Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝෂණයෙන් සපිරි පළතුරු ලොව රැජිණ – ස්ට්‍රෝබෙරි

වයස් භේදයකින් තොරව හැමදෙනාම ආසයිනෙ පළතුරු කන්න. ඒ අතරින් ස්ට්‍රෝබෙරි විශේෂයි නේද? ඔය ආසාවෙන් ස්ට්‍රෝබෙරි කන තරමට ඒ ගැන විස්තර දන්නෙ නැතුව ඇතිනෙ, ඉතින් මේ ලිපිය අපි ලියන්නේ ස්ට්‍රෝබෙරි වලට ආස හැමදෙනාටමයි.

(www.pinterest.com)

ෆ්‍රැග්‍රා

අතීත රෝමයේ ස්ට්‍රෝබෙරි හැඳින්වුයේ එහි ඉතාලි නාමය වන ෆ්‍රැග්‍රා (Fragra) යන නාමයෙන්. එහි අර්ථය සුවඳවත් (fragrance) යන්නයි. අද වන විටත් ඉතාලියේ “ෆ්‍රැග්‍රෝලා” යන නම ස්ට්‍රෝබෙරිවලට භාවිත කරනවා. පැරණි ඉංග්‍රීසි භාෂාවේ භාවිත වෙන straw සහ berige යන වචනයනගේ එකතුවෙන් මේ පළතුරට ස්ට්‍රෝබෙරි යන නම ලැබී තිබෙන බව විශ්වාස කෙරෙනවා. අතීතයේදි ස්ට්‍රෝබෙරි ආහාරයකටත් වඩා සැරසිල්ලක් ලෙස භාවිතා කරලා තියෙන්නෙ එහි සුන්දරත්වය සහ දීප්තිමත් වර්ණය නිසා විය හැකියි.

(www.gyaane.com)

ස්වභාව විද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් මුලින්ම ස්ට්‍රෝබෙරි ආහාරයක් විදියට භාවිත කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා හොයලා බැලුවා. මේ පිළිබඳව මුල්ම ලිඛිත සාක්ෂිය ලැබෙන්නෙ ක්‍රිස්තු පූර්ව 234 – 149 කාලයේ ජීවත් වූ කේටෝ නමැති රචකයාගේ සටහනකින්. ප්‍රිය සාදවලදී ස්ට්‍රෝබෙරි සහිත ජල බඳුන් පිළිගන්වපු බව ඔහු සඳහන් කරලා තියෙනවා. මීට අමතරව ප්ලීනිගේ (Pliny) “Naturalis Historia” කෘතියේත් ස්ට්‍රෝබෙරි පිළිබඳව සඳහන් වෙනවා.

රෝස පවුල

(tokyocheapo.com)

ස්ට්‍රෝබෙරි, හුඟක් ලස්සන පෙති පහක් තියෙන මල් සහිත රොසේසියා පවුලේ සාමාජිකයෙක්. Fragaria x ananassa කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේවායේ අස්වනු නෙලා ගැනීමෙන් පසුව ඉදවීමක් කරන්නේ නැහැ. ඒ නිසා මිලදී ගැනීමේදී දීප්තිමත්, රතු පැහැති, නොතැලුණු ස්ට්‍රෝබෙරි මිලදී ගැනීමට සැලකිලිමත් විය යුතුයි. අවපැහැ ගැන්වුණු, කොළ සහ කහ පුල්ලි සහිත ස්ට්‍රෝබෙරි කිසිවිටෙක මිලදී ගන්න හොඳ නැහැ. ඒ වගේම මේ පළතුර ඉක්මණින් නරක්වෙන සුළු නිසා මිලදී ගැනීමෙන් පසු වැඩි කාලයක් තියාගෙන ඉන්නෙ නැතුව ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු. පරිභෝජනය කරන තෙක් ශීතකරණයක් තුළ තැබීමත් කළ යුතුයි.

හැමතැනම නැහැ

ස්ට්‍රෝබෙරි වැවෙන්නේ සීත දේශගුණයක් ඇති තැන්වල. ශ්‍රී ලංකාවේ නම් විශේෂයෙන්ම නුවර එළිය, අඹේවෙල, පට්ටිපොල සහ රාගල වගේ කඳුකර ප්‍රදේශවලවල ස්ට්‍රෝබෙරි සරුවට වැවෙනවා. 2000 වර්ෂයට පෙර සිටම ශ්‍රී ලංකාවේ ස්ට්‍රෝබෙරි වගා කර ඇති අතර ජග්‍රෝ සහ රම්‍යා සමාගම් ලංකාවේ ස්ට්‍රෝබෙරි වගාකරුවන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

මාස 3-5ක් අතර කාලයක වර්ධන කාලයකින් පස්සෙ ස්ට්‍රෝබෙරි අස්වනු නෙලා ගැනෙනවා. වගාව ඇරඹෙන්නෙ සැප්තැම්බර් මාසයේදියි.

