Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැලිගම ඉඳලා ලන්ඩන් ගිය අපේ ආප්ප

ආප්ප කියන්නේ අපේ රටේ කවුරු අතරත් ජනප්‍රිය කෑමක්. පහුගිය දවස් වල ආප්ප නිසා ආණ්ඩුවක් පෙරළුණා කියලත් කතාවක් ගියා මතකයි. කවුරුත් කන්න ආස නිසා වගේම හරිම ලේසියෙන් හදන්නත් පුළුවන් නිසා ආප්ප ලංකාවේ ඕනෑම කෑම කඩයකින් පහසුවෙන්ම ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ආප්ප කන්න යන්නේ තේ වෙලාවට. ප්ලේන් ටී එකයි ආප්ප දෙක තුනකුයි තමයි වැඩි දෙනාගේ “සපර්” එක වෙන්නේ. ප්‍රධාන කෑම වේලකට කනවා නම් බිත්තර ආප්පයක් එහෙමත් මේකට එකතු වෙනවා. ඉස්සර නම් රෑට කොත්තුවක් කෑවත් දැන් වැඩි දෙනා බර අඩු කර ගන්න ඕනෑ නිසා ආප්ප වගේ සැහැල්ලු දෙයක් තමයි කඩෙන් අරගෙන යන්නේ.

සාමාන්‍යයෙන් මේ දවස් වල පාර අයිනේ තියෙන ආප්ප කූඩුවක ආප්පයක් විකුණන මිල රුපියල් 10ක් – 15ක් වගේ වෙනවා. මේ ගාණට ආප්පය එක්කම ලැබෙන ලුණු මිරිස් ගුලියත් ඇතුළත්. හැබැයි රටේ ප්‍රධාන හෝටල් ඇතුළු සුපිරි ආපනශාලා වල සමහරවිට ආප්පයක් විකිණෙන්නේ රුපියල් සීයකට දෙසීයකට විතරලු. කාපු අය නම් කියන්නේ කොයි ආප්පෙත් එකයි කියලා.

weligama_pic2

අපේ රටේ ජන සමාජය එක්ක මේ තරම් බැඳිලා තියෙන ආප්ප ගැන අපි ආයෙමත් කතා කරන්න හිතුවේ අපිට ආප්ප ගැන ආපු ආරංචියක් නිසයි. ලංකාවේ මොන තරම් ජනප්‍රිය වුණත් වෙනත් රටවලදී ආප්ප හොයා ගන්න තියෙන අමාරුව ඒ රටවල හිටපු වැඩි දෙනෙක් දන්නවා. ආප්ප කියන්නේ ඉතින් පොඩි මිනිහාගේ කෑමක්නේ. ඉතින් වෙනත් රටකට ගිහින් ආප්ප කඩයක් දාන්න හිතන අය හරිම අඩුයි.

කොහොම වුණත් අපි දැන් කියන්න යන්නේ එංගලන්තයේ දාපු ආප්ප කඩයක් ගැන. එසේ මෙසේ තැනක නෙවෙයි, සුප්‍රසිද්ධ ලන්ඩන් නගරයේ මැද්දෙමයි මේ පුංචි ආප්ප කඩේ තියෙන්නේ. කිව්වාට විශ්වාස කරන්නත් අමාරු ඇති නේද? දිගටම කියවලා බලන්නකෝ.

See yeh next week Kings X Mon and @druidstmarket Sat 🍳🍳🍳🍳🍳 no tambourine emoji 😌

A post shared by EMILY DOBBS (@weligama_ldn) on

මේ පුදුම හිතෙන ව්‍යාපාරයේ හිමිකාරිය එංගලන්ත ජාතික එමිලි ඩොබ්ස්. ඇය ළමා කාලයේදී ශ්‍රී ලංකාවට ඇවිත් අපේ කෑම වල රසයට ආසා හිතුණු තැනැත්තියක්. විශේෂයෙන්ම වැලිගම තියෙන තැප්‍රෝබේන් දූපත ඇයගේ වඩාත්ම සිත් ගත් තැනක්ලු. මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න හේතුව ගැන අහලා බැලුවාම ඇය මේ විදිහට උත්තර දුන්නා.

