අද දින වන විට ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් ලෙස HIV/AIDS හඳුන්වා දිය හැකිය. දිනෙන් දින වැඩිවන HIV ආසාදිතයන් සහ AIDS නිසා මරණයට පත්වන්නන් අපට පුවත්පත්, රූපවාහිනී හා සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ නිතර දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 සමීක්ෂණ වාර්තාවලට අනුවද ලෝකයේ මිනිසුන් මිලියන 36.7කට HIV ආසාදනය වී ඇති අතර මිලියන 1.1ක් AIDS(ඒඩ්ස්) නිසා මරණයට පත්වී ඇත. ශ්‍රී ලංකාවේද HIV අසාදිත පුද්ගලයන් 4100ක් පමණ සිටින බවට 2015 කරන ලද සමීක්ෂණ වාර්තාවලින් තක්සේරු කර ඇත.
බොහෝ දෙනෙකු මේ ගැන දන්නවා යැයි සිතා සිටියත් එ් කරුණු නැවතත් මතක් කර ගැනීමෙන් පාඩුවක් සිදු නොවේ.
HIV/AIDS යනු කුමක්ද?
HIV (Human Immunodeficiency Virus) නැතිනම් මානව ප්‍රතිශක්ති හීනතා වෛරසය යනු, මිනිසාගේ සිරුර තුළට ඇතුළු වී රෝගී තත්ත්ව ඇතිකළ හැකි වෛරසයකි. යම් හෙයකින් HIV වෛරසය මිනිස් සිරුරට ඇතුළු වුවහොත් එය නැවත සම්පුර්ණයෙන් සිරුරෙන් ඉවත් කිරීමට හෝ අක්‍රිය කිරීමට නොහැකි අතර, මුළු ජීවිත කාලයම HIV වෛරසය සමග ජීවත්වීමට සිදුවේ. සිරුරට ඇතුළු වූ පසු මෙම HIV වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආක්‍රමණය කරයි. ඉන්පසු එහි ඇති සුදු රුධිරාණු වර්ගයක් වන CD4 T සෛල විනාශ කරයි. මෙම CD4 T සෛල යනු රෝග ආසාදනයකදී එම රෝගකාරක විෂබීජ අල්ලාගෙන, ඒවා සිරුර තුළ වර්ධනය වීමට ප්‍රථම විනාශකර දමන වටිනා සෛල වර්ගයකි. HIV වෛරසය නිසා මෙම CD4 T සෛල විනාශ වූ පසු මිනිස් සිරුරේ ප්‍රතිශක්තීකරණ හැකියාව අඩාල වී යයි.
AIDS (Acquird Immuno Deficiency Syndrome) යනු HIV වෛරසය ආසාදනයේ අවසාන ප්‍රතිඵලයයි. HIV වෛරසය නිසා මිනිසාගේ ප්‍රතිශක්තීකරණ හැකියාව බෙහෙවින් අඩාල වූ විට මෙම AIDS තත්වය ඇතිවේ. සාමාන්‍යයෙන් රුධිරය මිලිලීටර 1ක ඇති CD4 T සෛල සංඛ්‍යාව 200,000 ට වඩා අඩු වූ විට එය AIDS තත්වය ලෙස හඳුන්වයි. එහිදී සුළු රෝග ඇතිකරන විෂබීජ පවා මිනිසාට මාරාන්තික විය හැකිය. HIV ආසාදනය වන සමහර පුද්ගලයින්ට පමණක් එය AIDS තත්වය දක්වා වර්ධනය වේ. ඇතැමුන් AIDS තත්වය ඇති නොවුණු HIV ආසාදිතයන් ලෙස තම ජිවිතකාලය ගත කරයි.
මෙම HIV වෛරසය පැමිණියේ කොහි සිටද?
මුලින්ම HIV වෛරසය ආසාදිත පුද්ගලයෙකු සොයාගෙන ඇත්තේ 1959 දී කොංගෝ රාජ්‍යයෙනි. එහිදී කරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේ වෙසෙන චිම්පන්සි විශේෂයක් මගින් මෙම වෛරසය මිනිසාට ආසාදනය වී ඇති බවයි. මෙම චිම්පන්සින් දඩයම් කිරීම නිසා චිම්පන්සින්ගේ ආසාදිත රුධිරය දඩයක්කරුවන්ට ශරීරගත වීමෙන් මුලින්ම දඩයක්කරුවන්ට එය ආසාදනය වී ඇති අතර, පසුව එය අනෙක් පුද්ගලයන්ට පැතිරී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට HIV ආසාදිත පුද්ගලයෙකු වාර්තා වී ඇත්තේ 1986 දී ය.
HIV සම්ප්‍රේෂණය
HIV වෛරසය පැතිරීම සිදුවන්නේ දේහ තරල ඔස්සේය. එනම් රුධිරය, ශුක්‍රාණු, යෝනි ශ්‍රාවයන් හා මව්කිරි ඔස්සේ මෙම සම්ප්‍රේෂණය සිදුවේ. පහත ක්‍රම ඔස්සේ HIV වෛරසය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම සිදුවිය හැකිය.
- ලිංගික ක්‍රියාකාරකම්වලදී.
- වෙනත් පුද්ගලයෙකු භාවිත කළ එන්නත් කටු නැවත භාවිතය. මෙය බෙහෙවින්ම දක්නට ලැබෙන්නේ එන්නත් කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයින් අතරය.
- ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය තුවාලවල හෝ ශ්ලේෂ්මල පටලයේ ස්පර්ශ වීමෙන්.
