ඩවුන් සින්ඩ්‍රෝමය, එසේත් නැතිනම් ඩවුන් සහලක්ෂණය, යන්න ඔබට එතරම් හුරු පුරුදු යෙදුමක් නොවන්නට පිළිවන්. එනමුත් මෙය අපට ආගන්තුක තත්ත්වයක් නම් නොවෙයි. සමාජයේ බොහෝ දෙනා මෙම තත්ත්වය හඳුන්වන්නට ‘’මන්ද බුද්ධික’’,“මොංගල්” වැනි වදන් යොදා ගන්නවා. ඒ එම තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසයි. එවැනි නිග්‍රහාත්මක වදන් වෙනුවට ‘විශේෂ අවශ්‍යතා සහිත දරුවන්’ වැනි යෙදුම් භාවිත කරන්නට සමාජය සැලකිලිමත් වීම වඩාත් සදාචාර සම්පන්න යි. මෙම ලිපිය හරහා ඩවුන් සින්ඩ්‍රෝමය පිළිබඳව සහ එවැනි දරුවන් පිළිබඳව වැඩිදුරටත් විස්තර ගෙන එනවා.
ඩවුන් සින්ඩ්‍රෝමය යනු?
ඩවුන් සින්ඩ්‍රෝමය යනු ජාන විකෘතිතාවයක් හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්නට හැකියි. එය ජෝන් ලන්ඩන් ඩවුන් නමැති විද්‍යාඥයාගේ නමින් නම් කර ඇති අතර ඔහු මෙම රෝගී තත්ත්වය පිළිබඳව සවිස්තරව අධ්‍යයනය කළ පුද්ගලයා යි. මෙම රෝග තත්ත්වය ට්‍රයිසෝමි 21 (Trisomy 21) යනුවෙන්ද හඳුන්වනවා. එනම් මෙම තත්ත්වයේදී වෙනස් වීමට භාජනය වන්නේ පුද්ගලයාගේ 21 වන වර්ණදේහ යුගලය වන බැවිනි. මිනිස් සිරුරේ සෑම සෛලයකම වර්ණදේහ 46ක් පවතියි. ඒවා යුගල 23 ක් වශයෙන් පවතින අතර පරපුරකින් පරපුරකට අදාළ ගතිගුණ රැගෙන යන්නේ එම වර්ණදේහ මගිනි.
සාමාන්‍යයෙන් කළලයක් නිර්මාණය වීමේදී මවගෙන් වර්ණදේහ 23ක් ද පියාගෙන් වර්ණදේහ 23ක් ද වශයෙන් එම වර්ණදේහ යුගල 23 උරුම වෙනවා. මෙම ක්‍රියාවලියේදී කලාතුරකින් මවගෙන් හෝ පියාගෙන් ලැබෙන වර්ණදේහ 23 න් 21 වන අංකය සහිත වර්ණදේහයහි අතිරේක පිටපතත් දරුවාගේ සෛල පද්ධතියට එකතු වෙයි. එවිට පියාගෙන් ලැබෙන වර්ණදේහය ද එකතු වූ විට 21 වන අංකය ඇති ස්ථානයේ වර්ණදේහ තුනක් බවට පත් වෙයි. මෙලෙස අතිරේක වර්ණදේහයක් හේතුවෙන් ඇති වන ව්‍යාකූලත්වය ඩවුන් සින්ඩ්‍රෝමය යනුවෙන් හඳුන්වනු ලබනවා. ඇමරිකාවේ උපදින සෑම දරුවන් 700කටම එක ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරු උපතක් ඇතුළත් වන බව වාර්තා වෙනවා. එසේම වසරකට මෙවැනි දරුවන් 6 000ක් පමණ එරට උපත ලබන බව ද කියැවෙනවා.
මේ සඳහා බලපාන හේතු සාධක
මෙය ඉතා අහඹු රෝග තත්ත්වයක් වන අතර මීට ගොදුරු වන දරුවන්ගේ දෙමව්පියන් බොහෝ විට සාමාන්‍ය ජාන සහිත පුද්ගලයන් වෙනවා. එසේම මෙම තත්ත්වය ඇති වීම සඳහා බලපාන නිසැක හේතුවක් සොයාගෙන නැහැ. එහෙත් මෙම තත්ත්වය ඇති වීම කෙරෙහි දරුවා පිළිසිඳ ගැනීමේ දී මවගේ වයස යම් බලපෑමක් වන බව පැවසෙනවා. එහිදී වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට මෙවැනි දරුවකු පිළිසිඳ ගැනීමේ වැඩි අවදානමක් පවතින අතර මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවන් අතරින් 80%කගේ පමණ මව වයස අවුරුදු 35ට වැඩි වන බවත් සඳහන් වෙනවා. එසේම මේ සඳහා පියාගෙන් ලැබෙන වර්ණදේහ වලින් ඇති බලපෑම අවම වන අතර එය 5% පමණ වන අතර පියාගේ වයසේ බලපෑමක් පිළිබඳව එතරම් තොරතුරු වාර්තා වෙන්නේ නැහැ.
ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවෙකුගේ ලක්ෂණ
ඩවුන් සින්ඩ්‍රෝමය සහිත පුද්ගලයෙකු ඇසුරින් දැකිය හැකි විශේෂිත ලක්ෂණය වන්නේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ සහ භෞතික වර්ධනයේ ඇති වන පසුගාමීත්වය යි. මෙම වර්ධනය ආශ්‍රිතව ඇති වන පසුබෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එයට අමතරව මුහුණේ සහ ශරීරයෙහි අනෙකුත් අවයව ආශ්‍රිතව ඇති වන පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කම් රාශියක් ද පවතිනවා. ඒවා අතර උඩු අතට ඇල වූ කුඩා දෙනෙත් පැවතීම, පැතලි වූ නාසයක් තිබීම, කුඩා වූ මෙන්ම හා පහත් වූ කන් පිහිටීම, බොහෝ විට මුඛය විවර වී දිව එළියට වී පැවතීම, කෙටි හා පළල අතැඟිලි පිහිටීම, පළමු හා දෙවන පා ඇගිලි එකිනෙකට ඈත්ව පිහිටීම, කෙටි හා පළල් ගෙලක් තිබීම, හා මාංශ පේශිවල අප්‍රාණිකතාවය ආදිය හඳුනා ගැනීමට හැකිය. එසේම මෙම තත්ත්වය නිසාවෙන් ඇති වන අනෙකුත් සෞඛ්‍ය ගැටලු රැසක් ද පවතිනවා. ඒවා අතර මන්දගාමී බුද්ධි වර්ධනය, හෘද රෝග ඇති වීමේ අවදානම, තයිරොයිඩ් ඌණතාවය, අක්ෂි ආබාධ, ශ්වසන රෝග, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ආබාධ, හා ශ්‍රවණය සම්බන්ධ ඌණතා ආදී වශයෙනි.
මෙවැනි දරු උපතක් හඳුනාගැනීම හා එම දරුවන් රැකබලා ගැනීම
නවීන තාක්ෂණය මගින් මෙවැනි දරු උපතක් මුල් ගැබිණි සමයේදීම හඳුනාගැනීමට හැකි අතර දරුවා ඉපදීමෙන් පසුව ශරීර ලක්ෂණ වලට අනුව ද එම රෝගය පිළිබඳව දැනගත හැකියි. එසේම රුධිර පරීක්ෂණයක් මගින් වර්ණදේහ ආශ්‍රිත පරීක්ෂණයක් (karyotype) හරහාද මෙම රෝග තත්වය සනාථ කර ගැනීමට ද හැකියාවක් පවතිනවා.
මෙම තත්ත්වය නිසා සාමාන්‍ය අයුරින් ජිවිත ගත කිරීමට නොහැකි වුණත්, මෙම රෝග තත්ත්වය සහිත දරුවන් ඉතාමත් ආදරණීය සහ ප්‍රීතිමත් දරුවන්. මෙම දරුවකු රැකබලා ගැනීමේදී නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම, ඔවුන්ට විශේෂිත වූ පාසල් හෝ මානසික වර්ධන ක්‍රියාකාරකම් සදහා දරුවා උනන්දු කරවීම ආදිය වැදගත් වෙනවා. එවැනි විශේෂිත පාසල් මගින් මොවුන්ව ස්වයං රැකියා ආදියට හුරු කරවා සමාජයට බරක් නොවී දිවි ගෙවන්නට හුරු කරන අයුරු ද දකින්නට හැකි වෙනවා. නමුත් ලංකාවේ ආර්ථික තත්ත්වයත්, සමාජයේ අනාරක්‍ෂිත බවත් නිසා මේ දරුවන්ගේ ජිවිත අවදානමේ.
කවරයේ පින්තුරය – scroll.in
මූලාශ්‍ර: