Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහලින් ඇවිත් වටේටම නෙලන හොඳම ක්‍රිකට් අවසානකරුවෝ 8 ක්

ක්‍රිකට් වලදි සීමිත ඕවර් හෙවත් ඕවර් 50 තරඟ රටාව හඳුන්වාදීමත් එක්ක වේගයෙන් ලකුනු රැස්කරන පිතිකරුවන් වඩාත් ජනප්‍රියත්වයට පත් වුනා. ඒ අතර තරග හිටිවනම වෙනස් කරන පසුපෙල පිතිකරුවන් නිසා ඇතැම් තරග හිතුවාට වඩා බොහෝ වෙනස් වුනා.

කඩුලු 4-5ක් අඩුලකුනු ගණනකට බිඳවැටී පන්දු යවන්නන් සහ ප්‍රතිවාදී පිලේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් ව සිටින අවස්ථාවලදී පිටියට පැමිණෙන ඇතැම් පසුපෙල පිතිකරුවන් මුලු තරගයම වෙනස් කරනවා.

එවැනි ක්‍රීඩකයින් බොහෝවිට අනෙකුත් මුල් පෙල ක්‍රීඩකයින්ට මෙන් විශාල ලකුනු වාර්ථා වලට හිමිකම් කියන්නේ නැ..මන්ද ඔවුන් පිටියට පැමිනෙන්නේ තරගයේ මැද හෝ අවසාන අඩවියේ සිටින නිසා ඔවුන්ට විශාල ලකුනු වාර්ථා අතරට යන්නට හැකියාවක් නැහැ. එහෙත් ඔවුන් පැහැදිලිවම තරග වෙනස් කරනවා.

අපි ඒ විදියේ පෙරළිකාර පිතිකරුවන් කිහිපදෙනෙක් ගැන බලමු.

8. විවියන් රිචඩ්ස්

රිචඩ්ස් ගේ පහරක්. (criccoverage.com)

මුල්ම එක්දින ලෝක කුසලාන දෙකටම හිමිකම් කියූවේ කොදෙව්වන්. මුල් කාලීන එක්දින පිටියේ දක්ෂතම කණ්ඩායමක් බවට කොදෙව්වන් පත්ව සිටියා. විවියන් රිචඩ්සන් යනු 1971-1988 කාලයේදී දක්ෂතම පිතිකරුවෙක් ලෙස ක්‍රිකට් පිටිය වර්ණවත් කල කොදෙව් ක්‍රීඩකයෙක්.

දැන් තරම් නිතරම එක්දින තරග නොපැවැත්වුනු එදවස ඉනිම් 167කට ක්‍රීඩා කර ඇති විවි ගේ සාමාන්‍යය 47ක් තරම් ඉහල අගයක් ගත්තා.

7. ඇබ් ඩි විලියසර්ස්

වර්ථමානයේ ක්‍රිකට් තරග වලට යාන්තමින් හරි ඔලුව දාන්න හුරුවෙලා ඉන්න අයෙක්ට නම් ඩි විලියර්ස් කියන්නේ කවුද කියල අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ. වර්ථමාන ක්‍රිකට් පිටියේ සිටින පිතිකරුවන් අතර ඕනෑම කන්ඩායමකට එරෙහිව ඕවරයකට ලකුනු 6කට වඩා වැඩි වේගයක් පවත්වාගන්නට ඩිවිලියර්ස් සමත්.

ඩි විලියර්ස් ගේ ඇස් පනාපිටම ලෝක කුසලාන දෙක තුනක්ම දකුනු අප්‍රිකාවෙන් ගිලිහී ගියත් ඩිවිලියර්ස් ගේ පිතිකරනය නම් ලොවපුරා ක්‍රිකට් ප්‍රේමීන් ගේ සිත් දිනාගන තිබෙනවා. එක්දින තරගවලදී 1 සිට 6 දක්වා ස්ථාන සියල්ලේම ක්‍රීඩා කර ඇති ඩිවිලියර්ස් සාමාන්‍යයෙන් අංක 4 පිතිකරුවා ලෙස පිටියට පැමිනෙන ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකාව සහභාගී වන එක්දින තරගයක විකට් 5-6ක් අඩුලකුනු ගානකින් ගියත් අනෙක් අන්තයේ ඩිවිලියර්ස් ඉන්නවා නම් මැච් එක තව බලන්න ඉතිරි වෙලා තියෙනවා.  

6. අරවින්ද සිල්වා

96 දී සිංහයින්ට පන දුන් අරවින්ද. (p.imgci.com)

1996 වනවිට  දැනුම් තේරුම් ඇති වයසක සිටිය ඕනෑම ලාංකික දරුවෙක්ට වුවද හොඳින්ම මතක තිබෙන තරඟයක් ලෙස ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර පැවති ලෝක කුසලාන අවසාන මහා තරඟය දැක්විය හැකියි.

