කොවිඩ්-19 වසංගතය ලොව පුරා සිටින මිලියන ගණනක ජනතාවගේ ජීවිත සහමුලින්ම වෙනස් කර ඇති බව නිසැකයි. ලොව ශක්තිමත් ආර්ථිකයන්, සමාජ පද්ධතීන් බිඳ වැටී ඇති සමයක අපේ ඉලක්ක, සිහින, තෝරා ගැනීම්, සහ මානව සබඳතා ගැන නැවතත් සිතන්නට දැන් කාලය එළඹී තිබෙනවා. එපමණක් ද නොව, සියවස් ගණනාවක් පුරාවට පියවි ඇසට යටපත්ව තිබුණු සමාජයීය ගැටළු රැසක් නව දෘෂ්ඨි කෝණයක් සමග මතුව ආවා. සෞඛ්‍යමය අවදානමකින් ඔබ්බට ගිය කොවිඩ් බලපෑම තනි පුද්ගල, ප්‍රජා මෙන්ම පවුල් ඒකක වෙත ද එක සේ විසිර පවතිනවා.
සෑම පවුලක්ම නිවසේ බිත්ති හතරට කොටු කර ජීවිත කාලය පුරාම යළි සිහිපත් කළ හැකි ආකාරයේ අද්විතීය අත්දැකීමක් ලබා දෙන්නට කොවිඩ් වසංගතය සමත්ව තිබෙනවා. වසංගතය නිමාවන දිනයක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැතිව, සෞඛ්‍ය පහසුකම්වල සීමාකාරී තත්ත්ව යටතේ, සමාජ දුරස්ථභාවයක් පවත්වා ගනිමින්, මිතුරන්ගෙන් ඈත්ව, වැටුප් කපාහැරීම් හෝ රැකියා අහිමිවීම නිසා ආර්ථික පීඩනයන්ට නතුවෙමින් වයස් භේදයකින් තොරව දැවැන්ත මානසික පීඩනයකින් කල් ගෙවන්නට සිදුවී තිබෙනවා. දෙමව්පියන්ට නිවසේ සිට රැකියාව කරන්නට සිදුවූ නිසා රාජකාරියට අමතරව දවස පුරාම තම දරුවන්ව බලා ගන්නටත්, වැඩිහිටියන් රැක බලාගන්නටත් සිදුවී තිබෙනවා. පවුල්වල සහ දෙමව්පියන් මත ඇතිව ඇති මෙම ශාරීරික සහ මානසික බලපෑම වැඩි අවධානයට දැන් පාත්රව ඇති නමුත්, දරුවන් වෙත එල්ලවන මානසික පීඩනය වෙත ද දැඩි අවධානයක් ලැබිය යුතුව තිබෙනවා.
මව්පියන් සමග වැඩි කාලයක් ගත කිරීම
අපි මුලින්ම ධනාත්මක කරුණු දෙස බලමු. බොහෝ දරුවන්ට තම මව්පියන් සමග වැඩි කාලයක් ගත කරන්නට ලැබීමෙන් උයන පිහන වැඩවලට සහාය වීම, නිවසේ සිටම අධ්‍යාපනය ලැබීමට පෙළඹීම යනාදියට යොමු වන්නට හැකිවූවා. නමුත් මෙය ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ සත්‍යයක් නොවූයේ, වෛරසයේ පැතිරීම වළක්වන්නට පාසල් වසාදැමීම, අමතර පන්ති නැවැත්වීම, සහ නිවසේ සිටම අධ්‍යාපනය ලැබීමට කටයුතු සම්පාදනය හරහා ඉගෙනුම් පරිසරය වෙනස්වී සමාජයීය දුරස්ථභාවය ඇතිවීම තුළින් කුඩා දරුවන්ගේ කුඩා මොළයට මේ සියල්ල දරා ගත නොහැකි වීම නිසා යි.
ළමුන්ගේ මානසික යහපැවැත්ම සහ ශාරීරික සංවර්ධනය සඳහා පවුල් ඒකකයක් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ලේඩි රිජ්වේ රෝහලේ ළමා මනෝචිකිත්සක සහ කොළඹ වෛද්‍ය පීඨ සාමාජික වෛද්‍ය දුලාංජි දහනායක පවසනවා.
