Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“එයා පිරිමි ළමයෙක්ද ගැහැනු ළමයෙක්ද?”: අපි ලිංගික වර්ධනයේ වෙනස්කම් ගැන කතා කරමු 

“අපේ දෙවැනි දරුවාට ලිංගික අනන්‍යතාව පිළිබඳ වෙනසක් අවශ්‍යයි කියලා දැනගත්තාම අපි තීරණය කළා අපේ උපන්ගම අත්හැරලා යන්න. අපේ නෑදෑයෝ, යහළුවෝ, අපි දන්න කියන හැම කෙනෙක්ම හිටියේ අපේ ගමේ. අපි හිතුවේ නැහැ ඔවුන් මේ ගැන තේරුම් ගනීවි කියලා. මේක එයාලාට කොහොමද විස්තර කරන්නේ කියලත් අපි දැනන් හිටියේ නැහැ,” ශෂී* පැවැසුවාය.

Caption: DSD සහිත දරුවෙකු ලැබීමෙන්, ශෂී* වැනි මාපියන්ට ජීවිත කාලය පුරාම බලපෑමක් ඇතිවිය හැකි ය.

ලෝකයේ දරු උපත් 5,000කින් එකක් ගත්විට ලිංගික වර්ධනයේ යම් ගැටලු සහිත එක් දරු උපතක් සිදු වන බව ගෝලීය වශයෙන් ගණන් බලා තිබේ. ලිංගික වර්ධනයේ වෙනස්කම් (Differences in Sex Development) නැතහොත් පොදුවේ DSD නමින් හැඳින්වෙන තත්ත්වය සහිත දරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා ඉපදී ඇති බවට ලේඛනගත කර ඇත.

ශ්‍රී ලංකාවේ දී, මෙම පුද්ගලයන් රැකබලා ගැනීම සිදුකරන්නේ ළමා අන්තරාසර්ග හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනා ය. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාව, DSD සහිත අවස්ථා පිළිබඳව සැබෑ තත්වය පිළිබිඹු කිරීමක් සිදුනොකරනු ඇත.  

ලිංගික වර්ධනයේ වෙනස්කම් පිළිබඳ සිදුවීම් බොහෝ විට ශ්‍රී ලංකාවේ ලේඛනගත නොවේ. එයට හේතු ගණනාවක් ඇති නමුත් ඒ අතරින් ප්‍රධාන වන්නේ සමාජ අපවාදයෙන් සහ කොන් කිරීමට ලක් වීමෙන් මිදීම සඳහා බොහෝ මව්පියන් සිය දරුවාගේ ගැටලුව නොසලකා හැරීම යි.

මෙම දරුවන්ට සහ ඔවුන්ගේ මව්පියන්ට සිය ජීවිත ගත කිරීමට සිදුව ඇත්තේ කායික සහ මානසික වශයෙන් ඉතා වෙහෙසකර සෞඛ්‍යමය, නීතිමය මෙන්ම සමාජීයය සටන්වල නිරතුරුව නියැළෙමිනි. එසේ වීමට හේතු කුමක්දැයි අපි සොයා බලමු!

ලිංගික වර්ධනයේ වෙනස්කම් යනු මොනවාද?

එය සාමාන්‍යයන් උපතේදීම විද්‍යමාන වේ. පුද්ගලයකුගේ ලිංගිකත්වය හඳුනා ගැනීම, බාහිර ලිංගික අවයව මත පදනම්ව, සාමාන්‍යයෙන් උපතේදීම සිදු වේ. කෙසේ නමුත්, සමහර විරළ අවස්ථාවලදී සාමාන්‍ය පිරිමි හෝ ගැහැනු බාහිර ලිංගික අවයවවලට අනුකූල නොවන ආකාරයේ බාහිර ලිංගික අවයව සහිත දරුවන් ද උපත ලැබිය හැක.

මෙම තත්ත්වය තුන් ආකාරයකින් ප්‍රකාශනය විය හැක.

