Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘථිවිය වැලි හිඟයක් අබියස ද?

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ පිහිටා තිබෙන “බුර්ජ් කලීෆා” නම් ගොඩනැඟිල්ල සැලකන්නේ ඉංජිනේරු විශ්මයක් ලෙසට යි. මීටර් 828ක් උස මෙම ගොඩනැඟිල්ල සඳහා වානේ ටොන් 39,000ක්, වර්ග මීටර 103,000ක ප්‍රදේශයක් ආවරණය කළ හැකි තරමේ වීදුරු ප්‍රමාණයක්, සහ කොන්ක්‍රීට් ලීටර මිලියන 330ක් පමණ වැය වී ඇති බව කියවෙනවා. බුර්ජ් කලීෆා ඇතුළු මෙවැනි දැවැන්ත ඉදිකිරීම් රාශියක් ලොව පුරා ප්‍රධාන නගරවල විසිරී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන පවා අහස් කුස ස්පර්ශ කිරීමට වෙර දරන ගොඩනැඟිලි සිය ගණනක් මේ වන විටත් ඉදිවෙමින් පවතිනවා. එම ඉදිකිරීම් සඳහා භාවිතා වන අමුද්‍රව්‍ය ප්‍රමාණයත් සුළුපටු නැහැ. මේ සෑම ඉදිකිරීමක දකින්නට ලැබෙන එක් පොදු අමු ද්‍රව්‍යයක් තිබෙනවා. එම අමුද්‍රව්‍ය තමයි වැලි. නවීන නගරවල පුරවා ඇති දැවැන්ත ඉදිකිරීම් දෙස බලන විට ඒවා සඳහා කොතරම් වැලි ප්‍රමාණයක් වියදම් වී ඇත් ද යන්න තක්සේරු කිරීමටත් අපහසු යි.

පානීය ජල සම්පත මෙන්ම, ලෝකය තුළ හිඟ වෙමින් යන සම්පතක් බවට වැලි පත්වී ඇති බව ඔබ දැන සිටියා ද? සැබැවින්ම මුළු පෘථිවියටම බල පැවැත්වෙන තරමේ වැලි අර්බුදයක් අබියස තමයි අපි සිටින්නේ. ඉතින් මෙම ලිපිය එම අර්බුදයේ පසුබිම් කරුණු වෙත අවධානය යොමු කරනවා. 

අධික වැලි කැණීම හේතුවෙන් විනාශ වෙමින් පවතින ගංගා පරිසරයක්/bbc.com/

සපුරාගත නොහැකි ඉල්ලුම

පෘථිවියේ ස්වභාවික සහ කාලගුණික ක්‍රියාවලීන් නිසා වැලි නිපදවෙනවා. මෙම ක්‍රියාවලිය අඛණ්ඩ නමුත් මන්දගාමී යි. පෘථිවියේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමේ දී පෙනෙන කාන්තාර නිසා, පෘථිවිය මත සැබැවින්ම වැලි හිඟයක් තිබේදැ යි කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් නිරන්තරයෙන් හමන සුළං ප්‍රවාහ නිසා මෙම කාන්තාර වැල්ල ඉතා සුමට වන අතර, ඒවායේ වැලි කැට වටකුරු ස්වභාවයක් ගන්නවා. කොන්ක්‍රීට් මිශ්‍රණ සඳහා සුළඟින් ඔප වැටුණ වැලි භාවිතා කිරීම සුදුසු නැහැ. ඒ වෙනුවට ඉදිකිරීම් අංශ විසින් භාවිතයට ගන්නේ ගංගා වැලි සහ නිධිවලින් හමුවෙන වැලි යි. මෙම වැලි ඇට හැඩයෙන් කෝණික වන අතර, සිමෙන්තිවලට හොඳින් ඇලී පවතින රළු මතුපිටක් ලබාදීමට සමත් වෙනවා. 

