ගැලපගෝස් දූපත් සමූහය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙම දූපත්වල සුවිශේෂී සහ සංවේදී පරිසර පද්ධතිය නිසා ජීවී පරිණාමය පිළිබඳ න්‍යායක් ගොඩනැඟීමට චාල්ස් ඩාර්වින් නම් විද්‍යාඥයාට හැකි වුණා. ගැලපගෝස් දූපත් සමූහය ලෝකය පුරා පතල වෙන්න පටන් ගත්තේ පරිණාමවාදය සහ චාල්ස් ඩාර්වින් නිසා යි. මෙම දූපත් සමූහයේ සිටින ජීවීන් බොහෝමයක් එම දූපත්වලටම ආවේණික යි. ඉතිහාසයේ වැඩි කාලයක් මෙම ප්‍රදේශය පැසිෆික් සයුර මැද අතිශයින් හුදෙකලාව පැවතීම, සහ අනෙකුත් දේශගුණික සාධක මෙම ආවේණිකත්වයට හේතු වී තිබෙනවා. ඒ අනුව ගැලපගෝස් දූපත් පරිණාමය උදෙසා ස්වභාවික විද්‍යාගාරයක් මෙන් ක්‍රියාකර තිබෙන බව සඳහන්.
වසර දහස් ගණනක් හුදෙකලාව පවතින දූපත්වල ජීවී ප්‍රජාවන් අනෙකුත් පරිසර පද්ධතීන් සමග නොගැටෙන නිසා, ඒ ඒ දූපත්වල පාරිසරික සාධක අනුව පරිණාමය වෙනවා. අවසානයේ දී ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබෙන ආවේණික පරිසර පද්ධතියක් සාදන්න ඔවුන් සමත් වෙනවා. ගැලපගෝස් මෙවැන්නක්.
ලෝකය පුරා ගැලපගෝස් අන්දමේ දූපත් විසිරී පවතිනවා. සොකොත්‍රා කියන්නේත් එවැනි දූපතක්. “ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත” ලෙස හඳුන්වන්න තරම් සොකොත්‍රා බිම්කඩ සුවිශේෂ යි.
පිහිටීම සහ භූගෝලීය කරුණු
සොකොත්‍රා, අරාබි අර්ධද්වීපය සහ අප්‍රිකාවේ සෝමාලියාවට අතර අරාබි මුහුදේ පිහිටා තිබෙන දූපතක්. දුර ප්‍රමාණයෙන් ගතහොත්, සෝමාලියාවේ “කැප් ගාර්ඩෆුයි” ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 240ක් නැගෙනහිරින් සහ යේමනයේ “රාස් ෆර්ටැක්” සිට කිලෝ මීටර් 380ක් දකුණු දෙසින් සොකොත්‍රා දූපත පිහිටා තිබෙනවා. ඒ අනුව සොකොත්‍රා, ප්‍රධාන භූමීන්වලින් සැලකිය යුතු දුරකින් ඈත්ව පිහිටි බිම්කඩක්. සොකොත්‍රා අවට තවත් කුඩා දූපත් කිහිපයක් පිහිටා තිබෙනවා.
වර්ග කිලෝමීටර 3796ක වපසරියකින් යුතු මෙම දූපත භූගෝලීය වශයෙන් කලාප තුනකට බෙදිය හැකි යි. වෙරළබඩ තැනිතලා, හුණුගල් සානුව, සහ හැග්ජීර් කඳුකර ප්‍රදේශය එම කලාප තුන වෙනවා. අර්ධ කාන්තාර දේශගුණයක් හෙබි සොකොත්‍රාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි අගයක් ගනු ලබනවා. දිවයිනට ලැබෙන්නේ තරමක් අඩු වර්ෂාපතනයක්. වෙරළබඩ ප්‍රදේශවලට සාපේක්ෂව ඉහළ කඳුකර ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා.
