Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලාකෘති ප්‍රතිෂ්ඨාපනයේ වැරදුණු තැන් කිහිපයක්

ඕනෑම රටක, සංස්කෘතියක වසර සිය දහස් ගණනක් පැරැණි, විශිෂ්ට ගණයේ ප්‍රතිමා, චිත්‍ර සහ ගොඩනැඟිලි වැනි නොයෙකුත් කලා නිර්මාණ දක්නට ලැබේ. එවැනි නිර්මාණ කාලයත් සමඟ විනාශ වීමට හෝ අබලන් වීමට ඉඩ ඇති බැවින්, සැබෑ ස්වරූපයට හානියක් නොවන ආකාරයෙන් ඒවා ප්‍රතිෂ්ඨාපනය (Restoration) කිරීමේ ව්‍යාපෘති බොහෝ රටවල ක්‍රියාත්මක වේ.

ඉතා ප්‍රවේශමෙන් සහ නිසි ක්‍රමවේද භාවිතයෙන් සිදු කළ යුතු කලා නිර්මාණ ප්‍රතිෂ්ඨාපනය කිරීම් සම්පූර්ණයෙන් ම අසාර්ථක වූ අවස්ථා ද තිබේ. සමහර නිර්මාණ ප්‍රතිෂ්ඨාපනය කිරීමට තෝරා ගත් කලා ශිල්පීන්ට එම කෘති පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සහ අත්දැකීමක් නොතිබීම සහ නිවැරදි නොවන ක්‍රම භාවිත කිරීම එවැනි අසාර්ථක වීම් සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.

මෑත ඉතිහාසයේ අතිශයින් ම අසාර්ථක වූ එවැනි කලා නිර්මාණ ප්‍රතිෂ්ඨාපනය කිරීම් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

“එකේ හෝමෝ”- www.dailymail.co.uk

“එකේ හෝමෝ”

ස්පාඤ්ඤයේ, බෝර්ජා හි මර්සි දේවස්ථානයේ ඇති “Ecce Homo” යනු 1930 හෝ ඒ ආසන්න කාලයේ දී ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පියෙක් වන “Elías García Martínez” ඇඳි සිතුවමකි. එය කටු ඔටුන්නක් පැළැඳ සිටින ජේසුස් වහන්සේ නිරූපණය කරයි. එහි විෂය සහ ශෛලිය යන දෙක ම සාම්ප්‍රදායික කතෝලික ආගම හා සම්බන්ධ සිතුවම්වල දැකිය හැකි ඒවා වේ. එකිනෙකට ආසන්න ව ඇඳ ඇති සිතුවම් තුනක එකතුවක් වන මෙහි කොටසක් තෙතමනය හේතුවෙන් විනාශ වී යමින් තිබිණි.

ඒ බව දුටු මෙම දේවස්ථානයට සම්බන්ධ කාන්තාවක් වන “Cecilia Giménez”, 2012 වසරේ දී අදාළ චිත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීමට කැමැත්ත පළ කළා ය. කෙසේ වෙතත් ඇගේ ප්‍රතිෂ්ඨාපනයෙන් පසු අදාළ සිතුවම්වල දැක්වෙන ජේසුස් වහන්සේ ගේ සිතුවම සම්පූර්ණයෙන් ම විකෘති වී තිබිණි. ඒ නිසාම ඇය ප්‍රතිෂ්ඨාපනය කළ ජේසුස් වහන්සේගේ රුව ‘Monkey Christ’ යනුවෙන් ප්‍රසිද්ධ වූ බව කියැවේ. මෙම සිදුවීමෙන් පසු එරට පොලිසිය ඇයට එරෙහි ව විමර්ශනයක් පවා ආරම්භ කර තිබිණි.

