යක්ෂයාගේ රත්‍රන් සොයා මරු කටට යන මිනිසුන්

ගිනිකඳු කියන්නේ මානව ශිෂ්ඨාචාරයට බොහෝ බලපෑම් ඇති කළ ස්වභාව ධර්මයේ නිපැයුමක් ලෙස හැඳින්විය හැකියි. මේ බලපෑම් බොහෝවිට විනාශකාරී සිද්ධීන් ලෙස ඉතිහාසගතව තිබුණත්, මිනිසාගේ උන්නතිය වෙනුවෙන් ගිනිකඳු දක්වන දායකත්වයන් අමතක කළ නොහැකි යි. ගිනිකඳු විදාරණයක් සිදුවූ ප්‍රදේශ, පසුකාලීනව සාරවත් පසක් සහිත භූමීන් බවට පරිවර්තනය වන නිසා කෘෂිකර්මාන්තයට වැදගත් වෙනවා.  එමෙන්ම ගිනිකඳු ක්‍රියාකාරීත්වය නිසා හට ගැනෙන විවිධාකාර වූ ඛනිජ ද්‍රව්‍ය මිනිසාට බොහෝ ආකාරයෙන් ප්‍රයෝජනවත් වෙනවා.

ගිනිකඳු සම්බන්ධයෙන් ඉහත දැක්වූ පොදු කාරණා එලෙසෙන්ම පවතින, එහෙත්, මේ සියල්ලම අභිබවා යන විශේෂත්වයක් අත් කරගත් ගිනිකඳු වළල්ලක් ඉන්දුනීසියා රාජ්‍යයේ, ජාවා දූපතේ පිහිටා තිබෙනවා.  මේ ගිනිකඳු වළල්ල, “කවා ඉජෙන්” යන නාමයෙන් හඳුන්වනවා. කවා ඉජෙන්, භූ ගෝලීය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් වැදගත් වන කාරණා කිහිපයක්ම තිබෙනවා. මේ ලිපිය ඒ ගැන යි. 

“කවා ඉජෙන්” ගිනිකඳු වළල්ලේ පිහිටීම/businessinsider.com/

නීල හරිත ජලය පිරුණු විල

කාවා ඉජෙන් ගිනිකඳු වළල්ල, ගිනිකඳු කල්දේරාවක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු යි. කල්දේරාවක් කියන්නේ ගිනි කන්දක් ප්‍රබල පිපිරීමකට ලක්වීමෙන් පසුව ඇති වෙන බේසමක හැඩයක් ගන්නා ගිනිකඳු විවරයකට යි. ඇතැම් විට මේ කල්දේරාවන්ට ජලය පිරීමෙන් විල් පවා නිර්මාණය වෙනවා. මේ කාවා ඉජෙන් ගිනිකඳු ප්‍රදේශයේත් එලෙස නිර්මාණය වූ විලක් තිබෙනවා. පළලින් කිලෝමීටරයක් පමණ වෙන මේ විල අප දන්නා අනෙකුත් මිරිදිය විල් මෙන් නැහැ. මිනිසුන්ට හෝ සතුන්ට හිතකර ස්වභාවයක් මේ ගිනිකඳු කල්දේරාවන් ආශ්‍රිතව ඇතිවෙන විල්වල නොතිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

කාවා ඉජෙන්වල ඇතිවී තිබෙන විලේ ජලයේ වර්ණය නිල්-කොළ පැහැයක් ගන්නවා. මෙම ජලයේ ඇති අධික ආම්ලිකතාවය සහ අධික සාන්ද්‍රණයෙන් දියවී ඇති ලෝහමය රසායනිකයන් නිසා මේ වර්ණය ඇති වී තිබෙනවා. ජලයේ pH අගය 0.5ට වඩා අඩු අගයක් ගන්නා නිසා මේ විල ඇසිඩ් පිරුණු තටාකයක් ලෙස හැඳින්වූවත් වරදක් නැහැ.

