Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැතිරෙන වෛරසවලින් රැකෙන්න කළුදුරු තෙල් දිනපතා පානය කරන්න

මාරාන්තික වෛරසයක් මුළු ලොවම වෙළා ගනිමින් සිටින කාලයක ඉන් ආරක්ෂා වීමට ස්වභාවික, ආයුර්වේදයේ ක්‍රමවේද වෙත ලොව අවධානය යොමුව තිබෙනවා. තවමත් නිසි ඖෂධයක් සොයා ගෙන ‍නොමැති මෙම වෛරස ආක්‍රමණයන් වළක්වා ගන්නට ඇති හොඳම ක්‍රමය දේහ ප්‍රතිශක්තිකරණ පද්ධිතය ශක්තිමත්ව තබා ගැනීමයි. එයට කළුදුරු තෙල් වලින් ලැබෙන පිටිවහල පර්යේෂණ හරහා තහවුරු වී තිබෙනවා.

කළුදුරු තෙල් ලබා ගන්නා Nigella sativa ශාකය නිරිතදිග ආසියාවට ආවේණික වූ ශාකයක්. කළුදුරු තෙල් ශ්‍රී ලංකා ආයුර්වේදයේ, ඉන්දියාවේ, මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපයේ ඖෂධයක් ලෙසත්, ආහාර සඳහා රසකාරකයක් හෝ කුළුබඩු වශයෙනුත් භාවිතා කෙරෙනවා. කළුදුරු තෙල් තරමක් කටුක රසයකින් යුක්ත නමුත් මී පැණි, ඉඟුරු වැනි දෑ සමග මිශ්‍ර කර පානය කළ හැකියි.

Nigella sativa ශාකය (plantsoftheworldonline.org)

පර්සියානු බහුශාස්ත්‍රඥයකු වන ඉබන් සීනා ක්‍රි.පූ‍. 1025 දී රචිත තම The Canon of Medicine කෘතියේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට කළුදුරු ඉවහල් වන බව දක්වා තිබෙනවා. ශරීරයේ ශක්තිය උත්තේජනය කිරීම සහ තෙහෙට්ටුවෙන් සහනය ලබා ගැනීම සඳහා ද කළුදුරු භාවිතා කර තිබෙන බවයි එහි සඳහන් වන්නේ.

දේශීය ආයුර්වේදය ද අධි රුධිර පීඩනය, සහ කොලෙස්ටරෝල් සඳහා ඖෂධයක් ලෙස අරළු, බුළු, නෙල්ලි වැනි ඖෂධ සමග කළුදුරු යොදාගෙන පේයාවන් සකසනවා. එසේම හිසරදය වැනි රෝගාබාධයන්ට දුම් ඇල්ලීමටත්, තුවාල සුව කිරීමටත්, අවහන්දි වීම් සඳහාත් කළුදුරු එක් කර ගැනෙනවා. කළුදුරුවල කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීමේ හැකියාව පිළිබඳව කළ අධ්‍යයනයක දී කළුදුරු ඇටවලින් සැකසූ කරල් (දිනකට ග්‍රෑම් 2ක් වන සේ) සති 8ක් පුරාවට ලබා දුන්නා. සහභාගී වූවන්ගේ දේහයට හිතකර HDL මට්ටම 5%කින් වැඩි වුණා. අහිතකර LDL 7%කින් අඩු වුණා. ට්‍රයිග්ලිසරයිඩ මට්ටම් පහත වැටුණු අතර, මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය ද 5%කින් පමණ අඩු වූවා.

කළුදුරු ඇට සහ තෙල් (hearstapps.com)

කළුදුරු සතු ඉහළ ප්‍රතිබැක්ටීරියා ගුණාංග සම්බන්ධව කළ පර්යේෂණයකදී HIV වැළඳුණු රෝගීන්‍ සඳහා බැක්ටීරියා නාශකයක් ලෙස කළුදුරු තෙල් සාර්ථකව ක්‍රියාකරන බව පෙනී ගියා. වෛරසවලට එරෙහිව ක්‍රියා කිරීමට කළුදුරු තෙල්වලට හැකියාව ලැබී ඇත්තේ එය සතු තයිමොක්විනෝන් (thymoquinone) බවයි තවත් පර්යේෂණ පෙන්වා දෙන්නේ.

කළුදුරු බීජ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ රැසක් ලොව පුරාම සිදු කර තිබෙනවා. ඒවායෙන් සනාථව ඇත්තේ තයිමොක්විනෝන් නමැති එම සක්‍රීය ජෛව සංඝටකය නිසා ප්‍රතිඔක්සිකාරක, දියවැඩියාව හා පිළිකා වළකන, විෂබීජ නාශන, ප්‍රතිශක්තිය වඩවන, ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධී, ප්‍රතිදාහ වළකන, සහ වේදනාවන් සමනය කරන ගුණ ඊට ලැබී ඇති බවයි. තයිමොක්විනෝන් විශේෂයෙන් මොළය, හෘදය, අක්මාව, වකුගඩු, සහ පෙනහළු යන ඉන්ද්‍රියයන් වෙත සුවය සලසනවා.

අකලට හිසකෙස් යාමට විසඳුමක් ලෙස ද කළුදුරු තෙල් භාවිතා කරන්න පුළුවන්. හිසකෙස් යාම වැළැක්වීමට කළුදුරු තෙල් තේ හැඳි දෙකක් අත්ලට වත්කොට දෙඅත් හොඳින් රත්වනතුරු මඳක් අතුල්ලා හිසේ ආලේප කර, විනාඩි 30-60ක් පමණ තබා සාමාන්‍ය ෂැම්පු එකකින් සෝදා හරින්න.

නිවසේදී සකසා ගන්නා ආහාරවලට කළුදුරු ඇට අඩංගු කරන්න (pixabay.com)

පිළිකා අවදානම අවම කරගන්නට, හෘද සෞඛ්‍යය ඉහළ නංවන්නට, ලිංගික නිසරු බව දුරු කරන්නට, කාමෝද්දීපනයට, සහ දත් කැක්කුම් වලට සහනය දීමටත් කළුදුරුවලට හැකියාව තිබෙනවා. රුව වැඩවීමට කළුදුරු යොදා ගන්න අවශ්‍ය නම්, මුහුණ හොඳින් සෝදා, කළුදුරු තෙල් මී පැණි සමඟ කළවම් කර මුහු‍ණේ ආලේප කර පැය බාගයක් පමණ තබා සෝදා හරින්න.

මාරාන්තික වෛරස සහ බැක්ටීරියාවලට එරෙහිව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සවිබල ගන්වන්නට උදෑසන ආහාරයට පසු කළුදුරු තෙල් තේ හැන්දක් මී පැණි සමඟ කළවම් කර දිනපතා පානය කරන්න. එහෙමත් නැත්නම්, කළුදුරු ඇට/කුඩු ආහාරවලට එක් කරන්න.

ශරීරයේ සෞඛ්‍යයට නානාවිධ අංශ වලින් දායක වන මේ අගනා ඔසුව දෛනික ජීවිතයට එකතු කරගත්තොත් සෞඛ්‍යමත් ජීවිතයක් උදා කරගන්නටත්, සමාජයක් වශයෙන් වෛරස අවදානම අවම කරගන්නටත් හැකියාව ලැබෙන බව නම් නොඅනුමානයි.

කවරය: guardian.ng

Related Articles