ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිර්මාණාවලිය සහ ඔහුගේ නිර්මාණ දිවිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එතුමන්ව ඉතා සමීපව ඇසුරු කළ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමව අප සම්බන්ධ කරගත්තා.
ඔබ පුද්ගලයෙක් විදියට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගැන දකින්නෙ කොහොමද ?
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අපිට වඩා බොහෝම වයසින් වැඩි කලාකරුවෙක්නෙ. එතුමා තමයි අපේ සිනමාව පිළිබඳ නැඹුරුව වර්ධනය කරගන්න බලපෑ සිනමාකරුවා. තව සිනමාකරුවන් හිටියත්, එතුමා තමයි මූලිකවම සිනමාව පිළිබඳව ආලෝකයකට අපිව ගෙනියන්න මුල් වුණේ. අර රුසියානු සාහිත්‍යධරයෙක් කිව්වනෙ සියලුම රුසියානු සාහිත්‍යකාරයන් එළියට ආවෙ ගොගොල්ගෙ හිමකබායෙන් කියලා. ඒ වගේ මා අදත් විශ්වාස කරනවා අපේ සිනමා කලාව අපේ සිනමාකරුවන් සහ ඊළඟ පරම්පරාවේ සියළු දෙනාම එළියට එන්නෙ රේඛාව චිත්‍රපටයෙන්. මොකද ඒකනෙ අපේ සිනමා කලාවේ ආරම්භය.
මම දකිනවා ඔහු ඉතාම ගරු කටයුතු ඒ වගේම සිනමා කලාකරුවකු විදියට ඇදහිය යුතු පුද්ගලයෙක්. සහ ඔහුගේ පසු පරම්පරාවේ විචාරකයන් වන අපට දැනුම ලබා ගැනීම සඳහා හැම වෙලාවෙම මඟ පාදපු පුරෝගාමී සිනමාකරුවෙක්. සහ උතුම් මනුෂ්‍යයෙක්.
රේඛාව එන්නට පෙර තිබුණු සිනමා කර්මාන්තයේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ පැහැදිළි කිරීම මොකක්ද ?
අපේ ආරම්භක සිනමාකරුවන් පිළිබඳව අපට විවේචනයක් නැහැ. ඔවුන් කෙරෙහි විශාල ගෞරවයක් අපට තිබෙනවා. නමුත් ගැටළුව තමයි, මේ ආරම්භක සිනමාකරුවන් සියළු දෙනාම නාට්‍ය කරුවන්. ඔවුන්ට සිනමා විෂයය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුණෙ නැහැ. ඒ වගේම කිසියම් විදියක අනිවාර්ය ඓතිහාසික සංසිද්ධිවල ප්‍රතිඵලයක් විදියට ඔවුන්ට සිද්ධ වෙනවා ආසන්න රටේ සිනමාව කෙරෙහි යොමු වෙන්න. මොකද අපිට ප්රාග්ධනය තිබුණාට දැනුම තිබුණෙ නැහැ. මෙන්න මේ නිසා පළවෙනි වසර දහය අවසාන වෙනකොට රික්තයක් ඇති වෙනවා. ඒ රික්තය තමයි මුලු යුරෝපය පුරාම සහ ආසියාවේ බොහෝ රටවල ප්‍රබෝධමත් ලෙස ගොඩ නැගෙන සිනමා කලාව හා සම්බන්ධයෙන් ලංකාව බොහොම දුරස්ව තමයි තිබුණෙ. ඒ නිසා ඒ වෙලාවෙ අපිට කිසියම් වීර කුමාරයෙක් අවශ්‍ය වෙනවා මේ රික්තය පුරවන්න. ඒ තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්.
රේඛාවෙන් පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නිර්මාණය කළ අනෙකුත් සිනමා පට පිළිබඳව අපි කෙටියෙන් කතා කරගෙන ඉදිරියට යමු. එක්දහස් නවසිය හැට වර්ෂයේ නිර්මාණය කළ සංදේශය සිනමා පටය අපේ සිනමාවට වැදගත් වුණේ කොහොමද ?
