යම් කිසි පෙදෙසක සාමාන්‍ය උෂ්ණත්වය තීරණය වීමට පාරිසරික මෙන් ම වෙනත් සාධක කිහිපයක්ම බලපානවා. විශේෂයෙන්ම අක්ෂාංශ ගත පිහිටීම, උන්නතාශය, සාමුද්‍රික බලපෑම වැනි කරුණු මේ අතරින් ප්‍රධාන වෙනවා.
සමකයෙන් ධ්‍රැව දෙසට ගමන් කරන විට මෙන් ම මුහුදු මට්ටමේ සිට උස වැඩි වන විට ක්‍රමයෙන් සාමාන්‍ය උෂ්ණත්වය අඩු වීම න්‍යායික ව සිදුවූවත්, අනෙකුත් සාධකවල බලපෑම නිසා සම්පූර්ණයෙන් ම වෙනස් උෂ්ණත්ව ඇති ස්ථාන බොහොමයක් ලොව වෙනවා. ලොව උණුසුම් ම දේශගුණය පවතින රටවල් ලෙස පහත සඳහන් රටවල් හැඳින්වෙනවා. මේවායේ භූගෝලීය පිහිටීම්වල සුවිශේෂතා අධ්‍යයනය කරන්න.
අමෙරිකා එක්සත් ජනපදය
මෙම ලැයිස්තුවට අමෙරිකා ඇක්සත් ජනපදය ඇතුළත් වීම බොහෝ දෙනාට විමතිය ගෙනදෙන කරුණක් වනු ඇති. විශේෂයෙන් එහි උතුරුදිග පෙදෙස්වලට ශීත ඍතුවේදී බලපාන දැඩි ශීතල දේශගුණයත් සමඟ මෙම ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලැබීම පිළිබඳ ව බොහෝ දෙනා එකඟ නොවනු ඇති. කෙසේ නමුත් මෙය සකසා ඇත්තේ යම් රටකින් එදා මෙදා තුර වාර්තා වූ උපරිම උෂ්ණත්වය ප්‍රමුඛ ව සැලකිල්ලට ගැනීමෙනු යි.
අමෙරිකා එක්සත් ජනපදයට එම ස්ථානය ලබාගැනීමට දායක වී ඇත්තේ එහි ‘මරණයේ මිටියාවත’ හෙවත් ඩෙත් වැලී නම් පෙදෙස නිසා යි. එහි ෆර්නස් ක්‍රීක් නම් පෙදෙසෙන් ක්‍රිස්තු වර්ෂ 1913 වසරේ ජූලි මස 10 වන දින සෙල්සියස් අංශක 56.7 ක උෂ්ණත්වයක් හෙවත් ෆැරන්හයිට් අංශක 134 ක උෂ්ණත්වයක් වාර්තා වුණා. මෙය එදා මෙදා තුර පෘථිවිය මතුපිට, ස්වභාවික පරිසරයකින් වාර්තා වූ වැඩි ම උෂ්ණත්වය යි. මේ පෙදෙසෙන් සෙල්සියස් අංශක 50 ඉක්මවූ උෂ්ණත්වයක් කිහිපවිටක ම වාර්තා වී ඇති අතර, අනෙක් සුවිශේෂී ම කාරණාව වන්නේ ශීත සමයේ දී මෙම පෙදෙසින් සෙල්සියස් අංශක ඍණ 10 තරම් ශීතල උෂ්ණත්වයක් ද වාර්තා වී තිබීම යි. ප්‍රදේශයේ ඇති කාන්තාරික මෙන් ම, උසින් අඩු නිම්නමය භූ පිහිටීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
ටියුනීසියාව
අප්‍රිකානු මහාද්වීපයේ සහරා කතර අභිමුව පිහිටා ඇති ටියුනීසියාව ලොව දෙවනුවට උෂ්ණාධික ම රට ලෙස සැලකෙනවා. 1931 වසරේ ජූලි මස 7 වන දින එරට කෙබිලි නම් නගරයෙන් සෙල්සියස් අංශක 55 ක හෙවත් ෆැරන්හයිට් අංශක 131 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ මෙන් නොව සම්පූර්ණ ටියුනීසියාව ම සැලකීමේ දී එහි ඉතා උණුසුම් ග්‍රීෂ්ම කාලයක් පවතිනවා. ග්‍රීෂ්මයේ දී එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32-33 ක් හෙවත් ෆැරන්හයිට් අංශක 89/91 තරම් වෙනවා.
කාන්තාරික පෙදෙස් සැලකීමේදී එය ඊටත් ඉහළ අගයක් ගන්නවා. සහරා කතර දෙසින් එන රත් වූ වායු දහරා මීට හේතු වශයෙන් සැලකෙන අතර, සමස්ත උෂ්ණත්වය සැලකීමේ දී ටියුනීසියාව ලොව උණුසුම් ම රට ලෙසට සමහරක් දෙනා සලකනවා. කෙසේ නමුත් මෙහි ශීත සමය තරමක් සිසිල් වෙනවා. එහිදී සෙල්සියස් අංශක 1618 අතර හෙවත් ෆැරන්හයිට් අංශක 61/64 තරම් වූ සාමාන්‍ය උෂ්ණත්වයක් රට පුරා පවතිනවා.
