සුඛ මරණය එහෙම නැත්නම් යුතනේසියාව කියන්නේ මොකක්ද? සුව කළ නොහැකි, අතිශය වේදනාකාරී තත්ත්වයකින් පෙළෙන මනුෂ්‍යයෙකු හෝ සත්ත්වයෙකු වේදනා විරහිතව මරණයට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි සරලවම සුඛ මරණය කියන්නේ. 1640 – 1650 වගේ දුරාතීතයේ ග්‍රීකයෙන් මතුවූ මේ වචනය මෑත යුගයේ ලොව පුරා සීඝ්‍රයෙන් කතාබහට ලක්වෙන මාතෘකාවක්. ඒ නිසා මේ ලිපියේ අරමුණ සුඛ මරණය පිළිබද ඔබට අවබෝධයක් ලබාදීම.
සුඛ මරණය සම්බන්ධ මූලික කරුණු
සුඛ මරණයට අවස්ථාව ඉල්ලමින් මරණයට ඇති අයිතිය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් ඉස්මතුවීම 20 වන සියවසේ දෙවන භාගයේදී සිදු වුණා. ඒ එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ආශ්‍රිතව. ඊට පෙර ජර්මනියේ නාසිවරුන් ඔවුන්ගේම යුතනේසියා වැඩසටහනක් පවත්වාගෙන ගියා. එහිදී කුඩා දරුවන්, වයස්ගතවූවන් වැනි සෞඛ්‍ය සම්පන්න නොවූවන් හට මිය යාමට අවකාශය ලබා දී තිබුණා.
කෙසේ නමුත් යුතනේසියාව ප්‍රධාන ආකාර දෙකකින් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා.
1) සක්‍රිය සුඛ මරණය
වෛද්‍යවරයෙකු හෝ හෙදියකගේ සහභාගීත්වයෙන් අසනීපයට පත් ව සිටින රෝගියාට මිය යාමට අවශ්‍ය ඖෂධ ලබා දීම හෝ ජීවිතය පවත්වා ගැනීමට ආධාර කරගනු ලබන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම හෝ මෙහිදී සිදු කරනවා.
2) අක්‍රිය සුඛ මරණය
මේ අවස්ථාවේ දී සිදු වෙන්නේ රෝගියා තමන්ට ජීවත්වීමට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා නොගෙන මරණය පතා බලා සිටීමයි.
මේ කවර ආකාරයක දී වුව ද මතු වන ගැටලුව නම් සුඛ මරණය සිදු කරනවාද එසේ නම් ඒ කවර දිනකදීද යන්න තීරණය කිරීමේ වගකීම කා සතුද යන්න. ඇතැම් අවස්ථාවලදී රෝගියා ලබා දෙන ලිඛිත කැමැත්ත මත හෝ ඥාති තීරණය මත හෝ මේ සදහා අවසර ලබා දීම සුලබව දැකිය හැකියි. සුඛ මරණයට අවසරදීම පිළිබද ගැටලුව තීව්‍ර කිරීමට හේතු වූ තවත් සාධයක් නම් වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමගින් රෝගියාව ප්‍රතිකාර ලබා දෙමින් හෝ යන්ත්‍රානුසාරයෙන් හෝ දිගු කලක් ජීවත් කරවීමේ හැකියාව පැවතීමයි.
විවිධ රටවල නීති තත්ත්වය
2016 වසරේ මැද භාගය වන විට බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්ෂෙම්බර්ග් සහ කොලොම්බියාව යන රටවල සුඛ මරණය නීතිගතයි. ඉන්දියාවේ සහ ස්වීඩනයේ අක්‍රිය සුඛ මරණය පමණක් නීත්‍යනුකූලයි. ස්වීඩයේ මෙම තත්ත්වය ඇති කළේ අධිකරණ තීන්දුවක් හරහා වීම සුවිශේෂීයි.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ටර්කි, ෆින්ලන්නය, ලැට්වියා, ලිතුවේනියා, පිලිපීනය සහ නොර්වේ යනාදී රටවල සුඛ මරණය තවමත් තහනම්. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත අනුව වෙනස් නීති තත්ත්වයක් පවතින්නේ.