පැලෙන්සියා හි “සිනාසෙන ප්‍රතිමාව”- www.boredpanda.com

පැලෙන්සියා හි “සිනාසෙන ප්‍රතිමාව”

ස්පාඤ්ඤයේ පැලෙන්සියා හි පිහිටි ගොඩනැඟිල්ලක ඉදිරිපස බිත්තියේ නිර්මාණය කර ඇති ප්‍රතිමාවක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දී එම ප්‍රතිමාවේ මුහුණ සම්පූර්ණයෙන් ම විකෘති වීමේ සිදුවීමක් 2020 දී වාර්තා විය. මෙම ප්‍රතිමාවේ සිනහමුසු මුහුණින් යුතු කාන්තාවක් සහ ඇය වටා සිටින එළදෙනුන් කිහිප දෙනෙක් නිරූපණය කෙරේ. දීර්ඝ කාලයක් තිස්සේ හිරු එළියට සහ වර්ෂාවට නිරාවරණය වීම නිසා මෙම ප්‍රතිමාව විනාශ වීමේ තර්ජනයට ලක් වී තිබිණි.

ඒ හේතුවෙන් එය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අදාළ ගොඩනැඟිල්ලේ භාරකරුවන් යම්කිසි පුද්ගලයකුට අවසර දී ඇත. ඒ පුද්ගලයා සිදු කළ ප්‍රතිෂ්ඨාපනය කිරීම අතිශයින්ම අසාර්ථක වන අතර, මේ වන විට ප්‍රතිමාවේ දැක්වෙන කාන්තාවගේ මුහුණ කාටූන් චරිතයක මුහුණට සමාන ස්වරූපයක් ගනී. මෙවැනි කලා නිර්මාණප්‍රතිෂ්ඨාපනය කරන ශිල්පීන්ගෙන් සැදුම්ලත් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් මෙම සිදුවීම විවේචනය කර ඇත. මෙම ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට සම්බන්ධ ශිල්පියා කවුද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.

ඩාවින්චි ඇඳි කටු සටහනක්- www.history.com

ඩාවින්චි ගේ තීන්ත කටු සටහන

ලියනාඩෝ ඩාවින්චිගේ කලා නිර්මාණ පිළිබඳ අධ්‍යයන ගණනාවක නිරත වූ පුද්ගලයෙක් වන “Carlo Pedretti”, 1998 වසරේ දී ඩාවින්චි ඇඳි එකක් බවට සැලකෙන කටු සටහනක් සොයා ගත්තේ ය. “Stefano della Bella” නම් කලාකරුවා සතු වූ මුද්‍රිත පිටපත් සහ සිතුවම් එකතුවක තිබී සොයා ගත් එය පුවරුවක් වැනි යමක අලවා තිබිණි. එහි කහ සහ කොළ පැහැයන්ගෙන් යම් යම් දෑ සටහන් කර ද තිබිණි.

වසර තුනකට පසු, එනම් 2001 දී Pedretti සහ ලේඛන ප්‍රතිෂ්ඨාපනය කරන්නන් පිරිසක් අදාළ කටු සටහන යම්කිසි මද්‍යසාරයක් අඩංගු දියරයක ගිල්වා, එය අලවා තිබූ පුවරුවෙන් ඉවත් කිරීමට උත්සහ කළහ. එහි ප්‍රතිපලයක් ලෙස එම ලේඛනයේ තිබූ සටහන් මැකී ගොස් තිබිණි. මැකී ගිය සටහන් යම්කිසි රසායනික ක්‍රියාවලියක් හරහා යළි මතු කර ගත හැකි බව Pedretti පැවසුවත් එය මේ වන තෙක් සාර්ථක වී නැත.

