ටික කාලෙකට ඉස්සර පුංචි සන්දියේ හුඟක් දෙනෙක්ගේ විනෝදාංශ ලැයිස්තුවේ මුලින්ම තිබුණේ මුද්දර එකතු කිරීම බවට සැකයක් නැහැ. මුද්දර එකතු කිරීම කිව්වට තැපැල් මුද්දරවලට අමතර ව මුල් දින කවර, පින්තූර තැපැල් පත් සහ ගුවන් ලියමන් වැනි මුද්දර හා සම්බන්ධ විවිධ දෑ එකතු කිරීම මෙහි දී සිදු වෙනවා. 19 වැනි සියවසේ දී ශීඝ්‍රගාමී විදියට තැපැල් සේවාව දියුණු වීමත් එක්ක මුද්දර එකතු කිරීම ලොව පුරා වෙසෙන ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය විනෝදාංශයක් බවට පත් වුණා. නමුත් වර්තමානය වන විට අන්තර්ජාල භාවිතය සහ විද්‍යුත් තැපැල් මගින් සිදු වන සන්නිවේදනයට මිනිස්සු වැඩි නැඹුරුතාවක් දක්වන නිසා නිවෙස්වලට ලැබෙන ලිපි සංඛ්‍යාවේ පහළ වැටීමක් සිදු වෙලා තියෙනවා.
වර්තමානයේ දී බොහෝ රාජ්‍යයන් තමන් පිළිබඳ විස්තර ලොවට කියන්න මුද්දර භාවිතා කිරීම දැන් ඉතා සුලබ සිදුවීමක්. ඒ නිසා ම මුද්දර එකතු කරන්නන්නට කිසිදු කරදරයකින් තොර ව ඉතා විශාල පරාසයක විහිදී යන නොයෙක් ආකාරයේ මුද්දර රැසක් තමන්ගේ මුද්දර පොතට එකතු කර ගන්න ඉඩ සැලසිලා තියෙනවා. ඒ වගේ ම මුද්දර එකතු කිරීම කියන්නේ වයස් භේදයකින් තොර ව ඕනෑ ම අයෙක්ට ආශාවෙන් යෙදෙන්න පුළුවන් විනෝදාංශයක්. පුංචි සන්දියේ දී මුද්දර එකතු කිරීමට පෙළඹෙන උදවිය, වැඩිහිටියන් වූ පසුවත් ඒ විනෝදාංශයේ යෙදෙන ආකාරය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා.
අයර්ලන්තයේ හිටපු මුද්දර ගාස්තු එකතු කිරීමේ ජනරාල්වරයෙක් වූ ජෝන් බර්ක් තමයි ලෝකයේ මුල් ම මුද්දර එකතු කරන්නා ලෙස සැලකෙන්නේ. 1774 දී ඔහු පවුම් හයේ සිට පැන්ස භාගය දක්වා වූ විවිධ වටිනාකම්වලින් යුතු අයභාර මුද්දර (Revenue Stamps) එකතුවක් එළි දක්වන්න කටයුතු කළා. ඔහුගේ ඒ මුද්දර එකතුව අදටත් ඩබ්ලින් හි ඉතාමත් සුරක්ෂිත ව තැන්පත් කරලා තියෙන බව යි පැවසෙන්නේ.
විනෝදාංශයක් ලෙස තැපැල් මුද්දර එකතු කිරීම ආරම්භ වුණේ ලොව ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් වී ඉතාමත් කෙටි කාලයක් තුළ දී යි. 1860 වන විට එය මුද්දර එකතු කරන්නන් දහස් ගණනක් බිහි කරමින් විනෝදාංශයක් ලෙස යුරෝපය, බ්‍රිතාන්‍ය යටත් විජිතයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ජනප්‍රිය වුණා.
ලොව ප්‍රථම තැපැල් මුද්දරය ලෙස සැලකෙන තරුණ වික්ටෝරියා රැජිනගේ රුව රැගත් ‘පෙනී බ්ලැක්’ මුද්දරය බ්‍රිතාන්‍යයේ දී නිකුත් කෙරුණේ 1840 වසරේ දී යි. එහි අද අපි දකින මුද්දරවල මෙන් වෙන් කිරීමේ සිදුරු දක්නට ලැබුණේ නැහැ. ඒ වෙනුවට මුද්දර කතුරකින් කපා වෙන් කිරීම සිදු වුණා. මුහුණත වටිනාකම පැන්සයක් වන මේ මුද්දරයේ වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් 20 සිට 200 අතර අගයක් ගන්නවා. මෙසේ තැපැල් මුද්දර නිර්මාණය කිරීමේ අදහස මුලින් ම ඇති වී තියෙන්නේ එවකට තැපැල් පරිපාලකයෙක් ලෙස කටයුතු කළ ශ්‍රීමත් රෝලන්ඩ් හිල්ටයි.