ජුනි සිට සැප්තැම්බර් දක්වා දිවයිනට මෝසම් සමය එළඹෙන අතර අධික සුළං සහ රළු මුහුද නිසා එම කාලය තුළ නෞකා මාර්ගයෙන් දූපතට ළඟා වීම දුෂ්කර යි. මේ හේතුව නිසා අතීතයේ දී සොකොත්‍රා දූපත මෝසම් කාලය තුළ බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වුණා. නමුත් දැන් සොකොත්‍රාවට ගුවන්තොටුපළක් තිබෙනවා. වර්තමානයේ සොකොත්‍රා දිවයින යේමනය යටතේ පාලනය වන ප්‍රදේශයක්.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගුජරාටි නැවියන්, සොකොත්‍රා ආශ්‍රිත නාවික මාර්ගය “නිරන්තරයෙන් ගර්ජනා කරන සොකොත්‍රාවේ සිංහයා” යන අරුත ඇති “සිකොත්‍රෝ සිං” ලෙස හැඳින්වූවා. වසරේ වැඩි කාලයක් රළුව පවතින සොකොත්‍රා ආශ්‍රිත මුහුද නිසා ඔවුන් එම නාමය ව්‍යවහාරයේ පවත්වාගත් බව සිතිය හැකි යි. කෙසේ නමුත්, මෙම ස්වභාවික පිහිටීම නිසා අතීතයේ සිටම නෞකා බලය තිබූ අරාබිකරයට පවා සොකොත්‍රා දිවයිනට ළඟා වීමට හැකි වුණේ වසරේ සීමිත කාලයකට පමණ යි. කෙසේ නමුත්, පුරාණ කාලයේ පටන්ම සොකොත්‍රා දිවයින ඖෂධීය සහ සුගන්ධවත් ශාක මැලියම්, ලොව හොඳම කෝමාරිකා, ඇම්බර්, සහ මුතු වැනි නිෂ්පාදනවලට ප්‍රචලිතව තිබුණා.
ජෛව විවිධත්වය
සොකොත්‍රා දිවයින ගැන තොරතුරු අධ්‍යයනය කිරීමේ දී අපට හමුවන වැදගත්ම සහ ආකර්ෂණීයම දෑ වන්නේ එහි ජෛව විවිධත්වය යි. මේ දූපතේ තිබෙන ශාක සහ සත්ත්ව ප්‍රජාවෙන් වැඩි කොටසක් ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක දකින්නට ලැබෙන්නේ නැහැ.
පෘථිවියේ ඉතාම ආගන්තුක තැනක් ලෙස සොකොත්‍රාව සලකන්න ඇතැම් සංචාකයන් පුරුදුව සිටිනවා. එයට හේතුව වන්නේ මෙහි පවතින දුර්ලභ ශාක බොහෝමයක් අමුතු හැඩයක් ගන්නා නිසා යි. සොකොත්‍රාවේ සොබාදහමට යම් හානියක් පැමිණියහොත්, එය ලෝකයට දරා ගන්නට බැරි තරමේ විශාල පාඩුවක්යැ යි පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. දැනට කර ඇති අධ්‍යනයන්ට අනුව මෙම දිවයිනේ ශාක විශේෂ 825ක් තිබෙන බව පැවසෙනවා. එයින් විශේෂ 308ක් (ප්‍රතිශතයක් ලෙස 37%ක්) දූපතට ආවේණික යි. මීට අමතරව පක්ෂීන් විශේෂ 225ක් සොකොත්‍රා දිවයිනේ සිටිනවා. එයින් විශේෂ හයක්ම දූපතට ආවේණික යි. තව ද, සමනල විශේෂ 190ක් සහ කෘමීන් විශේෂ 600ක් පමණ දූපතෙන් මේ දක්වා වාර්තා වී තිබෙන අතර, මේ දෙවර්ගයේම විශේෂවලින් 90%ක් දූපතට ආවේණික වීමෙන් සොකොත්‍රාව කොතරම් ජෛව සංවේදී කලාපයක් ද යන්න සිතාගත හැකි යි. මේ වැදගත්කම නිසා 2008 වර්ෂයේ දී සොකොත්‍රා දිවයින යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් බවට පත් වෙනවා.
මකර ලේ ගස් සහ බෝතල් ගස්
අමුතු හැඩයක් ගන්නා ශාක විශේෂ රාශියක් සොකොත්‍රා දිවයිනේ පැතිරී තිබෙනවා. ඒ අතරින් සාමාන්‍ය ව්‍යවහාරයේ “මකර ලේ ගස” යනුවෙන් හැඳින්වෙන ශාක විශේෂය නිසා සොකොත්‍රා දිවයින ලෝකය පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. දිගහරින ලද කුඩයක හැඩයක් ගන්නා මෙම ශාකයේ කඳට හානි කළ විට තද රතු පැහැති යුෂයක් වැගිරෙනවා. මේ තද රතුපැහැ යුෂය නිසා ශාකය “මකර ලේ ගස” යනුවෙන් හඳුන්වනවා. මෙම යුෂය, රූපලාවණ්‍ය කටයුතු සහ ඖෂධයක් ලෙස පුරාණයේ පටන් භාවිතයට ගෙන තිබෙනවා. විද්‍යාත්මකව Dracaena cinnabari ලෙස හඳුන්වන මෙම ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 800ක් පමණ උසින් පිහිටා ඇති ඩික්සම් සානුවේ දක්නට ලැබෙනවා.