වැලි, ලෝකය තුළ අධික ඉල්ලුමක් පවතින ද්‍රව්‍යයක්. එම ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ගුණාත්මක තත්ත්වයේ වැලි සඳහා ගංගා හැරුණුකොට විකල්ප පරිසර පද්ධතීන් දෙසටත් අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව අද වන විට වෙරළාශ්‍රිතව, සහ සාගර පතුලේ තැන්පත්ව පවතින වැලි පවා ඉදිකිරීම් කර්මාන්තයේ දී යොදා ගන්නවා. නමුත් සමුද්‍ර වැලිවල ලවණතාවය අධික හෙයින්, ඉදිකිරීම් ව්‍යුහ තුළට ඇතුළත් කරන ලෝහ විඛාදනයට පත්වීමේ අවධානමත් අධික යි. එම නිසා සමුද්‍ර වැලිවල ලවණතාවය ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රියාවලීන්වලට යටත්කළ යුතු වෙනවා. ඒ සඳහා යම් පිරිවැයක් දැරීමට ද සිදුවෙනවා. නමුත් එවැනි වාතාවරණයක පවා සමුද්‍ර වැලිවලටත් අද ඉල්ලුම වැඩි වී තිබෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ වැලි අවශ්‍යතාවය ඒ සියල්ලටත් වඩා ඉහළින් තිබෙන නිසා යි.

 අධික ඉල්ලුම හේතුවෙන් මහ සයුරෙන් පවා වැලි ලබා ගැනීමට මිනිසා පෙළඹී සිටිනවා/theconversation.com/

වර්ෂ 2011 සිට 2013 දක්වා කාලය තුළ චීනය පමණක්, විසිවැනි ශත වර්ෂය පුරා ඇමරිකා එක්සත් ජනපදය භාවිතා කළ කොන්ක්‍රීට් ප්‍රමාණයට (ගිගාටොන් 4.5ක්) වැඩි ප්‍රමාණයක් (ගිගාටොන් 6.6ක් පමණ) භාවිතා කර තිබෙනවා. එක්සත් ජනපදය වසර සියයක් මුළුල්ලේ භාවිතා කළ කොන්ක්‍රීට් ප්‍රමාණට වඩා වැඩි ප්‍රමාණයක් වර්ෂ තුනක් වැනි කෙටි කලක් තුළ චීනය විසින් භාවිතා කිරීම තුළින් නාගරීකරණය ලෝකයට බලපෑම් කර ඇති අන්දම ගැන යම් අදහසක් ලබා හැකියි.

කුඩා රටක් වන සිංගප්පූරුව 1950 දශකයේ සිට අද දක්වාම ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘති හරහා සිය ඉඩකඩ වර්ධනය කරමින් සිටිනවා. මෙම සියලු ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් වැලි අවශ්‍ය වන අතර, ඔවුන් සිය අසල්වැසියන් වන කාම්බෝජය, වියට්නාමය, සහ මැලේසියාව වැනි රටවලින්  එම වැලි ආනයනය කරනවා. ඉතා කුඩා රටක් වුව ද, සිංගප්පූරුව ලෝකයේ වැලිවලින් 13%ක්ම ආනයනය කරනු ලබන අතර, ලෝකයේ විශාලතම වැලි ආනයනකරුවා වන්නේ ද සිංගප්පූරුව යි.

අමුද්‍රව්‍යයක් ලෙස වැලි මිනිසාට අවශ්‍ය වන්නේ ඉදිකිරීම් කටයුතු සඳහා පමණක්ම නොවේ. සූර්ය පැනල සහ පරිගණක චිප් වැනි අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා ද, වීදුරු කර්මාන්තය සඳහා ද පිරිසිදු කරන ලද සිලිකා වැලි භාවිතා කෙරෙනවා. මෙම කර්මාන්ත එක්සත් ජනපදය තුළ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින නිසා, ඉහළ සංශුද්ධතාවයකින් යුතු වැලිවලට ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් මෙම සම්පත් ලබා ගන්නා විස්කොන්සින් වැනි ප්‍රදේශවල වනාන්තර සහ ගොවිබිම් විශාල වශයෙන් හානියට පත්වෙමින් තිබෙනවා.

මෙයින් පෙනී යන්නේ, පෘථිවිය වැලි හිඟයකට මුහුණදීමේ අවදානමක් පැවතීම එක අතකින් පුදුමයට පත්විය යුතු කරුණක් නොවන බව යි.