පැහැදිලිව වෙන්වී නොමැති බාහිර ලිංගික අවයව

පැහැදිලිව වෙන්වී ඇති බාහිර ස්ත්‍රී ලිංගික අවයව

පැහැදිලිව වෙන්වී ඇති බාහිර පුරුෂ ලිංගික අවයව

DSD තත්ත්වයක් සහිත පුද්ගලයකුගේ දැකිය හැකි බාහිර ලිංගික අවයව  


DSD තත්ත්වය හඳුනාගත හැකි ආකාර තුන

1. බාහිර ලිංගික අවයව හරහා පැහැදිලිව පෙනේ. නිදසුනක් වශයෙන්, සාමාන්‍ය ගැහැනු දරුවකුගේ හෝ පිරිමි දරුවකුගේ නොවන, ඒ අතරමැද තත්ත්වයක්  පෙන්නුම් කරන බාහිර ලිංගික අවයව සහිතව ඉපදීම.

2. අභ්‍යන්තර ප්‍රජනන අවයව බාහිර ලිංගික අවයවවලට අනුකූල නොවීම. නිදසුනක් වශයෙන්, බාහිරින් ගැහැනු දරුවකුගේ ස්වරූපය ගන්නා අතර අභ්‍යන්තරයෙන් පිරිමි දරුවකුගේ ව්‍යූහය සහිතව ඉපදීම.

3. සම්ප්‍රදායිකව, පිරිමි පුද්ගලයන් සඳහා වන XY සහ කාන්තාවන් සඳහා වන XX වර්ණදේහවලින් පරිබාහිර වීම. නිදසුනක් වශයෙන් XY වර්ණදේහ සහිතව ඉපදුණු නමුත් සාමාන්‍ය ස්ත්‍රී ලිංගික අවයව සහිතව ඉපදීම.

පුද්ගලයකුගේ ලිංගිකත්වය සහ ලිංගභේදය තීරණය කරන සාධක හෙළිදරව් කිරීමට නවීන විද්‍යාව තවමත් කටයුතු කරමින් සිටී. ලිංගික වර්ධනය සඳහා අංශ හතක් බලපාන බව අපි දැන් දනිමු:

XY වර්ණදේහ, ද්විතියික ලිංගික ලක්ෂණ, හෝමෝනමය ප්‍රතිචාර, හෝමෝන නිපදවීම, බාහිර ලිංගික අවයව, අභ්‍යන්තර ලිංගික අවයව, ලිංගික ග්‍රන්ථි/ ගොනැඩ (වෘෂණ හා ඩිම්බ කෝෂ) යනු ඒවා යි.

ඇස්වල වර්ණය, හිසකෙස්වල වර්ණය සහ ශරීරයේ හැඩය වැනි ලක්ෂණවල විවිධ වෙනස්කම් ඇතිවිය හැකි ආකාරයට ම, මෙම අංශ හතේ අන්තර්ක්‍රියා හේතුවෙන් ලිංගික වර්ධනයේ විවිධ වෙනස්කම් ඇති විය හැක.

නමුත්, බොහෝ සාධක මෙයට බලපෑම හේතුවෙන් සහ මෙම අසාමාන්‍ය වූ ලක්ෂණ නිසා ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරුවන්ගේ ලිංගිකත්වය උපතේදී ම තීරණය කිරීම වෛද්‍යවරුන්ට අපහසු වේ. මේ හේතුවෙන් වෛද්‍යමය වශයෙන් සහ නෛතික වශයෙන් ගැටලු රැසකට මුහුණදීමට මව්පියන්ට සිදු වේ.

අපැහැදිලි ලිංගේන්ද්‍රියක් සහිත දරුවෙක් උපත ලබන අවස්ථාවක, නිසි අධ්‍යයනයකින් තොරව ඔවුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීම වෙනුවට විශේෂඥ වෛද්‍ය උපදෙස්, සුදුසු වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වේ. දරුවාගේ ලිංගිකත්වය පසු කාලයකදී වෙනස් කිරීමට සිදු වුවහොත්, දරුවාට සහ පවුලේ අයට මුහුණ දීමට සිදු වන සමාජ සහ නීතිමය ගැටලු රැසක් මඟහරවා ගැනීමට මෙය උපකාරී වේ.  

