නූතන මානවයා සම්භවය වූ දා පටන් විටින් විට ලොව තැනින් තැන දියුණු ශිෂ්ටාචාර ඇති වී නැති වී තිබෙනවා. මොවුන් විසින් සිදුකරන්නට යෙදුණු විවිධ චාරිත්‍ර, ඉදිකිරීම් වැනි දේ අද වන විට කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබෙනවා.
ලතින් ඇමෙරිකාව හා මධ්‍යම ඇමෙරිකාව පාදක කොටගෙන පැතිර තිබූ දියුණු ශිෂ්ටාචාරයක් වන මායා ශිෂ්ටාචාරයට අයත් ජනයාද විශාල වශයෙන් විද්‍යාත්මක සොයාගැනීම් සිදුකරන ලද අයවලුන් වෙනවා. ඔවුන්ටම ආවේණික චාරිත්‍ර වාරිත්‍ර හා ශිල්පීය ක්‍රම තිබී ඇති අතර, පසුකාලීනව ඔවුන්ගේ වියැකී යාමත් සමග ඉන් බහුතරය ලොවෙන් වසන් වී තිබෙනවා. කෙසේනමුත්, ඉතිහාසඥයින්ගේ නොතිත් කැපවීම නිසා මෑත ඉතිහාසය පුරා විටින් විට ඔවුන්ගේ රහස් නූතන ලෝකයාට හෙළිවුණා. එහි නවතම දිගුව වශයෙන් පසුගිය දා විද්‍යාඥයින් කණ්ඩායමකට මායා චාරිත්‍රවලට යොදාගන්නා ලද උපකරණ රාශියක් සහිත ලෙනක් සොයාගැනීමට හැකි වී තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙය අවම වශයෙන් වසර දහසක් වත් පැරණි බව යි.
ගවේෂණය
මෙක්සිකෝවේ යුකටන් අර්ධද්වීපයේ පිහිටා ඇති මායාවරුන්ගේ පෞරාණික නගරයක් වන ‘චිචෙන් ඉට්සා’ හි කැණීම් කටයුතු කරමින් සිටි විද්‍යාඥයින් පිරිසක් පසුගිය දා අහම්බයකින් අපූරු සොයාගැනීමක් කරනවා. නගරයට පහළින්, භූගතව තිබූ ළිඳක් වැනි යමක මේ කැණීම් කටයුතු සිදුකළ අතර, එහි දී ඉපැරණි මායාවරුන් සිය ආගමික කටයුතු සඳහා යොදාගත් බඳුන් වැනි උපකරණ 150කට වඩා සුරක්ෂිතව ගබඩා කොට තිබූ ලෙන් සංකීර්ණයක් හමුවුණා. මේ ලෙන් සංකීර්ණය මෙය ‘බලම්කු’ හෙවත් ජගුවර දෙවියන් යැදීම සඳහා භාවිතා කළ උපකරණ සහිත ලෙන් සංකීර්ණයක් බැව් අනුමාන කෙරෙනවා. වසර දහසකටත් වඩා හරිහැටි නිරීක්ෂණය වී නොතිබූ මේ පරිශ්‍රය හා උපකරණ සොයාගත් බව පසුගිය දා මෙක්සිකෝව ලෝකයාට අනාවරණය කළා.