සොකොත්‍රා දිවයිනේ ඇතැම් ශාක ස්ථුල හෝ ඉදිමුණු ස්වභාවයක් ගන්නා කඳකින් සමන්විත යි. ශුෂ්ක පරිසරයක් දිවයින තුළ පවතින නිසා හැකිතාක් ජලය ගබඩා කිරීමට ඇති කරගත් අනුවර්තනයක් ලෙස මෙම ස්ථුල කඳන් හැඳින්විය හැකි යි. මේ නිසා එම ශාකවලට විචිත්‍ර පෙනුමක් ලැබී තිබෙනවා. මෙම ලක්ෂණය සඳහා වඩාත්ම ප්‍රසිද්ධ උදාහරණය වන්නේ බෝතල් ගස යි. බෝතල් ගස “කාන්තාර රෝස” ලෙසත් හඳුන්වනවා. විද්‍යාත්මක නාමය වන්නේ Adenium obesum socotranum.
“කියුකම්බර් ගස” (විද්‍යාත්මක නාමය වන්නේ Dendrosicyos socotranum) කියන්නේත් තවත් එවැනිම අමුතුම හැඩයක් තිබෙන ශාකයක්. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව ඉතා වැදගත්. පිපිඤ්ඤා පවුලට අයත් (උද්භිද විද්‍යාත්මකව කුකුර්බිටේසියේ පවුල) ලෝකයේ එකම වෘක්ෂරූපී හෝ වෘක්ෂයක් ලෙස වැඩෙන ශාකය වන්නේ සොකොත්‍රාවට ආවේණික වන කියුකම්බර් ගස යි.
ජන ජීවිතය
සොකොත්‍රා දිවයින තම නිවහන කරගෙන ඇත්තේ එහි ඇති අද්විතීය ශාක සහ සත්ත්ව ප්‍රජාව පමණක්ම නොවේ. මෙම ස්වභාවික පරිසරය සමග අතීතයේ පටන් සහජීවනයෙන් කටයුතු කරන මිනිසුන් පිරිසකුත් එහි වාසය කරනවා. වර්තමානයේ සොකොත්‍රා දිවයිනේ ජනගහනය 50,000ක් පමණ. එයින් වැඩිපුරම පිරිසක් ජීවත් වන්නේ “හඩිබෝ” ලෙස හඳුන්වන නගරයේ යි. වසර ගණනාවක පටන් ඔවුන් තමන් වෙසෙන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සකස් කරගත් සාම්ප්‍රදායික නීති රීති රාමුවක් තුළ ජීවත් වෙනවා. අද දක්වා මේ සුවිශේෂී පරිසර පද්ධතිය ආරක්ෂා වීම පිටුපස ඔවුන්ගේ ජීවන රටාවත් හේතු වී තිබෙනවා.
දූපත් වැසියන්ගෙන් බහුතරයක් මෑතක් වනතුරුම ඔවුන්ගේ පශු සම්පත්වලින් යැපුණු අතර, ශුෂ්ක පරිසරය හමුවේ සතුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සම්බන්ධය ගැටලුවලට මුහුණ දුන්නා. සතුන්ගේ ආහාර සඳහා ඔවුන් දූපතේ විවිධ ප්‍රදේශවලට එක් එක් කාලවල දී සංචරණය කරනවා. දූපතේ එකම කොටසක් පශු සම්පත සඳහා දිගු කලක් භාවිතා නොකොට, විවිධ පෙදෙස්වලට සතුන් ගෙනයන නිසා සතුන්ගෙන් පරිසරයට එතරම් හානියක් සිදුවන්නේ නැහැ. දූපතේ සීමිත සම්පත් කළමණාකරණය කිරීමට ඔවුන් පුරුදුව සිටිනවා. නමුත් වර්තමානයේ ඔවුන්ට සත්ත්ව පාලනය හැර තවත් ආදායම් මාර්ග තිබෙනවා. දූපතට යම් සංචාරක ආකර්ෂණයක් තිබෙන නිසා ඒ ආශ්‍රිත ආදායම් මාර්ග දැන් නිර්මාණය වෙලා. මීට අමතරව ධීවර කර්මාන්තය සහ වැසි දියෙන් පෝෂණය වෙන කුඩා පරිමාණයේ වගා බිම් දූපත් වැසියන්ගේ ආර්ථිකයට පිටුවහලක් වී තිබෙනවා.