දුවෙක් ද පුතෙක් ද?’

මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම, මව්පියන්ට මෙන්ම වෛද්‍යවරුන්ට ද දරු උපතක දී අනිවාර්යයෙන්ම සිදු වූවත්,  ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරුවකුගේ උපතක දී එයට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකියාවක් නැත.

දරුවාගේ ලිංගිකත්වය කුමක්දැයි හඳුනා ගැනීමට අපහසු අවස්ථාවල දී බොහෝ විට සිදු වන්නේ මව්පියන් සහ වෛද්‍යවරුන්, ගැහැනු හෝ පිරිමි යන දෙකෙන් එකක් තෝරාගෙන දරුවාගේ උපත ලියාපදිංචි කිරීම සහ ඒ තෝරාගත් ලිංගිකත්වය අනුව ඔවුන් හදාවඩා ගැනීම යි.

ඇතැම් අවස්ථාවල, දරුවාගේ තත්ත්වය අනුව, ලිංගික අවයව හා සම්බන්ධ ශල්‍යකර්ම අවශ්‍ය විය හැකි ය. තවත් සමහර අවස්ථාවන්හිදී, විශේෂයෙන්ම සංජානනීය අධිවෘක්ක අතිප්ලාස්මීයතාව (Congenital Adrenal Hyperplasia [CAH]) යනුවෙන් හඳුන්වන ‘ලිංගික වර්ධනයේ වෙනස්කම්’ අවස්ථාවේ දී එම තත්ත්වය කල් තබා හඳුනා නොගැනීම සහ ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් දරුවාගේ ජීවිතය පවා අවදානමකට ලක්විය හැකි ය.

“මගේ දරුවා දැඩි ලෙස අසනීප වුණු නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කරන්න සිදු වුණා. එහිදී මගේ දරුවා සංජානනීය අධිවෘක්ක අතිප්ලාස්මීයතාව කියන දුර්ලභ රෝග තත්ත්වයෙන් පෙළෙන බව හොයා ගත්තා,” ශෂී පැවසුවා ය.

 “වෛද්‍යවරුන් අපේ දරුවාට ප්‍රතිකාර කරන විට අපිට දැනගන්න ලැබුණා ඇයට පිහිටා තිබෙන්නේ පුරුෂ ලිංගික අවයව කියලා.”

“විශේෂඥ කණ්ඩායමක් ලබා දුන් දීර්ඝ අධ්‍යාපනයකින් සහ උපදේශනයකින් පසු, අපි සාමුහික තීරණයකට එළඹුණා අපේ දරුවාගේ ලිංගිකත්වය නැවත තීරණය කරන්න. කෙසේ වෙතත්, අපේ දරුවා ඒ වන විටත් ගැහැනු දරුවෙක් විදියට ලියාපදිංචි වෙලා තිබුණා. ඒ නිසා අපිට ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිදු වුණා.”

“අසාමාන්‍ය ලිංගික අවයව සහිතව දරුවෙක් උපත ලබන අවස්ථාවල, ඒ තත්ත්වය හඳුනාගෙන පිළියම් යෙදීම ඉතා වැදගත්,” යයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය සහ සංකීර්ණ හෝමෝන ගැටලු සඳහා වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමුදු නිමාලි සෙනෙවිරත්න සඳහන් කළා ය. 

“දරුවාගේ ලිංගික වර්ධනයේ වෙනසක් තිබෙනවා නම්, උපන් විගසම අලුත උපන් බිළිඳාගේ ලිංගිකත්වය තීරණය කරන්න සාමාන්‍යයෙන් හැකියාවක් නැහැ.”

වෛද්‍ය සුමුදු සෙනෙවිරත්න යනු මෙරට සිටින ළමා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනාගෙන් එක් වෛද්‍යවරියකි. රට පුරා සිටින රෝගීහු, ඇයගේ උපදෙස් සහ සේවාව ලබාගැනීම සඳහා කොළඹට පැමිණෙති.

