ක් කටයුතු කළ රොමේෂ් කලුවිතාරණ 2016 මාර්තු මාසයේදී තේරීම් කමිටු සාමාජිකයකු ලෙස වැඩ භාර ගනු ලබනවා. තවද වර්තමානයේ ඔහු උඩවලව ප්‍රදේශයේ සංචාරක හෝටල් කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයෙක්ද වෙනවා.

2017 අප්‍රේල් මාසයේදී පවතී ආසියානු ශුරතාවලියේ තාක්ෂණික කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරන්නේ රෝමේෂ් කළුවිතාරණයි.

තම ක්‍රීඩා දිවියේ කොතරම් අත්දැකීම් වලට මුහුණ දී තිබුනත් කිසිදා අමතක නොවන අත්දැකීම ලෙස කලුවිතාරණ හදුන්වන්නේ ලෝක කුසලානය දිනු අවස්ථාවයි.

ඉතින් 96 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩකයන් පිළිබඳව තවත් විස්තර ඉදිරියේදී ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුවෙන් අපි දැනට නවතිමු.

මුලාශ්‍ර- Wikipedia, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය, දිනමිණ පුවත්පත

කවරයේ පින්තුරය: The Cricket Monthly

Related Articles