වැලි පිටුපස ඇති පාතාලය

2010-2014 අතර කාලයේ දී ලෝකයේ වැඩිපුරම වැලි ආනයනය කළ රටවල්/earth.org/

වැලි සඳහා වන තරගය කෙතරම් තීව්‍ර වී ඇත් ද යත්, බොහෝ රටවල අපරාධ කල්ලි ද වැලි කැණීම සහ වෙළඳාමට අවතීර්ණ වී තිබෙනවා. එමෙන්ම අනවසර ලෙස කණින වැලි ටොන් ගණනින් කළුකඩයේ විකිණීමට සපයන්නේ ද මොවුන්. මානව හිමිකම් කණ්ඩායම්වල නිරීක්ෂණයන්ට අනුව ලතින් ඇමරිකාවේ සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල වැලි කැණීම සඳහා ළමුන් වහලුන් ලෙස යොදාගැනෙනවා. ඔවුන් සිය ජාවාරම් සහ ශ්‍රම සූරාකෑම් පිටත ලෝකයෙන් වසන්කර ගැනීමට එම ප්‍රදේශවල සිය බලය විහිදුවා තිබෙන අතර, ජාවාරම්වලට මැදිහත් නොවීම සඳහා පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දෙනවා. නමුත් මේ සුවිශාල පාරිසරික හානිය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට විරුද්ධව හඬ නැගූ පුද්ගලයන් නැතුවාම නොවේ. නමුත් ඒ සමහර පුද්ගලයන්ගේ ඉරණම ඉතා ඛේදජනක වුණා.

දකුණු මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තය හරහා ගලා බසින ගංගාවක සිදුවෙන අනවසර වැලි කැණීම්වලට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වූ හොසේ ලුයිස් අල්වාරෙස් ෆ්ලෝරස් නම් පරිසරවේදියා ඝාතනය කිරීම සහ ඔහුගේ පවුලේ අයට තර්ජන එල්ලවීමේ සිදුවීමෙන්, මෙම ජාවාරමේ තිබෙන බරපතලකම ගැන ලෝකයේ අවධානය යොමු වුණා. එමෙන්ම ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්ත පොලිසිය සහ වැලි ජාවාරම්කරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවක් ද ඊට ආසන්න කාලයේ දී වාර්තා වුණා. දකුණු අප්‍රිකාව තුළ වැලි ජාවාරමේ යෙදෙන කල්ලි අතර පවා ගැටුම් ඇතිවෙන බවට වාර්තා වෙනවා. නමුත් මේ සියල්ලම මෑත කාලයේ වැලි ජාවාරම සම්බන්ධයෙන් වාර්තා වූ අපරාධ සිදුවීම්. කෙන්යාව, ගැම්බියාව, සහ ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් බොහෝමයක මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා. ප්‍රාදේශිය පුවත්පත්වලට අනුව ඉන්දියාව තුළ වැලි මාෆියාවෙන් පමණක් සිය ගණනක් තුවාල ලබා, දුසිම් ගණනක් වූ මිනිස් ජීවිත අහිමි වී තිබෙනවා.

අද වනවිට වැලි කැණීම ජාවාරමක් වගේම ශ්‍රමය සූරාකන ස්ථාන බවටත් පත්වෙලා/ibtimes.co.in/

පෘථිවියට වැලි හිඟ වුණොත් මොකද වෙන්නේ?