- ආසාදිත මවගෙන් දරුවාට මව්කිරි ඔස්සේ. මීට අමතරව යෝනි මාර්ගය හරහා සිදුවන සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ද දරුවාට HIV සම්ප්‍රේෂණය විය හැකිය. එම නිසා සිසේරියන් (Cesarean) සැත්කම් මගින් දරුවා ගැනීම සිදුකරයි.
පහත අවස්ථාවලදී HIV සම්ප්‍රේෂණය නොවේ.
- වාතය හා ජලය ඔස්සේ.
- මදුරුවන් දෂ්ට කිරීමෙන්.
- කෙළ, කඳුළු හෝ දහඩිය මගින්.
- HIV ආසාදිතයෙකුට අතට අත දීමෙන් හෝ එවැන්නෙකු වැළඳගැනීමෙන්.
HIV වෛරසය ආසාදනයේ රෝග ලක්ෂණ
HIV ආසාදනය මුල් අවධියේදී, එනම් සති 2ක් – 4ක් පමණ කාලයේදී පහත රෝග ලක්ෂණ දැකිය හැකිය.
- උණ.
- ශරීරය වෙව්ලීම.
- රාත්‍රියට දහඩිය දැමීම.
- ශරීරයේ පලු මතුවීම.
- මස්පිඩු වේදනාව.
- උගුරේ අමාරුව.
මෙම රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගී තත්වයන්ද ඇති නිසා මේවා ඇති පමණින් HIV වැළඳී ඇතැයි කීම වැරදි ය. යම් පුද්ගලයෙකු ඉහතින් සදහන් කරන ලද HIV සම්ප්‍රේෂණය විය හැකි ක්‍රමයකට භාජනය වී, තමන්ට HIV ආසාදනය වී ඇති සැක සිතන්නේ නම් එය තහවුරු කරගැනීම සඳහා රුධිර පරීක්ෂාවක් අනිවාර්යෙන්ම කරගත යුතුය.
AIDS අවධියේදී දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස,
- ශරීරයේ බර වේගයෙන් අඩු වීම.
- රාත්‍රී කාලයේදී අධික ලෙස දහඩිය දැමීම.
- දිගින් දිගටම ඇතිවන උණ තත්වය.
- අධික තෙහෙට්ටු ගතිය.
- කිහිලි, ඉකිලි හා බෙල්ලේ දිගුකාලීනව පවතින කුද්දැටි ඇතිවීම.
- මුඛයේ හා ලිංගේන්ද්‍රය අවට තුවාල ඇතිවීම.
දැක්විය හැකිය. මීට අමතරව මතකය අඩුවීම, විශාදය, ආතතිය වැනි රෝග ලක්ෂණ පෙන්විය හැකිය. මෙම රෝග ලක්ෂණ තිබුණද, යමෙකුට AIDS වැළඳී ඇත්දැයි තහවුරු කිරීමට නම් රුධිර පරීක්ෂාවක් කළ යුතුමය.
HIV/AIDS වලක්වා ගැනීම හා ප්‍රතිකාර
HIV නිට්ටාවටම සුවකළ නොහැකි නිසා ආසාදනය වීමට ප්‍රථම එය වළක්වා ගැනීම බෙහෙවින් වැදගත් වේ. පහත කරුණු මගින් HIV අසාදනය වීමේ අවදානම අවම කරගත හැකිය.
- ලිංගිකව එක්වීමට ප්‍රථම දෙදෙනාම රුධිර පරීක්ෂාවන් කරගැනීම.
- අවදානම් අවම ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම. ගුදමාර්ග සංසර්ගයේදී (Anal sex) HIV වැළඳීමේ අවදානම ඉතා වැඩිය. යෝනිමාර්ග සංසර්ගයේදී (Vaginal sex) අවධානම ඊට වඩා අඩු අතර, මුඛමාර්ග සංසර්ගයේදී (Oral sex) අවදානම ඊටත් වඩා අඩුය.
- නිසි පරිදි කොන්ඩම් භාවිත කිරීම.
- ලිංගික සහකරුවන් / සහකාරියන් ප්‍රමාණය සීමාකිරීම.
- එන්නත් කටු හුවමාරු කරගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමෙන් වැළකී සිටීම.
යම් පුද්ගලයෙකුට HIV ආසාදනය වුවහොත් එය නිට්ටාවටම සුවකිරීමට ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නැති නමුත් එහි හානිය පාලනය කළ හැකිය. මේ සඳහා යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමය Anti Retroviral Therapy (ART) ලෙස හඳුන්වනු ලබයි. නිවැරදි ආකාරයෙන් සෑම දිනකම මෙම බෙහෙත් ලබාගැනීමෙන් HIV ආසාදිත පුද්ගලයන්ට සෞඛ්‍යමත් ලෙස දිගුකාලයක් ජීවත්වීමට හැකියාව ලැබේ. එමෙන්ම මෙම බෙහෙත් ලබාගැනීම මගින් HIV ආසාදිත පුද්ගලයා මගින් එම වෛරසය තවත් නිරෝගී පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාවද බොහෝ සෙයින් අඩුවේ. එමනිසා HIV ආසාදිත පුද්ගලයෙකු AIDS තත්ත්වයට වර්ධනය වීමට ප්‍රථම නිවැරදි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු ජීවත්වන කාලය දක්වා වුවත් ජීවත්වීමට ඉඩ හැකියාව ලැබේ.
කවරයේ පින්තූරය: npr.org
මුලාශ්‍ර:
- Davidson’s principles and practice of medicine
- www.who.int
- www.aidscontrol.gov.lk
- www.aids.gov