Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වර්තමාන ටෙලිනාට්‍ය කලාව මේ තරම් දියාරු ඇයි ?

අද කාලයේ යම් ප්‍රමාණයක හරි රසාඥතාවයක් තියන බහුතරයක් ප්‍රේක්ෂකයෝ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාව තිබෙන තැන ගැන නම් ඉන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි. ඇත්තෙන්ම අද බහුතරයක් ටෙලිනාට්‍ය එක්කෝ හින්දි අනුකාරක, එහෙමත් නැත්තම් අනවශ්‍ය ලෙස දික් ගැහුණු එ්වා. ඒ නිසා හින්දි ටෙලිනාට්‍යයක් ලංකාවේ හඬ කවා ප්‍රචාරය කරන්න ගත්තම ඒකත් එක්ක තරඟ කරන්න අපේ ටෙලි නාට්‍යවලට නොහැකි වෙලා තියෙනවා. ඒත් මේ අතරේ සමහර හොඳ නිර්මාණත් බිහි නොවෙනවාම නොවෙයි.

වර්තමානයේ ටෙලිනාට්‍යවල තත්වය මේ ආකාරයේ වුණාට, නව තාක්ෂණ කිසිවක් නොතිබුණු 90 දශකයේ හා ඊටත් කලින් අපේ ටෙලි නාට්‍ය ඉතාම හොඳ තලයක තිබුණා. ‍යශෝරාවය, පළිඟු මැණිකේ, වෙද හාමිනේ, කඩුල්ල, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, මැණික් නදිය ගලා බසී මින් කිහිපයක් පමණයි.

පළිඟු මැණිකේ එකළ බිහි වුණු විශිෂ්ට ටෙලි නිර්මාණයක් (dailymotion.com)

ඇත්තටම වර්තමානයේ ලාංකීය ටෙලිනාට්‍ය බහුතරයක් තත්ත්වයෙන් පහත් ඇයි? නැවතත් ගුණාත්මක නිර්මාණ වැඩිපුර ලෙස බිහි වෙන්නට නම් කළ යුතු වෙනස්කම් මොනවාද? මේ ගැන ඔබව දැනුවත් කරන්නට අපි තීරණය කළා.

ලංකාවට ඔබින්නේ නැති මෙගා

ඉන්දියාවේ මෙගා ටෙලි නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට සමපාත කළ නොහැකියි (english.gossiplankanews.com)

ඉන්දියාවේ වගේ නෙවෙයි, ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව කුඩා කර්මාන්තයක්. ඒ වගෙම කලාකරුවන් බොහොමයකටම ඉන්දියාවේ වගේ සුඛෝපබෝගී ජීවිත ගත කරන්නට තරම් ආදායමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා බොහෝ දෙනාගේ කලා ලොවේ පැවැත්ම අවිනිශ්චිතයි. රජයෙනුත් කලාවට සැළකිය යුතු දායකත්වයක් ලැබෙන්නේ නැ. සමහර කාලවලදී සමහර කලාකරුවෝ විවිධ පුද්ගලික අවශ්‍යතා සඳහා විදේශ ගත වෙනවා. බොහෝ දෙනෙක් රංගනයට අමතරව වෙනත් වෘත්තීන් කරනවා.

මේ නිසා ඉන්දියාවේ මෙන් ලංකාවේ කොටස් 500 ක පමණ මෙගා නාට්‍යක් හදන්නට ගියොත් එක්කෝ ඒ ඒ දිනවලට පැමිණිය හැකි අයගෙන් යමක් කරන්න වෙනවා. නැතිනම් මගදී සමහර චරිත ඉවත් කර අළුත් ඒවා ගෙනෙන්නට වෙනවා. පසුගිය දශකයේ කතා නායිකාවගේ නමින් නම් වුණු, එහෙත් ඇය කොටස් ගණනාවක නොසිටි මෙගා නාට්‍ය පවා තිබුණා නේ දැයි මදක් සිහි කර බලන්න.

90 දශකයේ තිබූ ටෙලිනාට්‍ය විකාශය වුණේ සතියට එක් දිනයි. ඒ වාගේම කොටස් 30ක් 40 ක් වගේ  ප්‍රමාණයක් පමණයි බහුතරයක් ඒවාට තිබුණේ. ඒ හැම කොටසක්ම ප්‍රේක්ෂකයගේ සිතට කා වැදුණා. අද සමහර මෙගා නාට්‍ය හැමදාම විකාශය වුණත් මාසයකට වතාවක් නැරඹුවාම කතාව දැන ගැනීමට ප්‍රමාණවත්.