වැලි අධික ලෙස පරිහරණය කිරීමෙන් ඇති වන අහිතකර පාරිසරික ප්‍රතිවිපාකවලට සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල් දැනටමත් මුහුණ දෙමින් සිටිනවා. දකුණු වියට්නාමයේ මීකොං ඩෙල්ටා පරිසරයේ වැලි කැණීම් හේතුවෙන්, ඩෙල්ටාවේ අවසාදිත තැන්පත්වීම විශාල වශයෙන් අඩුවී ඇති අතර, එය සමස්ත ඩෙල්ටාවේම පාරිසරික සමතුලිතතාවයට බාධා ඇතිකර තිබෙනවා. මේ හේතුවෙන්, වියළි කාලවල දී මුහුදේ සිට මීකොං ගංගාවේ ඉහළට කරදිය ගැලීම නිසා ඒ අවට ප්‍රජාවගේ ජලය හා ආහාර සැපයුමට අහිතකර ලෙස බලපෑම් එල්ලවී තිබෙනවා. අධික වැලි කැණීම් හේතුවෙන් 2005 සිට ඉන්දුනීසියාවේ කුඩා දූපත් දුසිම් දෙකකට වඩා අතුරුදහන් වී ගොස් ඇති අතර, කාම්බෝජයේ “කොහ් කොංග්” පළාතේ කඩොලානවලින් පොහොසත් ගංගා මෝය විනාශ වීම හේතුවෙන් කකුළු ගහණය සහ මත්ස්‍ය ගහණය අවම වී ධීවරයන්ගේ ජන ජීවිත අර්බුදයට ලක් වී තිබෙනවා.

වාර්ෂිකව වැලි මෙට්‍රික් ටොන් 400ක් පමණ චීනයේ පොයැන්ග් විලෙන් ලබා ගන්නා නිසා, අද වන විට එම විලේ ජලය රඳවා ගැනීමේ හැකියාව අහිමිව ගොස්  අවසාන යි. එහි ජලයෙන් අඩක්ම යැංසි ගංගාවට ගලා ගොස් ඇති නිසා දැනටමත් විල ආශ්‍රිත ප්‍රදේශය නියඟයට ගොදුරු වී තිබෙනවා.

පර්යේෂණවලට අනුව වැලි කැණීම නිසා මත්ස්‍ය ප්‍රජාවට පමණක් නොව ඩොල්ෆින්, කිඹුලන් වැනි පරිසර පද්ධතියේ යහ පැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙයක් සිදුකරන ජීවින්ට පවා තර්ජන එල්ල වී තිබෙනවා. මහා පරිමාණයෙන් කරන වැලි සෑරීම් නිසා ගංවතුර හා කුණාටුවලට තිබෙන ස්වභාවික ප්‍රතිරෝධයන් අහිමිව යනවා. Water Integrity Network ආයතනයේ සොයා ගැනීම්වලට අනුව 2004 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි අනතුරේ බලපෑම කළමණාකරණයකින් තොර වූ වැලි කැණීම් නිසා උග්‍ර වූ බව පැවසෙනවා.

උතුරු බංග්ලාදේශයේ ගංගාවක් වැලි කැණීම නිසා විනාශ වන අයුරු චන්ද්‍රිකා ඡායාරූපයකින්/nature.com/

වැලි කැණීමෙන් ඉතිරි වන ජල තටාක නිසා මැලේරියාව වැනි වසංගත රෝග පැතිරීමේ අවදානමක් ද පවතිනවා. උදාහරණයක් ලෙස වැලි කැණීමෙන් ඉතිරි වූ ජල තටාක නිසා බටහිර අප්‍රිකාවේ “බුරුලි වණ හෝ තුවාල” වැනි දරුණු සමේ ආසාදන පැතිර යෑමේ සිදුවීම දැක්විය හැකියි. මෙම ලිපිය කියවන පාඨක ඔබ හැකි නම් මේ බුරුලි වණ නිසා මිනිස් ශරීරයට ඇති වන හානිය අන්තර්ජාලය හරහා සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා.

තිරසාර අනාගතයක් වෙනුවෙන් වැලි සම්පත කෙසේ භාවිතා කරමු ද?

