ගිනි වළල්ල, නැතහොත් පැසිෆික් ගිනි වළල්ල, ලෙස හඳුන්වන්නේ පැසිෆික් ද්‍රෝණියේ පිහිටි, භූ චලන සහ ගිනි කඳු පිපිරීම් රාශියක නිජබිම ලෙස දැක්විය හැකි දූපත්, කඳුවැටි, සහ වෙරළ තීරයන් වැනි මායිම්වලින් සමන්විත අශ්ව ලාඩම් හැඩැති ප්‍රදේශය යි. මෙහි වළල්ලක හැඩය සම්පූර්ණ කිරීමට මුහුදේ ඇති ආගාධ සහ භූ තැටි මායිම් දායක වන බව දැකිය හැකියි.
පැසිෆික් ගිනි වළල්ල නිර්මාණය වී ඇත්තේ ටොංගා සහ වනවටු වැනි දූපත්, ඉන්දුනීසියානු දූපත් සමූහය, ජපානය, කුරිල් දූපත් සමූහය, ඇලූශියානු දූපත් සමූහය, උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය, සහ අන්දීස් කඳු පංතිය යි. මෙම වළලු හැඩැති භූමි ප්‍රදේශය පුරාම පැතිර ඇති ගිනි කඳු හේතුවෙන් මෙයට ‘ගිනි වළල්ල’ යන අන්වර්ථ නාමය භාවිතා වනවා.
භූගෝලීය තොරතුරු
පැසිෆික් ගිනි වළල්ලට අයත් ප්‍රදේශය පැසිෆික් භූ තැටිය, ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටිය, උතුරු ඇමෙරිකානු භූ තැටිය, පිලිපීන භූ තැටිය, කොකෝස් භූ තැටිය, ජුවාන් ද ෆූකා භූ තැටිය, සහ නස්කා භූ තැටිය ආදී භූ තැටි රැසකින් සමන්විත වන්නක්. ගිනි වළල්ලේ දිග ආසන්න වශයෙන් කිලෝ මීටර හතළිස් දහසක් පමණ වන අතර පෘථිවියේ ඇති ගිනි කඳුවලින් 75%ක්ම, එනම් ගිනි කඳු හාරසිය පනහකට වැඩි ප්‍රමාණයක්, පිහිටා අත්තේ මෙම භූමි ප්‍රදේශය තුළ යි. එසේම පෘථිවියේ ඇතිවන භූ කම්පනවලින් 90%කටම වගකිව යුත්තේ ද පැසිෆික් ගිනි වළල්ල යි.
ලොව ගැඹුරුම ආගාධය වන මරියානා ආගාධය ද පිහිටා තිබෙන්නේ පැසිෆික් ගිනි වළල්ල තුළ යි. එය කිලෝ මීටර දෙදහස් පන්සිය පනහක දිගකින් සහ කිලෝ මීටර හැට නමයක පළලකින් යුක්ත ආගාධයක්. මෙහි මැන ඇති ප්‍රමාණයේ ගැඹුර වන්නේ මීටර දසදහස් නවසිය අසූ හතරක්.
ගිනි කඳු පිපිරීම්
වර්ෂ 1800න් පසුව මෙහි ඇතිවුණු ප්‍රධාන ගිනි කඳු පිපිරීම් ලෙස 1816 වසරේ දී සිදුවූ ටැම්බෝරා ගිනි කඳු පිපිරීම, 1883 වසරේ දී සිදුවූ ක්‍රැකටෝවා ගිනි කඳු පිපිරීම, 1912 වසරේ දී සිදුවූ නෝවාරප්තා ගිනිකඳු පිපිරීම, 1980 වසරේ දී සිදුවූ ශාන්ත හෙලේනා ගිනිකඳු පිපිරීම, 1985 වසරේ දී සිදුවූ රුයිස් ගිනි කඳු පිපිරීම, සහ 1991 වසරේ දී සිදුවූ පිනටූබෝ ගිනිකඳු පිපිරීම හැඳින්විය හැකියි.
