Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිහසුන් කෙළියේ අතුරු කතා

අනූව දශකයේ මුල් භාගයේ සිට රූපවාහිනිය ශ්‍රී ලාංකීය ජනතාව තොරතුරු දැනගැනීම හා විනෝදාස්වාදය  සඳහා භාවිතා කරන සුලභ මාධ්‍යයක් බවට පත්වුණා. එදා සිට මේ දක්වා ආ ගමන් මගේ තවමත් නොවෙනස් ආකර්ෂණයක් ලබා ගන්නට සමත් එක් පැතිකඩක් ලෙස බටහිර රූපවාහිනී කතා මාලා දැක්විය හැකියි. සිංහල හඬකැවූ හා සිංහල උපසිරැසි සහිතව ලාංකීය ප්‍රේක්ෂකයින් නැරඹු එවැනි ජනප්‍රිය නිර්මාණ බොහොමයි. Knight Rider, Xena හා The X-Files වැනි කතා මාලා මගින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ටත් තම දිවයිනෙන් එපිට ලෝකය ගැන දකින්නට අවස්ථාව උදාවුණා.

එකල අප හුරුවී සිටියේ ලෝකයේ වෙනත් රටක විකාශය වී අවසන් වූ රූපවාහිනී කතා මාලාවක් ඉන් අවුරුදු කිහිපයකට පසුව නැරඹීමට. එදා මෙදා තුර සිදුවූ තාක්ෂණික දියුණුව හා අන්තර්ජාලයේ ආගමනයත් සමඟ වර්තමානයේ ලෝකයේ ඕනෑම තැනක විකාශය වන එවැනි වැඩසටහනක් එවෙලේම හෝ ඉන් පැය කිහිපයකට පසුව නැරඹීමේ හැකියාව දැන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ද ලැබී තිබෙනවා. කොටින්ම කියනවා නම් දැන් මේ සඳහා රූපවාහිනී යන්ත්‍රය යොදා ගන්නේද නැති තරම්. අද අප ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ එලෙස ලොව පුරා ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයයේ විකාශය වන ශ්‍රී ලාංකිකයන් අතරත් ඊට නොදෙවෙනි ලෙස ජනප්‍රිය බටහිර රූපවාහිනී කතා මාලාවක් පිළිබඳ අපූරු විස්තර කිහිපයක්.

මේ සෙල්ලම බොහොම මාරාන්තිකයි (gameofthrones.wikia.com)

මේ සෙල්ලම බොහොම මාරාන්තිකයි (gameofthrones.wikia.com)

Game of Thrones කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම රූපවාහිනී කතා මාලාව කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි. George R. R. Martin විසින් රචිත A Song of Ice and Fire නම් මනඃකල්පිත මායා වීරකතා මාලාව ඇසුරෙන් HBO සමාගම විසින් පුංචි තිරයට අනුවර්තනය කළ මෙහි අන්තර්ගතය හා නිෂ්පාදනය නම් කිසිම විදිහකින් පුංචි නැහැ. Westeros නම් කල්පිත දේශයේ රාජධානි හතක පාලනය සංකේතවත් කෙරෙන අයෝමය සිහසුන අරා රජවීමට එක් එක් රාජධානිවල බලවත්ම පවුල් අතර ඇතිවන ගැටීම් මෙහි නිරූපිතයි. A Song of Ice and Fire ග්‍රන්ථමාලාව මේ වනවිට පිළිවෙළින් A Game of Thrones, A Clash of Kings, A Storm of Swords, A Feast for Crows සහ A Dance with Dragons යන කෘති පහකින් සමන්විතයි. මෙහි නවතම කෘතිය වන Winds of Winter නුදුරේදීම එළිදැක්වීමට නියමිත වුවත් තවමත් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කර නැහැ.

