පසුගිය සතිවලදී බුද්ධිමය දේපල නීති ක්ෂේත්‍රය පිලිබඳව මෙන්ම පේටන්ට් නීතිය පිළිබඳව සහ ප්‍රකාශන හිමිකම් නීතිය පිළිබඳව කෙටි හැඳින්වීමක් අප ඔබ වෙත ගෙන ආවෙමු. පොරොන්දු වූ පරිදිම අද අපි ඔබට හැදින්වීමක් ලබා දෙනුයේ බුද්ධිමය දේපළ ක්ශේත්‍රය තුළ වඩවඩාත් කථාබහට ලක් වන වැදගත් මෙන්ම ජනප්‍රිය ක්ෂේත්‍රයක් වන වෙළෙද ලකුණු හා සබැදි නීතිය හෙවත් “Trademark Law” පිළිබදවයි.
වෙළෙද ලකුණක් යනු කුමක්ද?
යම්කිසි ආයතනයක් හෝ ආයතනයක් විසින් නිපදවනු ලබන භාණ්ඩ හෝ සේවාවන් පිලිබදව විස්තර ඉදිරිපත් කිරීමට යොදාගැනෙන ලකුණු, වචන හෝ වාක්ය ඛණ්ඩ වෙළෙද ලකුණු හා සේවා ලකුණු ඛණ්ඩ ලෙස හදුනාගත හැකිය. Proprietary rights හෙවත් අයිතිය හගවන සලකුණක් ලෙස trademarks හා service marks හදුනාගත හැකිය. වෙළෙද ලකුණු නීතියේ ප්‍රධාන අරමුණ වනුයේ එක් ආයතනයක් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් ආයතනයක් මගින් නිපදවන භාණ්ඩයකින් හෝ සේවාවකින් වෙන්කර හදුනාගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදීමයි.
ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කළ හැක්කේ ද්විමාන (2D) සලකුණු පමණි. නමුත් මේ වන විට ලොව පුරා විවිධ රටවල් තුළ ත්‍රිමාන සලකුණු (3D) මෙන්ම පාට වර්ග සහ නව සුවද විලවුන් වල සුගන්ධයන්ද (Colours and smell marks) ලියාපදිංචි කිරීමේ හැකියාව ඇත.
ඉතිහාසය
වර්තමානයේ වැඩිපුර අසන්නට හා දකින්නට ලැබෙන්නක් වුවද, වෙළෙද ලකුණු වල ඉතිහාසය ඉතා ඈතට දිවයන්නක් බව ඔබ දැනසිටියාද? ඉපැරණි ග්‍රීක, රෝම හා මිසර ශිෂ්ටාචාරයන් තුල වාසය කළ මැටි භාණ්ඩ නිෂ්පාදකයන් තමා නිපදවන මැටි භාණ්ඩ මත තමාට ආවේණික සලකුණක් තැබීමට පුරුදුව සිටියහ. ඒවා “Potter’s Mark” ලෙස හඳුන්වන ලදි. වර්තමානයේ අප කවුරුත් හොඳින් හඳුනන වෙළෙඳ ලකුණු හෙවත් Trademarks සංකල්පයේ බීජයන් එම ශිෂ්ටාචාරයන් තරම් ඈතට දිවෙන බව ඉන් පැහැදිලිවේ.
මේ අනුව පෙනී යන කරුණක් වන්නේ මිනිස් මනසෙහි හටගන්නා කලාත්මක හා නව්‍යතාවයෙන් යුතු සංකල්පයන්හී අග්‍ර ඵලය සුරක්ශිත කිරීමට හා ඒවාට ආවේණික වටිනාකමක් ලබාදීමට ඈත අතීතයෙහි පටන්ම මිනිසා විසින් ක්‍රියා කොට ඇති බවයි. එසේ කිරීමේ මූලික පරමාර්ථය වන්නේ අදාල භාණ්ඩයෙහි සැබෑ අයිතිකරුවාගේ අයිතීන් සහ ආර්ථිකමය බලාපොරොත්තු සුරක්ෂිත කිරීමයි.