කැලෑ ස්ට්‍රෝබෙරි

(more-sky.com)

අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුණාම අනෙක් හැම මහද්වීපයකම වැවෙන කැලෑ ස්ට්‍රෝබෙරි කන්න නම් කවුරුත් කැමති වෙන එකක් නැහැ. කැලෑ ස්ට්‍රෝබෙරි, රසවත් නැති ප්‍රමාණයෙන් කුඩා ඵලයක්. සමහර ඒවා රතු පැහැතිත් නැහැ. එතකොට අද අපි ආහාරයට ගන්න ස්ට්‍රෝබෙරි කොහොමද මේ තරම් රස වුණේ?

ඉස්සර උතුරු ඇමරිකාවේ සහ දකුණු ඇමරිකාවේ ස්ට්‍රෝබෙරි වර්ග දෙකක් තිබුණා. මේ වර්ග දෙක යුරෝපයේදි දෙමුහුම් කරලා හදපු ශාකයේ පළතුරු තමයි මේ තරම් රසවත්ව අපිට අද ලැබෙන්නේ. මේ සිදුවීම මීට අවුරුදු 250කට පෙර ප්‍රංශයේ උද්භිද උද්‍යානයකදීයි සිදු වුණේ. දෙමුහුම් කිරීමෙන් ලබාගත් මෙම ස්ට්‍රෝබෙරි වර්ගය Fragaria x ananassa යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වුවා. මෙහි x  යොදා තිබෙන්නේ ස්ට්‍රෝබෙරි දෙමුහුම් ශාකයක් බව පෙන්වා දීමටයි. ලොව ප්‍රමුඛ ස්ට්‍රෝබෙරි සැපයුම්කරුවන් විදිහට ඇමරිකාව, ස්පාඤ්ඤය, ජපානය, පෝලන්තය, ඉතාලිය, කොරියාව සහ චීනය දක්වන්න පුළුවන්.

බීම වර්ග සඳහා අයිස් කැට වෙනුවට ශීත කළ ස්ට්‍රෝබෙරි යොදා ගත හැකියි. (more-sky.com)

හදවතට ගුණදායකයි

ස්ට්‍රෝබෙරි පළතුරකටත් වඩා ඖෂධයක් විදියට හැඳින්වූවාට වරදක් නැහැ. අපි ආහාරයට ගන්නා රතු / රෝස පැහැ මාංසලය ඇත්තටම ස්ට්‍රෝබෙරි මලේ කොටසක්. හැඩයෙනුත් හදවතට සමාන ස්ට්‍රෝබෙරි ඇත්තටම හදවත ආශ්‍රිත රෝගාබාධ රැසකට ගුණදායකයි. මෙය ප්‍රෝටීන්, විටමින් C සහ මැග්නීසියම් වලින් පොහොසත් පළතුරක්. දොඩම් ගෙඩියක තියෙන විටමින් වලට වඩා වැඩි විටමින් ප්‍රමාණයක් ස්ට්‍රෝබෙරි ගෙඩි අටක අඩංගුයි.

ශරීරයට අවශ්‍ය කෙඳි, අයඩින්, කොපර්, පොටෑසියම්, බයොටින්, පොස්පරස්, ඔමෙගා – 3, ෆ්ලෝරයිඩ වැනි සංඝටක රැසක් ස්ට්‍රෝබෙරිවල අඩංගුයි. මෙය සෝඩියම්, මේදය සහ කොලෙස්ට්‍රෝල් අඩංගු නොවන, අඩු කැලරි මට්ටමක් සහිත, නමුත් පෝෂණයෙන් ඉහළ පළතුරක්.

(more-sky.com)

නියැසින්, රයිබොෆ්ලේවින්, පැන්ටොතෙනින් අම්ලය සහ ෆෝලික් අම්ලය වැනි විටමින් B සංකීර්ණයේ සංඝටක රැසක් ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් ලබා ගන්න පුළුවන්.