දැනට මෙපමණයි (jessicarulestheuniverse.com)

දැනට මෙපමණයි (jessicarulestheuniverse.com)

මේ ලිපිය කියවීමට ඔබ පෙළඹුණේ දැනටමත් මෙම කෘති කියවා තිබෙන නිසා හෝ රූපවාහිනී කතා මාලාව නරඹන නිසා යැයි අප විශ්වාස කරනවා. එමනිසා මෙහි එන චරිත හා පසුබිම පිළිබඳ වැඩිදුර විස්තර කරනවාට වඩා, මේ දිනවල ජනප්‍රියම මාතෘකාවක් වන පසුගිය 26 වැනිදා නිමාව දුටු Game of Thrones රුපවාහිනි කතා මාලාවේ හයවැනි අදියර (season 6) සහ සමස්ථයක් ලෙස මෙම දැවැන්ත නිර්මාණය පුංචි තිරයට ගෙන ආ අයුරු පිළිබඳ අපූරු හා පුදුමාකාර තොරතුරු රැසක් ඔබේ දැනුමට එකතු කිරීමට අප තීරණය කළා.

රුපවාහිනී කතා මාලා නිපැයුම් ඉතිහාසයේ සන්ධිස්ථානයක්

A Song of Ice and Fire හි කතාව තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත විෂය පථයක් අන්තර්ගතයි. The Lord of The Rings වැනි කෘති සිනමාවට නැගීම මේ වන විට සිදුකර තිබුණත් එවැනිම දැවැන්ත නිර්මාණයක් වූ මෙවැන්නක් කොටස් වශයෙන් රූපවාහිනී අනුවර්තනයක් ලෙස එළිදැක්වීම මෙතෙක් කිසිවෙක් කර නොතිබූ කාර්යයක්. මෙහි අන්තර්ගතය සලකා බැලූවිට එක් කථාංගයක නිපැයුම් වියදම සමහර හොලිවුඩ් චිත්‍රපටවල සම්පුර්ණ නිෂ්පාදන වියදමට වඩා වැඩි වන අවස්ථා බොහොමයි. කෙසේ නමුත් HBO සමාගම වෙනුවෙන් David Benioff හා D. B. Weiss මෙම දැවැන්ත කාර්යභාරයේ නියමුවන් ලෙස කටයුතු ආරම්භ කළා.

2011 වසරේ රූපවාහිනී විකාශය ආරම්භ කළ කථාංග 10කින් සමන්විත Game of Thrones පළමු අදියරේම (season 1) සම්පූර්ණ නිෂ්පාදන වියදම ආසන්න වශයෙන් ඇ. ඩො. මිලියන 60ක්. මේ සඳහා පාදක වුණේ A Song of Ice and Fire හි පළමු කෘතිය වන A Game of Thrones. මෙය විකාශය වූ පසු ඊට HBO ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. වැඩි කලක් යන්නට මත්තෙන් ලොව පුරා විසිරි සිටින ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ද ඊට දෙවැනි වූයේ නැහැ. මේ නිසා HBO සමාගම තීරණය කළා දෙවැනි අදියරේ නිෂ්පාදන කටයුතු ඇරඹීමට. එතැන් සිට මේ වනතෙක් අදියර 6ක් දක්වා නිර්මාණය වී ඇති මෙම කතා මාලාවේ දැනට එක් කථාංගයක පමණක් නිෂ්පාදන වියදම ඇ. ඩො. මිලියන 10 ඉක්මවනවා.

Season 6 ගැන ඔබ නොදත් කතා

මේ මුහුණු පිටුපස සැඟවුණු අබිරහස් මොනවාද? (dailydot.com)

මේ මුහුණු පිටුපස සැඟවුණු අබිරහස් මොනවාද? (dailydot.com)

සැ. යු. : ලිපියේ මින්  ඉදිරියට  Game of Thrones හයවැනි අදියරේ අන්තර්ගතය හා කථා වස්තුව  පිළිබඳ කරුණු  අඩංගු  වේ.

