Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැලන්ටයින්: ලාබයි ආදරේ, අරගෙන බලන්න

අද පෙබරවාරි 14 වෙනිදා. වැලන්ටයින්. ආදරවන්තයින්ගේ දිනය. ලොව පුරා ආදරවන්තයින් විශේෂයෙන්ම සමරන්නට, ත්‍යාග හුවමාරු කරගන්නට තරම් විශේෂයෙන් සලකන දවස. මෙම ලිපිය කියවන ඔබත් ඔබේ ආදරණීයයාට රෝස මලක්, චොකලට් එකක්, කාඩ් එකක් දෙන්න ඇති. සමහර විට ඔහුව/ ඇයව වැලන්ටයින් දින සැමරුමකට, ශෘංගාරාත්මක රාත්‍රී භෝජනයකට ‍රැගෙන යන්න අදහසක් ඇති. ෆේස්බුක් පි‍ටුව පිරෙන තරමට කවි ලියන්න, කෝට්ස්, ෆොටෝස් ශෙයා කරන්න එහෙමත් ඇති. නමුත් ඔබ මේ ඉහළින්ම සමරන උත්සවය පිළිබඳව, ඒ ආදරයත්, වැලන්ටයින් නම් ශාන්තුවරයෙකුටත් යම් සම්බන්ධයක් ඇති දිනයක් බව හැරුණුකොට, ඔබ කවුරුත් වැඩි යමක් නොදන්නවා ඇති. ඔබ ඒ සිතූ පරිදිම, වැලන්ටයින් ඇත්තෙන්ම ප්‍රේමය පිළිබඳවම ද? මේ ලිපිය ඒ සම්බන්ධවයි.  

 

20වන සියවස මුල් අවධියේ ප්‍රංශ වැලන්ටයින් තැපැල් පතක් (Zocalo Poets)

වැලන්ටයින් ශාන්තුවරයාගේ දිනය

වැලන්ටයින් දිනය බෞද්ධ, හින්දු, මුස්ලිම් අපට නිකන්ම නිකන් ‘ආදරවන්තයින්ගේ දිනය’ වුණාට, ක‍තෝලිකයන් විසින් මෙම දිනය සලකන්නේ වැලන්ටයින් මුනිඳුන්ගේ මංගල්‍යය ලෙසයි. ‘වැලන්ටයින්’ නම් දරන ශාන්තුවරුන් හා බැඳි පුරාවෘත කීපයක් තිබුණත්, ඒ බොහොමයක් ශාන්තුවරයින් අතරින්, අප බහුතරයක් දෙනා දන්නා වැලන්ටයින් ශාන්තුවරයා වන්නේ රෝමයේ දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ සමයේ ක්‍රිස්තියානි පූජක වරයෙක්.

 

වැලන්ටයින් මුනිඳු  (Malcolm Guite)

ක්‍රිස්තු වර්ෂ තෙවනි සියවසේ රෝමයේ පාලකයෙකු වූ දෙවනි ක්ලෝඩියස් විසින් තරුණ පුරුෂයින්ට විවාහ වීම තහනම් කරමින් නීතියක් පනවනු ලැබුවා. ඒ, විවාහ නොවූ තනිකඩයින්ගේ සිත් තම බිරිය හෝ දරුවන් නිසා ඉවත නොයනු ඇති නිසා, තනිකඩයින් යුධ භටයින් ලෙස වඩාත් සුදුසු බව ඔහු විසින් තීරණය කළ නිසායි.

මෙම නීතිය අසාධාරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ වැලන්ටයින් පූජකවරයා තරුණ පුරුෂයින් සහ තරුණියන් තම පල්ලියේ දී හොර රහසේ විවාහ කරවනු ලැබුවා. වැලන්ටයින් පූජකවරයගේ මෙම ක්‍රියාව අනාවරණය වීමෙන් අනතුරුව ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් ඔහුට මරණ දණ්ඩනය පනවනු ලැබුවා.

තවත් පුරාවෘත වලට අනුව ක්‍රිස්තියානිය වැළඳගැනීමේ වරදට දඬුවම් ලෙස බන්ධනාගාරගත කරන ලද රෝමානුවන්ට පලා යෑමට උපකාර කළ නිසා ඔහුට මරණ දඬුවම ලබා දී ඇති බව කියවෙනවා. තවත් පුරාවෘත්තයකට අනුව වැලන්ටයින් පූජකවරයා බන්ධනාගාර ගත කර සිටිය දී ඔහු විසින් බන්ධනාගාර පාලකගේ දියණියට ලොව ප්‍රථම ‘වැලන්ටයින්’ සුබ පැතුම්පත යැවූ බව ඇතැමුන් පවසනවා. ඔහු විසින් එහි “ඔබගේ වැලන්ටයින්” (‘Your Valentine’) ලෙස අත්සන් කළේ ලු.

ආදරවන්තයින්ගේ දිනය

චෝසර්ගේ අදාල කවි පන්තිය  (Poets Online Blog)

වැලන්ටයින් දිනය සමඟ මුල් කාලයේ ‘ආදරයක්’ බැඳී තිබුණේ නැහැ. එයට ශෘංගාරාත්මක ආදරය සමඟ සම්බන්ධතාවක් නිර්මාණය වුණේ 14 වන සියවසේ එංගලන්තයේ වාසය කළ ජෙෆ්‍රි චෝසර් නම් සාහිත්‍යවේදියාගේ කවියක යි. කවිය කියවූ පාඨකයින් චෝසර් විසින් වැලන්ටයින්ගේ දිනය ප්‍රේමවන්තයන්ගේ දිනය ලෙස හඳුන්වා ඇති බවටයි වටහා ගත්තේ.

