ඉන්දීය සිනමාව තුළ දුබල වන බොලිවුඩ් ආධිපත්‍යය

දශක ගණනාවක් පුරා හින්දි භාෂාවෙන් චිත්‍රපට නිපදවන බොලිවුඩය, ඉන්දීය සිනමා කර්මාන්තයේ ආධිපත්‍යය හිමිකර ගෙන සිටියා. හින්දි භාෂා චිත්‍රපට යනු ඉන්දීය සිනමා කර්මාන්තය යැ යි හඳුනා ගන්නා තරමට ම බොලිවුඩ් සිනමාව ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගෙන තිබුණා. කෙසේ නමුත්, උතුරු ඉන්දියාවේ බොලිවුඩ් ආධිපත්‍යය හමුවේ දකුණු ඉන්දීය සිනමාව අතීතයේ සිට ම පවත්වා ගෙන ගියේ තරමක ප්‍රතිරෝධක ස්වභාවයක්.

විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ විශාල සිනමා කර්මාන්තයක් වන කොලිවුඩය, වෙනම සිනමා සංස්කෘතියක් සහ අනන්‍ය වූ තරු ගුණයක් පවත්වා ගනිමින් බොලිවුඩයෙන් වියුක්ත වූ ගමනක් මේ දක්වා පැමිණියා. උතුරු ඉන්දියාවට “ඛාන් ත්‍රිත්වය” කොතරම් වැදගත් වුණත්, ඔවුන් ජාත්‍යන්තරය කොතරම් දිනා තිබුණත්, රැජිණි කාන්ත් කොලිවුඩ් සිනමාවේ දෙවියෙක් බඳු වීම ඊට කදිම උදාහරණයක්.

“Kaala” චිත්‍රපටයේ රැජිණිකාන්ත් – www.ibtimes.co.in 

හින්දි චිත්‍රපට දකුණු ඉන්දියාවට පැමිණිය ද වාණිජ අරමුණු සිතූ තරම් දකුණු ඉන්දියාවේ දී මුදුන් පත් කර ගැනීමට නොහැකි වුණේ මේ අනන්‍ය ලක්ෂණ නිසා යි. කෙසේ නමුත්, 2013 දී උතුරු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාවට අපූරු සිනමා පාලමක් නිර්මාණය වෙනවා. ඒ ෂාරුක් ඛාන් ගේ “චෙන්නායි එක්ස්ප්‍රස්” චිත්‍රපටය යි. හින්දි චිත්‍රපටයක් කොලිවුඩය තුළ ආදායම් අතින් සාර්ථක වීමේ පර්යේෂණයක් බඳු වූ “චෙන්නායි එක්ස්ප්‍රස්” චිත්‍රපටය, එම අභියෝගය සාධනීය මට්ටමකින් සාර්ථක කර ගැනීමට සමත් වුණා.

ඒ කොලිවුඩ් සිනමාවේ රිද්මය සහ සංස්කෘතික රටා හැකිතාක් දුරකට සංයුක්ත කිරීමට එහි අධ්‍යක්ෂකවරයාට හැකි වූ නිසා යි. චිත්‍රපටය අවසානයේ දී රැජිණි කාන්ත්ට ගෞරවයක් වශයෙන් ඉදිරිපත් කරන “ලුන්ගි ඩාන්ස්” ගීතය ද එහි සාර්ථකත්වයට බලපෑවා.

Chennai Express චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com 

ප්‍රාදේශීය සිනමාවේ නැඟීම

“චෙන්නායි එක්ස්ප්‍රස්” චිත්‍රපටයේ අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි සහ ෂාරුක් ඛාන් ඇතුළු කණ්ඩායමේ උත්සාහය දිගින් දිගට ම පවත්වා ගැනීමට බොලිවුඩ් සිනමාවට හැකි වුණේ නැහැ. ඒ වනවිට බොලිවුඩ් සිනමාවේ ගුණාත්මකභාවය ගැන බොලිවුඩයේ රසික පදනම තුළින් ම යම් යම් විවේචන මතු වීම ඇරඹී තිබුණා. ඒ විවේචන අතර ඥාතිවාදය (Nepotism), ගුණාත්මක තිර රචන එතරම් බිහි නොවීම, තරු ගුණය මත රැඳුණු රසික පදනම කෙමෙන් කෙමෙන් අන්තර්ගතයේ ගුණාත්මක බව මත තීරණය වන රසික පදනමක් කරා පරිවර්තනය වීම සහ බොහෝ රංගන ශිල්පීන් එය හඳුනා නොගැනීම, ඒ අතරින් ප්‍රමුඛ යි.