තීරණයක් ගැනීමට පෙර දරුවාගේ අභ්‍යන්තර ප්‍රජනන අවයව, හෝමෝන සහ ලිංගික වර්ණදේහ හඳුනාගැනීමට අපි හෝමෝන පරීක්ෂණ, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් හෝ අවම වශයෙන් මූලික ප්‍රවේණි පරීක්ෂාව (karyotype) සිදු කරනවා. ඒවායේ ප්‍රතිපල ලැබෙන්න සති කිහිපයක් ගත වෙන්න පුළුවන්.”

ඊළඟට, මේ ගැන මව්පියන් දැනුම්වත් කර අවශ්‍ය උපදේශනය ලබා දෙනවායි වෛද්‍ය සෙනෙවිරත්න පැවසුවා ය. “ලිංගික අනන්‍යතාව පිළිබඳව අවබෝධ කරගන්න තරම් වයසක දරුවන් නොමැතිනම්විශේෂයෙන් ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරු උපතක් සිදුවන වැනි අවස්ථාවක දී, ඔවුන් සුදුසු වයසට පත් වුණ පසු මෙම ගැටලු ගැන සාකච්ඡා කරන්න අපි පසු විපරම් කිරීම සිදුකරනවා.”   

ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව

විශාලත ම අභියෝගයට මුහුණ දීම මෙහිදී සිදු වේ: මව්පියන් සහ වෛද්‍ය වෘත්තිකයන් අනාගතයේ දී දරුවාගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවිය අනන්‍යතාව කෙසේ වර්ධනය වේදැයි යන්න අනුමාන කරන්නේ කෙසේ ද?

බොහෝ අවස්ථාවලදී, පළපුරුදු විශේෂඥයන්ගේ සහ බහුවිධ කණ්ඩායම්වල උපදෙස් ලබාගැනීම සහ විශේෂිත රෝග විනිශ්චයන් අනාවරණය කරගැනීම ඒ සඳහා උපකාරී විය හැකි ය. විශේෂයෙන්ම, දරුවා වැඩිවියට පත්වනවිට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව වඩාත් පැහැදිලි ලෙස විද්‍යමාන වන අතර, කලාතුරකින් ඊටත් පසු අවධියක දී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව ගැන නැවත තීරණය කිරීමට සිදු විය හැක.

වෛද්‍ය සහ නීති ක්ෂේත්‍රවල පවා ලිංගික වර්ධනයේ වෙනස්කම් පිළිබඳ දැනුම අවම මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ, ඒ පිළිබඳ මනා උපදේශනයක් තිබීම ඉතා වැදගත් වේ.

අපිට ඊට වඩා ලොකු ගැටලුවක් තිබුණා. අපිට දරුවාගේ උප්පැන්න සහතිකය සංශෝධනය කරගන්න අවශ්‍ය වුණා. එහිදී දරුවාගේ අලුත් ලිංගිකත්වය සඳහන් කරන්න පුළුවන් වුණේ සංශෝධනයක් විදියට පමණයි. මේ නිසා උප්පැන්න සහතිකය අපි ඔහුගෙන් සඟවා තබා ගෙනයි ඉන්නේයි ශෂී පැවැසුවාය.  

ශ්‍රී ලංකාවේ උප්පැන්න සහතික පිළිබඳ උභතෝකෝටිකය

ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරුවෙක් නීති පද්ධතිය හා සම්බන්ධ වන පළමු අවස්ථාව වන්නේ එම දරුවාගේ උපත ලියාපදිංචි කිරීම යි. අවාසනාවකට, ඔවුන්ට  අගතියකට පත්වීමට සහ වෙනස්කොට සැලකීමකට මුහුණ දීමට සිදු වන පළමු අවස්ථාවත් එය යි. 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උප්පැන්න සහතිකයක් 

ශ්‍රී ලංකාවේ දී උප්පැන්න සහතික නිසැක වශයෙන් සංශෝධන කළ හැකි නමුත්, එම ක්‍රියාවලියේ අඩුපාඩු තිබේ. උප්පැන්න සහතිකය සංශෝධනය කළ හැකි නමුත්, එහි උපතේ දී ලියාපදිංචි කළ ස්ත්‍රී පුරුෂ භාවය සහ නම මෙන්ම සංශෝධනයක් වශයෙන් එක්කළ ස්ත්‍රී පුරුෂ භාවය සහ නම යන දෙආකාරය ම පැහැදිලිව  සඳහන් කරයි. මෙයින් අදහස් වන්නේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරන පුද්ගලයකුගේ නම් දෙකම, සහ ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකම උප්පැන්න සහතිකයේ සඳහන් වන බව යි.