එහිදී ලකුණු 241ක ඉලක්කයක් හඹායන්නට පෙළඹුනු ශ්‍රී ලංකා කන්ඩායමේ සනත් ජයසූරිය සහ කළුවිතාරණ යන ප්‍රහාරත්මක ආරම්භක පිතිකරු යුගලයම දැවී යන්නේ ලංකා ලකුණු පුවරුවේ ලකුණු 23 සටහන් වෙද්දී. එතැන් සිට වගකීම කරට ගත් අරවින්ද, ගුරුසිංහ සහ අර්ජුන සමග එකතුවී තරගය ජයග්‍රහනය කරා ගෙනයන්නේ නොදැවී ලකුනු 107කින් දායක වෙමින්.

එම අවසාන තරඟයේදී ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ මාක්ටේලර් සහ රිකී පොන්ටින් දවාගන්නටද අරවින්ද සිය පන්දුවෙන් දායක වී තිබුනා.

4 වැනි ස්ථානයෙන් පිතිකරනයට පිවිසෙන අරවින්ද ඔහුගේම අලංකාර ශෛලියකට එල්ල කරන කට් පහර, හුක් පහර මගින් මුලු ක්‍රිකට් පිටියම වර්ණවත් කරන්නට ඒ යුගයේදී  සමත් වුනා.

5. මාක් බවුචර්

මාක් බවුචර් ද දකුනු අප්‍රිකාවේ කඩුළු රැකීමේ නිරත වූ දක්ෂ පසුපෙල පිතිකරුවෙක්. 1 සිට 9 දක්වා සියලුම ස්ථානවල ක්‍රීඩා කර ඇති මාක් බවුචර් වැඩිම තරග සංඛ්‍යාවකට මුහුන දී ඇත්තේ අංක 6 ස්ථානයේ සිටයි.

ශෝන් පොලොක් ගේ නායකත්වයෙන් යුතු කන්ඩායමේ උපනායක ලෙස කටයුතු කලේ මාක් බවුචර්. පසුපෙල ශක්තිමත් කරන දක්ෂ පිතිකරුවෙකු වූ මොහු 2012 දී හදිසියේ විශ්‍රාම යන්නේ වර්ථමානයේ පෙරළිකාර චරිතයක් වූ ඉම්රාන් තහීර්ගේ පන්දුවක් ඇස් වල වැදීමෙන් සිදුවූ හානි හේතුවෙන්.

4. අබ්දුල් රසාක්

පිටිය සරසන රසාක්. (pakwatan.com)

අබ්දුල් රසාක් වැඩියෙන්ම ක්‍රීඩා කර ඇත්තේ අංක 6 සහ 7 යන ස්ථානවලදීය එක්දින ඉනිමක වේගවත්ම අර්ධ ශතකය ලෙස වර්ථමානයේ එක්දින වාර්ථා පොතට එක් වී ඇත්තේ ඩිවිලියර්ස් විසින් පන්දු 16කදී රැස්කරගන්නා ලද අර්ධ ශතකයයි. ජයසූරියගේ පන්දු 18කදී ලබාගන්නා ලද අර්ධ ශතකය වාර්ථාව ලෙස පවතිද්දී 2005 දී  අබ්දුල් රසාක් එංගලන්තයට එරෙහිව පන්දු 11කදී ලකුණු 47ක් ලබාගන්නට සමත් වුනා. නමුත් එවිටම වාගේ තරගය අවසාන වුනා. නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස රසාක්ට ලකුනු 47 පමණක් ඉතිරි වුනා.

එකේ සිට 11 දක්වා සෑම ස්ථානයකම ක්‍රීඩා කර ඇති අබ්දුල් රසාක් එක්දින 20-20 සහ ටෙස්ට් යන ක්‍රකට් තරග රටා තුනෙදීම එක සේ සාර්ථක වූ තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. පසුපෙලින් පැමිණ වේගයෙන් ලකුනු රැස්කර රසාක් විසින් දිනවූ තරග මෙන්ම පන්දුයවන්නෙකු ලෙස ද රසාක් සාර්ථක වූ අවස්ථා රැසකි.

3. ලාන්ස් ක්ලූස්නර්

8 වන ස්ථානයෙන් පිටිවට පිවිසෙන එක්දින පිතිකරුවෙකට බොහෝවිට ඉතිරිවන්නේ අවසාන පන්දුවාර 7-8ක් පමණි. එම අවස්ථාව වනවිට බොහෝවිට දැඩි පීඩනයක්ද තරගවලදී අවසාන පිතිකරුවන්ට හිමි වේ. එම වටපිටාවේදී පවා ස්ථාවර වෙමින් වැඩිම ඉනිම් ගනනක් 8වන ස්ථානයේ පිතිකරණයට පැමිණ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් තමයි ලාන්ස්.  

පිතිකරු ලැයිස්තුවේ සෑම ස්ථානයකින්ම පිටියට පිවිස ඇති මොහු ඒ සෑම ස්ථානයකදීම වර්ණවත් ඉනිම් ක්‍රීඩාකර සිය දකුනු අප්‍රිකානු ක්‍රිකට් වෙනුවෙන් දායකත්වය දක්වා තිබේ.

