ලොව විවිධ ජනතාව ඌරු මස් පිළිකෙව් කරන්නේ ඇයි?

ලොව ඌරු මස් නිෂ්පාදනයේ ඉදිරියෙන් ම සිටින්නේ චීනය වන අතර, 2021 වන විට මෙට්‍රික් ටොන් මිලියන 40.5ක් නිපදවන්නට එරට සමත් ව තිබෙනවා. එය යුරෝපය නිපදවනවාට වඩා මිලියන 15කින් වැඩි අගයක් වන අතර, තෙවැන්නට සිටින අමෙරිකාව එම වසරේ නිපදවා ඇත්තේ මෙට්‍රික් ටොන් මිලියන 13ක්.

ලොව ඌරන් මිලියන 784.2ක් පමණ සිටිය ද විවිධ ආගම්, ඇදහිලි මෙන් ම ප්‍රදේශ අනුව ද ඉතිහාසයේ පටන් ම ඌරු මස්වලට තහංචි පැනවී තිබෙනවා. ඉන්දියාවේ ගව මස් පරිභෝජනයටත්, බටහිර රටවල බළල් හා සුනඛ මස්වලටත් සංස්කෘතිකමය තහනම් පැනවී තිබෙනවා. යුදෙව් ආගම තුළ විශාල කුරුල්ලන්, ආඳා, අංකුට්ටා (කැට්ෆිෂ්) වැනි මසුන් හා වවුලන් ද, ඉස්ලාම් ආගමෙන් වලසුන්, කිඹුලන්, සර්පයන් වැනි උභය ජීවීන් සහ විශේෂයෙන් ඌරු මස් ද තහනම් කර තිබෙනවා.

මාංශ පරිභෝජනය අනුව හොකොං ඉදිරියෙන් ම සිටින අතර, 2017 දී වසරකට පුද්ගලයෙක් ආහාරයට ගත් ප්‍රමාණය 137.07 kg ක්. ඇමරිකාව 124.10 kg සමඟ දෙවන ස්ථානයේත්, 121.60 kg සමඟ ඕස්ට්‍රේලියාව තෙවන ස්ථානයේත් සිටිනවා. ශ්‍රී ලංකාව එම වසරේ 9.04kg ප්‍රමාණයකට හිමිකම් කියනවා.

බුදුරදුන් ඌරු මස් වැලඳුවා ද?

දානයට ලැබුණු මාංශය ගැන විමසා, කැප නම් වැලඳිය හැකියි – Freepik/jcomp

බුදුරජාණන් වහන්සේ වරක් “සූකර මද්දව” වලඳා රෝගාතුර වූ බවට කියැවෙන අතර, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2019 පළමු මුද්‍රණය සහිත “බුද්ධ ධර්මය 5 ශ්‍රේණිය” පෙළ පොතේ පහත පෙළ අඩංගු වෙනවා:

“විශාලා මහනුවරින් නික්මුණු බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා නගර කිහිපයක් පසු කර පාවා නුවරට වැඩම කළ සේක. එහි දී චුන්ද කර්මාර පුත්‍රයාගෙන් ලැබූ සූකර මද්දව දානය වැළඳීමෙන් පසු ව බුදුරජාණන් වහන්සේගේ යටපත් වී තිබූ රෝගී තත්ත්වය යළිත් මතු විය. බුදුරජාණන් වහන්සේ ලබා ගත් අවසාන දානය වූයේ ද චුන්ද කර්මාර පුත්‍රයාගේ එම දානයයි.”

මෙහි ඇති ‘සූකර’ යන වචනය මත පදනම් ව ඇතැමුන් බුදුන් ඌරු මස් ආහාරයට ගෙන, ඌරු මස්වල ඇති අගුණ බව නිසා උදරාබාධයකට ලක් වූ බවට සලකනවා.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් ‘බුදුසරණ’ පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී මෙසේ පවසනවා:

“කැලෑවේ වල්ඌරන් ගැවසෙන ප්‍රදේශවල ඌරන්ගේ වසුරු දිරලා පොළොවට ඒවා මිශ්‍ර වීමෙන් හතු වර්ගයක් පොළොවේ හැදෙනවා. ඒවා ශරීරයට බොහොම පෝෂ්‍ යයි. මුවන් ගැවසෙන ප්‍රදේශවලත් එසේ හැදෙනවා. ඊට මුරුග මාර්ධව කියලත් කියනවා. සූකර මාර්ධවවලට ඌරු මස් කියල සමහරු කියනවා. ඒ වැරැදියි.”

