භාරත සිනමාවේ ප්‍රථම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1913 වසරේ තිරගත වූ නිහඬ චිත්‍රපටයක් වන ‘රාජා හරිස්චන්ද්‍රා’ යි. එතැන් ප්ටන් ඇරඹුණු හින්දි සිනමා වංශකතාවට අද වන විට වසර 109 ක් පමණ ගත වී තිබෙනවා. එම කාලය තුළ ඉමහත් ජනාදරයට පත් රංගන ශිල්පී ශිල්පිණියන් රාශියක් බිහි වී තිබෙනවා. කෙසේ නමුත් ප්‍රේක්ෂකයන් අතර සදා නොමැකෙන මතක ඉතිරි කරමින්, ඔවුන් අතර උන්මාදයක් බවට පත් වීමට හැකි වූයේ ඉන් අතළොස්සකට පමණයි.
භාරත සිනමාවේ ගිනි සිළුව ලෙසින් විරුදාවලිය ලත් වෛජයන්තිමාලා නම් දක්ෂ, සුරූපී රංගවේදිනියට ඒ අතරින් හිමිවන්නේ ප්‍රමුඛත ම ස්ථානයක්.
කුඩා කාලය සහ සිනමාවට පිවිසීම
වෛජයන්තිමාලා උපත ලැබුවේ 1933 වසරේ (36 ලෙස ද සමහර තැන්වල දැක්වේ ) අගෝස්තු මස 13 වන දා, ඉන්දියාවේ චෙන්නායි නුවර දෙමළ භාෂාව කතා කරන පවුලක යි. ඇගේ මව වසුන්දරා දේවි නම් දක්ෂ නර්ථනවේදිනියක හා රංගන ශිල්පිණියක වුණා. මේ නිසා කුඩා කල සිට ම ඇගේ නිවසේ තිබුණේ කලාව මා බැඳි වටපිටාවක්. මවගේ හැකියාවන් නොඅඩුව තිබූ ඇය කුඩා කල පටන් ම නර්ථනයට හා රංගනයට එකසේ දස්කම් පෑවා. යන්තම් බහ තෝරන වයෙසෙහි පටන් භරත නර්නතය ප්‍රගුණ කළ ඇය හට සිව්වැනි වියෙහි සිටිය දී, එකල සිටි පාප් වහන්සේ ඉදිරියේ නර්නතයක් ඉදිරිපත් කිරීමෙහි දුලබ වරම හිමි වුණා.
නව යොවුන් වියට එළැඹෙන විට වෛජයන්තිමාලා රූපයෙන් ද අග තැන්පත් වෙන්නට පටන් ගත්තා. බොහෝ දෙනා ඇගේ දක්ෂතා හා රූපශ්‍රීය පිළිබඳ ව කතා වෙන්නට පටන්ගත්තා. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ද ඒ අතර වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇය සිය පාසල් ජීවිතයේ මූලික අධ්‍යාපනයේ අග භාගයේ සිටින විට, එනම් 15 වැනි විය සැපිරූ විට, පවුලේ හිතවතකු වූ චිත්‍රපට නිෂ්පාදක එම්.වී රාමන්, ඇයට සිය චිත්‍රපටයක රංගනය සඳහා ආරාධනා කරනවා.
ඇය හා ඇගේ පවුලේ උදවිය එය පිළිගත් අතර, ‘වස්කායි’ නම් දෙමළ චිත්‍රපටයක් වූ එය නොසිතූ තරම් සාර්ථක වෙනවා. මේ නිසා එයම ‘බහාර්’ නමින් හින්දි භාෂාවෙන් නැවත නිපැයුණු අතර, එහිදී ද වෛජයන්තිමාලාට තමන් වස්කායි හි නිරූපණය කළ චරිතය එලෙස ම රැඟීමට ලැබුණා. එය 1951 වසරේ තිරගත වූ අතර, භාරතය පුරා අති සාර්ථක භාවයට පත් වුණා. වෛජයන්තිමාලා පිළිබඳ ව මුළු මහත් ඉන්දියාව ම හඳුනාගත්තේ මේ අනුව යි.
මධුමතී සිනමා පටයේ ගීතයක්.
සිනමා දිවිය සහ ඇගැයීම්
1949 වසරේ ඇරඹුණු වෛජයන්තිමාලා ගේ සිනමා දිවිය 1989 වසර දක්වා ඇදී ගියා. වසර 40 ක් පුරාවට ඇදී ගිය ඇගේ සිනමා දිවියේ ඇය චිත්‍රපට 62 ක පමණ ප්‍රමාණයක් සිය රංගනයෙන් ඔප්නංවා තිබෙනවා. මින් බහුතරය බොලිවුඩ් හෙවත් හින්දි සිනමා නිර්මාණ වෙනවා. භරත නර්නතය ප්‍රගුණ කළ ඇය තරම් සාම්ප්‍රදායික නර්නතයෙහි සමත් රංගන ශිල්පිණියක් එකල හින්දි සිනමාවෙහි නොසිටි බැව් විචාරකයන්ගේ මතය යි.
නර්නතයට ඇති දක්ෂතාව හා රූප සොබාව නිසා ම ඇයට තරගකාරී ඉන්දියානු සිනමා නිර්මාණවල අවස්ථාව ලැබුණත්, ප්‍රතිභා පූර්ණ රංගනයටත් ඇය හපන්කම් දක්වන බැව් ඉක්මනින් ම ඇය ලොවට ප්‍රදර්ශනය කළා. ‘දෙව්දාස්’ ‘මධුමතී’ ‘සංගම්’ ‘ලීඩර්’ ‘සුරජ්’ වැනි චිත්‍රපට රාශියක ඇය ප්‍රේක්ෂකයාට සදා අමතක නොවන රංගන ඉදිරිපත් කළා. දිලිප් කුමාර් හා ඇය රිදී තිරය මත ඉතා ජනප්‍රිය යුවළක් බවට පත්වුණා.