විවේචන කොතරම් උග්‍ර වුණා ද කිවහොත්, පසුගිය වසර පහක හයක පමණ කාලය තුළ සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් යන පතාකයන් පවා බොලිවුඩය තුළ අසාර්ථක වීම ඇරඹුණා. ඒ අතර නිර්මාණයේ ගුණාත්මකභාවයට වඩාත් ඉඩ දෙන ආයුෂ්මන් කුරාණා, රාජ්කුමාර් රාඕ, විකී කෞෂාල්, වැනි රංගන ශිල්පීන්ට බොලිවුඩය තුළ විශාල රසික පදනමක් ගොඩ නැඟුණා.

Pushpa: The Rise – www.imdb.com 

බොලිවුඩය අර්බුදයට ලක් වෙද්දී එතෙක් ප්‍රාදේශීය මට්ටමෙන් සැලකූ තෙළිඟු, මලයාලම් හා කණ්ණඩ සිනමාව නොසිතූ වේගයෙන් ඉන්දීය සිනමාවේ බලපෑම්කරුවන් වශයෙන් ඉදිරිගාමී වීම ඇරඹුණා. කොලිවුඩ් සිනමා කර්මාන්තයටත් බොලිවුඩය සමඟ තරග කරනවාට වඩා මේ නැඟී එන ප්‍රවණතාව සමඟ ගනුදෙනු කිරීම වැදගත් කාරණයක් බවට පත් වුණා. 2022 වසර එහි උච්චත ම අවස්ථාවක් සනිටුහන් කළ කාල වකවානුව ලෙස සැලකිය හැකි යි.

RRR චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි දහස ඉක්ම වූ ආදායමක් ලැබීමට සමත් වුණා -www.thehansindia.com 

1000 Crore Club

උදාහරණයක් ලෙස පසුගිය වසරේ අග දී තිරගත කිරීම් ආරම්භ කළ “Pushpa: The Rise” තෙළිඟු චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 300 ට අධික ආදායමක් ඉපැයූ අතර,තවත් තෙළිඟු චිත්‍රපටයක් වූ “RRR” චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි දහසේ සීමාව (1000 Crore Club) පසුකළ තෙවැනි චිත්‍රපටය බවට පත් වුණා. බොලිවුඩය සහ කොලිවුඩය අත තිබූ ඉන්දීය සිනමාවේ ප්‍රමුඛතාව තව දුරටත් බෙදී යමින් කණ්ණඩ සිනමාවෙන් දායද වූ “K.G.F: Chapter 2” මේ දිනවල අති සාර්ථක ගමනක යෙදෙන අතර, එය දැනටමත් ඉන්දීය රුපියල් කෝටි දහසේ සිනමා එකතුවට එක් වී අවසන්.

“The Kashmir Files” චිත්‍රපටයේ කතාව තරමක් ආන්දෝලනාත්මක යි – www.indiatvnews.com 

 2022 වර්ෂයේ මේ දක්වා බොලිවුඩ් චිත්‍රපටයක් ඉපැයූ වැඩි ම ආදායම අයත් වන්නේ “The Kashmir Files” චිත්‍රපටයට යි. එය ඉන්දීය රුපියල් කෝටි 300කට අධික බව වාර්තා වෙනවා. මේ අනුව වසර කිහිපයක් මුළුල්ලේ ගුණාත්මකභාවයෙන් සහ වාණිජ සාර්ථකත්වය අතින් බොලිවුඩය යම් පසුබෑමකට ලක් වී තිබෙනවා.

පෑන්-ඉන්දියානු චිත්‍රපට

දශක ගණනාවක් පුරා බොහෝ ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන් මුළු ඉන්දියාව ම ආමන්ත්‍රණය වන පරිදි “පෑන්-ඉන්දියානු” චිත්‍රපට නිර්මාණය කිරීමට උත්සහ කළා. ඉන්දියාවේ භාෂා සහ සංස්කෘතික විවිධත්වය සලකා බලන විට තනි භාෂා චිත්‍රපටයකින් ආදායම් ඉපැයීම සැබැවින් ම අභියෝගයක්. එබැවින්, ඉලක්ක ගත ප්‍රේක්ෂකයන් උපරිම කර ගැනීම සඳහා තෙළිඟු, දෙමළ, මලයාලම්, කණ්ණඩ සහ හින්දි යන භාෂාවලින් එක වර නිකුත් කරන චිත්‍රපටි සඳහා අවධානය යොමු වුණා.

