නූතන සාහිත්‍යයට බලපැම් කළ නව පරපුරේ පොත් පහක්

නූතන සිංහල සාහිත්‍යයට බලපෑමක් කළ නව පරපුරේ ලේඛකයන්ගේ කෘති කිහිපයක් ම අපට හමුවෙනවා. බොහෝ විචාරකයන් පවා අපේ පැරණි විශිෂ්ට ලේඛකයන් ගැන අවධානයක් යොමු කළත් නූතන ලේඛක පරම්පරාව ගැන උනන්දු වන බවක් පේන්නේ නෑ.

මෑත අතීතයේ දී, පසුගිය දශක දෙක තුළ අපේ සාහිත්‍යයට විශාල බලපෑමක් කළ නවකතා අතරින් කිහිපයක් ගැනයි මෙහි ඉදිරිපත් කරන්නේ. මෙහි මෙම කෘති පෙළ ගස්වා ඇත්තේ ඒවා පළ වූ අවුරුද්ද අනුව යි.

මංජුල වෙඩිවර්ධන – www.lankaviews.com

 

1). මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව

කවියකු ලෙස මුලින් ම කල එළිබට මංජුල වෙඩිවර්ධන, 2000 වසරේ දී ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා සංග්‍රහය නිකුත් කළා. ක‍තෝලික සභාව මැදිහත් ව එය තනමට ලක් කළේ ආගමට අපහාසයක් වන බව සඳහන් කරමින්. ඉන් පසු ඔහු තම පළමු නවකතාව ලෙස වර්ෂ 2007 දී බත්තලංගුණ්ඩුව පළ කරනවා. එතෙක් පැවති යථාර්ථවාදී නවකතා රීතිය ම වෙනස් ආරකින් ඉදිරිපත් වූ බත්තලංගුණ්ඩුව ස්වර්ණ පුස්තක අවසන් වටයත් තේරෙනවා. එය විශාල පාඨක ප්‍රසාදයක් දිනා ගත් අතර අදටත් නව මුද්‍රණ එළි දැක්වෙන කෘතියක්. මංජුල වෙඩිවර්ධන කවියෙන් මෙන් ම කෙටිකතාවෙන් ද සම්මානයට පාත්‍ර වූ ලේඛකයෙක්.

ශ්‍රී ලංකාව නමැති දේශපාලනික හා සංස්කෘතික භූමියේ සිට නවකතාවේ එන කථකයා ගමන් කරන්නේ කල්පිටියට උතුරින් පිහිටි ‘බත්තලංගුණ්ඩුව’ නම් ධීවර දූපතට යි. කල්පිටි වෙරළින් බෝට්ටුවට නැඟීමෙන් පසු කථකයා ක්‍රමයෙන් පිවිසෙන්නේ අමුතු ම ආගමක්, අමුතු ම සමාජ සිරිත් සහිත බිම්කඩකට යි. එහි දී හමු වන චරිත, ඔවුන්ගේ හැසිරීම්, චින්තන රටා, කතුවරයා විස්තර කරන්නේ තථ්‍ය ලෝකය ඉක්මවා යන ආකාරයෙන්.

 මංජුලගේ කෘති කිහිපයක්- Ranabhi.lk

 

මෙම නවකතාවේ කථකයා ඇන්තනි නම් තරුණයෙක්. ඔහු බත්තලංගුණ්ඩුව දුපතට යන්නේ වසර ගණනාවකින් නොදැක සිටි පවුලෙන් ඈත් ව සිටින පියා සොයා ගෙන යි. ඒ ඔහු නැවත කොළඹ කැඳවාගෙන යාමට යි. එහෙත් දූපතේ දී විඳින්නට සිදුවන අත්දැකීම් සමඟ ඔහු එම අදහස දැඩි අධිෂ්ඨානශීලී ස්වරූපයකින් දරා සිටින බවක් පෙනෙන්නේ නැහැ. කතාවේ දිවෙන්නේ බත්තලංගුණ්ඩුවට පැමිණි ඉක්බිති කථකයා මුහුණ දෙන මානසික තත්ත්වය සහ එහි දී ඔහු හැසිරෙන ආකාරයයි.
බත්තලංගුණ්ඩුව මහාචාර්ය ලියනගේ අමරකීර්ති මෙසේ සඳහන් කර තිබෙනවා;

ලේඛයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාව් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍යය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේ ම වූ ශිල්පීය අංග ද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිත කරයි.

