Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඩුවුනත් බැරි වැඩිවුනත් බැරි  “විටමින්”

අපි හැමෝම බලාපොරොත්තුවෙන දෙයක් තමයි නිරෝගීකම කියන්නේ. නිරෝගිකම අපට ලබා ගන්න පුළුවන් උතුම්ම ධනය විදිහටත් හඳුන්වන්න පුළුවන්. මොකද වෙන මොනවා සල්ලි දීල ගන්න පුළුවන් වූනත් අපට නිරෝගිකම සල්ලි වලට ගන්න බැහැනේ. හැමෝම හොයන මේ නිරෝගීකම ලබා ගන්න ශරීරයට ව්‍යායාම, යහපත් මානසික සෞඛ්‍ය වගේම සමබල ආහාර වේලක් ලබාගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.

සාමාන්‍යයෙන් අපි දවසකට ප්‍රධාන කෑම වේල් තුනක් ගන්නවා. ඒත් ඔබ නිකමටවත් හිතුවද ඔබ ගන්නේ සමබල ආහාර වේලක්ද කියලා? සමබල ආහාර වේලකට කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, විටමින්, ලිපිඩ, ඛනිජලවන හා තන්තු වගේම ජලයත් අඩංගු වෙන්න ඕන. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමබල ආහාර වේලක අඩංගු වෙන විටමින් කොහොමද අපේ සිරුරට බලපාන්නේ කියලා.

අපේ සිරුර තුළ සිදුවෙන ජීව ක්‍රියා වේගවත් කරන්න උපකාරී වන කාබනික සංයෝගයක් විදියට විටමින් හඳුන්වන්න පුළුවන්. වයිටල් + ඇමින්  (VAITAL + AMIN) එනම් අත්‍යවශ්‍යය අමීන් යන අර්ථය ඇතිව  විටමින් (VITAMINS) යන වචනය නිර්මාණය වෙලා තියනවා.

විටමින් හොයා ගත්තේ කවුද?

1970 ගණන් වලදී තමයි විටමින් ඌනතාවය ගැන බටහිර පොත්පත්වල මුලින්ම  සටහන් වෙලා තියෙන්නේ. ජේ මිස් ලින්ඩ් කියන ස්කොට්ලන්ත ජාතික නාවික වෛද්‍යවරයා තම නැවියන්ගේ, විටමින් C ඌනතාවය නිසා හට ගත් “ස්කර්ව්‍” නම් රෝගය දොඩම් හා ලෙමන් යුෂ පානය කිරීමට දීමෙන් සුව කර ගත් බව වාර්තා වෙලා තියනවා.

තකාකි කියන ජපන් අද්මිරාල් වරයා ”බේරි බෙරියාවෙන්” ( විටමින් B ඌනතාවය නිසා හට ගන්නා රෝගයක්)  පීඩා විඳි ජපන් නැවියන්ට එළවලු බහුල ආහාර ලබාදීමෙන් සහනයක් ලබන්න පුළුවන් බව 1887 දී පෙන්වා දුන්නා. ඒ වගේම තමයි මුලින්ම විටමින් A හොයාගත්තේ 1913 දී ඇමරිකානු ජාතික විද්‍යාඥයෙකු වූ එල්මර් මැක්කොලම්. ඊට පස්සේ  අද අපි භාවිතා කරන විටමින් සියල්ලම 1948 විතර වෙනකොට හොයා ගෙන තියෙනවා.

විටමින් වර්ගීකරණය   

විටමින් වර්ග විස්තර කරද්දී ජලයේ දියවෙන විටමින් (විටමින් B සහ C) සහ මේදයේ දියවෙන විටමින් (විටමින් A, D, E, K) ලෙස කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ජලයේ දියවෙන විටමින් අපේ සිරුරේ සෑම පටකයකම පැතිරිලා තියන අතර එවා දීර්ඝ කාලයක් ශරීරයේ ගබඩා කරලා තියාගැනීමේ හැකියාවක් නෑ. ශරීරයේ සෛල වලට අවශ්‍ය වෙන හා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට වැදගත් වෙන මේ ජලයේ දිය වෙන විටමින්, රතු රුධිර සෛල නිපදවීමේ ක්‍රියාවලියටද දායක වෙනවා.

මේදයේ දියවෙන විටමින් වලට නම් ශරීරයේ දීර්ඝ කාලයක් රඳා පැවතීමේ හැකියාවක් තියනවා. මේ නිසාම මේ විටමින් ඌනතාවය දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. පිත්තාශය, අක්මාව, අග්න්‍යාශය කියන ඉන්ද්‍රියන් තුන නිසි ලෙස ක්‍රියා කළොත් විතරයි මේදයේ දියවෙන විටමින් නිසි ලෙස ශරීර ගතවෙන්නේ.

විටමින් වර්ග වල රූපය : minihealthtips.com. clasiffication of vitamins.jpg

විටමින් අඩුවුනොත් මොකද වෙන්නේ?