ලොව කතාබහට ලක් වූ සුඛ මරණ
1 – Brittany Maynard කැලිෆෝනියාවේ පදිංචිව සිටි 29 හැවිරිදි විවාහක කාන්තාවක්. ඇය මොළයේ පිළිකාවකින් විදි දැඩි පීඩාව ඉවසා ගත නොහැකිව 2014 වසරේ දී ඔරෙගන් ප්‍රාන්තයට පදිංචියට ගියේ එම ප්‍රාන්තයේ ගෞරවාන්විත මරණයට ඉඩ දෙන නීති තිබූ නිසායි. ඇය එහිදී තම ජීවිත ගමන අවසන් කළා. කෙසේ නමුත් මෙම සිදුවීම පාදක කොට ගෙන කැලිෆෝනියා ප්‍රාන්තයද සුඛ මරණය නීතිගත කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.
2 – Marc Verbessem සහ Eddy Verbessem නම් නිවුන් සහෝදරයන් දෙදෙනා 2012 වසරේ දී සුඛ මරණය පතා කළ ඉල්ලීම සාර්ථක වුණා. උපතේදී බිහිරි වූ මොවුන් කෙමෙන් පූර්ණ අන්ධභාවයටද පත් වන බව දැන ගත් පසුවයි ඔවුන් මෙම ඉල්ලීම කළේ. 45 හැදවිරිදි බෙල්ජියම් ජාතික මොවුන්ගේ මරණය දැඩි කතාබහට ලක් වූයේ මොවුන් කායික පීඩාවකින් නොපෙලුණ නිසා.
3 – 2013 වසරේ දී Timothy Bowers නම් 32 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයා මුව දඩයමේ යාමේදී සිදු වූ අනතුරක් නිසා එකතැන් ව රෝහලක් තුළ යන්ත්‍රානුසාරයෙන් ජීවත් වුණා. වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ඔහුව ශල්‍යකර්මයකට භාජනය කළද නැවත ඇවිදීමට හෝ රෝහලකින් පිටත ජීවත් වීමට හෝ නොහැකි බවයි. ඔහුගේ සහෝදරිය සහ වෛද්‍යවරුන් විසින් මෙසේ ජීවත්වීමට ඔහුගේ කැමැත්ත විමසූ විට හිස වනා එසේ ජීවත්වීම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔහුගේ යන්ත්‍ර ඉවත් කළ අතර ඉන් පැය 5කට පමණ පසුව ඔහු ජීවිතයෙන් සමුගත්තේ සිය ගැබිණි බිරිද ද තනි කරමිනි.
ආගමික මතවාද
සුඛ මරණය සම්බන්ධයෙන් විවිධ ආගම් විවිධ මතවාදයන් ඉදිරිපත් කර ඇති බව දැකිය හැකියි. ඒ අතරින් බොහොමයක් ආගම් මෙය සදාචාර විරෝධී ලෙස සලකනවා. ඇතැම් ආගම් මෙය පිළිගන්නේ මිනීමැරුමක ආකාරයක් ලෙසයි.
නිල රෝමානු කතෝලික පල්ලිය මෙය අපරාධයක් ලෙස සලකමින් දැඩි විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් අතට රෙපරමාදුවාදීන් මේ සම්බන්ධයෙන් වඩා ලිබරල් මතයක් දරනවා.
හින්දු මතධාරීන් මධ්‍යස්ත තත්ත්වයක් ප්‍රකාශ කරමින් දක්වන්නේ මනුෂ්‍යයෙකුට වේදනාකාරී ජීවිතය හමාර කිරීමට උදව් කිරීම යහපත් වුණත් එය මරණය සහ පුනර්භවය නැමැති චක්‍රයට මැදිහත්වීමක් වන බවයි.
ඉස්ලාම් ආගමික කණ්ඩායම් සියලුම ආකාරයේ සුඛ මරණය සිදු කිරීම් දැඩි ලෙස තහනම් කර තිබෙනවා. එසේ වුවද ජපානයේ ෂින්ටෝ ආගමිකයන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් විශ්වාස කරන්නේ මනුෂ්‍යයෙකු මරණය ඉල්ලා සිටී නම් එයට උදව් කළ යුතු බවයි.