 මෙවැනි උත්සාහයක් අත්හදා බැලූ මුල් කාලීනයන් ලෙස මනිරත්නම්, ශංකර් වැනි දෙමළ අධ්‍යක්ෂකවරුන්ට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඔවුන් යම් සාර්ථකත්වයක් “පෑන්-ඉන්දියානු” චිත්‍රපටකරණයේ දී අත්කර ගෙන තිබුණත්, මෙම ප්‍රයත්න අඛණ්ඩ ව පවත්වා ගැනීමට නොහැකි වුණා. අනෙක් අතට, ඉන්දියාව යනු හින්දි, දෙමළ, මලයාලම්, තෙළිඟු, කණ්ණඩ චිත්‍රපට පමණක් ම නොවෙයි. ඇසෑම්, බෙංගාලි, බොජ්පුරි, ගුජරාටි ආදී තවත් ප්‍රාදේශීය ව ක්‍රියාත්මක වන කුඩා සිනමා කර්මාන්ත රාශියක් ඉන්දියාවේ තිබෙනවා. ඒ නිසා පෑන්-ඉන්දියානු සංකල්ප‍ය සාර්ථක කර ගැනීම එතරම් පහසු වුණේ නැහැ.

KGF Chapter 2 චිත්‍රපටයේ එන දර්ශනයක් – www.glamsham.com

උත්සාහය දිගට ම…

මේ භාෂා ගැටලුව බොලිවුඩයට දැනුණේ ඉතා අවම ව යි. හින්දි භාෂාව ඉන්දියාවේ වැඩිපුරම වහරන භාෂාව වීම ඊට හේතුව වූ අතර, අන්‍ය භාෂා කතා කරන බොහෝමයකට හින්දි භාෂා දැනුමක් තිබීමත් බොලිවුඩයට මනා පිටුවහලක් වුණා. බොලිවුඩයට සැලකිය යුතු එතෙර රසික පදනමක් ද තිබුණා. කෙසේ නමුත්, පෑන්-ඉන්දියානු චිත්‍රපට ප්‍රධාන භාෂා කිහිපයක් අතර හෝ ජනප්‍රිය කරමින් වැඩි ප්‍රේක්ෂක සහ ආදායමක් ඉලක්ක කර ගැනීමට බොලිවුඩ් හැර අනෙකුත් සිනමා කර්මාන්ත දිගින් දිගට ම උත්සහ කළා. එහිදී අතිශයින් සාර්ථක වූ සිනමා කර්මාන්තයක් ලෙස තෙළිඟු සිනමාව සැළකිය හැකි යි.

“ඉන්දීය සිනමාවට මීට වඩා හොඳ ප්‍රවෘත්තියක් තියෙන්න විදිහක් නැහැ.”

මාධ්‍යකරණයේ විශේෂඥයෙක් වන වනිතා කෝලි-ඛන්ඩේකාර් පෑන්-ඉන්දියානු චිත්‍රපට ගැන දරන්නේ එවැනි අදහසක්.

“දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය අතිශයින් අපූරු චිත්‍රපට නිෂ්පාදනය කරන අතර, ඒවා ප්‍රේක්ෂකයන් වෙත ළඟා වන අයුරු පුදුම සහගත යි. සිනමා කර්මාන්ත අතර සිදුවන මේ මුහුවීම ඉන්දීය සිනමාව ඉදිරියට ගෙන යෑමට මනා පිටුවහලක් වනු ඇති.”

චිත්‍රපට විචාරක අනූපමා චොප්රා ද මෙම නැඟී එන ප්‍රවණතාව සාදරයෙන් පිළි ගන්නවා.

සමරිසි ප්‍රේමයක් තේමා කරගත් “Shubh Mangal Zyada Saavdhan” චිත්‍රපටයේ අයුෂ්මාන් කුරාණා සහ ජිතේන්ද්‍ර කුමාර් -www.koimoi.com