“දරුවෙක්ගේ (මානසික) වර්ධනය සිද්ධ වෙන්නේ පවුල තුළින්. දෙමව්පියෙක් හෝ භාරකාරයෙක් හරහා සිදුවන එයට අපි ‘attachment relationship’ කියලා කියනවා. දරුවාගේ මුල් කාලයේ සිදුවන මේ බැඳීම ඔවුන්ගේ පසුකාලීන බැඳීම්වල අඩිතාලම බවට පත් වෙනවා. ඔවුන් එතනදී තමයි හැඟීම් පාලනය කරගනිමින් ආත්මාභිමානය, පෞරුෂත්වය ගැන ඉගෙන ගන්නේ. දරුවෙකුගේ යහපැවැත්මට හා යහපත් වර්ධනයට, තවත් පුද්ගලයෙක් සමඟ මානසික සම්බන්ධතාවයක් ඇති කරගන්නට මෙය අත්‍යවශ්‍ය යි. නිරන්තරයෙන් ගෘහස්ථ හිංසනය, අපයෝජනය, චිත්තවේගීය නොසලකා හැරීම, සහ සමාජ උත්තේජනය ප්‍රමාණවත් නොවීම බොහෝ විට ඔවුන්ගේ (මානසික) දියුණුව අඩාල කරනවා. ඉස්සර ගොඩක් පවුල් විස්තෘත යි. අම්මලා නැති වෙලාවට දරුවන්ට ආච්චිලා සීයලා, නැන්දලා මාමලා එක්ක කාලය ගෙවන්න හැකි වෙනවා. ඒත් දැන් වැඩි වශයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල න්‍යෂ්ඨික පවුල් ඇති වෙලා, දරුවන්ගේ හැඟීම්වලට ඉඩකඩක් නැතිවෙලා ගිහින්.”
අන්තර්ජාලය හරහා ඉගෙනුම ලැබීම තුළින් අධ්‍යාපනික ආයතන වසා දැමීමේ අඩුපාඩුව සම්පූර්ණ කළත් එය සර්ව සම්පූර්ණ විසඳුමක් නොවෙයි. පාසලට ගියාම අපිට අනුකරණය, පිළිගත් සමාජ චර්යා, නායකත්ව ගති ලක්ෂණ, කණ්ඩායම් ක්‍රියාකාරකම්, පුද්ගල අන්තර්ක්‍රියාකාරීත්වය යනාදිය ගැන අත්දැකීම් ලැබෙනවා. මෙය කුඩා දරුවන්ගේ පටන් යෞවනෝදය දක්වාම එකසේ බලපානවා. නිසි දෙමව්පිය උපදෙස් නොතිබුණහොත් දරුවන් දුරකථන තිරයෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට, එහි ඍණාත්මක පරිසරයක කොටු විය හැකි අවදානමක් ද පවතිනවා.
අපහසු කාලය තුළ හිස එසවීම
මෙම අපහසු කාලය තුළ නොවැටී සිටින්නට නම්, වෛද්‍ය දහනායක පවසන්නේ දරුවන්ගේ හැඟීම් හඳුනාගනිමින්, ඒවාට සවන් දෙමින් මානසික වර්ධනය ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බවයි. “දරුවන් තුළ නිරෝගී චිත්තවේගීය පසුබිමක් පවත්වා ගැනීමේ වැදගත් අංගයක් වන්නේ දෙමව්පියන් හෝ භාරකරුවන් ඔවුන්ට හදවතින් සමීප වෙන එකයි. ඒ කියන්නේ ඔවුන්ගේ ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීම සහ සෑම විටම ඔවුන්ගේ හැඟීම් පිළිගන්න ඕන. දෙමව්පියන් තම දරුවන්ට හැඟීම් තනිවම විඳ දරාගන්නට ඉඩ නොදී, මේ පිළිබඳව දැනුවත්ව, එය බරපතල කාරණයක් ලෙස සලකා කටයුතු කරන්න ඕනෑ. තවත් වැදගත් ක්‍රියාවක් වන්නේ දෛනික චර්යා රටාවක් ස්ථාපිත කිරීම, සහ නව සාමාන්‍යය පිළිබඳ හැඟීම් ඇති කිරීම සහ හොඳ නින්දක් හා සනීපාරක්ෂාවක් වෙනුවෙන් සඳහා නීති රීති සකස් කර දෙන එකයි. ඒ කිව්වේ, නිදාගන්නට පැයකට දෙකකට පෙර දුරකථනය අතට නොගැනීම සහ කැෆේන් අඩංගු පාන වර්ග ගැනීමෙන් වැළකීම වගේ දේවල්.”