වැඩිවශයෙන් පසුපෙලින් පිටිවට පිවිසියත් ඉනිම් 137කට ක්‍රීඩා කොට ඇති ක්ලුස්නර් ගේ එක්දින සාමාන්‍යය 41.1ක් තරම් ඉහල අගයක් ගනී

2. මහේන්ද්‍ර සිං දෝනි

වර්ථමානයේද ක්‍රිකට් පිටියේ සිටින දෝනි යනු ඉන්දීය ප්‍රේක්ශකයින් විසින් දේවත්වයේ සලකන ක්‍රීඩකයෙකි. අවසාන අවස්ථාවලදී පිටියට පැමිණ සිය කන්ඩායම වෙනුවෙන් පන්දුවට රිදෙන්නට පහරදෙන දෝනි එක්දින තරගවලදී මෙන්ම 20-20 තරග වලදීද ඉන්දියාව ජයග්‍රහනය කිරීමට බොහෝ සෙයින් දායක වී තිබේ. ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාවේ සාර්ථකම නායකයෙක් ලෙස සැලකෙන දෝනි කඩුලු රැකීමද නායකත්වයේද වගකීම් සාර්ථකව ඉටු කරමින් අවසානයේ තරග හමාර කරන අයෝමය හස්තයක් ලෙස ඉන්දීය ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.

1. මයිකල් බෙවන්

බෙවන්. (lockerdome.com)

එක්දින තරග වලදී මුලින් පැමිණ එවකට යාර 15 සීමාව තුලදී වේගයෙන් පන්දුවට පහරදීම හදුන්වාදුන්නේ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ විසිනි. එසේම තරගවලදී අංක 6 ස්ථානයේ සහ ඉන් පසුව කඩුල්ල ආරක්ෂා කරගනිමින්ද වේගවත් ලෙස ලකුනු රැස්කරමින්ද අවසාන පිතිකරන ස්ථානය වර්ණවත් කිරීමේ කලාවේ පුරෝගාමියා නම් මයිකල් බෙවන්මය.

විටෙක නිත්‍ය ස්ථානවල ක්‍රීඩකයින්ටත් වඩා ස්ථාවර ලෙස අංක 6 ස්ථානයෙන් පිටිවට පිවිසෙන මයිකල් බෙවන් සිය වගකීම කන්ඩායමකට එකතු කරන්නේ ලකුනු වේගයද සැලකිය යුතු ලෙස පවත්වා ගනිමිනි.

1994 -2004 කාලයේ ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කල බෙවන් හොදම අවසානකරුවා ලෙස පිලිගන්නට බොහෝ ඉන්දියානුවෝ මැලිවන අතර බහුතර ඉන්දියානුවෝ  මහේන්ද්‍ර සිං දෝනි මිහිපිට ඇති හොදම අවසාන කරන්නා ලෙස සැලකිමට කැමති වෙති.

පවර් ප්ලේ සහ පිතිකරුවන්ට සිත්සේ පහරදිය හැකි තනතීරු මයිකල් බෙවන්ගේ කාලයේ තිබුනේ අඩුවෙනි. 20-20 කරලියට පැමිණිමත් සමගම මහේන්ද්‍ර සිං දෝනිට සිය හයේ පහරවල් රිසිසේ එල්ල කල හැකි තනතීරු එක්දින තරගවලටත් පැමිණියේය. මයිකල් බෙවන් කාලයේ තනතීරු වල එකල ලකුණු 300ක් කන්ඩායමක් ලබාගැනීම සහ එලවා යෑම වර්ථමානයේ තරම් සුලභ වූයේ නැත.

අනෙක් පසින් මයිකල් බෙවන් ක්‍රීඩා කරන්නේ සාපේක්ෂව ප්‍රබල පන්දුයවන්නන් රැසක් ලෝකයේ සෑම එක්දින කන්ඩායමකම පාහේ ක්‍රීඩා කල වකවානුවකය. වකාර් යුනුස්, මුත්තයියා මුරලිදරන්, අනිල් කුම්බ්ලේ, ශෝන් පොලොක්, ඩැනියෙල් විටෝරේ වැනි ප්‍රබල පන්දුයවන්නන්ට මයිකල් බෙවන්ට මුහුණදෙන්නට සිදු විය.

ඉනිම් 196කට ක්‍රීඩා කොට 6 වන ස්ථානයේ ඉනිම් 87ක් ක්‍රීඩාකොට ඇති බෙවන්ගේ එක්දින ලකුනු සාමාන්‍යය තරගයකට ලකුනු 53කි. මුල්ම තරගයත් අවසාන තරගයත් ලංකාවට එරෙහිව ක්‍රීඩා කොට ඇති බෙවන් අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසෙන හෙයින් වාර්ථා පොත් අතර එතරම්ම නොමැති ක්‍රීඩකයෙකු වුවත් ඔස්ට්‍රේලියා පිලට ශූරතා රැසක් හිමිකර දීමට සක්‍රියවම  දායක වූ දක්ෂ ක්‍රීඩකයෙකි. දක්ෂ අවසාන කරුවෙකි.

ඉතින් ඔබේ ප්‍රියතම ක්‍රිකට් අවසානකරුවන් කවුද? Comment එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ  පින්තුරය: .cricket.com.au

Related Articles