ඉන්දියානු නාට්‍ය හා ක්‍රමවේද අමු අමුවේ අනුකරණය කිරීම

වර්තමාන ටෙලි නාට්‍යවල තවත් ප්‍රශ්නයක් තමයි ඉන්දියානු ටෙලි අමු අමුවේ අනුකරණය කරන්නට යෑම. විශේෂයෙන් පවුලේ සාමාජිකයන් 20ක් පමණ සිටින විස්තෘත පවුල් ජීවත් වන මන්දිර, හොඳ ඇඳුම් පිටින් නින්දට යාම, බොළඳ පෙම් ජවනිකා වැනි දේ කතාංග අභව්‍ය කරනවා. ඒ වගේම ඉන්දියානු නිර්මාණවල ඇති දේ ඊට වියදම් වී ඇති මුදල මෙන් 10න් පංගුවකටත් වඩා අඩු මුදලකට මෙහි කරන්නට යෑමෙන් තත්වය වඩාත් බාල වෙනවා. එ්ක හරියට ත්‍රීරෝද රථයකින් මෝටර් රථ රේස් පදින්නට යෑමක් වගේ, සිදු වෙන්නේ ප්‍රේක්ෂකයාට විහිළුවක් වීම පමණයි.

මෙවැනි ඇඳුම් ආයිත්තම් ලාංකීය නිර්මාණයක මෙවැනි දර්ශනයකට යොදා ගැනීම හාස්‍යජනකය (tamilstarshot.blogspot.com)

ඉන්දියාව මෙන් නොව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා විචක්ෂණශීලීයි. අනවශ්‍ය ලෙස සීනි බෝල වැනි නිර්මාණ දිගටම දකින්නට ඔවුන් ආශා කරන්නේ නැහැ.  අද බහුතරයක් මෙගා නිර්මාණ කොයි තරම් ඒකාකාරීද බලන්න. රූපවාහිනී නාලිකාවක කාලයක් වෙන් කර ගැනීමට ඇති අපහසුතාවය නිසා එවැන්නක් ලැබුණ විට සමහරෙක් එය අත හරින්නට කැමති නැහැ. වැරදීමකින් හෝ තමන්ගේ නාට්‍යයේ චරිතයක් ජනප්‍රිය වුවහොත් ඔහුගෙන්ම ගොඩ යන්නට උත්සාහ කරනවා. අවසානයේ කුමක් වෙනවාද කියා කතාව ලියන්නාද නොදන්නා අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 90 දශකයේ නිමැවුණු දඬුබස්නාමානය වැනි ටෙලි නාට්‍යක කොටසින් කොටසට කතාව ගලාගෙන යාම කොයි තරම් සියුම් ද? එක් නිමේෂයක මුහුණේ භාව ප්‍රකාශනයක් පවා කතාවට ඉතාම වැදගත්.

නළුවරණ ක්‍රමවේදය

වර්තමානයේ සමහර නිර්මාණවලට රංගන ශිල්පීන් තෝරාගන්නේ කිසිදු ක්‍රමවේදයකින් තොරවයි. ටෙලිනාට්‍ය කලාවේ අවාසනාවට නිරූපණ ශිල්පියා හා රංගන ශිල්පියා වෙන් කොට හඳුනා ගැනීමට පවා අද සමහර නිෂ්පාදකවරු අපොහොසත් වීම කණගාටුවට කරුණක්. පිටරටවල රංගන ශිල්පීන් තෝරන්නේ ඔවුනට රංගනය පිළිබඳ මනා අධ්‍යනයක් ලැබුණාට පසුවයි.  ලාංකීය කලාකරුවා ඉතා දක්ෂයි, නමුත් අවාසනාවට තමගේ කැමත්තට රංගනය හැදෑරීමේ නිශ්චිත ස්ථානයක්වත් මෙහි නොමැති වීම කණගාටුවට කරුණක්.

youtube.com

එකල කොටස් 30 පමණ වන ටෙලි නිර්මාණයක් සඳහා කලාකරුවන්ට හොඳින් ගෙවීම් කළා. ඒ වාගේම ඉතා වැදගත් කරුණක් වන්නේ චරිතයක් ගොඩ නැඟීම සඳහා ඔවුනට නිසි නිදහසක් ලබා දීමයි. චරිත තුනක් ටෙලි නාට්‍යයේ සුමින්ද සිරිසේන නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියාට මොනයම් හෝ කරුණක් නිසා එක් දර්ශනයක හැඟීම් දැනවීමට නොහැකි වෙනවා. ඔහුගේ විඩාබර බව තේරුම් ගත් අධ්‍යක්ෂකවරයා වෑන් රථයක් ලබාදී ඔහුව මහනුවර වැව අසලට යවන්නේ විඩාව නිවාගෙන පැමිණෙන්නට යැයි සුහදව පවසමින්.