වෛජයන්තිමාලා සිය රංගනය උදෙසා තෙවරක් හොඳ ම නිළිය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මාන ලැබුවා. ඒ සධානා චිත්‍රපටය වෙනුවෙන් 1958 වසරේදීත්, ගංගා ජමුනා වෙනුවෙන් 1961 වසරේදීත්, සංගම් වෙනුවෙන් 1964 වසරේ දී ත් යන තෙවර යි. දෙව්දාස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්, හොඳ ම සහය නිළියට පිදෙන ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇයට ලැබුණත්, ඇය එය ප්‍රතික්ෂේප කළේ එහි තම චරිතය සහාය චරිතය නොව, ප්‍රධාන චරිතයක් බැව් ප්‍රකාශ කරමිනු යි. ඇය බොලිවුඩයේ අති සාර්ථක වූ, දකුණු ඉන්දියාවෙන් පැමිණි ප්‍රථම රංගන ශිල්පිණිය වන අතර. ඇගේ මඟ යමින් හේමා මාලිනී, රේඛා, ශ්‍රීදේවි වැනි රංගන ශිල්පිනියන් බොලිවුඩයේ පසුකාලීන ව දස්කම් පෑවා.
වෛජයන්තිමාලා සම්බන්ධ කරගන්නා චිත්‍රපටවල නිෂ්පාදක, අධ්‍යක්ෂකවරුන් ඇගේ නර්තන ප්‍රතිභාවෙන් ද වැඩක් ගැනීමට අමතක කළේ නැහැ. නාගීන් චිත්‍රපටයේ ‘මන්ඩෝලේ මෙරා තන්ඩෝලේ’ ගීතය, මධුමතී චිත්‍රපටයේ ‘චඩ් ගයෝ පාපි බිචුවා’ ගීතය හා සංගම් චිත්‍රපටයේ එන ‘ මේ ක්‍යා කරු රාම් මුඣෙ බුඩ්ඩා මිල්ගයා’ වැනි ගීතවලට ඇය ඉදිරිපත් කළ රංගනයන් ප්‍රේක්ෂක සිත් සතන්වල සදාකාලිකව ම රැඳී පවතිනවා. ඒ චිත්‍රපටවල සාර්ථකත්වයට ඇගේ නර්තනය ද දැඩි ව ඉවහල් වුණා.
විවාහය හා සිනමා දිවියෙන් සමු ගැනීම
වෛජයන්තිමාලා විවාහ වූයේ වෛද්‍යවරයකු වූ චමන්ලාල් බාලි සමඟ යි. ඒ 1968 වසරේදී යි. ඇයට සුචින්ද්‍ර බාලි නම් පුත්‍රයෙක් සිටින අතර ඔහු ද පසුකාලීනව රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. විවාහයෙන් අනතුරු ව ඇය ඉස්සන් සම්බන්ධ ව්‍යාපාරයක් ද පටන්ගන්නා අතර, නර්නත ඇකඩමියක් ද ආරම්භ කරනවා. කෙසේ නමුත් 1986 වසරේ දී චමන්ලාල් බාලි මිය යනවා. ඉන් කෙටි කලකට පසු, එනම් 1989 වසරේ දී ඇය රංගනයට සමු දෙනවා.
1985 වසරේදී ඇය ඉන්දීය දේශපාලන පොර පිටියට යොමු වූ අතර, ලෝක් සභාවේ ආසනයක් ද දිනා ගන්නවා. අනතුරුව රාජ්‍ය සභාවටත් ඇය පත් වෙනවා. එනමුත් දේශපාලනය, රංගනය තරම් තමන්ට කැප නැතැයි තීරණය කළ ඇය, 1999 වසරේදී ඉන් සමු ගන්නවා.
වෛජයන්තිමාලාට දිවියේ පසුකාලීන ව තවත් සම්මාන දෙකක් ලැබුණා. 1982 වසරේදී ඇය ‘සංගීත් නාටක්’ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එය ඉන්දියානු පුරවැසි කලාකරුවකුට පිදෙන ඉහළ ම සම්මානයක් වෙනවා.
1995 වසරේදී ඇය දිවියේ එක් වරක් පිදෙන යාව ජීව ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් ද පිදුම් ලබන්නට වාසනාවන්ත වුණා. ඒ බොලිවුඩ් සිනමාවට සිදුකළ අනුපමේය මෙහෙවර නිසා යි. 2007 වසරේදී ඇය ‘බොන්ඩින්ග්’ නම් වූ ස්වයං චරිතාපදානය එළිදැක්වූවා.
දිවියේ සැඳෑ සමය
වර්තමානය වන විට අනූ විය ආසන්නව, සිය දිවියේ සැඳෑ සමය ගත කරන මුත්, වෛජයන්තිමාලා තවමත් යම් පමණකට හෝ ක්‍රියාශීලී ව සිටිනවා. ඇය සිය නර්තන ඇකඩමියේ කටයුතු දිගට ම කරමින් කල් ගෙවනවා. ඇය හැඳින්වෙන්නේ භාරත සිනමාවේ ‘ගිකි සිළුව ලෙසයි’ ඒ ඇගේ රූ සොබාව හා නර්තනය එක් වූ අතිශය ආකර්ශනීය බව නිසා යි. ඇය වන් ශිල්පිණියක් බොලිවුඩයට පහළ වන්නේ කාලාන්තරයකින් බැව් විචාරක මතය යි.