සමාජ ජාල වෙබ් අඩවි, අන්තර්ජාලය, රූපවාහිනිය වැනි දෑ අලෙවිකරණ කටයුතු සදහා යොදාගන්නටත් පෙර සිටම වෙළෙද ලකුණු භාණ්ඩ ප්‍රචාරනය සදහා යොදාගන්නා ලදි. මේ වනවිට ශතකයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ තම වෙළෙද ලකුණ ජන හදවත් තුල සටහන් කරන්නට සමත්ව ඇති ආයතනද බොහොමයකි. ඒ අතුරින් කොකා කෝලා සමාගමේ සලකුණ සහ ලීවයිස් ඩෙනිම් සමාගමේ සලකුණ කැපී පෙනේ.
ශ්‍රී ලංකාවේ නීති තත්වය
වෙළෙද ලකුණක් සදහා නීතිමය පිළිගැනීමක් ලබා දීමේදී සළකා බැලෙන ප්‍රධානතම කරුණ වන්නේ අදාල සලකුණ වෙනත් සලකුණු වලින් වෙන් කොට හදුනාගත හැකිද යන්න හෙවත් “distinctiveness” යන ගුණයයි. එමෙන්ම “distinctiveness” හෙවත් සවිස්තරාත්මක බවින් වැඩි සලකුණු ලියාපදිංචි කළ නොහැක. ඊට හේතුව වන්නේ අදාල සලකුණ පාවිච්චි කිරීමට නීතිමය අවසර හිමිවන්නේ එය අනෙක් සලකුණු වලින් වෙන්කොට හදුනා ගැනීම පිණිස පමණක් වන හෙයිනි. එමෙන්ම කිසිදු ආගමකට හෝ සමාජයේ පිළිගත් සම්මත ආචාර ධර්මයන්ට හෝ සදාචාරාත්මක බවට පටහැනි කිසිදු සලකුණක් ලියාපදිංචි කිරීමටද මෙරට නීතියෙන් අවසර ලබා දී නැත. මැක් ඩොනල්ඩ්ස්, KFC සහ ඔඩෙල් වැනි ජනප්‍රිය වෙළෙද නාමයන් අවභාවිතා කොට ජනතාව නොමග යවමින් වෙළෙදාම් කටයුතු කිරීම ද නීතිවිරෝධී වේ.
මෙරට නීතියට අනුව වෙළෙද ලකුණක් ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවුනද ලියාපදිංචි කිරීමෙන් එම වෙළෙද ලකුණට ලබාගතහැකි නීතිමය සහනයන් වැඩි කරගැනීමට හැකියාවක් පවතී. ලියාපදිංචි නොකරන ලද සලකුණක් අසාධාරණ ලෙස යොදාගන්නා පුද්ගලයෙකුට නඩු පැවරිය හැක්කේ “අසාධාරණ තරගය” වැනි නඩු නිමිත්තක් නිමිති කොටගෙනය. මෙලෙස වෙළෙඳ ලකුණක් ලියාපදිංචි කිරීම තුලින් එම ලකුණ සඳහා දස වසරක අයිතියක් ලබා ගත හැකිය. තවද, දස වසරකට වරක් මෙම සලකුණෙහි ලියාපදිංචිය යාවත්කාලීන කරගැනීමේ හැකියාවද මෙරට නීතිය විසින් සපයා දී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා බුද්ධිමය දේපල කාර්යාලය (NIPO – National Intellectual Property Office) ජනතාවට තරයේ ප්‍රකාශ කර සිටින්නේ තම වෙළෙද ලකුණු ලියාපදිංචි කිරීම වඩාත් යෝග්‍ය බවයි. එසේ ලියාපදිංචි කිරීමෙන් අදාල සලකුණටම අනන්‍ය වන අයිතීන් ලබාගත හැකි අතර වෙළෙදපොල අනෙකුත් තරගකරුවන් විසින් තම සලකුණ හෝ ඒ හා සමාන සලකුණු යොදාගනිමින් ජනතාව නොමග යැවීම් වලට එරෙහිව නීතිමය පියවරද ගැනීමට අවස්ථාවන් උදාවේ. වෙළෙදපොල තුලදී පාරිභෝගිකයාට තමාට අවශ්ය නියම භාණ්ඩය සොයාගැනීම පහසු කරවීම මෙහි අරමුණයි.
