Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹීමට මත්තෙන් …

1999 වසරේ පටන් දාහත් වසරක් පුරාවට පාඨක සිත් අමන්දානන්දයට පත් කරමින් පැවැත් වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සුපුරුදු පරිදි මේ වසරේදීත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සැප්තැම්බර් 16 වැනි සිකුරාදා සිට සැප්තැම්බර් 25 වැනි දා දක්වා වූ දින 10 ක් මුළුල්ලේ උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවරත් ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගිනි.

ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයින් 40 ක් සහ දේශීය පොත් ප්‍රකාශකයින් 166 කින් සමන්විත 300 කට අධික ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් සමග ප්‍රදර්ශන කුටිවලට අමතර ව පොඩිත්තන් සඳහා චිත්‍ර තරඟ, විවිධ වැඩමුළු, කෙටි නාට්‍ය සංදර්ශන වැනි විනෝදාත්මක අංග රැසක් සංවිධානය කරලා තියෙන බවයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කාර්යාලය සඳහන් කරන්නේ.

සොඳුරු සිත (sodurusitha@gmail.com)

සොඳුරු සිත ([email protected])

 

පසු ගිය වසර කිහිපය තුළ පොත් ප්‍රදර්ශනය නරඹන්න ගිය අයට අමතක නැති ව ඇති දිනපතා ම වගේ එහි පැවැත් වූ චිත්‍ර තරඟ සහ ඒ සඳහා පොඩිත්තන් ව පිළි ගන්න හිටපු විකටයා. ඒ වගේම චිත්‍ර තරඟය පැවැත්වෙන තැනට මදක් එහායින් තිබුණු ‘බොඩි පේන්ටින්’ කරන ස්ථානය පොඩිත්තන්ගේ අවධානය සැහෙන්න  දිනාගෙන තිබුණා. බොහෝමයක් දෙනා ලස්සණ මල්, පුංචි කුරුලු පැටව් සහ පාට පාට සමනලුන් සිත්තම් කර ගනිද්දී ගිනි මකරු සහ මිනී ඔළුවලින් තමන් මුහුණ සහ දෑත් සරසා ගත්ත පොඩිත්තොත් නොහිටියා ම නෙමෙයි.

සොඳුරු සිත (sodurusitha@gmail.com)

සොඳුරු සිත ([email protected])

 

රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සහ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද පොත් වගේ ම විවිධ විෂයයන් යටතේ ලියැවුණු තවත් පොත් බොහෝමයක් සහ පාසල් උපකරණ ඉතාමත් ආකර්ශණීය වට්ටම්වලට යටත් ව මිල දී ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී අවස්ථාව ලැබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමී ව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 8 වැනි දා ද ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ප්‍රවීණ ලේඛක, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෝමවීර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 10 වැනි දා ද පැවැත් වුණා.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ දී හොඳ ම නවකතාවට හිමි සම්මානය හිමි වුණේ සුමුදු නිරාගී සෙනෙවිරත්න කුලුදුලේ රචනා කළ ‘දූල්වල අලංකාරේ’ කෘතියට යි. අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘දිමියා’ කෙටිකතා සංග්‍රහය, හොඳ ම කෙටි කතා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වුණේ මහාචාර්ය දර්ශන රත්නායක විසින් පබඳින ලද ‘නැණසිළුමිණ නම් උමංදානන්දය’ කෘතිය හොඳ ම ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගන්නා අතරතුර දී. හොඳම පරිවර්තන කෘතියට හිමි සම්මානය සුමිත්‍රා රාහුබද්ධගේ ‘මම ඔබ සොයමි’ කෘතියට හිමි වුණා. දමිත් නිපුණජිත්ගේ ‘කාලාවකාශයේ සිරකරුවා’ දිනා ගත්තේ හොඳ ම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධයට හිමි සම්මානයයි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින්. ඒ ඔහු විසින් රචිත ‘අහම්බකාරක’ කෘතිය සඳහා යි.

(Google)

(Google)

 

2016 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අලුතෙන් එකතු වුණු වැදගත් අංගයක් විදියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රදර්ශන කුටිය දක්වන්න පුළුවන්. ඒ මගින් ආර්ථික සහ මූල්‍ය අංශයන් පිළිබඳ ව තමන්ගේ දැනුම වැඩි කර ගැනීමට කැමැත්තකින් පසු වන පාඨකයන්ට හැකි පමණින් සහයෝගය ලබා දීම යි මහ බැංකුවේ මූලික අරමුණ වී තිබෙන්නේ.

මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විශ්ව විද්‍යාලය ශිෂ්‍යයන්ට, ආචාර්යවරුන්ට සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉතාමත් වැදගත් වන ප්‍රකාශන විදියට පසු ගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සපයන ‘2015 මහ බැංකු වාර්ෂික වාර්තාව’ සහ ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික කටයුතු පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත ඇතුළත් ‘ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන’ හැඳින්විය හැකි යි.