ලෝකයේ මුලින් ම තැපැල් මුද්දර එකතු කිරීම ආරම්භ කළ පුද්ගලයා විදියට සැලකෙන්නේ ජෝන් එඩ්වඩ් ග්‍රේ මහතායි. ඔහු මුද්දර එකතු කිරීම ආරම්භ කර ඇත්තේ ‘පෙනී බ්ලැක්’ මුද්දර නිකුත් වීමත් සමග යි. 1863 දී ඔහු ඔහුගේ මුද්දර එකතුව නාමාවලියක් ලෙස එළි දක්වා තියෙනවා.
කාලයත් සමග මුද්දර එකතු කිරීම විනෝදාංශයක් ලෙස ජනප්‍රිය වීමත් සමග මුද්දර පිළිබඳ හැදෑරීම, මුද්දර පොත් සහ මුද්දර එකතු කිරීමේ දී යොදා ගන්නා උපකරණ භාවිතය මිනිස්සු අතර ජනප්‍රිය වුණා. ඒ අනුව මුද්දර එකතු කරන්නන්ට අවශ්‍ය දෑ සැපයීමේ ප්‍රථම ආයතනය ලෙස එඩ්වඩ් ස්ටැන්ලි ගිබන්ස් 1856 වසරේ දී ‘ස්ටැන්ලි ගිබන්ස් සමූහ ව්‍යාපාරය’ නමින් ආයතනයක් ආරම්භ කළා. එය අදටත් සාර්ථක ව්‍යාපාරයක් ලෙස රාජකීය අනුග්‍රහය යටතේ මහා බ්‍රිතාන්‍යය මූලස්ථානය කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා.
21 වැනි සියවස වන විට විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීමට තිබුණු ජනප්‍රියතාවය ක්‍රමයෙන් අඩු වුණා. අද වන විට ලොව පුරා විසිරී සිටින මුද්දර එකතු කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 200 ක් පමණ වන බව යි පැවසෙන්නේ. එයින් මිලියන 25 ක් ඇමෙරිකානු ජාතිකයන්. ඒ වගේ ම මුද්දර එකතු කරන්නන්ගේ සමාජ සහ ඒ හා සම්බන්ධ විවිධ සංවිධාන දස දහස් ගණනක් ඇති වෙලා තියෙනවා. අද වන විට සිටින මුද්දර එකතු කරන්නන්ගේ ගණන සංඛ්‍යාත්මක ව අඩු වුණත් අදටත් ලොව ජනප්‍රිය ම ගෘහස්ථ විනෝදාංශය ලෙස සැලකෙන්නේ මුද්දර එකතු කිරීම යි.
මුද්දර එකතු කිරීමට සමගාමී ව ජනප්‍රිය වූ කලාවක් විදියට මුද්දර පිළිබඳ හැදෑරීම හඳුන්වන්න පුළුවන්. මෙහි දී මුද්දරය නිර්මාණ කළ ක්‍රියාපටිපාටිය, යොදාගෙන ඇති කඩදාසිය, මුද්‍රණය කර ඇති ආකාරය, මුද්දරයේ ඇති විශේෂ දිය සලකුණු සහ මුද්දරයේ ඉතිහාසය සහ වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරනවා.
ලෝක ප්‍රසිද්ධ මුද්දර එකතු කරන්නන්
ලෝකයේ දැනට බිහි වී ඇති අංග සම්පූර්ණ ම මුද්දර එකතුව ලෙස සැලකෙන්නේ 20 වැනි සියවසේ දී ජීවත් වෙච්ච ප්‍රංශ-ඔස්ට්‍රියානු වංශවතෙක් වූ ෆිලිප් වොන් ෆෙරාරිගේ මුද්දර එකතුව යි. එහි 1917 වසරට පෙර නිකුත් වූ සියලු ම දුර්ලභ මුද්දර ඇතුළත් ව තිබුණු බව යි පැවසෙන්නේ. නමුත් ඔස්ට්‍රියානු පුරවැසියෙක් වූ ෆෙරාරිගේ මෙම අගනා එකතුව පළමු ලෝක සංග්‍රම යුගයේ දී ප්‍රංශ රජය විසින් යුද වියදම් පියවීම සඳහා කොටස් වශයෙන් අලෙවි කර තියෙනවා.