උදාහරණයක් වශයෙන්, දේවක මිහිරංග යනුවෙන් ලියාපදිංචි වූ පිරිමි දරුවකුට ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිතව උපත ලැබූ නිසා ඔහුගේ නම දේවිකා මිහිරාණි ලෙස සංශෝධනය කිරීමට අවශ්‍ය නම්, දේවක මිහිරංග යන නම ඉදිරියෙන් අලුතෙන් තෝරාගත් නම දේවිකා මිහිරාණි ලෙස ලියැවෙනු ඇත.

දරුවා ලොකු මහත් වන විට, පාසලට ඇතුළත් වීම, ජාතික හැඳුනුම්පත සඳහා අයදුම් කිරීම, විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම, රැකියා සම්බන්ධ කටයුතු වැනි බොහෝ දෑ සඳහා උප්පැන්න සහතිකය අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ දරු උපතක් සිදු වී මාස තුනක් ඇතුළත එය ලියාපදිංචි කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. කෙසේ වෙතත්, එය වසරකට හෝ වැඩි කාලයක් දක්වා කල් දැමිය හැකි අතර එවන් අවස්ථාවලදී උපත ලියාපදිංචි කිරීමේ දී රුපියල් 60ක ගාස්තුවක් අයකරනු ලැබේ.

වෛද්‍ය නිර්දේශය සහ අනෙකුත් අදාළ ලිපිලේඛන ඉදිරිපත්කර උපතක් ලියාපදිංචි කිරීම ප්‍රමාද කිරීම සඳහා ක්‍රියා පටිපාටියක් ඇති බව බොහෝ මව්පියෝ නොදනිති. ශල්‍යකර්මයක් සිදු කිරීම අවශ්‍ය වන, නමුත් වයස අවුරුදු තුනක් පමණ වන තෙක් එය සිදු කළ නොහැකි අවස්ථාවලදී එම ක්‍රියාපටිපාටිය වැදගත් වේ.

“අපි නියමිත කාලයට අපේ දරුවාගේ උපත ලියාපදිංචි කළා. නමුත් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කළාට පසුව තමයි අපිට අවබෝධ වුණේ උප්පැන්න සහතිකය වෙනස් කරන එක මොන තරම් අසීරු කාර්යයයක් ද කියලා,” අසංක* පැවසීය. 

“උප්පැන්න සහතිකයේ පිරිමි සහ ගැහැනු යන දෙකම සඳහන් වී තිබීම නිසා මගේ දරුවාට වෙනස් ආකාරයකට සැලකීම, අවමන් කිරීම, හිරිහැර සහ කොන් කිරීම වැනි දේවල්වලට මුහුණ දෙන්න වෙන එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙන්න විතරයි මට පුළුවන්.”

මෙය, වෙනස් කොට සැලකීම ඉස්මතුවන තවත් එක් අවස්ථාවකි. රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ලිඛිත අයදුම්පතක් යොමු කිරීම හරහා උප්පැන්න සහතිකයේ සංශෝධන සිදු කිරීම මේ වන විට සිදු කළ හැකි ය. කෙසේ වෙතත්, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගිකත්වය වෙනස් කිරීමේදී දරුවාට කලින් පවරා ඇති ලිංගිකත්වය මකා දැමීමක් සිදු නොවේ. නව වෙනස් කිරීම් සිදුකළ හැක්කේ එකතු කිරීමක්/සංශෝධනයක් ලෙස පමණි.