 ලේඛක සමරවීර විජයසිංහ – Book talk facebook page

2). සමරවීර විජයසිංහගේ ස්වයංජාත

නවකතාව සහ කෙටිකතාව සිය නිර්මාණ මාධ්‍යය ලෙස තෝරා ගත් සමරවීර විජයසිංහ යථාර්ථවාදී රීතියෙහි රැඳී නිර්මාණ බිහි කළ ලේඛකයෙක්. ඔහු ලියූ ප්‍රථම නවකතාව 1996 දී පළවූ ‘බවතුරු යට’ යි. එයින් පසු ව ඔහු ‘වැස්ස වලාහක’, ‘කෙලෙස් පර්වත ’ සහ ‘ස්වයංජාත ’ තැප්පාසේම ගිනි’ යන නවකතා මෙන් ම ‘ඉර මුදුන’ නමින් කෙටිකතා සංග්‍රහයක් ද පළ කර තිබෙනවා. , ඔහුගේ ‘කෙලෙස් පර්වත ’ නවකතාව වර්ෂ 2005 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද, ‘ස්වයංජාත ’ නවකතාව වර්ෂ 2008 දී ස්වර්ණ පුස්තක සම්මානයෙන් ද පිදුම් ලැබී ය. ස්වර්ණ පුස්තකය හිමිකර ගත් ප්‍රථම නවකතාව වූයේ ස්වයංජාත යි. විශාල පාඨක ප්‍රසාදයක් දිනා ගත් මේ නවකතාව ඉංග්‍රීසියට ද පරිවර්තනය වූ අතර ටෙලිනාට්‍යයක් ලෙස ද නිර්මාණය වුණා.

බේරුවල වාසය කළ මෙම කතුවරයා 2019 නොවැම්බර් 4 වැනි දා දිවි හැර ගියා.

මෙම නවකතාවේ කතා තේමාවට පසුබිම් වන්නේ යටත් විජිත සමයේ දකුණු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත ව පිහිටි සුදුවැලිපොත නම් ගම්මානයක්. එම සමාජයේ දකින්නට ලැබුණු පරිවර්තන යථාර්ථවාදී පොළොවේ පය ගසා සිටින චරිත ඔස්සේ හෙළිදරව් කිරීම කතුවරයාගේ අභිලාෂය වුණා. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහි වූ ජාතික අරගලයේ මූල බීජය උපන් 20 වැනි සියවසේ දෙවැනි දශකයේ පමණ සිට වාමාංශික ව්‍යාපාරයේ නැඟීම හා වැටීම පිළිබිඹු කරන 70 දශකය පමණ දක්වා වූ අඩසියවසක සමාජ පරිවර්තනය මේ කතාවේ දිව යනවා.

මෙහි කථා නායකයා වන විභූතිරත්න ගේ පියා පිළිබඳ ගැටලුව පාඨකයන් තුළ කුතුහලය දනවනවා. එක් අතකින් එය ගැටලුවක් නොවන බව ද පැවසිය හැකි යි. කතුවරයා තම නිර්මාණයට ‘ස්වයංජාත’ යනුවෙන් නම තැබීමෙන් ම එම ප්‍රශ්නයට යම් පිළිතුරක් සැපයෙනවා.

සමරවීර විජයසිංහගේ නවකතා- sooriya books.lk

 

ගමේ ප්‍රභු පවුලකට අයත් පබිලිනාහාමි විවාහ වී කලක් ගත වන තුරු දරුවෙක් නැතිකමින් දුක් විඳිනවා. පබිලිනා හා සැමියා උදේනිස් යක්කුටිගල හාමුදුරුවන් මුණ ගැසීමට යන්නේ ශාන්තිකර්මයක් කරවා ගැනීමට යි. ඒ දරු සම්පතක් ලබා ගැනීම සඳහා යි. කාලවර්ණ අවලස්සන පෙනුමෙන් යුත් යක්කුටිගල හිමියන්ගේ රූපකාය මෙන් ම නමත් ගැමියන් තුළ බිය සහ ගෞරවය මිශ්‍ර වූ සංකීර්ණ හැඟීම් සමුදායක් ඇති කර තිබුණා. ශාන්තිකර්මයෙන් පසුව පබිලිනා ගැබ් ගන්නවා. නමුත් ඉපදුණු දරුවාත් කාලවර්ණ යක්කුටිගල හිමියන්ගේ ම ප්‍රතිරූපයක් වීම නිසා පවුලේ විශාල අර්බුද හට ගන්නවා.