අද නාලිකා අතර පවතින තරඟය නිසාත්, ඒවායින් ලැබෙන අඩු මුදල නිසාත් කොටස් කීපයක රූගත කිරීම එකම දවසේ කරන්නට නිෂ්පාදකවරුන් උත්සුක වෙනවා. නිසියාකාරව වචන උච්ඡාරණය වීම පමණක් කළත් එය සමහරුන්ට ප්‍රමාණවත්. එම නිසා අද බොහෝ දෙනා සොයන්නේ හැඟීම් දනවන රංගන ශිල්පීන් ශිල්පිනියන් නොවේ, ඉක්මනින්ම නිවැරදිව වචන උච්ඡාරණය කරන්නන්වයි. කොයි තරම් හොඳින් වචන මතක තබා ගත්තත් නළුවෙක්ට නිසියාකාරව සිය උපරිමයෙන් භාවයකට අවතීර්ණ වී රිද්මයට පැමිණෙන්නට  කාලය හා දර්ශනයේ පෙර පුහුණුව අවශ්‍ය වෙනවා. හදිසි වී කළ විට අවසානයේ පිටතට පැමිණෙන නිර්මාණය දියාරු වීම වළක්වන්න බැහැ.

චරිත තුනක් හි ඉසා ලෙස සුමින්ද සිරිසේන රංගන ශිල්පියාත්, මව ලෙස ලියෝනි කොතලාවල රංගන ශිල්පිණියත් රංගනයේ යෙදෙමින් (youtube.com)

රජයෙන් ලැබෙන සහයේ මද කම

denverpost.com

වර්තමානයේ ශ්‍රී ලාංකීය කලාකරුවෙකුට, ටෙලි නිර්මාණකරුවෙකුට රජයෙන් ලැබෙන සහයෝගය අල්පයි. ජීවන බර නිසා බොහෝ කලාකරුවන් වෘත්තිය අත හරිනවා. සමහරු මේ රටේවත් රැඳෙන්නේ නැහැ. 90 දශකයේ සිටි නිර්මාණකරුවන් මේ බාධක මධ්‍යයේ වුණත් තමන්ට හැකි පමණින් නිර්මාණ කළා. රජයෙන් සහයක් නොලැබුණත් ඔවුනට හැකියාව තිබුණා ප්‍රේක්ෂකයාට අවශ්‍ය දේ තේරුම් ගෙන කලාකාමී නිර්මාණ කරන්නට. නමුත් වර්තාමානයේ තරඟයත් සමඟ ටෙලිනාට්‍ය කලාව නඩත්තු කරන්නේ කලා රසයටත් වඩා විවිධ ප්‍රතිරූපයි. ඉන් සිදු වන්නේ ප්‍රේක්ෂකයා අඳ බාල නිර්මාණවලින් මිදී වැඩි ආකර්ෂණයකින් යුතුව (වැඩි වියදමක් දැරිය හැකි නිසා) නිපදවා ඇති ඉන්දියානු හා කොරියානු ටෙලි සිත්තම්වලට යොමු වීමයි.

ප්‍රබුද්ධ ටෙලි නාට්‍ය කලාවක් කරා.

shutterstock.com

ටෙලිනාට්‍ය බහුතරයක තත්වය පෙර පරිදි වුවත් තවමත් හොඳ නිර්මාණ ඉඳ හිට ජාතියට දායාද වෙනවා. බාධක මැද නිමැවුණු ටිකිරි රත්නායකගේ බොරළු පාර, චාමර ජනරාජ් පීරිස් ගේ ඇසිඩ්, යාය 4, ආනන්ද අබේනායකගේ චෙස්, තක්සලාව, ගොළු තාත්තා වැනි ප්‍රබුද්ධ නිර්මාණ අපිට අමතක කළ නොහැකියි. මේවා නිසා තවමත් යම් ප්‍රේක්ෂක ප්‍රජාවක් ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය සමග රැඳී සිටිනවා. තුවාලය තවත් ඔඩු දුවන තුරු නොසිට රජයක් වශයෙන් ඉහළ අනුග්‍රාහයක් කලාවට ලබා දෙන්නේ නම් උපන් ගෙයි අති දක්ෂයන් වන ලාංකීය කලාකරුවන් නැවතත් මෙහි ටෙලි සිනමා කර්මාන්තය පෙර පරිදිම නඟා සිටුවනු ඇති.

කවරයේ පින්තූරය (youtube.com)

Related Articles