ගිනිකඳු කල්දේරාවන් තුළ බිහිවෙන මේ විල්වලට ජලය බොහෝවිට ලැබෙන්නේ වැසි ජලයෙන්. එමෙන්ම, ප්‍රදේශය හරහා ගමන් කරන ජලවහන පද්ධතියකින් ඇති වූ කුඩා සැපයුමක් හරහා හෝ විල් පතුලේ පවතින කුඩා විවරයන්වලින් ද කල්දේරාවට ජලය සැපයෙනවා. කලාතුරකින්, කල්දේරාවට පිරෙන මේ ජලය පිටාර යෑම නිසා කල්දේරාවෙන් පැන නඟින දිය දහරාවන් නිර්මාණය වෙනවා. එවැනි දිය දහරාවන් කාවා ඉජෙන් ආශ්‍රිතවත් දක්නට ලැබෙනවා. කාවා ඉජෙන් කල්දේරාවෙන් පැන නඟින මේ ජල දහරාවන්, “බැන්යුපහිට්” නම් ගංගා ද්‍රෝණියට ගලා යනවා. “බැන්යුපහිට්” යනු දේශීය වහරක් වන අතර, එහි අර්ථය වන්නේ “තිත්ත ජලය” යන්න යි.

කවා ඉජෙන් කල්දේරාව තුළ තිබෙන විල, ඇසිඩ් පිරුණු තටාකයක් හා සමාන යි/geology.com/

නිල් දැල්ලෙන් දැවෙන කන්ද

කාවා ඉජෙන් ගිනිකඳු වළල්ල ආශ්‍රිතව අත් දකින්න පුළුවන් ආශ්චර්යමත්ම දේ ගැන තමයි මේ විස්තර කරන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් ගිනි කන්දකින් නිකුත්වන ලාවා දීප්තිමත් රක්ත පැහැයක් ගන්නවා. නමුත් ඉජෙන් කඳු ආශ්‍රිතව නිකුත් වෙන ලාවා දීප්තිමත් නිල් පැහැයක් ගනු ලබනවා. ගිනිකන්දේ ක්‍රියාකාරී ප්‍රදේශයේ සිට අධික පීඩනයකින් යුතුව පෘථිවි ගර්භයෙන් පිටතට පැමිණෙන සල්ෆර් වායූන්, ඔක්සිජන් බහුල වායුගෝලයට නිරාවරණය වූ සැණින් දීප්තිමත් නිල් පැහැයකින් යුතුව දහනය වෙන නිසා මේ අපූරු සංසිද්ධිය ඇති වෙනවා. මෙලෙස පිටතට පැමිණෙන සමහර වායූන් ඝනීභවනය වී ද්‍රවමය සල්ෆර් බවට පත් වෙනවා. එම දියර සල්ෆර්, කඳු බෑවුම ඔස්සේ පල්ලම් බහින්නේ නිල් පැහැති වූ ලාවා ගලා ගෙන යන ආකාරයට යි.  මේ දීප්තිමත් නිල් පැහැය දහවල් කාලයේ දී දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් රාත්‍රී කාලයේ දී මේ ස්වභාවික සංසිද්ධිය නිසා කවා ඉජෙන් අවට මනස්කාන්ත දර්ශනයක් මැවෙන බව සඳහන්. මේ දීප්තිමත් නිල් පැහැ ලාවා නිසා වර්තමානයේ දී කවා ඉජෙන් ප්‍රදේශය නොමඳ සංචාරක ආකර්ෂණයට ලක් වී තිබෙනවා.

ලෝකයේ පිහිටා තිබෙන සියලුම ගිනිකඳු කලාපවල සල්ෆර් බොහෝ තිබුණත්, කවා ඉජෙන් ආශ්‍රිතව සල්ෆර් නම් වූ මූලද්‍රව්‍යය පවතින්නේ අධික බහුලතාවයකින්. සාමාන්‍යයෙන් ලාවා නිවී ගිය පසු අළු ඉතිරිවූවත්, කවා ඉජෙන් තුළින් පිටවෙන්නේ දියර බවට පත්වූ සල්ෆර් නිසා ඒවා නිවී ගිය සැණින් ඉතිරිවන්නේ සල්ෆර් කුට්ටි යි. ඒවා ළා කහ පැහැති කුට්ටි ආකාරයෙන් ගිනි කන්ද අවට නිධිගත වීම ඇරඹෙනවා.