බුද්ධිමය දේපල පිලිබඳ අයිතීන් අනන්‍ය අයිතීන් හෙවත් වෙනත් යමෙකුට භාවිතා කළ නොහැකි අයිතීන් ලෙස ලබා දුන්නද, ඒ තුලින් වෙළෙඳපොලතුල යම් යම් ඒකාධිකාරීන් ඇතිවීම වැළැක්වීමද ඉතා වැදගත්වේ. තවද, එක් සලකුණක් වෙනත් ආයතනයක් විසින් යොදාගැනීම වැළැක්වීමට අවශ්‍ය පියවරද වඩාත් යුහුසුළුව ගත යුතුවේ.
මහරාජා ආයතනය සතු MTV චැනලය මෑතකදී TV-one නමින් නැවත නම් කරන්නට සිදු වූයේද මහරාජා ආයතනය විසින් තම වෙළෙද ලකුණ වන “M” සලකුණ අසාධාරණ ලෙස භාවිතා කරන ලද බවට MTV ආයතනය භාර ඇමරිකානු කේබල් සහ සැටලයිට් ආයතනයක් වන viacom ආයතනය විසින් නඩු පැවරූ හෙයිනි. රිචඩ් සමාගම විසින් මුද්‍රණය කොට විකිණූ “ඩිස්නි” කාටූන් චරිත සහිත කවරය ඇති පොත් විකිනීම මෙන්ම කොකාකෝලා ආයතනය විසින් නිපදවන ලද සිසිල් බීම වර්ගද විකිණීම තහනම් කරනු ලැබූයේ වෙළෙද ලකුණු නීතිය යටතේ පවරන ලද නඩු හේතුවෙනි. මෑතකදී වෙළෙදපොළට නිකුත් කරන ලද පැරසිටෝල් වේදනා නාශකය විකිණීමට එරෙහිව පැනඩෝල් නිපදවන GSK සමාගම විසින් තම වෙළෙද ලකුණ අසධාරණ ලෙස යොදාගත් බවට පැරසිටෝල් සමාගමට එරෙහිව නඩු පවරන ලද්දේද වෙළෙද ලකුණු නීතිය යටතේ ය.
බුද්ධිමය දේපල යනු මානව අයිතිවාසිකමකි
වර්තමානය වන විට ස්පෘශ්‍ය දේපල වලට වඩා අස්පෘශ්‍ය දේපල වල අගය ඉහල යමින් පවතී. ඒවාට හිමිවන ආර්ථික වාසි සහ ලාභයන්ද බොහෝය. ශ්‍රමය පදනම් කරගත් ආර්ථිකයන් හෙවත් labour based economies තුළින් ඉවත්ව බුද්ධිය පදනම් කරගත් වෙළෙදපොල ආර්ථිකයන් වෙත හෙවත් knowledge based economies වෙත ගමන් කිරීමට මේ වන විට මුළු ලෝකයාම වෙර දරමින් සිටී.
එබැවින් අවසාන වශයෙන් කිව යුතු වන්නේ, බුද්ධිමය දේපල නීතිය යනු කිසිසේත්ම අනෙක් නීතිමය විෂය ක්ෂේත්‍රයන්ගෙන් වියුක්ත වූවක් නොවන බවයි. මිනිස් නිර්මාණයන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව මානව හිමිකම් නීතිය සමගින් නිසඟයෙන්ම බැඳී තිබේ. ආර්ථිකමය, සදාචාරාත්මක, සංස්කෘතිකමය මෙන්ම දේශපාලනික මුහුණුවරකින් මේ දෙස බැලීම ඉතා වැදගත් වන්නේ එහෙයිනි. මෙලෙස තම භාණ්ඩය හෝ සේවාව ප්‍රචලිත කිරීම සදහා යොදාගන්නා වෙළෙද ලකුණ හරහා වෙනත් අයෙකු අනර්ථකාරී ලෙස ධනය ඉපැයීමට පෙළඹේ නම් (මෙම සංකල්පය unjust enrichment හෙවත් අයුතු ධනවත් වීම නමින් හැදින්වේ) ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙරට බුද්ධිමය දේපල පනත මගින් අවසර ලබා දී ඇත්තේ එහෙයිනි.
කවරයේ ඡායාරූපය – Emory Legal