එම ලිපියේ උන්වහන්සේ වැඩිදුරටත් දක්වන්නේ, ඒවා ආහාරයට ගැනීමෙන් බුදුන්ගේ ශරීර ශක්තිය වැඩි වූ බවත්, රෝගාතුර වීමක් සිදු නොවූ බවයි.

එනමුත් දිනමිණ පුවත්පත් ලිපියක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි මෙසේ ලියා තිබෙනවා:

“සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුණු මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය.”

එහි තවදුරටත් සඳහන් වන්නේ ඌරු මසකට දිව්‍ය ඕජස් යෙදීමට හේතුවක් නොමැති බවත්, එම අවස්ථාවේ රහතුන් පන්සිය නමකටත් වඩා සිටි බවත් ය. එනම්, උන්වහන්සේලා එය පිළියෙළ කළ ආකාරය නොදැන සිටියා වන්නට නොහැකි යි. කොටුගොඩ ධම්මාවාස හිමියන් දක්වන්නේ, පරිනිර්වාණයෙන් පසුව මාස කිහිපයකින් පැවති පළමු ධර්ම සංගායනාවේ දී පවා එම රහතන් වහන්සේලා සූකර මද්දවය යනු මාතෘකාවකට බඳුන් කළ යුතු දෙයක් තරම් නොසලකා ඇති බව යි.

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතෙහි ද සූකර මද්දව ලෙස හඳුන්වා ඇත්තේ සුවඳ බිම්මලු යි.

අකැප මස් වර්ග 10කි. – Freepik/jcomp

මහාවග්ගපාළියේ කියැවෙන දේවල්

අමෙරිකානු හිමිනමක් වන තානිස්සරෝ ස්වාමීන් වහන්සේ තම “The Buddhist Monastic Code II” ග්‍රන්ථයේ මහාවග්ගපාළියේ ‘හත්‌ථිමංසාදිපටික්‌ඛෙපකථා’ උපුටා දක්වමින් දක්වා තිබෙන්නේ සාගතයක දී පවා අලි, අශ්ව, සුනඛ, සර්ප, සිංහ, කොටි, දිවි, වළස්, හයිනා යන සතුන්ගේ මාංශ සඟුන් ආහාරයට නොගත යුතු බව යි. ඊට අමතර ව, එය ද අයත් වන විනය පිටකයේ මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකයේ මිනී මස් ද අඩංගු වෙනවා. කෙසේ නමුත් මේ ලැයිස්තුවේ ඌරු මස් ගැන සඳහනක් නැහැ. 

යමක් සඳහන් නොවූ පමණින් ම එය කැප යැයි සැලකිය නොහැක්කා සේ ම අහිංසාවාදී දහමක් නිසා සත්ත්ව හිංසනය පිටුදැකීමත්, දානයක් ලෙස ලැබුණු අවස්ථාවක ශරීර සෞඛ්‍යය ගැන සිතා ඉහත කී මස් වර්ග බැහැර කළ යුතු යැයි දක්වා ඇතැයි සිතිය හැකි යි. එනමුදු නොගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ “ආපත්‌ති දුක්‌කටස්‌සාති” හෙවත් දුකුලා ඇවතක් (පාපයක්) ලෙස පමණක් වන අතර, හේතු සඳහනක් නැහැ. මහව ඤාණාලෝක හිමියන් මූලාදිභෙසජ්ජකථා උපුටා දක්වමින් අමනුෂ්‍ය ආබාධයක දී සඟුන්ට අමු මස් සහ ලේ වැලඳීමට අනුදත් බවත්, මාංශ වැලඳීමට පෙර එය කුමක්දැයි විමසා දැනගත යුතු බවත් බුදුන් වදාළ බවට ලිපියක සඳහන් කර තිබෙනවා.