මේ සිදුවීම නිසා යක්කුටිගල හිමියන්ට සිදුවන්නේ වනගත ව භාවනා කරන්නට යාමට යි. පබිලිනා අපහාසයට ලක් ව වස කා මිය යනවා. විභූතිරත්න නම් වූ මේ දරුවා කුඩා කල පටන් ම සමාජයේ නිග්‍රහයට පාත්‍ර වෙනවා. වැඩිවියට පත්වන ඔහුගේ කාලවර්ණ, විරූපී වත අතරින් අසාමාන්‍ය පෞරුෂයක් මතු ව එනවා. පසුව ඔහු සමාජයේ පය ගසා සිටින ආකාරයත්, කීර්තිමත් වන ආකාරයත් භාවාතිශය බසකින් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වෙනවා. මේ පොත අදටත් පාඨකයන් අතර ප්‍රසාදයක් දිනා ගත් කෘතියක්.

සෙංකොට්ටං ලියූ මස්ඉඹුල- mahinda Prasad masimbula facebook page

3). මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං

කවියකු ලෙස නමක් දිනා සිටි ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ප්‍රථම නවකතාව වන ‘සෙංකොට්ටං’ පළවන්නේ 2012දි යි. එය නූතනයේ වැඩි ම අලෙවියක් වාර්තා කළ නවකතාව ලෙස සැලකෙනවා. මෙහි තේමාව ලෙස භාවිත කර ඇත්තේ අතීතයේ දී අතිශයින් කෲර ලෙස ඇරඹුණු කුලවාදය දරුණු ලෙස මිනිස් හදවත් පීඩාවට ලක් කළ ආකාරය යි. කුලය කුමක් වුව ද සෑම කෙනාට ම සංවේදී හදවතක් පවතින බව සෙංකොට්ටං අවධාරණය කරනවා. මහින්ද තම ගම් පළාත වූ සබරගමුවේ මාදම්පේ පැල්මඩුල්ල අවට ගම්මාන මේ සඳහා පාදක කරගෙන තිබෙනවා. ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය ලෙසයි කතුවරයා පොත තේමාව කරගෙන ඇත්තේ.

සෙංකොට්ටං යනු රෙදි පිරිසුදු කිරීමට රැගෙන යන විට එහි හිමිකරු හඳුනා ගැනීමට රෙද්දෙ සලකුණක් දැමීමට යොදා ගන්නා කහට සහිත ගෙඩි වර්ගයක්.සෙංකොට්ටං කිරිවලින් ඇන්ද කහට පැල්ලම ඒ ඇඳුම තියන තාක්කල් මැකෙන්නේ නෑ. මෙම පොතට 2012 විශිෂ්ටත ම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය ලැබුණු අතර ස්වර්ණ පුස්තක අවසන් වටයටත් පැමිණියා. මස්ඉඹුල ඉන් පසුව ‘මාණික්කාවත’ නවකතාව සහ ‘අපොයියාව’ යන යොවුන් නවකතාව ද පළ කළා. මේ වනවිට ‘සෙංකොට්ටං’ නවකතාවේ පිටපත් 150,000ක් අලෙවි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මස්ඉඹුලගේ නවකතා – bookshy.lk

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ, සමාජයේ පහත් කුලයක් ලෙස සැලකුණු රදවා හෙවත් රෙදි අපුල්ලන කුලයේ පිරිසකගේ කතාව මෙහි දිව යනවා. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිය මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමඟ විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙනවා.

රෙදි හෝදන පවුලක වැඩිමහල් දියණිය වූ පොඩිනා අනගිහාමි නම් ප්‍රභූ පවුලක පිරිමියකු සමඟ එක් දිනක් තුළ හට ගත් ප්‍රේමයක් නිසා ගැබ්බර වෙනවා. ඇය තමාට සිදු වූ මේ අකරතැබ්බයට හිලව් කර ගන්නේ තමාගේ ම කුලයේ, ගමේ නෝන්ජල් පිරිමියෙක් වූ නම්බු හේනයා උපක්‍රමශීලි ලෙස එක්වරක් පමණක් ඇගේ ඕනෑකමට ම පෙම් දැලේ පටලවා ගනිමින්. ඔවුන්ට උපන් දරුවාට බබා හේනයා යන නම තැබෙනවා. මේ දරුවාගේ නියම පියා කුලවත් අනගිහාමි යි. කතුවරයා මෙම කතාව ගලා යාමේ දී පාඨක සිත් ආකර්ශනය කරනා හදබසක් භාවිත කරයි.