රේඛාව ගොඩනගපු තාත්වික රීතිය භාවිත කරමින් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා සංදේශය චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. ඒක ඇවිල්ලා වීර කාව්‍යයක්. අපිට අදත් පේනවා සංදේශය බැලුවොත් මේක පිටිපස්සෙ මොන තරම් තරුණ ජවයක් තිබුණු සිනමාකාරයෙක් හිටියද කියන එක. සංදේශය තමයි අපේ ජනප්‍රිය සිනමාවේ ආරම්භක සිනමා කෘතිය. ජනප්‍රිය සිනමාවට මූලික වන්නෙ තාත්වික රීතිය. දැන් අපි කතා කරනවා එක්දහස් නවසිය හැත්තෑවේ සමාන්තර සිනමාවක් පිළිබඳව මා විශ්වාස කරන විදියට සමාන්තර සිනමාවේ මූලය තිබෙන්නෙ සංදේශය චිත්‍රපටයේ.
එක්දහස් නවසිය හැට තුනේ තමයි ගම්පෙරළිය සිනමා පටය නිර්මාණය වෙන්නෙ. ගම්පෙරළිය චිත්‍රපටයෙන් අපේ සිනමාවට ලැබුණෙ මොනවද ?
ගම්පෙරළිය චිත්‍රපටය තමයි අපේ සිනමාවට යථාර්ථ රීතිය රැගෙන එන්නෙ. එතකොට මුළු යුරෝපය පුරාම ආසියාව පුරාම පැතිරුණු යථාර්ථ රීතිය එතුමා ගම්පෙරළිය සිනමාපටය හරහා අපේ සිනමාවට හඳුන්වා දෙනවා. එපමණක් නෙමෙයි අපේ සිනමා කලාව පරිපාකයට පත් වෙන්නෙත් ගම්පරෙළිය සිනමා පටය හරහා. ගම්පෙරළිය අනුදත් යථාර්ථ රීතිය තමයි ඉන්පසු එන බොහෝ සිනමාකරුවන් භාවිත කරන නිසා, හැට දශකය පුරාම අපිට දකින්න පුළුවන්. එතුමාගේ චිත්‍රපටිවල පමණක් නෙමෙයි. සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර වගේ චිත්‍රපටි වල, සාමා, පරසතු මල් වගේ චිත්‍රපටි වල මේ ලක්ෂණය දකින්න පුළුවන්.
එක්දහස් නවසිය හැත්තෑ දෙකේදි එන නිධානය චිත්‍රපටය අපේ සිනමා ඉතිහාසයට ඉතාම සුවිශේෂීයි. ඔබේ දැක්මට අනුව නිධානය අපේ සිනමාවේ විශේෂ සිනමා පටයක් ලෙස අර්ථ ගැන්වෙන්නෙ ඇයි ?
නිධානය චිත්‍රපටය තමයි යථාර්ථ රීතියේ අග්‍ර ඵලය. එතනින් පසුව හැත්තෑව දශකයේ බිහි වෙනවනේ අපිට විකල්ප සිනමාවක්. ඒ විකල්ප සිනමාකරුවන් භාවිත කරන්නෙත් සමාජ යථාර්ථ රීතිය. ඒක වාමාංශික දේශපාලනික දැක්මකින් යුතුව සමාජ ගැටළු විවරණය කිරීමේ රීතියක්. මෙන්න මේ සමාජ යථාර්ථ රීතියේ මූල බීජ සහ ඡායා මාත්‍ර නිධානය තුළත් තිබෙනවා. මොකද විලී අබේනායක මුහුණ දෙන ගැටළුව පිටිපස්සෙ කිසියම් සමාජ දේශපාලන හැඩ ගැසීමක් තිබෙනවා. එතකොට නිධානය තමයි අපේ සිනමාවේ නිධානය.