“මෙයින් අදහස් වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම සෑම විට ම උප්පැන්න සහතිකයේ සලකුණක් වන බව යි. වෙනසක් වෙලා තියෙන බව හැම කෙනෙක් ම දැන ගන්නවා. ඒ වගේම, ලිංගික වර්ධනයේ වෙනස්කම් නිසා වෙනස්කොට සැලකීමට ලක් වූ පුද්ගලයෙක් එවැනි අවස්ථාවලින් මිදීමට සෑම විටම එය සැඟවීමට උත්සහ කළ හැකි ය.  නමුත්, සේවා ස්ථානවලදී සහ වෙනත් තත්ත්වයන්වලදී එය සැඟවීමට ඔවුන්ට නොහැකි වනු ඇත,” යි මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය වසර තුනක කාලයක් තිස්සේ ක්‍රියාමාර්ග ගෙන ඇති ‘ආසියා පදනම’ සංවිධානයේ යුක්තිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂිකා, ආචාර්ය, නීතිඥ රමණි ජයසුන්දර සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් පැවතිය යුතු වඩාත් හිතකර නීති පිළිබඳව ආචාර්ය රමණි ජයසුන්දර වසර ගණනාවක් පුරා පෙනී සිටිමින් කටයුතු කර ඇත.

මෙය එක් සලකුණක් පමණක් වුවත් එය ඔවුන්ගේ ජීවිතය පුරාවට බලපෑමක් ඇති කළ හැකි ය. ජාත්‍යන්තර අධ්‍යයන, දේශීය වාර්තා සහ  මව්පියන්ගේ සිට වෛද්‍යවරුන් දක්වා බෙදාගත් අත්දැකීම් අනුව මෙම දරුවන් සෑම විටම අවමන්වලට සහ වෙනස්කම්වලට මුහුණ දෙන බව පෙනී යයි.

සිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට නොහැකි වේ යැයි මව්පියන් බියෙන් පසු වේ. අසාමාන්‍ය ලිංගික ලක්ෂණ සහිත දරුවන්ට පාසලේ දී හිරිහැරවලට මුහුණ දීමට, අපහසුතාවලට ලක්වීම සහ වෙන්කර සැලකීමකට ලක් වීම සිදු විය හැකි ය.  වැඩිවියට පත් වීමේ දී, ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරුවන් තවදුරටත් නිවාරණය වනු ඇත. පියයුරු වර්ධනය නොවූ ගැහැනු දරුවන්, පියයුරු සහිත පිරිමි දරුවන්, හෝ කටහඬ හා සම්බන්ධ වෙනස්කම් වැනි දෑ ඒ අතර වේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පන්ති කාමරයක් 

සමහර දුර්ලභ අවස්ථාවලදී ලිංගික වර්ධනයේ වෙනස්කම් පළමු වරට හඳුනා ගැනීමට ලැබෙන්නේ වැඩිවියට පත් වීමේ දී විය හැකි ය. කෙනකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාහිර ප්‍රකාශනයේ වෙනස්කම්, ලියකියවිලි මත ලිංගිකත්වය හඳුනා ගැනීම සහ වෛද්‍ය විද්‍යාත්මක කළමනාකරණය මෙහිදී වඩාත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේ.

පමාවී උපත් ලියාපදිංචිය සිදුකිරීම පිළිබඳ දැනුම්වත් කිරීමට සමගාමී ව, ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ඇති අනවබෝධය දුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම සිදුකළ යුතු ය. ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නම් ලේඛන වෙනස් කිරීම සඳහා වන පැහැදිලි යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතා වැදගත් වේ.

ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත පුද්ගලයන්ට නව උප්පැන්න සහතිකයක් ලබාදීම ඔවුන්ට නැවුම් ආරම්භයක් ලබාදීමක් විය හැකි ය. නමුත්, ඒ සියල්ලට වඩා ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරුවන්ගේ මව්පියන්ට අවශ්‍ය වන්නේ කුමක්ද? 