රුධිර නාලිකා සිහින් වීම (Atherosclerosis), අඩු ඝණත්ව ප්‍රෝටීන මඟින් සිදුවන හානිය, රුධිර සංසරණ පද්ධතිය තුළ ඇති වන රුධිර කැටි, අධි රුධිර පීඩනය වැනි තත්ත්ව සමනය කිරීමේ හැකියාව ස්ට්‍රෝබෙරිවලට තියෙනවා. මේ නිසාම හදවත් රෝගීන්ට, අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට ස්ට්‍රෝබෙරි කියන්නෙ දිව ඔසුවක්! කෙඳි බහුල පළතුරක් වන ස්ට්‍රෝබෙරි රුධිර සීනි මට්ටම ඒකාකාරව පවත්වා ගැනීමටත් උපකාර වෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන්ටත් ස්ට්‍රෝබෙරි හුඟක් ගුණදායකයි.

පොටෑසියම්, විටමින් K සහ මැග්නීසියම් අඩංගු නිසා අස්ථි වල පැවැත්මටත්, බයොටින්, විටමින් A සහ විටමින් E අඩංගු නිසා නිය හා කෙස් වැවීමටත්, සමේ නීරෝගීබව පවත්වා ගැනීමටත් ස්ට්‍රෝබෙරි උපකාරී වෙනවා. සිට්‍රික් අම්ල සහ මැලෙයික් අම්ල අඩංගු නිසා දන්ත සෞඛ්‍යය රැක ගැනීමටත් දායක වෙනවා.

පළතුරක් විතරක් නෙවෙයි

(more-sky.com)

ඇත්තටම පළතුරක් විදිහට කෙලින්ම ආහාරයට ගැනීම වගේම තවත් බොහෝ කාර්යයන්වලට ස්ට්‍රෝබෙරි යොදා ගන්නවා. මුලින්ම අතුරුපස සඳහා ස්ට්‍රෝබෙරි භාවිත කරන්න පටන් ගත්තේ 1770 දශකයේ මැද භාගයේදී උතුරු ඇමරිකානුවන් විසින්. අද වන විටත් ආහාර වර්ණවත් කිරීමට, සුවඳවත් කිරීමට සහ සැරසිල්ලක් විදියට සූපවේදීන් ස්ට්‍රෝබෙරි යොදා ගන්නවා. අතුරුපසට අමතරව ස්ට්‍රෝබෙරි වලින් හදපු තේ, කේක් වර්ග, අයිස් ක්‍රීම්, පළතුරු සලාද, ජෑම් සහ පානයන් ඔබ රස විඳලා ඇතිනේ.

ගෙඩියක් කිව්වට අැත්තටම මලක කොටසක්

සුදු පැහැ ස්ට්‍රෝබෙරි. (ecowallpapers.net)

කජු හැරෙන්නට බෝ වීම සඳහා පවතින බීජ පිටත තිබෙන එකම පළතුර ස්ට්‍රෝබෙරි. (ස්ට්‍රෝබෙරි කියලා හඳුන්වන්නේ අැත්තටම මලේ මැද කොටස. ඕනෑම මලක් මැද බීජ පිහිටන විදිහටම ස්ට්‍රෝබෙරි ගෙඩිය වටා බීජ දකින්න පුළුවන්) එක ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටත එවැනි බීජ 200ක් පමණ අඩංගුයි.

බීම වර්ග සඳහා අයිස් කැට වෙනුවට ශීත කළ ස්ට්‍රෝබෙරි යොදාගැනීමෙන් අපූරු රසයක්, වර්ණයක් වගේම පෝෂණ ගුණයත් ලබා ගත හැකියි. ස්ට්‍රෝබෙරි ශාකයේ කොළ වේලාගෙන තේ සමඟ තම්බා පානය කිරීමෙන් අන්ත්‍රය පිරිසිදු වන බවට ස්වීඩන් වැසියන් අතර විශ්වාසයක් පවතිනවා.

20 වන සියවසේදී ස්ට්‍රෝබෙරි භාවිතයෙන් හැදුණු රූපලාවන්‍ය නිෂ්පාදනත් වෙළඳපොළට පැමිණියා. අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ කැලෑ ස්ට්‍රෝබෙරි නැතත් චෙනත් විවිධ ස්ට්‍රෝබෙරි වර්ග දැක ගන්න පුළුවන්. ලොව පුරා රසයෙන්, ප්‍රමාණයෙන් සහ මතුපිට ස්වභාවයෙන් එකිනෙකට වෙනස් වූ ස්ට්‍රෝබෙරි වර්ග 600ක් පමණ තියෙනවා.

කවරයේ පින්තූරය: more-sky.com

මූලාශ්‍ර: www.uvm.edu, www.sundaytimes.lk, www.nuwaraeliya.com, www.historyofthings.com ,www.foodreference.com

Related Articles