නිධානය අපේ හොඳම චිත්‍රපටය පමණක් නෙමෙයි අවුරුදු සීයක ලෝක සිනමාවේ හොඳම චිත්‍රපට අතරටත් එකතු වෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය තමයි නිධානය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ සිනමාවේ කූඨප්රාප්තිය. තවමත් නිධානය ඉක්මවා යන නිර්මාණයක් අපේ රටේ බිහි වුණේ නැහැ. මා විශ්වාස කරනවා ආසියාවේ හොඳම චිත්‍රපට දහය අතර ඉදිරියෙන්ම තිබෙන චිත්‍රපටය තමයි නිධානය. ඒ නිසා එතුමා අපේ සිනමාවට දායක කළ නිර්මාණ අමරණීයයි. ඊළඟට එන තරුණ සිනමාකරුවන්ගේ පූර්වාදර්ශ සහ පරමාදර්ශ බවට පත් වෙන්නේ මේ චිත්‍රපට.
මෙතනදී මට කියන්න ඉතා විශේෂ දෙයක් තිබෙනවා. අපේ සිනමාවේ සියළුම ප්‍රධාන ප්රවණතා වල ආරම්භය සනිටුහන් කළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා බව අප අමතක නොකළ යුතුයි.
සිනමාකරුවන් බොහෝ වෙලාවට කරන්නෙ එක ප්රවර්ගයක සිනමාපට පමණයි. නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගෙ සිනමාව අධ්‍යයනය කරනකොට ඔහු බොහෝ ප්‍රවර්ග ස්පර්ශ කර ඇති බවක් පේනවා?
මම හිතන්නෙ එතුමා කිසිම ප්‍රවර්ගයකට කොටු වුණු සිනමාකරුවකු නෙමෙයි. එතුමා අපිට කිව්ව එක කාරණයක් තමයි මේ රටේ දේශීය ලකුණ සහිත සිනමාවක් ගොඩනගන්න නම් මේ රටේ මිනිස්සුන්ව හඳුනගන්න අවශ්‍යයි කියලා. මේ රටේ මිනිස්සුන්ගේ මුල් හඳුනගන්න ඕනෑ. ඔවුන්ගේ උරුමය හඳුනගන්න ඕනෑ. එතුමාට තිබුණේ මේ රටේ හැඩතල සහිත චිත්‍රපට හදන්න ඕනෙ කියන අරමුණ පමණයි. හැබැයි එතුමා අපේ රටේ මිනිස්සුන්ව දැනගෙන හිටියෙ නැහැ කියන එක එතුමා කිව්වා. ඒ සඳහා අධ්‍යයනයේ යෙදෙන්න ඔහු හැමදාම කැපවුණා. දෙවෙනුව ඔහු කිව්වා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත හඳුනගත්ත කලාකරුවන් සමග එතුමා එකතු වුණා කියලා. ඒ අයගෙන් අනුප්‍රාණය ලැබුවා කියලා.
අපි ආපහු හැරිලා බලනකොට අපිට පේනවා එතුමා කිසිම දවසක අපේ ජීවිතය විකෘති කළේ නැහැනෙ. එතුමාගේ චිත්‍රපට සියල්ලම අග්‍රගණ්‍ය නිර්මාණ නෙමෙයි. හැබැයි එතුමා කවදාවත් අපේ ජීවිතය විකෘති කරන චිත්‍රපටයක් හදලා නැහැ. එතුමා හැම වෙලාවෙම අපේ මිනිස්සුන්ගේ ස්වභාවය ඔවුන්ගේ උරුමය අවබෝධ කරගෙන එය විග්රහ කිරීම තමන්ගේ සිනමා කලාව බවට පත් කර ගත්තා. මෙන්න මේ නිසා තමයි ඔහු එක ප්‍රවර්ගයකට කොටු වුනු සිනමා කරුවෙක් නොවන්නෙ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා කියන්නෙ ලෝක පූජිත සිනමාකරුවෙක්. ලංකාවෙ අයිකන් එකක්. ඔබේ දැක්මට අනුව මේ විශේෂත්වයන් ගොඩනැගෙන්නෙ කොහොමද?
