Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රීඩා ලොව සුපිරි තරු පහක අපූරු විනෝදාංශ

යම් කිසි ක්‍රීඩාවකින් ජාත්‍යන්තර මට්ටම දක්වා ගිය ක්‍රීඩකයන්ට විවේකී ව කාලය ගත කරන්නට ලැබෙන්නේ හරි ම කලාතුරකින්. ඒ ඔවුන්ට පුහුණුවීම්වල යෙදීමට සහ තරගවලට සහභාගි වීමට  සැලකිය යුතු තරම් කාලයක් වැයවන නිසා යි.  එසේ  කාර්යබහුල ජීවිතයක් ගත කරන ක්‍රීඩකයන් අතුරින් සමහර උදවිය විවේකයක් ලැබුණු අවස්ථාවල දී විවිධ විනෝදාංශවල නිරත වනවා. එවැනි ක්‍රීඩා තරු පහකගේ අපූරු විනෝදාංශ පිළිබඳ ව මෙම ලිපියෙන් කතා කරනවා. 

1). සචින් ටෙන්ඩුල්කාර් (ක්‍රිකට්)- ගසල් සංගීතයට හා ගායනවලට සවන් දීම 

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂත ම පිතිකරුවන් අතුරින් කෙනකු වන සචින් රමේෂ් ටෙන්ඩුල්කාර් 1989-2013 කාලයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළා. එම කාලය තුළ ජාත්‍යන්තර තරග 664කට සහභාගි වුණු සචින් අර්ධ ශතක 164ක් සහ ශතක 100ක් සමඟින් ලකුණු 34357ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව එදා මෙදාතුර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි ම ලකුණු ප්‍රමාණයක් මෙන් ම ශතක ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා ලෙසින් ඔහු වාර්තා අතර රැඳී සිටිනවා. ඔහුගේ එම අද්විතීය වාර්තා තවත් දශක ගණනාවක් පුරා නොබිඳී පවතිනු ඇති බවට ක්‍රිකට් විචාරකයන් අනාවැකි පළ කරනවා.

සචින් ටෙන්ඩුල්කාර් – gettyimages.com

 

සචින්ගේ පියා වුණු රමේෂ් ටෙන්ඩුල්කාර්ගේ පළමු බිරිය අකාලයේ මිය ගියා. එම විවාහයෙන් නිටින් සහ අජිත් නමින් දරුවන් දෙදෙනකු ලැබුණා. ඉන් පසුව රමේෂ් ටෙන්ඩුල්කාර් තවත් විවාහයක් කර ගත්තා. ඒ රජිනි නම් තරුණිය සමඟ යි. සචින් ටෙන්ඩුල්කාර් එම විවාහයෙන් ඔහුට ලැබුණු දරුවා යි. සචින්ගේ සහෝදරයන් දෙදෙනා වුණු නිටින් සහ අජිත් කුඩා කල සිට සංගීතයට ප්‍රිය කළත් සචින් සංගීතය වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ.

පන්කජ් උදාස් නම් ගසල් ගායකයා එම යුගයේ දී සචින්ගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා ගේ ප්‍රියත ම ගායකයා බවට පත්ව සිටියා. සචින්ගේ සොහොයුරන් දෙදෙනා දැඩි කැමැත්තකින් පන්කජ්ගේ ගීත එදා ශ්‍රවණය කළත් සචින් එම ගීතවලට ප්‍රිය කළේ නැහැ.

සචින් කුඩා කාලයේ දී – hindinews18.com

 

ඒ අයුරින් කාලය ගෙවී යද්දී සචින්ගේ වැඩිමහල් සොහොයුරු නිටින් සංචාරයක් සඳහා ඩුබායි බලා ගියා. ඔහු එම සංචාරය නිමවා ආපසු පැමිණෙන විට පන්කජ් උදාස්ගේ නවත ම සංගීත ඇල්බමයක් රැගෙන ආවා. ඉන් අනතුරු ව සචින්ගේ සොහොයුරන් දෙදෙනා උමතුවෙන් මෙන් එම ඇල්බමයේ ගීත ශ්‍රවණය කළා. ටික කලක් ගතවන විට සචින් ද එම ඇල්බමයේ ගීතවලට ප්‍රිය කරන්නට පටන් ගත්තා.