ෆෙරාරිගේ මුද්දර එකතුවට දෙවැනි නොවූ මුද්දර එකතුවක් ලෙස තෝමස් ටැප්ලින්ගේ මුද්දර එකතුව හඳුන්වන්න පුළුවන්. එහි ඇස්තමේන්තුගත වර්තමාන වටිනාකම පවුම් මිලියන 24 ක්. ‘ටැප්ලින් එකතුව’ ලෙස මුද්දර එකතු කරන්නන් අතර ප්‍රසිද්ධ එය තෝමස් ටැප්ලින්ගේ මරණයෙන් පසු ඔහුගේ උරුමකරුවන් විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පරිත්‍යාග කර තියෙනවා.
හිටපු යුරෝපීය රාජකීයයන් කිහිප දෙනෙක් ම ඉතා උනන්දුවෙන් මුද්දර එකතු කළ අයයි. ඒ අතරින් එක්සත් රාජධානියේ පස් වැනි ජෝජ් රජතුමා සහ රොමානියාවේ දෙවැනි කැරොල් රජතුමාව විශේෂයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. රාජකීය මුද්දර එකතු කරන්නන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ පස් වැනි ජෝජ් රජතුමාගේ අග්‍රගණ්‍ය මුද්දර එකතුවේ වර්තමාන හිමිකාරිය වන්නේ දෙවැනි එලිසබෙත් රැජිනයි. ඇය විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීම අරඹා ඇත්තේ 1952 වසරේ දී යි.
ඇමෙරිකා එක්සන් ජනපදයේ තිස් දෙවැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ඩ් මැතිතුමාත් ලෝක ප්‍රසිද්ධ මුද්දර එකතු කරන්නෙක්. ඔහුගේ ධූර කාලය තුළ දී ඔහු ඇමෙරිකානු අනුස්මරණ මුද්දර කිහිපයක් ම නිකුත් කර තිබෙනවා.
ලොව දුර්ලභ ම මුද්දර කිහිපයක්
ලොව දැනට ඇති දුර්ලභ ම මුද්දරය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය ගුආනාව විසින් 1856 දී නිකුත් කළ ‘The British Guiana 1c magenta’ නම් මුද්දරය යි. දැනට ලෝකයේ ඉතිරි ව ඇත්තේ එයින් එක් මුද්දරයක් පමණක් වන අතර එහි ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 9 ඉක්මවනවා.
1857 දී ස්වීඩනය විසින් නිකුත් කළ ‘The Treskilling Yellow’ නම් මුද්දරයක් දැනට ලෝකයේ ඇති දුර්ලභ ම මුද්දරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි දැනට ඉතිරි ව ඇති එක ම මුද්දරයේ ඇස්තමේන්තුගත වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 ක්.
ලෝකයේ වර්ණ තුනකින් මුද්‍රිත ප්‍රථම මුද්දරය ලෙස සැලකෙන්නේ 1845 දී ස්විට්සර්ලන්තය මගින් නිකුත් කළ ‘The Basel Dove’ නම් මුද්දරය යි. අතිශය දුර්ලභ මුද්දරයක් ලෙස සැලකෙන මෙහි දැනට ඉතිරි ව ඇති මුද්දර සංඛ්‍යාව පිළිබඳ සඳහනක් නැහැ.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 1918 දී නිකුත් කළ ‘The Inverted Jenny’ නම් මුද්දරයේ ඇති විශේෂත්වය වන්නේ එහි මුහුණත ඇති ගුවන් යානය උඩුයටිකුරු වී මුද්‍රණය වී තිබීම යි. දැනට මුද්දර 100 ක් පමණක් ඉතිරි වී ඇති මෙහි එක මුද්දරයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයකට ආසන්න යි.
විනෝදාංශයක් විදියට ඉතාමත් ආසාවෙන් මුද්දර එකතු කරන්නන් ඔබ අතරත් ඇති. ඔබ ළඟ තියෙන වටිනා මුද්දරවල විස්තර සහ ලිපියේ සඳහන් නොවී අපිට මග ඇරී ගිය කරුණු අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.
කවරයේ පින්තූරය: ornadesign.blogspot.com