කවා ඉජෙන් තුළින් පිටවන දීප්තිමත් නිල් පැහැ ලාවා නිසා මනස්කාන්ත දර්ශනයක් මැවෙනවා/roadaffair.com/

යක්ෂයාගේ රත්‍රන්වලින් යැපෙන මිනිස්සු

ලිපිය තුළින් මෙතෙක් සාකච්ඡා කළේ භූගෝලීය වශයෙන් කවා ඉජෙන් ආශ්‍රිතව තිබෙන සුවිශේෂ කරුණු කාරණා කිහිපයක් ගැන යි. නමුත් මේ ගිනිකඳු භූමිය හා බැඳුණු ආර්ථික සහ සමාජීය පැතිකඩකුත් තිබෙනවා. කවා ඉජෙන් ගිනිකඳු කල්දේරාවෙන් බිහිවෙන සල්ෆර් “යක්ෂයාගේ රත්‍රන්” ලෙස හැඳින්වීමට ඒ අවට ජීවත් වන ජනයා පුරුදුව සිටිනවා. සල්ෆර් කියන්නේ වාණිජමය වශයෙන් ඉතා වැදගත් වන මූලද්‍රව්‍යයක්. විවිධ දිලීරනාශක, රබර් වල්කනයිස් කිරීම, වෙඩි බෙහෙත් සෑදීමට ගන්නා අමුද්‍රව්‍යයක් ලෙස මෙන්ම, බොහෝ කර්මාන්තවලට වැදගත් වෙන සල්ෆියුරික් අම්ලය නිපදවීම සඳහාත් සල්ෆර් යොදා ගැනෙනවා. මේ හේතූන් නිසාම කවා ඉජෙන් ආශ්‍රිතව තැන්පත්ව තිබෙන සල්ෆර් කැණීමෙන් ඇතැම් මිනිසුන් තම ජීවනෝපාය සරිකර ගන්නවා. නමුත් මේ රැකියාව බොහොම අනාරක්ෂිත, ඉහළ ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්.

සල්ෆර් කැණීම සඳහා කම්කරුවන් 300ට ආසන්න ගණනක් දිනපතා මේ කන්දේ සැතපුම් දෙකක් පමණ ඉහළට තරණය කරනවා. ඔවුන් ඉන්පසුව සල්ෆර් ස්ඵටික සොයා ගිනි කන්ද තුළට යාර 900ක් පමණ ගමන් කරනවා. මේ සඳහා කිසිදු යන්ත්‍රෝපකරණ භාවිතයක් නැහැ. සියල්ලම සිදුවෙන්නේ මිනිස් ශ්‍රමයෙන්. කිසිදු ආරක්ෂාවක් නොමැතිව, අන්ධකාරයේ වැඩ කිරීමට මොවුන්ට සිදුවෙනවා. ඒ වගේම නිරතුරුවම පවතින උෂ්ණාධික පරිසරය වගේම විෂ සහිත සල්ෆර් වායූන්වලට නිරාවරණය වෙමින් මොවුන්ට වැඩ කිරීමට සිදුවෙනවා. ඒ නිසා නිතර නිතර ඇස්වලින් කඳුළු ගැලීම, සහ පෙනහළු ආශ්‍රිත ගැටළුවලට මුහුණ දීමට මේ මිනිසුන්ට සිදුවෙනවා.

