2022 අවුරුද්දෙ උඳුවප් පොහොයෙන් මෙවර සිරිපා වන්දනා සමය ආරම්භවීමට නියමිත යි. මේ වනවිට කොවිඩ් අවදානම අවම වීම නිසා පසුගිය අවුරුදුවලටත් වඩා සිරිපා වන්දනා කරන්නට බැතිමතුන් පැමිණෙන්නට ඉඩ තිබෙන බව පැවසෙනවා. සිරිපා වන්දනා වාරය ආරම්භ කිරීම වගේ ම අවසන් කිරීමත් චාරිත්‍ර රාශියක් ක්‍රියාත්මක වන අවස්ථාවක්.
මේ ලිපියෙන් උත්සාහ කරන්නේ සිරිපා වාරයේ අප නොදන්නා අපූරු සිරිත් විරිත් ගැන ඔබට අවබෝධයක් ලබා දීමට යි.
සිරිපා වන්දනා වාරය
ලෝකයේ දීර්ඝත ම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන්නේ ශ්‍රීපාද වන්දනා සමයයි.
උඳුවප් පොහොයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය මීළඟ වෙසක් පොහොයෙන් අවසන් වෙනවා. ශ්‍රී පාද වන්දනා කාල සීමාව මාස 6ක්. ඒ නිසා මැයි සිට දෙසැම්බර් දක්වා කාලය ‘අවාරය’ ලෙස හැඳින්වෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේ සිරිපා වන්දනාව සීමා කෙරුණු අතර, පසුගිය 2021 දීත් බොහෝ දෙනෙක් දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති යටතේ උදෝයගයකින් සිරිපා කරුණා කිරීම සඳහා එක් වුණා. එළඹෙන්නේ 2022- 2023 සිරිපා වන්දනා වාරය යි.
සිරිපා සමය ආරම්භ වන උඳුවප් පොහෝ දින ඇරැඹෙන ආගමික චාරිත්‍ර ස්ථාන කිහිපයක පවත්වනවා.
· පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ සිදු කෙරෙන වතාවත්.
· රත්නපුර මහ සමන් දේවාලයේ සිදු කෙරෙන පුද පූජා
· සමනොළ කන්දේ සිදු කෙරෙන ආගමික චාරිත්‍ර වශයෙන් ඒවා දැක්වීමට පුළුවන්.
ගල්‍පොත්තාවෙල ශ්‍රී පාද රජමහ වෙහෙර
ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර ඉටුකිරීම සිදු වන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්තාවෙල ශ්‍රීපාද රජ මහා විහාරෙය්දි යි. මෙම විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉදිකොට ශ්‍රීපාදස්ථානයට පූජා කර තිබෙන බව විශ්වාසය යි. වත්මන් ශ්‍රීපාද නායක හිමියන් වන බෙංගමුවේ ධම්ම්දින්න හිමියන් මේ විහාරයේ විහාරාධිපතින් වහන්සේ ලෙස වැඩ වසනවා.
ශ්‍රීපාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, දඹදෙණි යුගයට අයත් සේ සැලකෙන ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජා වස්තු අවාර සමයේ දී මාස හයක කාලයක් පුරාණයේ පටන් තැන්පත් කර තිබෙන්නේ ගල්‍පොත්වෙල පන්සලෙ යි.
සිරිපාදයේ නායක පදවිය ඉසිලූ වේහැල්ලේ ධම්මදින්න ( උඩරට රජ සමයේ), ගාල්ලේ මේධංකර (1836 සිට අවුරුදු 25ක්) සහ ගලගම අත්ථදස්සී හිමි ( 1860 සිට අවුරුදු 4ක්) යන හිමිවරුත් මෙහි වැඩ වාසය කළා. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයක් ද මෙහි දැක ගත හැකි යි. 1867 දී පැවැත්වූ ධර්ම සංගායනාවට ඉදි කළ සුදර්ශන ධර්ම ශාලාව ද විහාර බිමේ යාබද ව පිහිටා තිබෙනවා.
ආරම්භක චාරිත්‍ර
උඳුවප් පුන් පොහෝ දිනයෙන් වන්දනා වාරය ඇරඹුණත් ඒ හා බැඳුණු මූලික චාරිත්‍ර සිදු වන්නේ ඊට දින දෙකකට පමණ පෙර සිට යි. ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන් සමඟ සිරිපා කන්දේ උඩමළුවේ තේවා භාර හිමිවරුන් ද, සමන් දේවාල කපු මහත්වරුන් හා ශ්‍රීපාද කාර්ය මණ්ඩලය ද මේ සිරිත් ඉටු කිරීමට එකතු වෙනවා.
මෙම චාරිත්‍ර, බුද්ධ පූජා හා දේව පූජා වශයෙන් කොටස් දෙකකින් සිදුවනවා. මෙහිදී මුල් තැනක් හිමිවන්නේ බුද්ධ පූජාවන්ට යි. සමන්ගිරට අධිපති ලෙස සැලකෙන සුමන සමන් දෙවිඳුන් සෝවාන් පලලාභී බෞද්ධ උපාසකයෙක් ලෙස පුරාවෘත්තවල සඳහන් වන නිසා දේව පූජාවලට පෙර බුද්ධ පූජා හා ආගමික වතාවත් සිදුකිරීම දකින්න පුළුවන්.