මෙම විවිධ ආගමික මතවාද මත පදනම් වෙමින් මෙන් ම වෙනත් විවිධ හේතු දක්වමින් සුඛ මරණයට පක්ෂව සහ විපක්ෂව සහය දක්වන පිරිස් දැකිය හැකියි. පක්ෂ – විපක්ෂ මත දැක්වීමේ කතිකාවත වඩාත් ඉස්මතු වූයේ Terri Schiavo සිද්ධියේ දීය. ඇයගේ සැමියා යුතනේසියාව ලබා දෙන මෙන් අභියාචනා කළ අතර ඇයගේ දෙමාපියන් ඊට වෙනස්ව ඉල්ලීම කරන ලදි. අවසානයේ ජය ගත්තේ ස්වාමිපුරුෂයාගේ ඉල්ලීමයි. කෙසේ හෝ මෙම මතවාදී කණ්ඩායම් තම මතවාදය තහවුරු කිරීමට අවශ්‍ය තර්කනයන් ඉදිරිපත් කරයි.
පක්ෂව ඉදිරිපත් කරන තර්ක
1) සෑම පුද්ගලයෙකුට ම තමන්ගේ ජීවිතයේ අවසානය කවරදාකදැයි තීරණය කිරීමේ අයිතිය පවතී.
2) ජීවිතයේ ගුණාත්මකභාවය පහළ යන විට එම පුද්ගලයාට කායික සහ මානසික වශයෙන් දැඩි වේදනාකාරී පීඩාවක් ඇත.
3) රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ප්‍රතිකාර කිරීමෙන් පවා ජීවත්වීමේ අවස්ථාවක් ලද නොහැකි පුද්ගලයන්ට මරණයට ඉඩදීම තුළින් ජීවත්වීමේ අවස්ථාව පවතින පුද්ගලයන්ට වැඩි අවකාශයක් ලබා දිය හැකියි.
4) ගෞරවාන්විත මරණය වේදනාකාරීව ජීවත්වීමට බල කිරීමට වඩා අනුකම්පා සහගත වේ.
5) සුඛ මරණය රජයේ මැදිහත්වීමෙන් පනවන ව්‍යවස්ථා මගින් ආරක්ෂාකාරීව පාලනය කළ හැකියි.
6) පුද්ගලයන්ගේ තෝරාගැනීමේ නිදහස තුළ තම ජීවිතය පිළිබද තීරණ ගැනීමේ නිදහස ද අන්තර්ගතයි.
විපක්ෂව ඉදිරිපත් කරන තර්ක
1) වෛද්‍යවරුන් තම වෘත්තියේදී ලබා දෙන දිවුරුමට අනුව මෙසේ මරණයට උපකාර කිරීම පටහැනියි.
2) රෝග ලක්ෂණ මරා දැමීමට රෝගියා මරා දමනු වෙනුවට වේදනා නාශක, ගිලන්ශාලා වැනි විකල්ප ප්‍රතිකර්ම පවතී.
3) සුඛ මරණයට අවස්ථාව ලබා දීමෙන් ස්වෙච්ඡා සහගත නොවන මරණයන්ට පවා දොරගුළු විවර විය හැකියි.
උදා: නෙදර්ලන්තයේ 1990 කාලසීමාවේ දී රෝගීන්ගේ ඉල්ලීමකින් තොරව 1000ක් පමණ දෙනා මරණයට පත් කරන ලදි.
4) සුඛ මරණය නීතිගත නෙදර්ලන්තයේ වාර්තා අනුව පෙනී යන්නේ වෛද්‍යවරුන් නිතරම මෙවන් අවස්ථා වාර්තා නොකරන නිසා පාලනය කිරීම අපහසු බවයි.
5) මෙහිදී මරණය සදහා අයිතිවාසිකම එක් අතකින් පිරිනැමීමේදී අනෙක් අතෙන් ව්‍යංගව මරණය සිදු කිරීම සදහා වගකීමක් තවත් පාර්ශවයකට හිමි වීම අගතිගාමීය.
6) මේ හරහා මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අවතක්සේරු වේ.
7) පසුකාලීනව මෙය සෞඛ්‍ය ආරක්ෂණ වියදම් සීමා කිරීමේ ක්‍රමයක් ලෙස යොදා ගැනීමට ඉඩ ඇත.
සුඛ මරණය පිළිබද ලොව පුරා වර්තමාන කතිකාවන මෙයාකාරයෙන් පවතියි. ලංකා නීතිය තුළ තවමත් සුඛ මරණයට නීත්‍යනුකූලභාවයක් ලබා දී නැති බව අවසාන වශයෙන් සදහන් කළ යුතුයි. මේ ගැන ඔබේ අදහස් මොන වගේද? අපිට කියන්නත් අමතක කරන්න එපා.