“කන්‍යාව, දරුවා සහ ශාන්ත ඈන්” සිතුවම- www.britannica.com

“කන්‍යාව, දරුවා සහ ශාන්ත ඈන්” සිතුවම

පුනරුද සමයට අයත් විශිෂ්ට ගණයේ චිත්‍ර ශිල්පියෙක් වන ලියනාඩෝ ඩාවින්චි ඇඳි තෙල් සායම් සිතුවමක් වන “කන්‍යාව, දරුවා සහ ශාන්ත ඈන්” සිතුවම අවසන් නොකළ සිතුවමක් ලෙස සැලැකේ. මෙම සිතුවම ක්‍රිස්තු වර්ෂ 1501-1518 අතර කාලය තුළ ඇඳි එකක් බව සොයාගෙන ඇත. එහි ශාන්ත ඈන්, කන්‍යා මරිය තුමිය සහ ළදරු ජේසුස් වහන්සේ නිරූපණය වේ. 1518 වසරේ දී මෙම සිතුවම ප්‍රංශයේ පළමු ෆ්‍රැන්සිස් රජු අත්පත් කර ගත්තේ ය. එතැන් පටන් ප්‍රංශයේ ස්ථාන කිහිපයක තබා තිබූ එය, මේ වන විට සුප්‍රකට ලූවර් කෞතුකාගාරයේ තබා තිබේ.

දුහුවිලි සහ වෙනත් ක්ෂුද්‍ර අපද්‍රව්‍ය හේතුවෙන් මෙම සිතුවමේ අඳුරු පැහැය වැඩි වී ඇතැයි අදහස් පළ වීම හේතුවෙන් 2010 වසරේ දී මෙම සිතුවම පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ විය. ඊට අදාළ කටයුතු සිදු කිරීමට විශේෂ කමිටුවක් ද පත් කිරීමට කෞතුකාගාර බලධාරීහු කටයුතු කළහ. වසරක් වැනි කාලයක් තුළ සිතුවම පිරිසුදු කිරීමේ ව්‍යාපෘතිය අවසන් විය. කෙසේ වෙතත් පිරිසුදු කිරීමෙන් අනතුරුව මෙම සිතුවමේ තිබූ අඳුරු පැහැය ඉවත් වීම බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට ලක් විය. ඉහත කී කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙක් ද සිතුවම පිරිසුදු කිරීම අතරතුර අදාළ කමිටුවෙන් ඉල්ලා අස් වූහ.

රොනාල්ඩෝ ගේ කවන්ධ ප්‍රතිමාව- www.pinterest.com

රොනාල්ඩෝ ගේ කවන්ධ ප්‍රතිමාව

ඉහත සඳහන් කළ සියලු සිදුවීම් පැරැණි කලා නිර්මාණ ප්‍රතිනිර්මාණය කිරීම් හා සම්බන්ධ වූ ඒවා වුවත් මෙම සිදුවීම අලුත් කලා නිර්මාණයක් හා සම්බන්ධ එකකි. 2017 වසරේ දී පෘතුගාලයේ මැඩෙයිරා දූපතේ ගුවන් තොටුපළ එරට උපත ලැබූ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ශූර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නමින් නම් කෙරිණි. එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා රොනාල්ඩෝ ගේ කවන්ධ ප්‍රතිමාවක් (හිස කොටස නිරූපණය කරන ප්‍රතිමාවක්) නිරාවරණය කළ අතර එය රොනාල්ඩෝගේ සැබෑ පෙනුමට හාත්පසින්ම වෙනස් එකක් විය. ඒ පිළිබඳව ඉදිරිපත් වූ විවේචනවලට පිළිතුරු වශයෙන් එහි නිර්මාතෘ එමානුවෙල් සැන්ටෝස් පැවසුවේ මුහුණ කොටස ඉතා සෞම්‍ය සහ විනෝදජනක ලෙස පෙනෙන සේ ප්‍රතිමාව සකස් කරන ලෙස රොනාල්ඩෝ තමන්ට පැවසූ බව යි. කෙසේ වෙතත් එම ප්‍රතිමාවේ දැක්වෙන තැනැත්තා රොනාල්ඩෝට කිසිසේත්ම සමාන නොවන බව බොහෝ දෙනෙක් චෝදනා කළහ.

කවරයේ ඡායාරූපය- ස්පාඤ්ඤයේ පැලෙන්සියා හි පිහිටි ප්‍රතිමාවක් ප්‍රතිනිර්මාණය කිරීමේ දී එම ප්‍රතිමාවේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වීමේ සිදුවීමක් 2020 දී වාර්තා විය - www.dailymail.co.uk
මූලාශ්‍ර:
www.britannica.com
www.dailymail.co.uk
www.washingtonpost.com
www.history.com

Related Articles