බොලිවුඩයේ විපර්යාසය

දකුණු ඉන්දීය සිනමා කර්මාන්ත මෙලෙස එක්සේසත් වෙද්දී බොලිවුඩය මුහුණ දෙන්නේ වෙනස් ම ආකාරයේ විපර්යාසයකට යි. එම විපර්යාසය සිදු කරන්නේ රසිකයන්. ඉහත සඳහන් කළ පරිදි ම බොලිවුඩය තුළ නරඹන්නන්ගේ රුචිකත්වයේ රටාව වෙනස් වෙමින් පවතිනවා. නළු නිළියන්ගේ තරු ගුණය මත චිත්‍රපටයක් සාර්ථක වීමේ සාධකය බොලිවුඩ් තුළ ප්‍රබල ව තව දුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ. නවක නළු නිළියන්ගේ රංගන පරාසය ඉතා පුළුල් වන අතර, ඔවුන් වැඩි ඉඩක් දෙන්නේ ද විවිධත්වයක් සහිත නිර්මාණවලට යි. උදාහරණයක් ලෙස මෑත වසර කිහිපය තුළ LGBT ප්‍රජාව ආමන්ත්‍රණය වන හින්දි චිත්‍රපට කිහිපයක් නිපද වුණා. බොලිවුඩ් පතාකයන් හැරී බලන්නෙවත් නැති එම අභියෝගාත්මක චරිත ආයුෂ්මන් කුරාණා වැනි නවක පරපුරේ රංගන ශිල්පීන් කිසිදු පැකිළීමකින් තොරව භාර ගෙන තිබුණා.

මේ වසරේ දී පවා බොලිවුඩයේ විශාලත ම ජනප්‍රියත්වයක් අත්කර ගත්තේ “The Kashmir Files” චිත්‍රපටය යි. එය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළි දක්ෂිණාංශික දේශපාලකයන්ගේ සහාය ඇති ව කාශ්මීරයෙන් හින්දුවරුන් නික්ම යෑමේ මතභේදාත්මක කතා පුවතක් වටා ගෙතී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ බොලිවුඩයේ තරුණ රසික පදනම හුදු විනෝදාස්වාදය පමණක් සපයන නිර්මාණවලට එකහෙළා කේන්ද්‍රගත නොවන බව යි.

ඛාන් ත්‍රිත්වයේ තීරණාත්මක තුරුම්පු

 සිය තරු ගුණය පිළිබඳ ව තවමත් විශ්වාසය තබා ගෙන සිටින ඛාන් ත්‍රිත්වය ම දැන් සිටින්නේ තරමක පසුගාමී තත්ත්වයක යි. ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ “Zero” චිත්‍රපටය අපේක්ෂිත මට්ටමින් වාණිජ සාර්ථකත්වයක් අත් කර නොගත් අතර, මූල්‍ය හෝ විචාරක පැසසුම හෝ ඒ අංග දෙකෙන් ම ෂාරුක් ඛාන් දිගින් දිගට ම පසුබෑමේ තවත් එක පියවරක් ලෙස “Zero” චිත්‍රපටය සනිටුහන් වුණා. 2018 සිට මේ දක්වා ෂාරුක් ඛාන් කිසිදු නව නිර්මාණයකට දායක නොවීමට මේ පසුබෑම හේතු වූ බවත් පැවසෙනවා.

“Pathan” චිත්‍රපටයේ සාර්ථකත්වය ෂාරුක් ඛාන් හට අතිශයින් තීරණාත්මක විය හැකි බව පැවසෙනවා – www.newsindiatimes.com

2023 දී නිකුත් කිරීමට දැනට සැලසුම් කර ඇති ඔහුගේ මීළඟ නිර්මාණය වන “Pathaan” චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කල් ඇතුව ම අරඹා තිබෙන අතර, එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇති. අවුරුදු පහකට පසු රිදී තිරය හරහා ඔහු සාදරයෙන් පිළිගැනීමට ප්‍රේක්ෂකයන් සැදී පැහැදි සිටින නමුත්, තරු ගුණයට වඩා තිර රචනයේ ගුණ තත්ත්වය ගැන විමසිලිමත් වන සැලකිය යුතු ප්‍රේක්ෂක ගහණය සමඟ ඔහුට කටයුතු කිරීමට සිදු වෙනවා.

දුර්වල තිර පිටපත්වල රංගනයේ යෙදීමේ චෝදනාව සල්මන් ඛාන්ට ද එල්ල වෙනවා. ඔහුගේ මෑත කාලීන චිත්‍රපට වාණිජ වශයෙන් එතරම් සාර්ථක නොවූ අතර, විචාරක පැසසුමටත් එතරම් පාත්‍ර වුණේ නැහැ. ඒ අනුව සල්මන් ඛාන්ගේ සාර්ථක ම චිත්‍රපට මාලාවක් වන “Tiger” හි තෙවැනි කොටස ඔහුට බොහෝ සෙයින් වැදගත් වේවි.