විටමින් “A”

A විටමින් අඩංගු ආහාර දැක්වෙන රූපය (rebeldietitian.us) A vitamin.jpg

සතුන්ගේ ශරීර තුළ ස්වාභාවිකවම නිපදවෙන විටමින් A, රෙටිනෝල් විදියටත් හඳුන්වනවා. කිරි ආහාර වල, බිත්තර කහ මදය තුළ හා සත්ව අක්මාව තුළ A විටමිනය වැඩියෙන් දකින්න පුළුවන්.

විටමින් A ඌනතාවය නිසා රාතී‍්‍ර අන්ධතාවය, සුදු ඉංගිරියාව වියළීම සිද්ධ වෙනවා. මද ආලෝකයෙදී පෙනීම දුර්වල වීම තමයි රාතී‍්‍ර අන්ධතාවය විදියට හඳුන්වන්නේ. මෙයට හේතු වෙන්නේ ඇසේ ආලෝකය හඳුනා ගන්නා වර්ණකය අඩුවීමයි. “රොඩොප්සින්” නම් වර්ණකය විටමින් “A”වල අන්තර්ගත වෙනවා.

විටමින් A ඌනතාවය නිසා වසරකට ලෝකයේ ලක්ෂ පහත් දහයත් අතර ළමුන් ප්‍රමාණයක් අක්ෂි රෝග වලට ගොදුරු වෙන අතර එයින් ලක්ෂ පහක් පමණ අන්ධභාවයට පත්වෙන බව සොයාගෙන තියනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ විටමින් A තියෙන්නේ සත්ව ආහාර වල විතරයි කියලා. එත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ජීව රසායන විද්‍යා අංශයේ සිදුකළ පර්යේෂණ වලට අනුව අපේ දේශීය අහාර බොහෝමයක විටමින් A අන්තර්ගත වෙන බව පැහැදිලි වෙලා තියනවා. අගුන, එරබඳු, ඉකිරිය, කන්කුන්, තම්පලා, කිරිඅල, වට්ටක්කා, නිවිති කියන්නේ විටමින් A අඩංගු වෙන  එළවලු කීපයක්.   

විටමින් B

B විටමින් අඩංගු ආහාර දැක්වෙන රූපය : imagetopainting.com B vitamin.jpg

විටමින් B වර්ග බොහොමයක් ජලයේ දියවෙන නිසා ඒවා පහසුවෙන් ශරීරයට උරා ගන්නවා. මේ විටමින් B නිසි පරිදි ශරීරයට නොලැබීම නිසා පේශි දුර්වල වීම, පේශි ගෙවීයාම, පේශි අතර සමායෝජන ක්‍රියා අඩපන වීම ආදිය සිද්ධවෙනවා. මීට අමතරව සමේ ඉදිමුම හා දැවිල්ල, පාචනය වගේ රෝගත් විටමින් B ඌනතාවය නිසා ඇති වෙනවා. අපි ගන්නා ආහාර හොඳින් දිරවන්නත්, ස්නායු පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්නත් ඒ වගේම නිරෝගී සමක් ලබා ගන්නත් විටමින් B දායක වෙනවා.

විටමින් B හිඟ වීමෙන් ඇතිවෙන බේරි බේරි රෝගය විශේෂ තැනක් ගන්න අතර සිරුරේ දුර්වල ස්වභාවය, කම්මැලි කම, කකුල් ඉදිමීම, හදවතේ ක්‍රියාකාරිත්වය දුර්වලවීම ආදියත් විටමින් B ඌනතාවය නිසා ඇතිවෙනවා. තම්බා පාහින ලද සහල්, පලා වර්ග, ධාන්‍ය වර්ග, බෝංචි, කිරි, බිත්තර, පීකුදු වගේ අහාර වල තමයි විටමින් B බහුලව අන්තර්ගත වෙන්නේ.

විටමින් C

C විටමින් අඩංගු ආහාර දැක්වෙන  රූපය : diynatural.com C vitamin.jpg

දෙහි, දොඩම් වගේ පැඟිරි කුලයේ පළතුරු අලුත් එළවලු වල වැඩිපුර දකින්න ලැබෙන විටමින් C හෙවත් “ඇස්කොබික් අම්ලය”, දත්, විදුරුමස්, අස්ථි ශක්තිමත් කිරීමට, රුධිර ධාවනය ක්‍රමවත් කිරීමට වගේම තුවාල සුව කරන්නත් දායක වෙනවා.

ඒ වගේම විටමින් C පෙනහළු අබාධ අවම කිරීමටත් උපකාරී වන බව විද්‍යාඥයන් පවසනවා.  

විටමින් D

D විටමින් අඩංගු ආහාර දැක්වෙන රූපය : zenandspice.com D vitamin.jpg

බිත්තර කහමද, කිරි අහාර, සත්ව අක්මාව (පීකුදු), මාළු වර්ග වලින් වගේම උදෑසන හිරු එලියෙනුත් විටමින් D ලබාගන්න අපිට පුළුවන්. මෙම විටමින් D නිසා අස්ථි, පේශි, දත් වර්ධනය පහසු වීමත්, ශරීරයේ කැල්සියම් උරාගැනීමට සහය වීමත් සිද්ධ වෙනවා.

විටමින් E

E විටමින් අඩංගු ආහාර දැක්වෙන රූපය : dreamstime.com E vitamin.jpg

කොළ පාට එළවලු, ධාන්‍ය වර්ග ආදියේ දකින්න ලැබෙන විටමින් E අපේ ශරීරයේ පටක ආරක්ෂා කිරීම, විනාශ වූ සෛල නැවත ගොඩ නැංවීම, රතු රුධිරාණු නිෂ්පාදනය ආදියට දායක වන අතර මෙම විටමින් E හදවත් රෝග වැලැක්වීම වගේම පිළිකාවලට ගොදුරු වීමේ අවධානම අවම කරන බවද හොයාගෙන තියනවා.

විටමින් වැඩි වුනොත් මොකද වෙන්නේ?

සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්ට තමන් එදිනෙදා ගන්න සමබර ආහාර වේලෙන් තමන්ගේ පැවැත්ම නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. එයට අමතරව කිසිඳු විටමිනයක් පෙති වශයෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීම අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් අද වන විට ගොඩක් අය කිසිම හේතුවක් නැතුව වුනත් විවිධ විටමින් පෙති  ගැනීම පුරුද්දක් කරගෙන තියනවා. ජලයේ දියවෙන විටමින් වර්ග සහ තෙල් වල දියවෙන විටමින් වර්ග අතරින් තෙල් වල දිය වෙන විටමින් වර්ග අධික ලෙස ගැනීම විශේෂයෙන් අනතුරුදායක වෙන්න පුළුවන්.

කුඩා දරුවන්ට විටමින් A වැඩි වූ විට තමන්ගේ පාලනයකින් තොරව මස්පිඬු චලනය වීම සහ අසාමන්‍ය ලෙස හිස් කබලේ දියර එකතු වීම නිසා වමනය ඇති වෙනවා. විටමින් A වැඩිහිටියන්ට වැඩි වූ විට හිසරදය, පෙනීම බොඳවීම, තොල් පැලීම, නාසයෙන් රුධිරය වහනය වීම, අධික ලෙස දහදිය දැමීම, නිදිමත, උදරයේ වේදනාව, කෙස් ගස් පහසුවෙන් කැඩී යෑම සහ කෙස් හැලීම, ඇස් ඉදිරියට නෙරා ඒම සහ කාන්තාවන්ගේ අර්තවය අක්‍රමවත් වීම ආදිය සිද්ධ වෙනවා.

ඒ වගේම විටමින් B වැඩිවීමෙන් අධික ලෙස දහදිය දැමීම, සම කැසීම, ඇදුම ඇතිවීම, ස්නායු පද්ධතියට හානි වීම, සිරුර දරදඬු වන ස්වභාවයක් ඇති වීම, වමනය, බඩේ අජීර්ණය, ආමාශයේ තදබල වේදනාව, වමනය, පාචනය, හා අක්මාවට හානි සිද්ධ වීම වැනි රෝගී තත්වයන් ඇති වෙන්න පුළුවන්.

විටමින් C  වැඩිපුර ශරීර ගත වීමෙන් වකුගඩුවල ගල් සැදීම, අහාර මාර්ගයේ තුවාල ඇතිවීම සහ පාචනය ඇති වීම සිදුවෙන අතර විටමින් D වැඩිපුර ගැනීමෙන් වකුගඩු වල, හදවතේ, පෙනහලු වල පටකවලට හානි සිදුවීම, ආහාර රුචිය අඩුවීම, සිරුරේ දුබල බව, අධික පිපාසය හා නිතර මුත්‍රා පිටවීම සිද්ධ වෙනවා.

ඒ වගේම තමයි පොලික් අම්ලය වැඩියෙන් ගත්තහම බඩවැලේ අබාධ, නින්ද නොයෑම සහ ඉක්මනින් තරහ යෑම සිදුවෙන අතර විටමින් E වැඩි වීමන් රුධිර පීඩනය ඉහළ යෑම, පේශි දුර්වලතා,සමේ විවිධ වෙනස්කම් ඇතිවීම හා උදරයේ වේදනාවන් ඇති වෙනවා.

කතාවටත් කියනවානේ ඕනෑම දෙයක් ඕනවට වඩා හොඳ නැහැ කියලා. ඒ වගේම තමයි විටමිනුත්. විටමින් වුනත් ඕනවට වඩා වැඩි වෙන්න හොඳත් නැහැ අඩු වෙන්න හොඳත් නැහැ. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන යන්න ඕන. මේ නිසා නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කියා ඔබත් හිතුමතේට වෛද්‍ය අනුමැතියකින් තොරව විවිධ විටමින් වර්ග ලබාගෙන, තිබෙන නිරෝගීකමත් නැතිකරගන්න පෙර ඒ පිලිබඳව දෙවරක් සිතන්න.

කවරයේ පින්තුරය: caribbeannewsservice.com

Related Articles