Game of Thrones – season 6, ඊට පෙර විකාශය වූ අදියර පහටම  වඩා බොහෝ සෙයින් සුවිශේෂයි. A Song of Ice and Fire හි මේ වනවිට ප්‍රකාශයට පත්වී ඇත්තේ කෘති පහක් පමණක් යන්න ඔබ දැනටම දන්නා කරුණක්. ඒවායේ දිවෙන කතාවට සෑම අතකින්ම සමාන නොවුණත්, රූපවාහිනී කතා මාලාවේ පස්වන අදියර නිමාවන විට එය නිර්මාණයට ඔවුන් පාදක කරගත් කෘතිවල කථා වස්තූන් බොහොමයක් අවසන්. එහෙයින් හයවන අදියර මෙතෙක් Game of Thrones නිර්මාණයට මූලාශ්‍ර කොටගත් කෘති අභිබවා ඉදිරියට යනවා. මෙයට ප්‍රධානම හේතුව Winds of Winter කෘතිය තවමත් ප්‍රකාශයට පත්වී නොතිබීමයි. නමුත් A Song of Ice and Fire හි කර්තෘ හා රුපවාහිනී කතා මාලාවේ තිර රචනයෙන් දායක වන George R. R. Martin කතාවේ අවසානය හා දැනට නිකුත්වී ඇති කෘති අතරතුර සිදුවන ප්‍රධාන සිදුවීම් පිළිබඳ රූපවාහිනී කතා මාලාව නිර්මාණය කිරීමේ ප්‍රධානත්වය දරණ David Benioff හා D. B. Weiss හට දන්වා ඇති නිසා ඔවුන් ඒ අනුව එහි නිෂ්පාදන කටයුතු සිදුකරනවා. මෙය A Song of Ice and Fire පාඨකයන් බොහොමයක් මහත් සේ උරණ වන්නට හේතුවූ කරුණක් ද වනවා.

ගිය පණ ආපසු ගෙන ඒම (theverge.com)

ගිය පණ ආපසු ගෙන ඒම (theverge.com)

තම කතා මාලාවේ එන ප්‍රධාන චරිත කිසි පැකිලීමකින් තොරව මරා දැමීම පිළිබඳ Game of Thrones ඉතාම ප්‍රසිද්ධයි. තුන්වන අදියරේ නවවැනි කථාංගය වූ The Rains of Castamere හි Red Wedding මීට හොඳම උදාහරණයක්. එලෙසින්ම පස්වන අදියරේ අවසන් කථාංගයේ දී තවත් එක් ප්‍රධාන හා ජනප්‍රියතම චරිතයක් වන Jon Snow ඝාතනයට ලක්වනවා. නමුත් හයවන අදියරේ දෙවන කථාංගයේ අවසානයේ දී නැවත ඔහුට පණ දීමට Melisandre නම් මායාකාරී පූජකවරිය සමත්වනවා. මෙහි විශේෂත්වය නම් මෙතෙක් පළවී ඇති කෘතිවල කතාවන්ට අනුව Jon Snow තවමත් සිටින්නේ මළවුන් අතර වීමයි.

Season 6 හි තවත් එක් කතාබහට ලක්වූ හා හැඟීම්බරම මොහොතක් ලෙස ආදරණීය දැවැන්තයා Hodor ගේ මියයාම දැක්විය හැකියි. එමෙන්ම ඔහු සිටින එම තත්ත්වයට ඔහු පත්වූයේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදී විස්තර කෙරෙනවා. මෙම සිදුවීම් කිසිවක් තවමත් එකදු කෘතියක හෝ අඩංගු නැහැ. මෙම කථාංගය නිර්මාණය වූ අයුරු ඔබට පහතින් නැරඹිය හැකියි

Daenerys Targaryen හා ඇගේ මකරුන්

Daenerys Targaryen නොඑසේ නම් Dany කියන්නේ මෙහි තවත් ජනප්‍රියතම චරිතයක්. ඇයට නොදෙවෙනි ජනප්‍රියත්වයක්  හිමිවන අනෙකුත් අය නම් ඇගේ මකරුන් තිදෙනායි. මකරුන් කියන්නේ හොලිවුඩ් චිත්‍රපට නරඹන කෙනෙකුට නම් අමුතු දෙයක් නොවෙයි. නමුත් රූපවාහිනී කතා මාලාවක් සඳහා පරිගණක  සජීවීකරණයන් භාවිතයෙන් නිර්මාණය කළ ඉතාමත්ම තාත්වික මකරුන් දක්නට ලැබෙන්නේ Game of Thrones හි බව අවිවාදිතයි. එහි හයවැනි අදියරේ නවවන කථාංගයේ Mereen ආක්‍රමණයට ආ වහල් වෙළඳුන්ගේ නැව් සුනුවිසුණු කිරීමට Dany තම මකරුන් යොදාගත් දර්ශනය ඔබට මතක ඇති. එලෙසම පස්වැනි අදියරේ වූ දර්ශන සඳහා මකරුන් නිර්මාණය කළ අයුරු පහතින් දැක්වෙනවා. තාක්ෂණයේ දියුණුව අප සිතනවාට වඩා කෙතරම් ඉදිරියෙන් තිබෙනවාද යන්නට මේ හොඳම උදාහරණයක්.