මම දකින්නෙ ඔහු තමයි අපේ සිනමාවේ මහා ප්‍රාඥයා. හැබැයි ප්රාඥයකු වීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. කිසියම් කලාවක ප්‍රාඥයෙක් කියන්නෙ කලාව පිළිබඳව පරතෙරට යාම. එහි සියළු සියුම් ස්ථාන ස්පර්ශ කරමින් ඒ කලාව පරිපාකයට පත් කිරීම. ඒ කලාව තුළ දේශීය ලකුණ ස්ථාපිත කිරීම. ඒ දේශීය ලකුණ ජාත්‍යන්තරයට රැගෙන යාම. ඊළඟට එන පරම්පරාවලට සිනමා කලාව පිළිබඳ මාවත පිළිසකර කර ඔවුන්ට අත්වැලක්, ගුරුවරයකු බවට, ඔවුන්ගේ පරමාදර්ශය බවට පත්වීම. මේ සියළුම කාරණා එකතු වෙන්න එපායැ ප්‍රාඥයෙක් වෙන්න. ඉතින් ඒ සියලුම ලක්ෂණ කැටිකර ගත්ත අපේ සිනමාවේ මහා ප්‍රාඥයා තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්.
ඔහු අපේ ජීවිතයට බොරු කළේ නැහැ. අපේ මිනිස්සුන්ගේ ස්වභාවයන් විකෘති කළේ නැහැ. අපේ උරුමයන් ඔහු ලෝකයට අරගෙන ගිහිල්ලා පෙන්නුවා මෙන්න මේ රටේ මිනිස්සුන්ගේ දේශීය ලකුණ කියලා. ඔහු ජාත්‍යන්තර කීර්තියට පාත්‍ර වෙන්නෙ ඒ නිසා. අපිව ලෝකය හඳුනගන්නෙ එතුමාගේ චිත්‍රපටි වලින්.
මහා සිනමාකරුවෙක් විදියට අපේ රට ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගෙන් ගත යුතු ප්‍රයෝජනය ඒ ආකාරයෙන්ම ගත්තා ද?
එතුමා හැම වෙලාවෙම කියනවා චිත්‍රපට හැදුවාට වඩා නිකන් හිටපු කාලය වැඩියි කියලා. අපි එතුමාගෙන් ගත යුතු ප්‍රයෝජනය වැඩ කළ කළ හැකි කාලයේදී ලබාගත්තේ ඉතා අඩුවෙන්. එතුමාගේ හිතේ තව බොහෝ චිත්‍රපට තිබුණා. ඒ චිත්‍රපට කරන්න එතුමාට අවස්ථාව ලැබුණා නම් එතුමාගේ සිනමාව පිළිබඳව අපි මීටත් වඩා ගෞරවයෙන් කතා කරන්න තිබුණා. සමහර විට එතුමා අතින් නිධානය අභිබවා යන නිර්මාණයක් නිර්මාණය වෙන්නත් ඉඩ තිබුණා.
මේ සාකච්ඡාවේ අවසන් කාරණාව විදියට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට ඔහුට ගෞරවයක් වශයෙන් සිදුවිය යුතු විශේෂ කාර්යයන් මොනවද?
පළවෙනි කාර්යය තමයි එතුමා ජාතික උරුමයක් කරන්න ඕනෙ. අපේ අවශ්‍යතාවය තිබුණේ එතුමා ජීවමාන ජාතික උරුමයක් ලෙස නම් කිරීමට. අපිට ඒ කාර්යය කරගන්න බැරි වුණා. දෙවෙනි කාරණය තමයි එතුමා ජාතික උරුමයක් සේ සලකලා එතුමා වාසය කළ නිවස රජයේ භාරයට අරගන, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යාම. එහිදී එතුමා ජීවත් වූ ආකාරයටම ඒ නිවස සකස් කර පවත්වාගෙන යායුතුයි. දැන්වත් මේ කාර්යය කරන්න අපට පුළුවන් වුණොත් ඒක එතුමාට කරන්න පුළුවන් ලොකුම ගෞරවයක්.
ලෙස්ටර් ජේම්ස් පීර්ස් මහතාගේ සහ සිනමාපට ඡායාරූප උපුටා ගැනීම – Lester James Peries and Sumitra Peries Foundation ෆේස් බුක් අඩවියෙනි.