“දෙමව්පියන් මතක තියා ගන්න ඕන දරුවන් නිතරම දකින දේවල් අනුකරණය කරමින් පුරුදු වන බව. ඒ නිසා තමන් ආදර්ශවත්ව හැසිරිය යුතු වෙනවා. ගුරුවරු, යාළුවො හමුනොවන මේ වගේ කාලයක මව්පියන්ට ඒ වගකීම පැවරෙනවා. ගුරුවරු සමග සමීපව සම්බන්ධ වෙමින් දරුවන්ගේ වෙනස්කම් ගැන තේරුම් ගත යුතුයි. ඒවාට පිළියම් නොයෙදුවොත් අධ්‍යාපනයට මෙන්ම පසුකාලීනව වැඩිහිටි අවධියටත් ඉන් ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒත් මතක ඇතුව හැමවිටම දරුවන්ගේ හැඟීම්වලට සවන් දෙන්න. එයාලාගේ අපහසුතාවයන් හඳුනාගෙන ඔවුන්ට හිස ඔසවන්න උදව් කරන්න. සංකීර්ණ ගැටළුවලදී දෙමව්පියන්ට වෘත්තීය සහාය ලබා ගන්න පුළුවන්. පාසල් හා ප්‍රාදේශීය සභාවල හෝ රෝහල්වල මනෝ විද්‍යා උපදේශකයන්ගේ මේ සඳහා ලබා ගන්න පුළුවන්”
‘හොඳ ලෙඩ’ ඇති කරගැනීම
අපගේ සංස්කෘතිය තුළ ගැඹුරින් මුල්බැස ඇති මානසික සෞඛ්‍ය ගැටළු අවසන් කිරීමට කාලය එළඹී ඇති බව හඳුනාගත්, පවුලේ යහපැවැත්ම වෙනුවෙන් කැපවූ සන්නාමයක් වන Softlogic Life හි සම්මානලාභී ‘ලෙඩ ලෙඩ’ වැඩසටහන දැන් මේ වෙනුවෙන් දැන් කටයුතු කරමින් සිටිනවා. ඒ හරහා පවුල තුළ ‘හොඳ ලෙඩ’ හෙවත් ඔබේ සිතැඟි ආශාවන් මල්ඵල ගැන්වීමේ පුරුද්ද ඇති කරගත් විට හොඳ ශාරීරික හා මානසික යහපැවැත්මක් සමග වසංගතය අවසන් වන තුරු සැවොම එක්ව, සවිමත්ව සිටින්නට හැකියාව ලැබෙනවා.
ඒ සඳහා එදිනෙදා කටයුතු වලට දරුවන් සහභාගී කරවාගැනීමත්, ඔවුන්ගේ හැඟීම්වලට සවන් දෙමින් ඉදිරි පරම්පරාව වෙත ඇතිවිය හැකි ඍණාත්මක බලපෑම වළක්වා ගැනීමත් අපගේ කාර්යභාර්යය වෙනවා. හොඳ පුරුදු, කාරුණික අදහස් පිරි සමාජයක් බිහි කිරීමේ මුල් අදියර එතැනින් ඇරඹෙන බව නිසැකයි. ඉතින් රටක්, සමාජයක් වශයෙන් අපේ දරුවන් සමානාත්මතාවය සිත් දරාගත්, ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත් අනාගත ලොවක් කරා ගෙන යාමේ මාහැඟි වගකීම උදෙසා ‘හොඳ ලෙඩ’ ඇති කරගැනීමේ යුතුකම පවුලක් වශයෙන් අපි හැම කෙනෙක්ටම පැවරී තිබෙනවා.