අවසානයේ සචින් ද ගසල් ලෝලියකු බවට පත්වුණා. එදා සිට  සචින් ක්‍රිකට්වලට පසු ව වැඩිපුර ම ආදරේ කළේ ගසල් සංගීතයට යි. ඒ අයුරින් ගසල් සංගීතයට ඇබ්බැහි වුණු සචින් විදෙස් සංචාර අතරතුර විනෝදාංශයක් ලෙසින් ගසල් ගීතවලට සවන් දීමට පුරුදු ව සිටියා. එමඟින් ඔහුට සිය මනස සන්සුන් කර ගැනීමට හැකිවුණු බව සචින් පසු කලෙක පවසා තිබුණා. 

සංගීතයට ප්‍රිය කරන සචින් ප්‍රසිද්ධ ගායක සෝනු නිගම් සමඟ – youtube.com

 

2). මයික් ටයිසන් (බොක්සිං)- පරෙවියන් එකතු කිරීම 

මයික් ටයිසන් යන නම ඇසුණු සැණින් ඔබගේ මතකයට එන්නේ ප්‍රතිවාදීන්ට වැරෙන් පහර දෙන දඩබ්බර බොක්සිං ක්‍රීඩකයකුගේ රූපයක්. අමෙරිකාවෙන් බිහිවුණු දක්ෂත ම හෙවිවේට් බොක්සිං ශූරයකු වන ටයිසන් 80 දශකයේ අග භාගයේ සිට 90 දශකයේ මැද භාගය දක්වා බොක්සිං වළල්ලේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා.

මෙම සුපිරි ක්‍රීඩකයාගේ  බොක්සිං දිවියට කළු පැල්ලමක් මුලින් ම  එකතු වුණේ 1997 වසරේ දී යි. ඒ  බොක්සිං තරගයක දී එවැන්ඩර් හොලිෆීල්ඩ් නම් ක්‍රීඩකයාගේ කන සපා කෑම හේතුවෙන්. එසේ  බොක්සිං වළල්ලේ දී අවමානයට ලක්වුණු ටයිසන් බොක්සිං වළල්ලෙන් පිටත දී විනය විරෝධී ක්‍රියාවල නිරත වීම නිසා ද සිය ජීවිතයට කළු පැල්ලම් රැසක් එකතු කර ගත්තා. එනිසා ටයිසන් කළු චරිතයක් ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා.

මයික් ටයිසන් බොක්සිං වළල්ලේ දී – gettyimages.com

 

ටයිසන් කුඩා කාලයේ දී නිව් යෝක්හි බෘක්ලින් ප්‍රදේශයේ ජීවත් වුණා. එම ප්‍රදේශයේ පරෙවියන් බහුල වශයෙන් ජීවත් වුණා. කුඩා ටයිසන් 8 හැවිරිදි වියේ දී පරෙවියන්ට විශේෂ කැමැත්තක් දක්වන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු විනෝදාංශයක් ලෙසින් පරෙවියන් එකතු කිරීමට පටන් ගත්තා.

මයික් ටයිසන් පරෙවියන් සමඟ – gettyimages.com

 

ටයිසන් ගැටුමකට මුලින් ම සම්බන්ධ වුණේ පරෙවියකු සම්බන්ධ සිදුවීමක් නිසා බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වනවාට සැකයක් නැහැ. එදා එක්තරා පිරිමි ළමයෙක් ටයිසන්ට අයත් වුණු පරෙවියකු හොරකම් කර මරා දැමුවා. එය ආරංචි වීමෙන් පසුව දැඩි ලෙස කෝපයට පත්වුණු ටයිසන් එම පිරිමි ළමයාට හොඳ හැටි පහර දුන්නා. 

මයික් ටයිසන් කුඩා කාලයේ දී – istmira.com

 

පසු යුගයක ඔහු බොක්සිං පිටියට පිවිසීමට එම සිදුවීම යම් බලපෑමක් කළා. එනිසා ලෝ ප්‍රකට බොක්සිං ක්‍රීඩකයකු බවට පත්වීමෙන් පසුව ද ටයිසන් සිය විනෝදාංශය අත් හැරියේ නැහැ. අද වන විටත් විවිධ වර්ගවලට අයත් පරෙවියන් දහස් ගණනක් ටයිසන් ළඟ සිටිනවා. එසේ  එකතු කරන පරෙවියන් සමඟ කාලය ගත කිරීමෙන් සහ උන් තරග සඳහා ඉදිරිපත් කිරීමෙන්  තමන්  විශාල සතුටක් ලබන බව ටයිසන් පවසනවා. 