‘‘හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියලා…බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියලා. ඕනෑම ළමිස්සියකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියලා. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”

වීරප්පුලි හේනයා ගම් ගානේ ඇවිදිමින් පොට්ටනියකට රෙදි එකතු කර ගෙන එන අතර ඒවා සෝදා වේලා මැද නැවත ගම් පුරා ඇවිදිමින් බෙද යි. වීරප්පුලි හේනයා සලකන්නේ එය ඔහුගේ පාරම්පරික උරුමය විදිහට යි. ඔහුට අවශ්‍ය බබා හේනයා නම් තම මුණුබුරා ද පාරම්පරික උරුමයේ කොටස්කාරයෙක් වීමට යි. නමුත් ඔහු නගරයේ අධ්‍යාපනය ලබා මේ පරම්පාරාවේ පුරුක කඩා බිඳ දමා මහා සමාජයට එකතු විම අවසානයේ දැකගත හැකි යි.

 මොහාන් රාජ් මඩවල- mohan raj madawala facebook page

4). මොහාන් රාජ් මඩවලගේ ලොවීනා

මාගම් සෝලිය, ආදරණීය වික්ටෝරියා, රැජන, අයිඩී ආදී නවකතා ලියා ඇති මොහාන් රාජ් මඩවලගේ දෙවැනි නවකතාව ලොවීනා හෙවත් ආදරණීය වික්ටෝරියා යි. එය 2014 දී පළ වුණා. සිය පළමු නවකතාව වූ මාගම් සෝලිය තුළින් යථාර්ථවාදය ඉක්මවන රාගාශ්‍රිත නවකතා තේමාවක් ගොඩ නඟා ගත් මොහාන් මේ කෘතියෙන් වඩාත් වර්ධනය වූ බව විචාරකයන් පවසනවා.

විචාරකයන් පවසන්නේ මොහාන් ගේ ලිවීමේ සෙවණැල්ල සයිමන් නවගත්තේගම වී ඇති බව යි. එහෙත් සයිමන්ගේ පොත්වල බහුල ව අපූරු බස්වහර සහ ස්ත්‍රී පුරුෂ රමණය කලාත්මක ව යොදාගැනීම මොහාන් රාජ් මඩවලට දුෂ්කර වී තිබෙනවා. මේ නිසා පිරිසක් ඔහුගේ ලොවීනා පොතටත් චෝදනා එල්ල කළා.

“ලොවීනා” කතාවට මූලාශ්‍ර වී ඇත්තේ ඓතිහාසික කතා ප්‍රවෘත්තියක්. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ බ්‍රිතාන්‍ය අණ්ඩුකාරයෙක් සහ රොඩී කෙල්ලක් අතර දිග හැරෙන ප්‍රේමය මේ කතාවෙන් නිරූපණය වෙනවා. තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරයා හා ලොවීනා අතර අසම්මත ප්‍රේමය ජනප්‍රවාදයක් ලෙසත් ප්‍රකට යි.

 මොහාන් ලියූ පොත් – mohan raj madawala facebook page

 

මොහාන්ගේ මෙම නවකතාවේ ද සිත්ගන්නාසුලු ලෙස නිරූපණය කරනුයේ ශ්‍රී ලංකාවේ එදා පැවැති කුල පීඩනය යි. පුන්නා නම් රූමත් ගොවි කුල කාන්තාව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අන්තඃපුර කාන්තාවක ලෙස තෝරා ගන්නවා. ඒ අතර දස්කොන් අදිකාරම් සමඟ ඇති වූ අනියම් සම්බන්ධතාවක් නිසා පුන්නා ගැබිනියක බවට පත් ව රජුගේ උදහසට ලක් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිය පවුලේ අය ද සමඟ ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කෙරෙනවා. එහෙත් මාපියන්ගේ මිය යාම නිසා පිටුවහල් කිරීමට ඉතිරි ව සිටියේ පුන්නා පමණ යි. රජ මාලිගයෙන් පන්නා දමන පුන්නා රොඩී කුප්පායම තෙක් පා – ගමනින් යනවා. අතරමඟදීත් ඇයට කුලවත් මිනිසුන්ගේ පීඩාවන්ට මුහුණ දීමට සිදුවෙනවා.

බයියා නම් මහලු රොඩියාට පාවා දුන් ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතු ම වැඩිහිටි ගැහැනිය බවට පත්වූවා. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමඟ පැවැත්වූ රහස් සම්බන්ධතාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවා. කුලීන ජනයාගේ උදහසට ලක් වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලා යාමට සිදුවූ අතර අන්තිමේ දී ඔවුන් ගොස් නතර වූයේ ගල්කිස්ස මුහුද අද්දර යි. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැඟුණේ එහිදී යි. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එය යි.