සාම්ප්‍රදායික ලෙස සිදුවන සල්ෆර් කැණීම ඉතා අවදානම් රැකියාවක්/theatlantic.com

ලෝහ දණ්ඩකින් පහර දී සල්ෆර් ස්ඵටික කුඩා කුට්ටිවලට කඩා ගන්නා මේ කම්කරුවන්, ඒවා කූඩවලට පුරවා නැවත පල්ලම් බසින්න පටන් ගන්නවා. මේ එක් කූඩයක බර රාත්තල් 150-200 අතර වෙනවා. එතරම් බරක් උස්සා ගෙන විෂ සහිත කටුක පරිසරය මැද්දෙන් ගමන් කිරීම අතිශයින්ම දුෂ්කර ක්‍රියාවක්. බොහෝ පතල් කම්කරුවන් මෙසේ අධික බර ඔසවාගෙන යෑමේ දී ලබා ගන්නේ ඉතා කෙටි විවේකයක් පමණ යි. මේ හේතුවෙන්, විකෘති වූ කොඳු ඇට පෙළ සහ නැමුණු කකුල් ඇති පතල් කම්කරුවන් බහුලව දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ අවදානම් රැකියාවේ නිරත වෙන කම්කරුවන්ගේ ආයු කාලය අවුරුදු 50 ඉක්මවන්නේ කලාතුරකින්. බොහෝ කම්කරුවන් විෂ වායුව හෝ හදිසි පිපිරීම් නිසා ජිවීතවලින් පවා වන්දි ගෙවා තිබෙනවා.

මේ සියළු කාර්යයන් සඳහා ඔවුන්ට ලැබෙන්නේ ඩොලර් පහක් වැනි සුළු මුදලක් පමණ යි. නමුත් කෙනෙකුට නැවත වතාවක් කන්ද තරණය කොට මේ දුෂ්කර ක්‍රියාව නැවත සිදුකළ හැකි නම්, ඩොලර් දහයක් පමණ දිනකට ඉපැයිය හැකියි. සාම්ප්‍රදායික ක්‍රම මඟින් මෙලෙස සල්ෆර් කැණීම ඇරඹී තිබෙන්නේ වර්ෂ 1968 තරම් මෑත කාලයක දී යි. නමුත් වර්තමානයේ දී ඇතැම් පතල් සමාගම් මෙම ක්‍රියාවලිය වේගවත් කර ඇති අතර, ඔවුන් ඒ සඳහා කල්දේරාවේ නිර්මාණය වී ඇති විල ආශ්‍රිතව සෙරමික් නල සවිකර තිබෙනවා. සෙරමික් නල සවිකර ඇත්තේ සල්ෆර් ලෝහ සමග ප්‍රතික්‍රියා කරන නිසා යි. මේ නල හරහා එන සල්ෆර් වායූන් ඝනීභවනය වී, ද්‍රව සල්ෆර් ලෙස නල තුළින් පිටතට පැමිණෙනවා.

අධික බරකින් යුතු සල්ෆර් කූඩ රැගෙන යෑම ඉතා දුෂ්කර කටයුත්තක්/businessinsider.com/

 

කවා ඉජෙන් ගිනි කන්ද යනු, මිනිස් ශ්‍රමයෙන් සල්ෆර් කැණීමට ලක්වෙන ලෝකයේ අල්පතර වූ ස්ථානවලින් එකක්. නමුත් නවීන ලෝකයේ සල්ෆර් නිෂ්පාදනය බොහෝවිට සිදුවන්නේ තෙල් පිරිපහදු කිරීමේ හෝ ස්වභාවික වායු සැකසීමේ දී ඇතිවෙන අතුරු ඵල ආශ්‍රයෙන්. මෙම ක්‍රම මඟින් සල්ෆර් මෙට්‍රික් ටොන් 70,000කට ආසන්න ප්‍රමාණයක් නිපදවෙන බව සඳහන් වෙනවා. ඒ අනුව ඉල්ලුමට අනුව සැපයුම ගැන සැළකීමේ දී, කවා ඉජෙන් කන්දේ සාම්ප්‍රදායික සල්ෆර් කර්මාන්තය තව කොපමණ කලක් රඳා පවතී ද යන්න කිව නොහැකි යි.

Cover photo: roadaffair.com/

මූලාශ්‍රයයන්: accuweather.com/

nationalgeographic.com/

interestingengineering.com/

geology.com/

Related Articles

Exit mobile version