ඍජු තහනමක් නැහැ – Freepik/freepik

කුරාන සහ ඉරාන තහනම

කුරානයේ ඌරුමස් සම්බන්ධයෙන් දැක්වෙන්නේ, කන්න දෙයක් නොමැතිව මියැදෙන අවස්ථාවක ආහාරයට ගැනීමට ඌරු මස් පමණක් ම හැර, වෙනත් කිසි ම දෙ‍යක් නැති අවස්ථාවක එය ආහාරයට ගත්තාට කම් නැතැයි කියා යි.

අල් මයිදාවේ සඳහන් වන්නේ “ඔබට මළකුණු, ලේ සහ ඌරු මස් ඇතුළු අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගේ නාමයෙන් ඝාතනය කළ සතුන් මෙන්ම ගෙල සිරකිරීමෙන්, පහර දීමෙන්, හෙළීමෙන් හෝ (ස්වභාවිකව) මරණයට පත් වූ, විලෝපිකයෙකු විසින් අර්ධ වශයෙන් අනුභව කළ යනාදී ඔබ ඝාතනය නොකළ, සහ පූජාසන මත පූජා කරන ලද දේ තහනම්” කියා යි.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ඌරු මස් රට තුළට ගෙන ඒම මාස තුනක සිර දඬුවමකට යටත් වීමට තරම් වරදකි. කෙසේ නමුත් රජයේ තහනමට හේතුව ආගමික ඉගැන්වීම් වන අතර, ආගමික ඉගැන්වීම්වල තහනමට හේතුව ග්‍රන්ථවල ද දක්වා නැහැ.

ඌරන්ගේ කුරය දෙකට බෙදී තිබේ – farmandanimals.com

යුදෙව් ආගමික පැහැදිලි කිරීම්

හීබෲ බයිබලය අනුව, “කුරය දෙකට බෙදුණු, වමාරා කන සතුන්” ආහාරයට ගැනීම කැප යි. ඒ අනුව ගවයන්, එළුවන්, මුවන් වැනි සතුන්ගේ කුරය දෙකට බෙදී ඇති නිසාත්, වමාරා කන නිසාත් ආහාරයට සුදුසු වන අතර කුරය නොබෙදුණු අශ්වයන් කැප ‍නොවේ. ඌරන්ගේ කුරය දෙකට බෙදී තිබුණ ද වමාරා නොකන හෙයින් අකැපයි.

එහෙත් සතුන් පහසුවෙන් වර්ගීකරණය සඳහා කුරවල බෙදීම හා වමාරා කෑම විශේෂයෙන් දක්වා ඇතැයි සිතිය හැකි නමුත්, කුරය නොබෙදීම හෝ වමාරා නොකෑම මාංසයක් තහනම් කිරීමට විද්‍යාත්මක හේතුවක් වන්නේ නැහැ.

මධ්‍ය කාලීන යුගයේ යුදෙව් දාර්ශනිකයකු වන මෝසස් මයිමොනඩීස් තර්ක කරන්නේ ටෝරාව ඌරු මස් තහනම් කර ඇත්තේ එම සතුන් අපිරිසුදු ආහාර ගන්නා නිසා බව යි. මන්ද, මිනිසුන් සහ වෙනත් සතුන්ගේ මළපහ, කුණු, සහ මිනී මස් පවා ඌරන් ආහාරයට ගන්නා නිසා යි. එහෙත් ලොව වැඩි ම ප්‍රමාණයක් ආහාරයට ගැනෙන කුකුළන් ද තමාගේම මළපහ ආහාරයට ගන්නවා.

පිරිසුදු නම් කැප ද? – Freepik/aleksandarlittlewolf

ආගමික තහනමට හේතුව කුමක්ද?

ඌරන්ට උණුසුම දරාගත නොහැකි නිසා මී හරකුන් මෙන් මඩෙහි කිමිදෙන නමුත්, මඩ සපයා ගත නොහැකි අවස්ථාවල දී තමාගේ ම මළ, මුත්‍රවල කිමිදීමටත් පෙලඹෙනවා. ඒ අනුව, අපිරිසුදු බව ඌරු මස් නොකා සිටීමට හේතුවක් නම්, ගොවිපොළක පිරිසුදුව ඇති දැඩි කළ, යහපත් ආහාර සහ පිරිසුදු පරිසරයක සිටින ඌරන් කෑමට ගත හැකි විය යුතු යි.