ටයිසන් පරෙවියකු සමඟ – northjersy.com

3) ඇන්ඩෘ සයිමන්ඩ්ස් (ක්‍රිකට්)- මසුන් ඇල්ලීම 

2003 සහ 2007 වසරවල එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල ප්‍රබල සාමාජිකයකු වුණු ඇන්ඩෘ සයිමන්ඩ්ස් එරටින් බිහිවුණු අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.  1998-2009 කාලයේ ජාත්‍යන්තර තරග 298ක දී ඕස්ට්‍රේලියාව නියෝජනය කළ මෙම ක්‍රිකට් තරුව පිත්තෙන් ලකුණු 6887ක් ලබා ගෙන පන්දුවෙන් කඩුලු 165ක් බිඳ දැමීමට සමත් වුණා.

 ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටියේ ඉහළ ම තැනකට ගෙන යාමට විශාල මෙහෙයක් ඉටු කළ මෙම ක්‍රීඩකයා අවිවේකී ජීවිතයක් ගත කළා. එනිසා විවේකයක් ලද ඇතැම් අවස්ථාවල දී මසුන් ඇල්ලීමට ඔහු පුරුදු ව සිටියා.

ඇන්ඩෘ සයිමන්ඩ්ස් 2003 සහ 2007 ලෝක කුසලානය සමඟ – latestly.com

 

කුඩා කාලයේ සිට තරමක් දඩබ්බර චරිතයක් වුණු සයිමන්ඩ්ස් යොවුන් වියේ සිට මසුන් ඇල්ලීම සිය විනෝදාංශය කරගෙන සිටියා. ඔහු එම විනෝදාංශට තදින් ම ඇබ්බැහි වී සිටි නිසා සිය රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබීමෙන් පසුව පවා එය අත්හැරියේ නැහැ. ඔහු මෙම විනෝදාංශයේ නිරත වන අතරතුර අකරතැබ්බයන්ට මුහුණදුන් අවස්ථා ද නැතුවාම නොවෙයි.

එවැනි සිදුවීමක් මුලින් ම වාර්තා වුණේ 1999 දී යි. එදා සයිමන්ඩ්ස් සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න් ද සමඟින් මසුන් ඇල්ලීම සඳහා උතුරු ක්වීන්ස්ලන්තයේ ස්ට්‍රැඩ්බ්‍රෝක් දූපතට ගියා. එම ගමන අතරතුර ඔවුන්ගේ බෝට්ටුව පෙරළීම නිසා මිතුරන් දෙදෙනා ඇබැද්දියකට මුහුණ දුන්නා. ඉන් පසුව ඔවුන් දෙදෙනා විශාල දුරක් පිහිනා ගොස් සිය ජීවිත බේරා ගත්තා. 

හේඩ්න් සහ සයිමන්ඩ්ස් මසුන් අල්ලමින් – triplem.com.au

 

සයිමන්ඩ්ස් මසුන් ඇල්ලීමට යාම නිසා කරදරේ වැටුණු අනිකුත් සිදුවීම වාර්තා වුණේ 2008 දී යි. ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් එම වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භ වුණා. එම තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයකට පෙර හදිසි රැස්වීමක් කැඳවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කළා.

ඩාවින් හි පැවති එම හදිසි රැස්වීමට සහභාගි වීම සඳහා උනන්දුවක් නොදැක්වූ සයිමන්ඩ්ස් හොර රහසේ ම මසුන් ඇල්ලීම සඳහා යාබද ප්‍රදේශයකට ගියා. එදා සයිමන්ඩ්ස් රැස්වීමට සහභාගි නොවී මසුන් ඇල්ලීම සඳහා ගිය බව පසුව අනාවරණය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කළා. එය ඇන්ඩෘ සයිමන්ඩ්ස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීමක් බවට පත්වුණා.  

ඇන්ඩෘ සයිමන්ඩ්ස් ඇල්ලූ මසකු සමඟ – southburnett.com.au

4). ජැක් රසල් (ක්‍රිකට්) – චිත්‍ර ඇඳීම 

1987-1998 කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග 94ක දී එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට ජැක් රසල්ට වරම් හිමි වුණා. එදා දක්ෂ කඩුලු රකින්නකු ලෙසින් ක්‍රිකට් පිටියේ නමක් දිනා ගෙන සිටි රසල් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ දී පිත්තෙන් ලකුණු 2320ක් ලබා ගෙන දවාගැනීම් 212කට දායක වෙමින් සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා. 

ඒ අයුරින් දශකයකට වැඩි කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජැක් රසල් නම් කඩුලු රකින්නා විවේකයක් ලැබුණු බොහෝ අවස්ථාවල දී චිත්‍ර ඇඳීම විනෝදාංශයක් කර ගෙන තිබුණා.