මෙය වූකලි, කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේ ම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්‍රේම වෘතාන්තය ද වනවා.

 ලේඛක නිශ්ශංක විජේමාන්න- deshaya.lk  

5). නිශ්ශංක විජේමාන්නගේ හඳ පළුව තනි තරුව

2017 අවුරුද්දෙ දි ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ නිශ්ශංක විජේමාන්න ලියූ හඳ පළුව තනි තරුව නවකතාව යි. ඔහු එයට පෙරත් නවකතා සහ කෙටිකතා පොත් කිහිපයකට ම සම්මාන දිනා සිටි ලේඛකයෙක්. මෙය කෙටි නවකතාවක් වුව ද ඉන් පාඨකයන්ට ලබා දුන් පණිවිඩය ඉතා වැදගත්. ඒ ජාතින් අතර සංහිඳියාව යි. මතුපිටින සරල ව ගලා යන කතාව යටි පෙළින් ගැඹුරු අරුතක් මතු කිරීමට කතුවරයා සමත් වෙනවා.

කතාවේ හමු වන ප්‍රධාන චරිතය වන්නේ “මොහොමඩ් අනිල් සත්‍යනාදන්” නම් ගුරුවරය යි. ඔහු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ හොඳ දැනුමක් ඇති, සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ ජාතියකට අයිති නොවන තරුණයෙක්. ඔහුගේ මාපියන් කවුරුන් දැයි ඔහු දන්නේ නැහැ. ඔහු කුඩා කාලයේ දී ම හදා වඩාගෙන ඇත්තේ මඩකළපුවේ ගුරු නිවසක වාසය කරන විපුලානන්ද නම් ගුරුවරයෙක්. මෙම තරුණයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ පසු ඔහුට මහියංගනයේ මුස්ලිම් පාසලක සිංහල භාෂාව උගැන්වීමට ගුරු පත්වීමක් ලැබෙනවා.

ඔහුට එම පාසලට එන ගමනේ දී මහියංගනයේ දී “ජෙලබ්දීන්” නම් අපුරු මුස්ලිම් ජාතික වැඩිහිටියෙක් හමු වෙනවා. ඔහු දැනුමින් පිරුණු කෙනෙක්. එමෙන් ම අනිල් නම් ගුරුවරයා වෙත අයේෂා නම් නිල්පාට ඇස් ඇති සුරූපී මුස්ලිම් තරුණියක් සමීප වෙනවා. ඔවුන්ගේ පෙම් කතාවට යටින් මහියංගනය අවට මුස්ලිම් සිංහල සහජීවනය වගේම දබර කර ගැනීම් ද දැක ගත හැකි යි. ගුරුවරයකු ද වන කතුවරයා කලකට පෙර ලියුම්කරුට පැවසුවේ මහියංගනයේ තම ගම අවට වටපිටාව මේ පොත ලිවීමට පාදක කර ගත් බව යි.

 නිශ්ශංක ලියූ පොත්- ranabhi.lk

 

ජාතීන් අතර සමඟිය ඇති වන්නේ කෑ කෝ ගසා ගැනීමෙන් නොව හදවත් තුළට ආදරය වත් කිරීමෙන් බව මේ පොත අපට පවසනවා. නූගත් යයි මතුපිටින් පෙනෙන ජෙලාබ්දීන් වැනි අයගේ හදවත් කෙතරම් වටින්නේ දැයි එම චරිත ඔස්සේ පැහැදිලි වෙනවා.

හඳ පළුව තනි තරුව නවකතාව ස්වර්ණ පුස්තක සම්මානය ලැබීමටත් පෙර සිට ම මෙරට පාඨක ලෝකය ආලෝලනය කළ පොතක්. විශේෂයෙන් තරුණ පාඨකයන් මේ පොතෙන් අමුතු ම අත්දැකීම් විඳි බව ඔවුන් මුහුණු පොතට එකතු කර ඇති සටහන්වලින් පේනවා. ප්‍රකාශකයන් පවසන්නේ මෙහි පිටපත් විශාල වශයෙන් අදත් අලෙවි වන බව යි.

කවරයේ ඡායාරූපය - බත්තලංගුණ්ඩුව, ස්වයංජාත, සෙංකොට්ටං, ලොවිනා, හඳපළුව තනිතරුව නවකතා කවර - youtube.com/lankateam.com/grantha.lk/Baththalangunduwa facebook page

මූලාශ්‍ර:
dinamina.lk
silmina.lk
grantha.lk

Related Articles

Exit mobile version