සංචාරකයෙකුට ගත හැකි අත්දැකීම් .
සොකොත්‍රා කියන්නේ එතරම් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් නොවෙයි. මැදපෙරදිග වඩාත් අර්බුදකාරී රටක් වන යේමනය යටතේ පාලනය වන භූමියක් නිසා ප්‍රධාන ගොඩබිමේ අස්ථාවරත්වය සොකොත්‍රාවටත් බලපා තිබෙනවා. නමුත් මෙම දිවයින කිසිවිටෙකත් යේමනයේ පවතින යුද ගැටුම්වලට මැදි වී නැහැ. ඒ අනුව සොකොත්‍රා දිවයින ආරක්ෂිත ස්ථානයක් බව පැවසිය හැකි යි. ලෝකයේ අප්‍රසිද්ධ ස්ථාන ගවේශනය කිරීමට කැමති සංචාරකයන් අතර සොකොත්‍රාව දැන් ජනප්‍රිය යි. පවතින සංස්කෘතික රාමුව නිසා එහි කාන්තාවන් තරමක් ලැජ්ජාශීලි වුව ද, පොදුවේ ගත්කල දිවයිනේ වැසියන් ඉතා මිත්‍රශීලි, සංචාරකයන් පිළිගන්නා ජන කොට්ඨාශයක්.
ඔක්තෝබර් සිට මැයි දක්වා සොකොත්‍රා දිවයිනේ සංචාරය කිරීමට උචිත කාල වකවානුව ලෙස හැඳින්වෙනවා. එයිනුත් ඔක්තෝබර්, නොවැම්බර්, සහ පෙබරවාරි මාස වඩාත් සුදුසු යි. එම කාලවල දී දූපත තුළ තිබෙන්නේ වැසි රහිත සහ උණුසුම අඩු කාලගුණයක්.
දූපතේ ජෛව විවිධත්වයට අමතරව කඳුකර ප්‍රදේශයේ තිබෙන ගැඹුරු දොරු තරණය කිරීම, ආචර්, ඩෙලීෂා වැනි සුන්දර මුහුදු තීරයන්, විවිධ භූවිෂමතාවලින් පරිපූර්ණ වූ ගුහා සංකීර්ණ, වාඩි ඩිෆාර්හු ස්වභාවික ජල තටාකය වැනි සුන්දර ස්ථාන බොහෝමයක් මෙම දූපතේ නැරඹීමට තිබෙනවා. සොකොත්‍රා ජනාවාසවල කාලය ගත කරමින ඔවුන්ගේ සංස්කෘතිය, ජීවන රටාව, අධ්‍යයනය කිරීමත් හොඳ සංචාරක අත්දැකීමක් වේවි.
කෙසේ නමුත්, සොකොත්‍රා දිවයින කියන්නේ ඉතා අවම පහසුකම් තිබෙන ස්ථානයක්. සොකොත්‍රාවට සංචාරය කිරීමට පෙර සැලසුම් කරගත යුතු බොහෝ කාරණා තිබෙනවා. එම නිසා උනන්දු වන්නෙකු සිටී නම් ලිපියේ අඩංගු කරුණු තවදුරටත් අධ්‍යනය කළ යුතු යි. විශේෂයෙන්ම යේමනයේ පවතින අනාරක්ෂිත බව සොකොත්‍රාවේ දී අවම වුණත්, දූපතේ පරිපාලනය සම්බන්ධයෙන් යේමනය වගකීම දරන නිසා සොකොත්‍රා දිවයිනට සංචරණය කිරීමේ දී ඒ ගැන සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. දූපතේ නවාතැන් පහසුකම්, ආහාර, සන්නිවේදනය, වැනි සංචාරකයෙකුට වැදගත් වන බොහෝමයක් වැඩිදුර තොරතුරු ඔබට අන්තර්ජාලයෙන් ලබාගත හැකි යි. සොකොත්‍රා දූපතටම වෙන්වූ වෙබ් අඩවියකුත් තිබෙනවා.