ටැම්බෝරා ගිනි කඳු පිපිරීම පසුගිය වසර දස දහස තුළ සිදුවූ විශාලතම ගිනිකඳු පිපිරීම ලෙස හැඳින්විය හැකි අතර මෙම පිපිරීම මිනිස් ජීවිත 12 000ක් පමණ විනාශ කිරීමට සමත් විය. ඊට වසර හැට හතකට පමණ පසුව සිදුවූ ක්‍රැකටෝවා ගිනි කඳු පිපිරීම ලෝක ඉතිහාසයේ මරණීයම ගිනි කඳු පිපිරීමක් ලෙස සඳහන් වන අතර, එය මිනිස් ජීවිත 36 000ක් පමණ බිලි ගැනීමට සමත් විය. බොහෝ පිරිසක් උශ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලතා හේතුවෙන් මිය ගිය අතර, තවත් බොහෝ පිරිසක් මිය ගියේ ගිනි කඳු පිපිරීම නිසා ඇතිවූ සුනාමියේ බලපෑමට හසුවීමෙනුයි. නොවාරප්තා ගිනි කඳු පිපිරුම විසි වන සියවසේ විශාලතම ගිනි
කඳු පිපිරීම ලෙස සඳහන් කළ හැකි අතර එය වාර්තාගත ඉතිහාසයේ සිදුවූ විශාලතම ගිනිකඳු පිපිරීම් පහෙන් එකක් වනවා. ශාන්ත හෙලේනා ගිනි කඳු පිපිරීම හේතුවෙන් මිනිස් ජීවිත පනස් හතක් විනාශ වුණා. ගිනි කඳු පිපිරීම් පිළිබඳ ඉතිහාසයේ වඩාත්ම පරීක්ශණවලට සහය දැක්වූ ගිනි කඳු පිපිරුම ලෙස ශාන්ත හෙලේනා ගිනි කඳු පිපිරුම දැක්විය හැකි වන්නේ, ඒ වන විට ගිනි කඳු පිළිබඳ හැදෑරීම සඳහා වූ විද්‍යාව දියුණු වී පැවතීමත්, ශාන්ත හෙලේනා ගිනි කන්දේ පැවති පහසුවෙන් ළඟා විය හැකි පිහිටීමත් හේතුවෙනි. රුයිස් ගිනි කඳු පිපිරීම ජීවිත 25 000ක් විනාශ කිරීමට සමත් වූ අතර මෙහි අවාසනාවන්තම කරුණ වන්නේ ගිනි කඳු සම්බන්ධ විද්‍යාඥයින් පැහැදිළිව අනතුරු අඟවා තිබිය දීත් එය නොසළකා හැරීම හේතුවෙන් මෙම මහා ජීවිත විනාශය සිදුවීම යි.
භූ කම්පන සහ සුනාමි
පැසිෆික් ගිනි වළල්ල වාර්තාගත ඉතිහාසයේ විශාලතම භූ කම්පන කීපයකටම හේතු වූ අතර ඊට උදාහරණ ලෙස එක්දහස් නවසිය හැටේ දී සිදුවූ චිලී භූමිකම්පාව, එක්දහස් නවසිය හැට හතරේ දී සිදුවූ ඇලස්කා භූ කම්පනය, දෙදහස් දහයේ දී සිදුවූ චිලී භූ කම්පනය, සහ දෙදහස් එකොළහේ දී ජපානයට බලපෑ භූ කම්පනය දැක්විය හැකියි. මීට අමතරව ශ්‍රී ලංකාව ද මුහුණ පෑ දෙදහස් හතරේ දී ඉන්දියානු සාගරයේ ඇතිවූ සුනාමි තත්වයට හේතු වූයේ ද මෙම ප්‍රදේශයේ භූ තැටිවල ක්‍රියාකාරීත්වය යි.
පැසිෆික් ගිනි වළල්ල අදටත් ලොව භූ විද්‍යාත්මකව සහ යමහල් සම්බන්ධ වැඩිම සක්‍රීයතාව දක්වන ප්‍රදේශය යි.