වැලි හිඟය, පාරිසරික බලපෑම, සහ වැලි වෙළඳාම සමග බැඳී පවතින අපරාධ හේතුවෙන් බොහෝ රටවල් වැලි කැණීම සම්බන්ධයෙන් දැඩි පියවර ගනිමින් සිටිනවා. මැලේසියාව මේ වන විටත් සිංගප්පූරුව සහ වෙනත් රටවලට මුහුදු වැලි අපනයනය කිරීම තහනම්කර තිබෙන අතර, වියට්නාමය මේ වන විටත් ජාත්‍යන්තර වැලි අලෙවිය 30%කට වඩා අඩු කිරීමට සමත් වී තිබෙනවා. 2017 දී කාම්බෝජය ද සිංගප්පූරුවට කරන සියලුම වැලි අපනයනයන් නතරකර දැමුවා. කෙසේ නමුත්, තිරසර අනාගතයක් වෙනුවෙන් එවැනි තනි පියවර ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ගෝලීය සහ කලාපීය මට්ටමෙන් වූ වැලි අවශ්‍යතා අනුව ජාත්‍යන්තර වශයෙන් වැලි පරිභෝජනය සඳහා වූ ගෝලීය උපාය මාර්ගයක වැදගත්කම දැන් එළඹී තිබෙනවා. පානීය ජලය තරමටම වැලි සම්පතත් ලෝකය තුළ හිඟ වෙමින් පවතින ද්‍රව්‍යයක් ලෙස සලකා කටයුතු කිරීමේ වැදගත්කම ගැන විද්වතුන් නිරන්තරයෙන් ලෝකය හමුවේ ප්‍රකාශ කරමින් සිටිනවා.

ඉදිකිරීම් කටයුතුවලට යොදාගත හැකි ආදේශක ගැන පර්යේෂණ සිදුවන අතර, ඇතැම් ආදේශකයන් ප්‍රචලිත වෙමින් ද පවතිනවා. කළුගල් කැණීම් කටයුතුවල දී නිපදවෙන අපද්‍රව්‍යයක් ලෙස කලකට පෙර සැලකූ ගල් කුඩු, අද වන විට වැලි වෙනුවට භාවිතා කරන ආදේශකයක් ලෙස ප්‍රචලිත වී තිබෙනවා. ඉන්දියාවේ කරන ලද අධ්‍යනයකින් හෙළිවූයේ වැලි 55%-75% අතර ප්‍රතිශතයක කොන්ක්‍රීට් මිශ්‍රණවලින් ඇති කරන බලපෑම හා සමාන බලපෑමක් ගල් කුඩු යොදාගැනීමෙන් ද ඇති කළ හැකි බව යි. ගල් අඟුරු භාවිතයෙන් ක්‍රියාත්මක වන බොයිලේරුවල අපද්‍රව්‍යයක් වූ සියුම් අළුවලින් වැලි වෙන්කර ගත හැකි ක්‍රමවේදයක් ද අධ්‍යයනයට ලක් වෙමින් තිබෙනවා. බොහෝ රටවල එවැනි අපද්‍රව්‍ය දේශීයව සොයාගත හැකි නිසා වැලි ආනයනය කිරීමේ දී පනවා ඇති අධික වෙළඳ සහ ජාත්‍යන්තර බදුවලින් නිදහස් විය හැකියි.

වැලි කැණීම හේතුවෙන් වෙරළ ඛාදනය සහ ගංගා ඉවුරු ඛාදනය අද ප්‍රබල ගැටළුවක් වෙලා/bbc.com/

වෙනත් ක්‍රියාකාරකම්වල අතුරු නිෂ්පාදන සහ අපද්‍රව්‍ය උපයෝගී කර ගන්නා යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමෙන් වැලි සංචිත ස්ථාවරව පවත්වා ගැනීමේ උත්සාහයන් කෙරෙහි ද මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම කඩා ඉවත් කළ ගොඩනැගිලි ද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ඒවායේ අමුද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයන් ලෝකය තුළ ප්‍රචලිත වෙමින් පවතිනවා.

අධික මිනිස් අවශ්‍යතා හමුවේ ලෝකය තුළ ස්වභාවික සම්පත් වේගයෙන් ක්ෂය වෙමින් පවතිනවා. එම ස්වභාවික සම්පත් නැවත නිපදවෙන ක්‍රියාවලීන් බොහෝවිට මන්දගාමී නිසා සම්පත් කළමණාකරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම අද ගෝලීය අවශ්‍යතාවයක් බවට පත්වෙලා.

 

Cover photo: newyorker.com/

මූලාශ්‍රයයන්: bbc.com/

earth.org/

forbes.com/

Related Articles