කුවේට්
මැද පෙරදිග ස්ථානගත ව ඇති කුවේටය ලොව එදා මෙදා තුර වාර්තා වූ තෙවනුවට අධික පාරිසරික උෂ්ණත්වයකට හිමිකම් කියන රට වෙනවා. 2016 වසරේ ජූලි මස 21 වන දින එහි මිට්‍රිබා නම් පෙදෙසින් සෙල්සියස් අංශක 54 ක හෙවත් ෆැරන්හයිට් අංශක 129.2 ක උෂ්ණත්වයක් වාර්තා වුණා. මැදපෙරදිග පවති කාන්තාරික භූ ලක්ෂණ මීට හේතු වූ බැව් විද්වත් මතය යි. මෙය 2000 වසරෙන් පසුව ලොව වාර්තා වූ බවට මේ වන විට නිල වශයෙන් පිළිගැනෙන ඉහළ ම උෂ්ණත්වය යි.
ඉරානය
ආසියාතික රටක් වන ඉරානය ද ග්‍රීෂ්ම ඍතුවේ දී ඉතා දැඩි උෂ්ණත්ව වාර්තා වන රටක් ලෙස ලොව පරසිදු යි. අක්ෂාංශගත පිහිටීම අනුව වඩාත් සෞම්‍ය රටක් ලෙස කාණ්ඩගත විය යුතු වුව ද, සාමුද්‍රික බලපෑම අවම වීම, කාන්තාරික දේශගුණය හා උණුසුම් වායුධාරා එහි භූ පිහිටීම අනුව එහි සිරවීම වැනි කරුණු නිසා ඉන් මෙලෙස ඉහළ උෂ්ණත්ව ග්‍රීෂ්මයේ දී වාර්තා වෙනවා. 2017 වසරේ ජුනි මස 29 වැනි දා එහි අහ්වාස් නම් පෙදෙසින් සෙල්සියස් අංශක 54 ක පමණ හෙවත් ෆැරන්හයිට් අංශක 129 ක උෂ්ණත්වයක් වාර්තා වුණා.
කෙසේ නමුත් ශිශිරයේ දී නම් ඉරානයේ පවතින්නේ හාත්පසින් ම වෙනස් දේශගුණයක්. මෙහි දී උෂ්ණත්වය ඍණ අගයන්වලට නිතර ම බැසීම සිදුවෙනවා. හිම පතනයත් සිදුවෙනවා. අහ්වාස් නුවරින් එදා මෙදාතුර වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 7 ක්. එනම් ෆැරන්හයිට් අංශක 19.4 ක්.
ඊශ්‍රායලය
මැදපෙරදිග පවතින තවත් රටක් වන ඊශ්‍රායලයත් ලොව ඉතා උණුසුම් උෂ්ණත්ව වාර්තා වන රටක් ලෙස සැලකෙනවා. මෙහි ටිරාට් ස්වි නම් පෙදෙසින් 1942 වසරේ ජුනි මස 21 වන දින වාර්තා වූ සෙල්සියස් අංශක 54 ක හෙවත් ෆැරන්හයිට් අංශක 129.2 ක උෂ්ණත්වය එරටින් එදා මෙදා තුර වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය ලෙස සැලකෙනවා. සමස්තයක් වශයෙන් ගත් විට සම්පූර්ණ ඊශ්‍රායලය ම ග්‍රීෂ්මයේ දී දැඩි ලෙස උණුසුම් වෙනවා.
ග්‍රීෂ්මය බලපවත්වන මාස වල එහි දිවා කල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-32 අතර අගයක් ගන්නවා. වඩාත් උණුසුම් ග්‍රීෂ්ම දේශගුණයක් සහිත මැසාඩා හා එලියාත් වැනි පෙදෙස්වල එම කාලය තුළ නිතර ම සෙල්සියස් අංශක 43 හෙවත් ෆැරන්හයිට් අංශක 110 තරම් වූ උෂ්ණත්ව අත්විඳිය හැකි වෙනවා.
ඉරාකය
1916 වසරේ ජූලි මස 22 වන දින ඉරාකයේ බස්රා නුවරින් සෙල්සියස් අංශක 53.9 ක හෙවත් ෆැරන්හයිට් අංශක 129 කට ඉතා ආසන්න උෂ්ණත්වයක් වාර්තා වුණා. මෙය එරටින් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය යි. ඉරාකයත් අනෙකුත් බොහෝ මැදපෙරදිග රටවල් මෙන් ඉතා උණුසුම් ග්‍රීෂ්මයකට හා වඩා සෞම්‍ය ශිශිරයකට උරුමකම් කියනවා. ඒ එහි සමස්තයක් ලෙස පවතින කාන්තාරික දේශගුණය නිසා යි. කෙසේ නමුත් රට පුරාවට මෙහි වෙනසක් දැකිය හැකි අතර, කඳුකර පෙදෙස ශීත සමයේ දී වඩාත් ශීතල වෙනවා. ඉරාකයේ උණුසුම් ම පෙදෙස් එහි උතුරු ප්‍රදේශ වන අතර, ඒවා වඩාත් වැඩි කාන්තාරික ලක්ෂණ ප්‍රකට කරන පෙදෙස් වෙනවා.
වසර පුරාවට පවතින සාමාන්‍ය උෂ්ණත්වය පමණක් සැලකීමේ දී ලොව උණුසුම් ම රටවල් දෙක ලෙස සැලකෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ බුර්කිනා ෆාසෝ රාජ්‍යය හා මාලි රාජ්‍යය යි. සමස්තයක් ලෙස ගත් විට එහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 28.25 ක් වෙනවා. එය ෆැරන්හයිට් අංශක 82.85 ක අගයක් වෙනවා.