ලෙන් සංකීර්ණය සොයාගත් මුල්ම අවස්ථාව
උක්ත ස්ථානයේ පෞරාණික වටිනාකමකින් යුක්ත ද්‍රව්‍ය තිබිය හැකි බවට මුලින්ම සොයාගත්තේ මීට වසර 50කට පමණ පෙර යි. ප්‍රදේශයේ ගොවියන් කිහිපදෙනෙකු මෙම ස්ථානයට ඇතුළු වන විවරය නිරීක්ෂණය කර තිබූ අතර, එහි වටිනා යමක් ඇති බැව් අනුමාන කර තිබූ ඔවුන් වහාම බලධාරීන් දැනුවත් කර තිබුණා. මේ අනුව මෙම ස්ථානය නිරීක්ෂණය සඳහා ඉතිහාසඥයෙකු වන වික්ටර් සෙගෝවියා පින්ටෝ පැමිණෙනවා. ස්ථානය හා ඒ අවට නිරීක්ෂණය කළ ඔහු එහි පෞරාණික දේ තිබිය හැකි බව විශ්වාසයෙන් යුතුව පැවසුවා. කෙසේනමුත්, ඔහු එය වැඩිදුර නිරීක්ෂණය කරන්නට රෙකමදාරු කරනු වෙනුවට එහි විවරය මුද්‍රා තබන්නට අවට ගොවියන්ට උපදෙස් දෙනවා. ඉන් අනතුරුව එහි වැඩිදුර නිරීක්ෂණ කටයුතු ඇණහිටි අතර, ඒ පිළිබඳව පින්ටෝ ලියා තැබූ සටහන් ද පසුකාලීනව අස්ථානගත වීමත් විශේෂ යි. කෙසේනමුත්, මේ ස්ථානයේ සලකුණු අනුව මෙය ජගුවර දෙවියන්ට කැපවූ ස්ථානයක් බැව් පෙනී ගිය හෙයින් එය එතැන් පටන් ‘බලම්කු’ ලෙස හැඳින්වුණා.
නැවත නිරීක්ෂණය
පින්ටෝගේ නියමය අනුව බලම්කු ඉක්මණින්ම මුද්‍රා තැබුණු අතර, ඉන්පසු වසර 50කටත් වඩා කාලයක් එය කිසිවෙකුගේ නිරීක්ෂ්ණයයට ලක් නොවී පැවතුණා. කෙසේනමුත්, එම නිහැඬියාව බිඳිමින් 2018 වසරේ දී නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනයේ ගවේෂකයෙකු වන ගුලිඑල්මෝ ඩෙ අන්දා හා ඔහුගේ කණ්ඩායම අහම්බයකින් මේ ලෙන් සංකීර්ණයට පිවිසෙනවා. චෙචින් ඉට්සා නගරය තදාසන්න භූගත ජල මට්ටම නිරීක්ෂණය සඳහා ඔවුන් කැණීම් කර්ටයුතු සිදුකරමින් සිටි අතර, එහි දී අහම්බයකින් ඔවුන් මුද්‍රා තබන ලද මෙම ලෙන් සංකීර්ණයේ මුද්‍රා කඩා එහි ඇතුළු වී තිබෙනවා.
ඩෙ අන්දා හදිසියේම ඉතා කුඩා විවරයන් සහිත භූගත ලෙන් සංකීර්ණය නිරීක්ෂණය කර ඇති අතර, වහාම ඔහුට එහි වූ පෞරාණික අගය වැටහී තිබුණා. මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ආයතනය දැනුවත් කිරීමට ක්‍රියා කර ඇති අතර, ඉතිහාසඥයින් එහි අනුයුක්ත කෙරුණු පසු කැණීම් කටයුතු ආරම්භ වී තිබෙනවා. ඔහුට මුලින්ම හමුවී තිබුණේ එක් සිහින් විවරයක් වන අතර, එයට එබී බැලීමේ දී එය ලෙනක් සේ පොළොව තුළට දිවෙන බැව් ඔහුට නිරීක්ෂණය වී තිබෙනවා. එයට ගොස් බැලීමේ දී හදිසියේම ඉපැරණි මංජුසාවක් ඔහුගේ නෙත ගැටී තිබුණේ හිසෙහි බැඳි විදුලි පන්දමේ එළිය වැදී එය දිදුලන්නට පටන්ගත් නිසාවෙනුයි.