ජැක් රසල් ක්‍රිකට් පිටියේ දී – gettyimages.com

 

රසල් චිත්‍ර ශිල්පියකු බවට පත්වුණේ ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වුණු අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන්. රසල් 1981-2004 කාලයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කළා. 80 දශකයේ මැද භාගයේ රසල් වොරික්ෂයර් ප්‍රාන්තය සමඟ ක්‍රිකට් තරගයකට සහභාගි වුණා. එම තරගය පැවති ප්‍රදේශය ආශ්‍රිත ව අධික වර්ෂාවක් පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එදා කරන්නට කිසිදු වැඩක් නොතිබුණු නිසා කුඩා කොළයක් ගත් රසල් එහි සිතුවමක් ඇන්දා. එය ඔහු ඇඳි පළමු සිතුවම බවට පත්වුණා. එදා සිට ඔහු ක්‍රිකට් තරග අතරතුර සිතුවම් ඇඳීමට පටන් ගත්තා. 1988 වසර වෙද්දී ඔහු සන්තකයේ එවන් සිතුවම් රැසක් තිබුණා. 

රසල් සිතුවමක් අඳිමින් – gettyimages.com

 

1988 දී රසල්ගේ සිතුවම් ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වුණා. දින දෙකක් ඇතුළත එම ප්‍රදර්ශනයේ තිබුණු සියලු ම චිත්‍ර අලෙවි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් රසල් චිත්‍ර ශිල්පියකු බවට පත්වුණා. ඒ වන විට ඔහු එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිටියා.

රසල් 1996 ලෝක කුසලානය අතරතුර චිත්‍ර අඳිමින්- gettyimages.com

 

ඉන් පසුව ඔහු සහභාගි වුණු බොහෝ සංචාරවල දී විවේකයක් ලද විගස ම චිත්‍ර ඇඳීමේ නිරත වුණා. 1996 ලෝක කුසලාන තරගාවලිය අතරතුර පාකිස්තානයේ වීදිවල ඇවිදිමින් චිත්‍ර ඇදීමේ නිරත වුණු රසල් එරට ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. 

රසල් 1996 ලෝක කුසලානය අතරතුර පාකිස්තානයේ වීදිවල සිට සිතුවම් අඳිමින් – gettyimages.com

 

5). ෂාවි හර්නැන්ඩස් (පාපන්දු)- බිම්මල් එකතු කිරීම 

2010 වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව  හිමි කර ගත්තේ ස්පාඤ්ඤ කණ්ඩායම යි. එය ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ මුල් ම සහ එක ම අවස්ථාව ලෙසින් සටහන් වුණා.

එදා සිය රටට පාපන්දු ලෝක කුසලානය දිනා දීමට ෂාවි හර්නැන්ඩස් නම් ස්පාඤ්ඤ මැද පෙළ ක්‍රීඩකයා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා, එනිසා තරගාවලියෙන් පසුව තේරූ සිහින කණ්ඩායමට පවා ඔහුගේ නම ඇතුළත් වුණා.

ෂාවි 2010 පාපන්දු ලෝක කුසලානය අතරතුර – gettyimages.com

 

1998-2015 කාල සමයේ ස්පාඤ්ඤය වෙනුවෙන් තරග 133ක්ද සුප්‍රකට බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් තරග 505ක්ද  ක්‍රීඩා කළ මෙම සුපිරි පාපන්දු තරුව වඩාත් කාර්යබහුල ජීවිතයක් ගත කළා. නමුත් විවේකයක් ලැබුණු බොහෝ අවස්ථාවන්වල දී ඔහු අමුතුම ආකාරයේ විනෝදාංශයක නිරත වුණා.  ඒ ස්පාඤ්ඤයේ කඳුකර ප්‍රදේශවලට ගොස් විවිධ වර්ගවල බිම්මල් එකතු කිරීම යි.

ඔහුගේ පියා සහ සීයා බිම්මල් එකතු කිරීම විනෝදාංශයක් ලෙස සිදු කළා. එනිසා ෂාවි කුඩා කල සිට ම සීයා සහ පියා බිම්මල් එකතු කරන ආකාරය දැක තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ද බිම්මල් එකතු කිරීම සිය විනෝදාංශය කර ගත්තා.

ෂාවි සිය මිතුරන් සමඟ බිම්මල් එකතු කරමින් – Twitter.com

 

කවරයේ ඡායාරූපය- 1996 ලෝක කුසලානය අතරතුර රසල් සිතුවම් අඳිමින් (espncricinfo.com)

මූලාශ්‍ර:

espncricinfo.com

wisden.com

lebarante.blogspot.com

Playing it my way- Sachin Tendulkar autobiography

Related Articles