මෙම ප්‍රකාශන සියල්ල ම 25% ක වට්ටමකට යටත් ව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම මිල දී ගැනීමට පුළුවන්. මීට අමතර ව විනෝදාංශයක් ලෙස කාසි සහ මුදල් නෝට්ටු එක් කරන අයට මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇති අංක. 23 සහ අංක. 24 දරණ මහ බැංකු ප්‍රදර්ශන කුටි අපූරු අත්දැකීමක් වේවි කියලා අපි හිතනවා.

(Dharani Weerasinghe)

(Dharani Weerasinghe)

පොත් ප්‍රදර්ශනයට යන කෙනෙක්ට ලැබෙන තවත් අපුරු අත්දැකීමක් තමයි තමන් ප්‍රිය කරන කතුවරුන් හමු වෙන්න අවස්ථාවක් ලැබීම. පසු ගිය වසරේ පොත් ප්‍රදර්ශන භූමියේ දී මෙවර ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ ‘මාණික්කාවත’ ලියූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, වාර්තා පිට වාර්තා තබමින් අලෙවි වූ ‘මාගම්සෝලිය’ රචනා කළ මොහාන් රාජ් මඩවල, ‘නිලි වැස්ස’ තුළින් පාඨක සිත් දිනූ කත්‍යානා අමරසිංහ මෙන් ම රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය ලාංකීය පාඨකයන් අතරට රැගෙන ආ චන්දන මෙන්ඩිස් වැනි ජනප්‍රිය ලේඛකයන් රැසක් දකින්න ලැබුණු බව පොත් කියවන බොහෝමයකට තවමත් මතක ඇති.

පොත් ප්‍රදර්ශනය බලන්න අය අයට වැදගත් වෙන උපදෙස් කිහිපයක්

  • 2016 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න යන කෙනෙක් කළ යුතු වැදගත් ම කටයුත්තක් තමයි තමන් මිල දී ගන්න අදහස් කරන පොත්වල ලැයිස්තුවක් කලින් ම සකස් කර ගෙන යන එක. පොතේ නම, කතුවරයා, මිල සහ ප්‍රකාශන සමාගම එම ලැයිස්තුවට ම ඇතුළත් කර ගැනීමෙන් නිකරුණේ රස්තියාදු නො වී තමන්ගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන්. එහෙම නොවුණොත් දකින දකින පොත අරගෙන අවසානයේ දී ගන්න හිතේ තියාගෙන ගිය පොත් මිල දී නොගෙන ගෙදර එන්න යි වෙන්නේ.
  • තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන්ගේ ආහාර වේල නිවසින් අරගෙන යන්න. එහෙම නොවුණොත් වෙන්නේ ඉතාමත් දියාරු විදියට සකස් කරපු බත් පතකින් හෝ බාගෙට තම්බලා දෙන නූඩ්ල්ස් වේලකින් කුස ගින්න නිවා ගන්න යි.
  • තමන් අරගෙන යන මුදල් සියල්ල ම පසුම්බියේ නොතියා කිහිප පොළක තබා ගැනීම නුවණට හුරු යි. ඒ වගේ ම ATM යන්ත්‍ර ගැන වැඩි විශ්වාසයක් තියන්න අමාරු නිසා අතේ සල්ලි අරගෙන යන්න පුළුවන් නං වඩාත් හොඳ බව කියන්න ඕනේ. පොත් මිල දී ගෙන වෙළඳ කුටියෙන් එළියට එනකොට බිල පිරික්සා බලලා ඉතිරි මුදල් නිවැරදි බව තහවුරු කර ගන්න.
  • පොත් මිල දී ගැනීමේ දී ලබාදෙන බිල්පත සෑම විට ම ළඟ තියා ගන්න. එක ම පොත වෙළඳ කුටි බොහෝමයක විකිණීමට තියෙන නිසා පරීක්ෂා කිරීමේ දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම පසු ව පොත මාරු කිරීමට අවශ්‍ය වුණොත් බිල්පත ඉදිරිපත් කළ යුතු යි.
  • පොත් මිල දී ගන්න කලින් ලැබෙන වට්ටම ගැන විමසා බලන්න. අදාළ ප්‍රකාශකයින්ගේ වෙළඳ කුටියෙන් ම මිල දී ගන්නවා නං අනෙක් තැන්වලට වඩා වැඩි වට්ටමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ ම පොත මිල දී ගන්නකොට කලබල නො වී පිටු නිවැරදි ව මුද්‍රණය වෙලා තියෙනවා ද බලන එක වැදගත්. එහෙම නොවුණොත් පොත මාරු කරන්න ආයෙමත් රස්තියාදු වෙන්නයි වෙන්නේ.
  • ඒ වගේ ම මෙවර පොත් ප්‍රදර්ශනය නරඹන්න යන අයගෙන් කළ යුතු කාරුණික ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි පොත් තෝරන අතරතුර දී ඔබ ආහාරයට ගන්න දේවල්වල දවටන, පොලිතීන් කවර සහ අනෙකුත් බැහැර කළ යුතු දෑ තැන තැන දාල පරිසරය අපිරිසිදු නොකරන ලෙස.

ඉතින් හොඳ පොත් ටිකක් බලාගන්න කැමති නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ ඔබ යායුතුම තැනක්. දැනටමත් ඔබ ප්‍රදර්ශනයට ගියා නම් ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: ධාරණී වීරසිංහ 

Related Articles