මංජුසාවේ තිබී හමු වූ දේ
ඉතිහාසඥයින්ගේ පැමිණීමෙන් පසු මංජුසාව විවර කෙරුණු අතර එය තුළ තිබී උඳුන්, මල් බඳුන්, අලංකාර කරන ලද පිඟන් හා තවත් දේ හමුවුණා. අවට පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී තවත් එවැනි දේ 150ක් පමණ හමුවූ අතර, එම පරිශ්‍රයේ ඇති තවත් ලෙන් රාශියකම මෙවැනි දේ තිබිය හැකි බැව් පෙනී ගියා. මේ අනුව එම පරිශ්‍රය පෞරාණික අතින් අතිශය වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස නම් කෙරුණු අතර, ඉක්මණින්ම වැඩිදුර කැණීම් කටයුතු සිදුකිරීම් සඳහා සූදානම් කෙරෙනවා.
මේ වන එහි තිබී සොයාගෙන ඇති පෞරාණික වස්තු අතර, පෙර සඳහන් කළ දේවලට අමතරව ටොල්ටෙක් වැසි දෙවියා වන ට්ලැලොක්ගේ සෙල්මුවා මුහුණු, ශුද්ධ වූ ගසක් ලෙස මායාවරුන් පිදුම් කළ සෙයිබා ගසෙහි අනුරූ වැනි දේ වෙනවා. මෙය මේ ප්‍රදේශයෙන් මෙතෙක් හමුවූ වැඩිම පුරාවස්තු ගොන්න වෙනවා. මෙය 1959 වසරේ කැණීම් කටයුතු සිදුකළ බලන්කන්චේ ලෙනින් හමුවූ පුරාවස්තු තොගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා.
පින්ටෝ මේ ලෙන මුද්‍රා තැබුවේ ඇයි?
මේ ලෙන් සංකීර්ණය සොයාගැනීමත් සමග බොහෝදෙනා නැගූ පැනය වූයේ 1960 දශකයේ දී වැඩිදුර අධ්‍යයන කරයුතු සිදිකරන්නට නොදී පින්ටෝ මෙය මුද්‍රා තබන්නට තීරණය කළේ ඇයි ද යන්න යි. පැරණි මායා ශිෂ්ටාචාරයට අනුව මෙවැනි භූගත ගුහා වැනි දේ ‘පාතාලයට යන දොරටු’ ලෙස සලකා තිබෙන අතර, මේ හේතුව නිසා ඔහු මේ තුළට පිවිසී බලන්නට මැලි වූවා විය හැකියැ යි විද්වතුන් පවසන්වා. කෙසේනමුත්, මෙවැනි අදහස් 1980 දශකයේ දී පසෙකට කෙරුණු අතර මායාවරුන්ගේ භූගත ගුහා අධ්‍යයන කටයුතු නිසි ලෙස සිදුකරන්නට ඉතිහාසඥයින් පියවර ගත්තා.
බලම්කු හි වැදගත්කම
බලම්කු පිළිබඳව මූලික අධ්‍යයනයන් සිදුකළ විද්‍යාඥයින් පවසන්නේ මේවා අවම වශයෙන් වසර දහසක්වත් පැරණි බව යි. ඒ අනුව මේවා යොදාගෙන නවීන තාක්ෂණය ඔස්සේ පර්යේෂණ රාශියක් සිදුකළ හැකි බැව් පැවසෙනවා. මේ අනුව මායාවරුන්ගේ අවසානය පමණක් නොව එහි ආරම්භය පිළිබඳ පවා මෙතෙක් හෙළි නොවුණු කරුණු රාශියක් මෙමඟින් සොයාගත හැකි වේයැ යි ඔවුන් විශ්වාස කරනවා. මීට අමතරව පරිසර හිතකාමී නිර්මාණයන් අනාගතයේ සිදුකරන්නට මේ ස්ථානයෙන් කරුණු රාශියක් උකහාගත හැකි වේයැ යි තව දුරටත් ඔවුන් සඳහන් කරනවා.