රූපවාහිනී ඉතිහාසයේ දැවැන්තම සටන ඔබේ ආලින්දයට ගෙන ආ අයුරු

ඉහත video clip එකේ දැක්වෙන පරිදි Game of Thrones නිර්මාපකයන් තම නිර්මාණය ඉතා ඉහළ අයුරින් නිෂ්පාදනයට කෙතරම් වෙහෙසක් දරන්නේද යන්න පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ඒ ඔබ දුටුවේ සුළු ප්‍රමාණයක් පමණයි. මේ කියන්නට යන්නේ එදා මෙදා තුර විකාශය වූ Game of Thrones කථාංග අතරින් වැඩිම වියදමක් දරා නිපදවූ Battle of Bastards පිළිබඳවයි. කලින් සඳහන් කළාක් මෙන් මෙය එදා මෙදා තුර රූපවාහිනී කතා මාලාවක් සඳහා නිර්මාණය කළ දැවැන්තම සටන යන්න අතිශයෝක්තියක් නොවේ. Miguel Sapochnik නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම කථාංගයේ සටන රූගත කිරීම සඳහා පමණක් ප්‍රධාන නළු/නිළියන් 7 දෙනෙක්, අතිරේක නළු/නිළියන් 500 දෙනෙක්, අශ්වයන් හා අසරුවන් 70ක්, කැමරා කණ්ඩායම් 4ක්, නිෂ්පාදන කණ්ඩායමේ 600ක පිරිසක් දින 25ක් තිස්සේ වෙහෙස වී තිබෙනවා. මෙහි විශේෂතම කරුණක් ලෙස අධ්‍යක්ෂකවරයා දක්වනනේ Jon Snow ඉදිරියට අශ්වයන් සහිත සේනාව දිව එන දර්ශනය සඳහා කිසිදු පරිගණක දෘශ්‍ය ප්‍රයෝගයක් යොදා නොගැනීමයි. මෙම කතාංගය සඳහා මුළු නිෂ්පාදන වියදම ඇ. ඩො. මිලියන 10කට වැඩි බව පැවසෙනවා. (මීට පෙර මෙවැනි වාර්තාවකට හිමිකම් කීවේ Netflix සමාගම නිෂ්පාදනය කළ Marco Polo කතා මාලාවේ පළමු අදියරයි. එහි එක් කථාංගයක් සඳහා නිෂ්පාදන වියදම ඇ. ඩො. මිලියන 9ක්) මේ කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු මේ සබැඳියෙන් ඔබට දැනගත හැකියි. Battle of Bastards හි සටන නිර්මාණය කළ අයුරු පහතින් නැරඹිය හැකියි.

ශීත සෘතුවේ සුළං කලින්ම හමා ඇවිත්ද?

Game of Thrones – season 6 එහි මෙතෙක් විකාශය වී ඇති සියලුම අදියර අතරින් හොඳම අදියර යැයි බොහෝ දෙනා පවසන බව දැනටමත් ඔබ අසා ඇති. අප මෙතෙක් ඉදිරිපත් කළ කරුණු මෙන්ම එහි අවසාන කථාංගයත් ඊට බොහෝ සෙයින් ඉවහල් වුණා. Winds of Winter ලෙසින් නම් කෙරුණු මෙය මෙතෙක් විකාශය වී ඇති සියලුම Game of Thrones කථාංග අතරින් දීර්ඝතම (විනාඩි 69ක) කථාංගයද වන අතර,. Battle of Bastards අධ්‍යක්ෂණය කළ  Miguel Sapochnik මෙහිදීද අධ්‍යක්ෂණයෙන් දායකවී තිබෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ මෙම කථාංග දෙකම IMDb හි වැඩිම ඇගයුමක් (10/10) ලැබූ රූපවාහිනී කථාංග අතරට අයත්. Cersei රැජිණ තම සතුරන් සියලුදෙනාම එකවර විනාශකර දැමීම, Arya Stark තම පවුලේ අය මරා දැමූ Walder Frey ගෙන් පළිගැනීම, Westerosහි උතුරේ ජනයා අතර නිතරම කතාබහට ලක්වන අවුරුදු දහස් ගණනකට පසුව උදාවන දරුණුම ශීත සෘතුවේ ආගමනයේ ප්‍රථම ලකුණු පහළවීම, Jon Snowගේ සැබෑ දෙමාපියන් කවුදැයි යන්න හා Dany තම මකරුන් ඇතුළු හමුදාවත් රැගෙන Westeros හි බලය සියතට ගැනීම සඳහා ගමන් ඇරඹීම වැනි A Song of Ice and Fire හි ප්‍රධාන කථා වස්තුවට විශාල බලපෑමක් ඇති කරන කරුණු රාශියක් මෙම කථාංගයේ නිරූපිතයි.