 

Gentlemen’s Valentine Writer  (Tower Project Blog)

18වන සියවසේ අග භාගයේ දී, එනම් 1797 දී පමණ එංගලන්තයේ ප්‍රකාශකයෙකු විසින් ‘The Young Man’s Valentine Writer’ නම් පොතක් පල කළා. තම පෙම්වතිය සඳහා කවි ලිවීමේ හැකියාවක් නොතිබූ පෙම්වතුන්ට භාවිතා කළ හැකි හැඟුම්බර කවි ආදියෙන් එම පොත සමන්විත වුණා. ඉන්පසු මහත්මයින්ට ද, ආර්යාවන්ට ද ආදී වශයෙන් එම ආරේ පොත් පලවීම ආරම්භ වුණා.

19 වන සියවස පමණ වන විට වැලන්ටයින් දිනයේ දී පෙම්පත් හුවමාරු කරගැනීම සාමාන්‍ය සිරිතක් බවට පත් වූ අතර, 20 වන සියවස වන විට පෙම්පත් පමණක් නොව, හදවත් හැඩැති අසුරණ වල දැමූ ත්‍යාගයන්, චොකලට්, සහ රෝස හුවමාරු කරගැනීම විලාසිතාවක් බවට පත්ව තිබුණා.

 

 

20වන සියවස මුල් අවධියේ වැලන්ටයින් පෙම්පතක් (UM Today)

ආදරය වාණිජකරණය

වැලන්ටයින් උත්සවය කියන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් වෙසක්, අලුත් අවුරුදු, රාමසාන්, සහ නත්තල් ආදී ප්‍රධානතම ආගමික හා සංස්කෘතික උත්සවයන්ට හැරුණුකොට තෑගි සඳහා විශාල මුදල් ප්‍රමාණයන් වැය කරන සැමරීමක්. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ ආදරය ‘සැමරීමේ’ අවශ්‍යතාවක් නම් නොවෙයි. වසරකට එක් දිනක් වෙන්කර ‘සැමරිය’ යුතු යමක් බවට ආදරය පත්කොට විකුණන්නේ වෙළෙන්දන් විසින් බව කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි කියායි අපිටනම් හැඟෙන්නේ.

වැලන්ටයින් දිනයේ බොළඳ පෙම්වතුන් ඉලක්ක කර බොහොමයක් වෙළෙන්දන් ‘ලාභදායී’ පැකේජ ක්‍රම හඳුන්වා දෙනවා. මල් වෙළඳසැල් හිමිකරුවන් වැලන්ටයින් සඳහාම විශේෂයෙන් සකස් කරන ලද මල් පොකුරු ආදිය හඳුන්වාදෙන අතර, සාමාන්‍ය මිළ රුපියල් 250ක් පමණ වන රෝස මලක් රුපියල් 500ක් පමණ වන තෙක් මිළ ඉහළ දමනවා. අවන්හල් වල මෙනුපතට ‘වැලන්ටයින් ස්පෙශල්’ ආහාර වර්ග ද එක්වනවා.

වැලන්ටයින් දිනය නොසැමරීම, හෝ එදිනට තනිකඩව විසීම ලැජ්ජාවට කරුණක් බවට මතයක් සමාජය තුළ නිර්මාණය වෙමින් පවතිනවා, එහෙම නේද?

 

වැලන්ටයින් ඩීල් (Facebook.com/pizzahutsrilanka)

විවිධාකාර වෙළඳ සමාගම්, සන්නාම විසින් ඔබට අවශ්‍ය නොවන දේ මිළට ගෙන, සැබවින්ම ඔබේ අවශ්‍යතාවක් නොවන යමක් සැමරීම සඳහා ඔබව පොළඹවනවා. මෙම වෙළඳ සමාගම් මගින් සමාජයේ ඇති කර ඇති මතය කොතරම් බලවත් ද කියනවා නම් පෙම්වතුන් තම පෙම්වතියට පෙම්පත්, රෝස මල්, චොක්ලට් ආදිය පමණක් නොව, දියමන්ති මුදු, මිළ අධික රාත්‍රී භෝජන සැලසුම්, අධි සුඛෝපභෝගී සංචාර ආදී මෙකී නොකී බොහෝ දෑ වැලන්ටයින් දිනය වෙනුවෙන් ලබා දෙනු ඇතැයි සමාජය විසින් අපේක්ෂා කරනවා.

එමෙන්ම තම පෙම්වතා/පෙම්වතිය විසින් මෙම සමාජ අවශ්‍යතා ඉ‍ටු කිරීමට අපොහොසත් වුවහොත්, ඔහු/ඇය තුළ තමා කෙරෙහි ප්‍රේමයක් නැති බවට නිගමනය කිරීමටත් ඇතැම් පෙම්වතුන්/පෙම්වතියන් පෙළඹෙනවා.

 

(Shirohanaflowers.com)

තත්ත්වය මෙසේ වුවත් Roar අපගේ අදහස මෙයයි- වැලන්ටයින් සැමරීම හෝ නොසැමරීම ආඩම්බරයට හෝ ලැජ්ජාවට කරුණක් කරගත යුතු නැහැ. ආදරය කිරීමට වෙනම දවසක් අවශ්‍ය වන්නේත් නැහැ. ආදරය මිළට ගත යුතුත් නැහැ. වෙළෙඳ උපක්‍රම වලට ‍රැවටී, අනුන්ට අවැසි ලෙස ආලය කරන්නේ මොකට ද? පෙබරවාරි 14 පමණක් නොවේ, සැබවින්ම ආදරය කරන්න ඕන නම් මුළු වසරමත් ඔබේ යි.

කවරයේ පින්තුරය: Linkdex

Related Articles