ඉන්දියාවේ ෆොරස්ට් ගම්ප්

ඉහත සඳහන් ඛාන්වරුන්ට වඩා වෙනස් ම මාර්ගයක ගමන් කළ රංගන ශිල්පියෙක් ලෙස ආමීර් ඛාන් හැඳින්විය හැකි යි. ඔහු දායක වූ නිර්මාණ වාණිජ ව මෙන් ම විචාරක පැසසුමෙන් පවා අති සාර්ථක වුණා. සමස්තයක් ලෙස ගත් කල ඉන්දීය සිනමාවේ එතෙක් මෙතෙක් වැඩි ම ආදායම ඉපැයූ ආමීර් ඛාන්ගේ “Dangal” චිත්‍රපටය ඉන්දියාවටත් වඩා ජාත්‍යන්තරය තුළ සාර්ථක වූ අතර, ඔහු වටා ඉතා හොඳ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රේක්ෂක පදනමක් ද නිර්මාණය වුණා. ඉන්පසු රංගනයෙන් දායක වූ “Thugs of Hindostan” චිත්‍රපටයෙන් ආමීර් ඛාන් අනපේක්ෂිත ලෙස අසාර්ථක වුණා. ඒ අනුව ඔහුට ද ඊළඟ චිත්‍රපටය ඉතා වැදගත් වෙනවා. ගැටලුව වන්නේ එම චිත්‍රපටය තීරණාත්මක සහ අවදානමක් ගෙන සිදු කරන නිර්මාණයක් වීම යි.

“Forrest Gump” චිත්‍රපටය සමඟ “Laal Singh Chaddha” ප්‍රේක්ෂයා අතින් සැසඳීමට ලක් වීම වැළැක්විය නොහැකි යි – in.mashable.com 

“Laal Singh Chaddha” ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය, වින්ස්ටන් ගෲම් රචිත “Forrest Gump” කෘතිය මත පදනම් වෙනවා. මෙම කෘතිය පාදක කරමින් හොලිවුඩ් චිත්‍රපටයක් 1994 දී ඒ නමින් ම නිකුත් වූ අතර, එය චිචාරක පැසසුමින් සහ සම්මානීය බවින් ලෝක සිනමාවේ සලකුණක් තැබූ චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිතය රඟපෑ ටොම් හැන්ක්ස් ගේ රංග ප්‍රතිභාව අදටත් සාකච්ඡාවට බඳුන් වෙනවා. කෘතිය පාදක කර ගනිමින් ඉන්දියාවට ගැළපෙන පරිදි නැවත ප්‍රතිනිර්මාණය වුවත්, “Forrest Gump” චිත්‍රපටය සමඟ “Laal Singh Chaddha” ප්‍රේක්ෂයා අතින් සැසඳීමට ලක් වීම වැලැක්විය නොහැකි යි. එය ආමීර් ඛාන් ඇතුළු චිත්‍රපටයේ කාර්ය මණ්ඩලයට යහපත් මෙන් ම, අයහපත් බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතිනවා.

දකුණු ඉන්දීය සිනමාවේ ශීඝ්‍ර නැඟීම හමුවේ බොලිවුඩයට ශක්තිමත් තිර රචනාවල අවශ්‍යතාව ඉදිරියේ දී වැඩියෙන් දැනෙනු ඇති බව විචාරකයන් අනුමාන කරනවා. ප්‍රේක්ෂක නැඹුරුව මනාව හඳුනා ගනිමින් දකුණු ඉන්දියාවේ බොහෝ සිනමා කර්මාන්ත විවිධත්වයෙන් යුතු නිර්මාණ සහ සමාජ ගැටලු ආමන්ත්‍රණය කරන නිර්මාණ වැඩියෙන් බිහි කරන පසුබිමක දකුණු ඉන්දීය රංගන ශිල්පීන්ගේ රංගන හැකියාව ද ඔප් නැංවෙමින් තිබෙනවා. බොලිවුඩය තුළින් ඒ හා සමාන ප්‍රබල අවදි වීමක් තවම දකින්නට නැහැ. ඉන්දීය සිනමාවේ බොලිවුඩ් ආධිපත්‍යය ඉදිරියේ දී තෙලිඟු, මලයාලම්, කණ්ණඩ සහ දෙමළ ඇතුළු දකුණු ඉන්දීය සිනමාවට මාරු වීමේ හැකියාව ඉන් තවත් වර්ධනය වෙනවා.

කවරයේ ඡායාරූපය: කන්නඩ සිනමාව ඉහළට ම ඔසවා තැබූ KGF චිත්‍රපටයේ දර්ශනයක් - www.koimoi.com

මූලාශ්‍ර:

www.bbc.com

filmykeeday.com

www.firstpost.com

www.imdb.com

timesofindia.indiatimes.com

www.outlookindia.com

indianexpress.com 

Related Articles

Exit mobile version