ඔක්ස්ෆර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියේ ලිපියක නිව් හැම්ප්ෂයර් විශ්ව විද්‍යාලයේ කථිකාචාරිණී නිකොල් රුඈන් දක්වන්නේ විවිධ ආගම් ඌරු මස් තහනම් කර ඇත්තේ ආගමේ අනන්‍යතාව පවත්වාගැනීමට මිස, ඊට වෙනත් පැහැදිලි හේතුවක් නොමැති බව යි. සුන්නත් කිරීම පවා එවන් චාරිත්‍රයක් ලෙස ඇය වැඩිදුරටත් දක්වනවා.

ලොව ම ගව මස් ආහාරයට ගනිද්දී හින්දු ආගම ගවයා පූජනීයත්වයට පත් කර, මාංශ අනුභවය තහනම් කර ඇත්තේ කෘෂිකර්මාන්තය හා බැඳුණු සංස්කෘතික වටිනාකමකින් බව පෙනේ. නමුත් හින්දු භක්තිකයන්ට ඌරු මස් සඳහා තහනමක් නැහැ.

මාංස තහනමේ විද්‍යාත්මක පසුබිම – www.beckandbulow.com

මාංස තහනමේ විද්‍යාත්මක පසුබිම

මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව සැලකිය හැකි කරුණු දෙකකි. එකක්, මස්වල සිටින ට්‍රයිකිනේලියා නමැති අන්වීක්ෂීය පරපෝෂිතයා නිසා වැලඳ‍ෙන ට්‍රයිකිනලෝසිස් රෝගය යි. එය වැලඳුණු විට ඔක්කාරය, පාචනය, වමනය, තෙහෙට්ටුව, උණ සහ උදරයේ අපහසුතාව වැනි රෝග ලක්ෂණවල සිට මාස ගණනක් දක්වා තෙහෙට්ටුව, දුර්වල බව, මාංශ පේශි වේදනාව සහ පාචනය පවතිනවා.

ට්‍රයිකිනලෝසිස් වැලඳීමට හේතුව වන්නේ වලස්, කොටි, දිවි, නරි, සුනඛ, වෘක, අශ්ව, සීල් මත්ස්‍යයන්, වෝල්රස් වැනි සතුන්ගේ මස් පමණක් නොව ඌරු මස් ද අඩුවෙන් පිස හෝ අමුවෙන් ආහාරයට ගැනීම යි. මෙම ලැයිස්තුවේ විවිධ ආගම්වල තහනම් කළ මස් වර්ග ඇති ආකාරය ඔබට පෙනෙනවා ඇති.

දෙවැන්න, අධික ලෙස මේදය අඩංගු බව ඇතුළු පොදුවේ රතු පැහැති මස් වර්ග සතු සෞඛ්‍ය ගැටලු යි. Type-2 දියවැඩියාව, කිරීටක හෘද රෝග, ආඝාතය සහ ඇතැම් පිළිකා, විශේෂයෙන් ම මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම මේ අතර තිබෙනවා.

මේ අනුව ගත් කල, හොදින් පිස ගත් මස් පමණ නොඉක්මවා ආහාරයට ගැනීම ගැටලුවක් නොවන අතර, අතීත ආගමික ශාස්තෘවරුන්, ආගමික කෘතිවල කතෘවරුන් සහ ආගමික නායකයන් මෙය ජනතාවට පැහැදිලි කිරීමේ පහසුව පිණිස හුදෙක් “තහනම්” හෝ “පවක්” යන වචනය භාවිත කර ඇතැයි සිතිය හැකියි.

මේ ගැන ඔබ දරන මතය කුමක්ද?

කවරයේ ඡායාරූපය: මස් අලෙවි සලක් - www.freepik.com
මූලාශ්‍ර:
statista.com
ourworldindata.org
budusarana.lk
accesstoinsight.org
dhammatalks.org
mahaviharaya
thenationalnews.com
quran.com
oup.com
scirp.org
cdc.gov

Related Articles

Exit mobile version