මනෝ සමාජීය සහාය සහ අධ්‍යාපනය

“අපිට බයයි අපේ දරුවාට යහළුවෝ නැති වෙයි කියලා සහ පාසලේ සිසුන් සහ ගුරුවරුන් ඔවුන්ට හිරිහැර කරයි කියලා,” ශෂී* පැවසී ය.

ශ්‍රී ලංකාවේ ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරුවෝ සැඟවී සිටිති. ඔවුන්ගේ තත්ත්වය බොහෝ විට නොසලකා හැරීමට හෝ යටපත් කිරීමට ලක් වේ. දරුවාගේ අකැමැත්ත නොතකා වැඩිවියට පත් වීමේ දී ස්ත්‍රී පුරුෂ භාවය සාමාන්‍යකරණය කිරීමේ සැත්කම් සහ හෝමෝන ප්‍රතිකාර සිදු කිරීමට මව්පියන් බලපෑම් කරන බව වෛද්‍යවරු වාර්තා කරති. ඒ, කුඩා කල සිට දරුවා වෙනුවෙන් ලබාදුන් ස්ත්‍රී පුරුෂ භාවයට අදාළ ලක්ෂණ දිගටම පවත්වාගෙන යාම සඳහා ය.  

මෙවැනි දරුවන් සඳහා නොමිලේ ලබාගත හැකි වෛද්‍ය සහ නීතිමය මෙවලම් පිළිබඳ ව මව්පියන්ට බොහෝ දුරට අවබෝධයක් නොමැත. උපත් ලියාපදිංචි කිරීම කෙසේ වෙතත්, තම ජිවිතයේ සමස්ත යහපැවැත්ම පිළිබඳ සලකා ලිංගික වර්ධනයේ වෙනස්කම් වෙනුවෙන් හෝමෝන අසමතුලිතතාවන්ට වැඩිවියට පැමිණීමේදී හෝ ඊට පෙර ප්‍රතිකාර කිරීම වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් අවශ්‍ය වේ. ඔවුන්ගේ පවුල් තුළම වෙනස්කොට සැලකීමට ලක් වීමට සිදු වෙතැයි ඇති බිය නිසා බොහෝ දරුවන් ඔවුන්ට ලැබිය යුතු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගන්නා අවස්ථා ද ඇත.

උපදේශනය මඟින් අධ්‍යාපනය මෙහෙයවනු ලබයි. කෙසේ වෙතත්, ලිංගික වර්ධනයේ වෙනස්කම් සම්බන්ධයෙන් වන උපදේශනය තවමත් සංවර්ධනය වෙමින් පවතී.

බොහෝ දෙනකුගේ ලිංගික සංවර්ධනයේ වෙනස්කම් නිසි පරිදි හඳුනා නොගැනීම, ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීම සහ අදාළ කටයුතු වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් ඉදිරිපත් නොකිරීම ඊට හේතු වේ. එවැනි දරුවන්ගේ මව්පියෝ ද ඇතිවිය හැකි ලැජ්ජාව සහ අපකීර්තියට බියෙන් උපදේශනය මඟ හරිති.

මේ සියලු කාරණා සලකා බැලූ කල,  ප්‍රතිඵලය වන්නේ ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලජ්ජාවෙන් සහ හුදෙකලා වීමෙන් තොර සම්පුර්ණ ජීවිත ගත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය, අවබෝධය සහ දැනුම නොලැබෙන බව යි.

ඉටු කිරීමට ඇති දෑ බොහෝය; දැනුම්වත් කිරීමේ සහ අධ්‍යාපනයේ සිට මානසික සෞඛ්‍ය සහාය දක්වා, වෛද්‍ය සංවේදීතාව, නීති සංශෝධන, නව නීති සකස් කිරීම, සහ ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත පුද්ගලයන්ට හිමි අයිතීන් සහ අවස්ථා ලබා දීම සඳහා වන අධ්‍යයන, සහ ඒ සියල්ලට ම වඩා, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථාව ඒ අතර මූලික ය. 


*රහස්‍යභාවය ආරක්ෂාකිරීම සඳහා මෙම ලිපියේ නම් වෙනස් කොට ඇත.  

Related Articles