වන්දනා සමයේ චාරිත්‍ර අතර මුලින් ම සිදු වන්නේ ගල්පොත්තාවල විහාරයේ තුන්තිස් පැයේ පරිත්‍රාණ ධර්මදේශනාව යි. උඳුවප් පුන් පොහෝ දිනට දින දෙකකට පෙර දී මෙම පිරිත් දේශනාව ආරම්භ කෙරෙනවා. ඉන් පසු ව සිදුවන්නේ විහාරස්ථානයේ සමන් දේවාලය තුළ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ ඓතිහාසික සඳුන් දැවයෙන් කළ පිළිමය ඇතුළු දේවාභාරණ සුබ මොහොතින් පිටතට වැඩම කරවීම යි.
ඒ මෙහොතේ භික්ෂූන් වහන්සේගේ සෙත් පිරිත් සහ හා මඟුල් බෙර වාදනයක් ද සිදු වෙනවා. ඉන්පසු ශ්‍රීපාද නාහිමි සහ උඩමළුවේ ප්‍රධාන කපුමහත්මාගේ මූලිකත්වයෙන් දේවපූජා හා වතාවත් සිදු කෙරෙනවා. ඉන්පසු රැය පහන් වන තුරු අවට බැතිමතුන් දායකයන් විශාල වශයෙන් පැමිණ සමන් දෙවියන් උදෙසා භාර හාර ඔප්පු කරමින් පුද පූජා පවත්වනු දකින්න පුළුවන්.
රථ පෙරහරක්
පෝය දිනයට පෙර දිනට පහන් වෙද්දී එළැඹෙන සුබ නැකතින් දේවාභාරණ සහිත පූජා භාණ්ඩ අලංකාර රථවල තැනූ විවෘත මණ්ඩපවල තැන්පත් කරනු ලබනවා. ඉන්පසු ගමන් ඇරඹෙන රථ පෙරහර පැල්මඩුල්ල, ලෙල්ලොපිටිය පසුකරමින් රත්නපුර මහ සමන් දේවාලයට පැමිණෙනවා. සමන් දේවාලයේදී ද චාරිත්‍ර කිහිපයක් ඉටුකිරීම සිරිතක්.
පෙරහරේ ගමන් ගන්නා මහා සංඝරත්නය වෙත හීල් දානය පිරිනැමීම ද එහිදී සිදුවන එක් සම්ප්‍රදායයක්. මේ සිරිත්වලින් පසුව රත්නපුර මහ සමන් දේවාලයෙන් දේවාභරණ සහිත රථ පෙරහර නැවතත් ගමන් අරඹනවා. මුලින් ම පෙරහර දෙකක් වශයෙන් එය පිටත් වුණත් මෑතක සිට මේ පූජනීය උත්සවය පෙරහර හතරක් සේ සිව් පැත්තකින් සමනළ කන්ද බලා ගමන් කිරීම සිදුවෙනවා.
පෙරහර හතරකින් ශ්‍රීපාදයට
මෙවරත් ශ්‍රිපාද පුද සිරිත් ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ දී අද (5 දා) රාත්‍රී සිට අලුයම දක්වා පැවැත්වෙනවා. පෙරහර ආරම්භය සිදුවන්නේ දෙසැම්බර් 6 දා අලුයම යි. මේ වාරයේත් වාහන පෙරහර හතරක් සේ ගමන් ගන්නා බව සංවිධායකයන් සඳහන් කරනවා. ඒ මෙසේ යි:
1 පැල්මඩුල්ල රත්නපුර හරහා හැටන් පෙරහර
2 රත්නපුර පලාබද්දල මාර්ගයේ පෙරහර
3 සමන් දේවාලයේ සිට කුරුවිට එරත්න පාරේ පෙරහර
4 බලංගොඩ බගවන්තලාව මාර්ගයේ පෙරහර
පෙරහර හතර ශ්‍රී පාදස්ථානාධිපති, බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ මූලිකත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු කුරුවිට, අහැලියගොඩ, පැල්මඩුල්ල, සීතාවක, හැටන්, ගිනිගත්හේන, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරු ඇතුළු පොලිස් නිලධාරින්ගේ සහ සිරිපාගම, පැල්මඩුල්ල, කුරුවිට, අහැලියගොඩ, සීතාවක හැටන් බලංගොඩ යන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අධීක්ෂණය ද සහිතව යි මහා මාර්ගය දිගේ ගමන් කරන්නේ. අතරමඟ දී බැතිමතුන් පූජනීය වස්තු වැඳ පුදා ගැනීම සහ ආධාර ලබා දීමත් සිදුවෙනවා.