රැජිණ මමයි අපේ රාජ්ජේ? (wired.com)

රැජිණ මමයි අපේ රාජ්ජේ? (wired.com)

හත්වැනි අදියරේ කුමක් සිදුවේවිද?

මෙලෙස නිමාව දුටු Game of Thrones – Season 6 ට පසු එහි සියලු රසිකයන් පුන පුනා බලාසිටින්නේ හත්වන අදියර විකාශය ආරම්භ වන තුරුයි. එය එසේ සිදුවන බව HBO සමාගම නම් දැනටමත් සනාථ කර අවසානයි. කෙසේ නමුත් ඒ සඳහා අවම වශයෙන් තවත්  වසරක්වත් බලා සිටීමට ඔබට සිදුවනවා. ඔවුන් ප්‍රකාශ කර ඇති තවත් එක් විශේෂ කරුණක් නම් ඉදිරි අදියර දෙකෙහිම එනම් season 7 සහ 8 හි ඇතුළත් සම්පුර්ණ කථාංග සංඛ්‍යාව 13-15 අතර ගණනක් බවයි. (මේ වනතෙක් විකාශය වූ සෑම අදියරක්ම කථාංග 10කින් සමන්විතයි). මේ Game of Thronesහි අවසාන අදියර ද්විත්වය ද වනවා. මේ අතර මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන Peter Dinklage (Tyrion Lannister), Lena Headey (Cersei Lannister), Kit Harington (Jon Snow), Nikolaj Coster-Waldau (Jaime Lannister) සහ Emilia Clarke (Daenerys Targaryen) යන නළුනිළියන්  සියලුම දෙනා ඉදිරි අදියරේ දී එක් කථාංගයක් සඳහා (එක් අයෙකු) ලබන ආදායම ඇ. ඩො. 500,000 දක්වා ඉහළ දැමීමට HBO සමාගම තීරණය කර තිබෙනවා. එක්සත් රාජධානිය පසුගියදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟ වැඩි වශයෙන් උතුරු අයර්ලන්තයේ රූගත කිරීම් සිදුකරන Game of Thrones නිෂ්පාදන කටයුතු අඩාල විය හැකි යැයි රාවයක් පැතිර තිබුණද එමගින් දැඩි බලපෑමක් ඇති නොවේ යැයි HBO සමාගම පවසනවා

Game of Thrones රසිකයෙක් ලෙස ඔබ කලින් නොදැන සිටි දෑ කිහිපයක් හෝ අපගේ මෙම ලිපියෙන් ඔබ දැනගන්නට ඇති. මෙවැනි තවත් කරුණු විශාල සංඛ්‍යාවක් තිබුණත් ඒ සියල්ල මෙහි ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික අපහසුතාවය නිසා ප්‍රධානම දෑ පමණක් මෙහි දක්වා තිබෙනවා. මීට අදාළව ඔබ දන්නා තවත් කරුණු තිබේනම් පහත comment මගින් අපට දන්වන්න. මෙහිදී දැනගත් දේ මිතුරන් සමඟ බෙදා ගන්නත් අමතක කරන්න එපා. (Jon Snow වගේ මොකුත් නොදන්න ගානට ඉන්න ඕනෙ නෑනේ..)

මූලාශ්‍ර: makinggameofthrones.com, Entertainment Weekly, Game of Thrones – Official YouTube Channel

කවරයේ පින්තුරය: digitalspy.com

Related Articles