එක් පෙරහරක් රත්නපුර මල්වල පලාබද්දල මාර්ගය ඔස්සේ ශ්‍රීපාද උඩමළුව කරා ගමන් අරඹනවා. අනෙක් පෙරහර අවිස්සාවේල්ල, කිතුල්ගල, හැටන්, නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රීපාදයට ගමන් ආරම්භ කරනවා. රත්නපුර සමන් දේවාලයෙන් පිටත්වන පෙරහර කුරුවිට හරහා එරත්නට ගොස් එහි සිට උඩමළුවට පාගමනින් ගමන් කරනවා. බලංගොඩ පෙරහර බගවන්තලාව හැටන් හරහා නල්ලතන්නියට ළඟා වෙනවා.
මෙසේ ගමන් ගන්නා පෙරහර සියල්ල ශ්‍රීපාද උඩමළුව කරා ගමන් ගන්නේ උඳුවප් පුන් පොහොය උදාවෙමින් තිබියදී යි. පොහෝ දිනය උදාවන හිමිදිරි පාන්දර ශ්‍රී පාදස්ථානාධිපති හිමි ප්‍රමුඛ ශ්‍රීපාද භාරකාර හිමිවරුන් සිරිපතුල සුවඳ පැනින් දෝවනය කර පෙරහරින් වැඩම වූ පූජා වස්තු උඩමළුවේ තැන්පත් කරනවා.
ඉන්පසු බුද්ධ පූජාව හා දේව පූජාව පැවැත්වීමෙන් අනතුරු ව බැතිමතුන්ට නව වසරේ ශ්‍රීපාද වන්දනාවට අවස්ථාව උදා වෙනවා.
වන්දනා වාරය අවසන් කිරීම
මාස හයකින් පසු එළඹෙන වෙසක් පොහෝ දිනයට පසු දින අලුයම් කාලයේ ශ්‍රීපාද නාහිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේ ශ්‍රීපාද සලකුණ අසලට පැමිණෙනවා. එහිදී ගිලන්පස, බුද්ධ පූජාවක් පැවැත්වෙනවා. උඩමළුවේ සමන් දේවාලයේ දේව පූජාවක් පැවැත්වෙන්නේ ඉනික්බිතිව යි.
මේ අවස්ථාව වන්දනා වාරය තුළ උඩමළුවේ සිදුවන අවසන් ආගමික කටයුත්ත යි. උඩමළුවේ සිටින හේවිසි වාදකයන් මඟුල් බෙර වාදනයක් හා තේවා බෙර වාදනයක් කිරීම ද පුරාණයේ පටන් සිදු වන චාරිතයක්. තේවා බෙර වැයීමෙන් පසු බැතිමතුන්ට උඩමළුවට ඇතුළුවීම තහනම් වෙනවා. පසුව සිදුවන්නේ ශ්‍රීපාද නාහිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේ සෙත් පිරිත් දේශනා කරන අතරතුර උඩමළුවේ කපු මහත්වරුන් හා රාජකාරිකරුවන් වන්දනා වාරය නිමාවට පත් කිරීමේ චාරිත්‍ර ඉටු කිරීමයි.
සෙත් පිරිත් දේශනාවෙන් පසුව සුබ නැකතින් මුලින් ම උඩමළුවේ තැන්පත් කර ඇති ධාතු කරඬුව පිටතට ගැනෙනවා. ඉන්පසුවයි, සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ පිටතට රැගෙන එන්නේ. ශ්‍රිපාද පද්මයට ඉහළින් ඉදිකර තිබෙන රන් පියැස්සේ කොත් දෙකත් එම ස්ථානවලින් ඉවත් කෙරෙනවා. සිරිපා ලාංඡනය පද්මය සුවඳ පැනින් දෝවනය කරන්නේ ඉන් අනතුරුව යි. පිටතට රැගෙන පැමිණි පූජනීය වස්තූන් උඩමළුවෙන් පහත මළුවට ගෙනවිත් හේවිසි හා සාදු නාද මැද අලංකාර රන්සිවිලි සහිත දෝලා දෙකක තැන්පත් කෙරෙනවා.
මේ කටයුතුවලින් පසුව උඩමළුවේ හඳුන් කුටියේ දොරගුලු දමනවා. සමන් දේවාලය ද වසා දමා දොරගුලු දානවා. ඉන්පසු ව දේවාභරණ සහිත දෝලා පෙරටු කොට ගත් පෙරහර උඩමළුවෙන් පහළට ගමන් ඇරඹීම සිදු වෙනවා. අවාර සමයේ දී ශ්‍රීපාදස්ථානයේ භික්ෂුන් වහන්සේ කිසිවෙක් රැඳී සිටින්නේ නැහැ. පහළ මළුවේ සිටින්නේ ශ්‍රීපාද මුරකරුවන් කිහිප දෙනා පමණ යි. වන්දනා වාරය නිමා වීමෙන් පසුව ශ්‍රීපාද මාර්ගයේ විදුලිය විසන්ධි කෙරෙනවා. උඩමළුවේ විදුලි බුබුළු කිහිපයක් පමණයි ඉතිරි වන්නේ. ජල සැපයුම ද තාවකාලිකව නවතා දැමෙනවා.