“මම පුංචි කාලේ ඉඳලාම ගොඩක් සැරයක් ශ්‍රී ලංකාවට ගිහින් තියෙනවා. ලංකාවේ මම වැඩියෙන්ම ආස වුණේ ඔවුන්ගේ ආහාර වට්ටෝරු වලට. ඒ නිසාම ආපහු එංගලන්තයට ආවමත් මම ලංකාවේ කෑම හොයාගන්න සෑහෙන උත්සාහ කරා, ඒත් පුළුවන් වුණේ නැහැ. ලන්ඩන් නගරයේදී ශ්‍රී ලාංකීය ආහාර පාන ලබා ගන්න බැරි ඇයි කියන එක මට ඒ දවස් වල ඉඳලාම තියෙන ගැටළුවක්. අලුතෙන් ඇති වෙලා තියෙන ‘සෞඛ්‍යයට හිතකර කෑම’ කන ට්‍රෙන්ඩ් එකත් එක්ක ලන්ඩන් වල ලාංකීය ආහාර නැති එක ගැන මට හරිම පුදුමයි. ශ්‍රී ලාංකීය ආහාර පාන හැම එකක්ම සෞඛ්‍යයට හරිම හිතකරයි, අලංකාරයි, රසවත් සහ පෝෂණයෙන් පිරිලා. ලංකාවේ කෑම ගැන අපි මීට වඩා සැලකිල්ලෙන් හිතන්න අවශ්‍යයි. මම නම් ලංකාවේ හැම කෑමකටම හරිම ආසයි.” ඇය කියනවා.

පහුගිය අවුරුදු ගණනාවක් පුරාවටම එමිලි මහන්සි වුණේ ඇය ආදරය කරන ලංකාවේ ආහාර එංගලන්තයටත් හඳුන්වා දෙන්න. ඒ ගමනේදී ඇය අපේ රටේ සාම්ප්‍රදායික ආහාර පාන වලට නව්‍ය අංග එකතු කරලා අලුත්ම ආහාර පාන නිර්මාණය කරලා තියෙනවා. ඇයගේ “වැලිගම ආප්ප කඩේ” ට යන ඕනෑම කෙනෙක්ට දැක ගන්න ලැබෙන්නේ ආහාර වලට වඩා ආහාරමය කලා කෘතීන් කිව්වත් වැරැද්දක් නැහැ. මේ වගේ දෙයක් කරන්න හිතුණේ කොහොමද කියන එක ගැනත් ඇය පැහැදිලි කළා.

“මට ආප්ප හදන මිශ්‍රණය නියම විදිහට පුරුදු වෙන්න මාස ගණනක් ගියා. මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ ලංකාවේ ආහාර පාන තුල තියෙන ඒ රටේ දේශීය සහ සාම්ප්‍රදායික අංග ඒ විදිහටම පවත්වා ගන්නයි. මම ආප්ප හදන්න ගන්නේ රතු හාල් පිටි. රතු හාල් පිටි වල තියෙන රසයටයි, රතු හාල් පිටි වලින් හදපු ආප්ප වල තියෙන ටෙක්ස්චර් එකටයි මම ගොඩාක් ආස කළා. සුදු හාල් පිටි වලින් ඒක ලබා ගන්න බැහැ. ඒ වගේම ආප්ප සඳහා දෙන චට්නි, ආච්චාරු වර්ග හැම එකක්ම මම ගෙදරදී තනියෙන්ම හදනවා. (අපි කලින් කිව්වානේ එමිලිගේ රෙසිපි ටිකක් වෙනස් කියලා) මේ වනතුරු මගේ ආප්ප කඩයට ආපු හැම පාරිභෝගිකයෙක්ම මගේ ආප්ප වර්ග වලට එකපාරින් කැමති වුණා. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ සමහර අයට නම් මගේ සමහර රෙසිපි ඇහුවාම එපා වෙයිද දන්නේ නැහැ ඉතින්. විශේෂයෙන්ම ආප්ප වලට දෙළුම් යුෂ දාල දෙන එක වගේ දේවල්..” එමිලි හිනා වෙලා කිව්වා. එක පාරටම ඇහුවාම අමුතුයි වගේ හිතුණත් කාල බැලුවනම් සමහර විට අපිටත් ආස හිතේවි නේද?

ඇය මේ ව්‍යාපාරය පටන් අරගෙන තියෙන්නේ ආවට ගියාට නම් නෙවෙයි. එමිලි ඩොබ්ස් කියන්නේ එක්සත් රාජධානියේ හොඳම ආපන ශාලා වලින් මනා පුහුණුවක් ලබපු කෙනෙක්. ඇයගේ ප්‍රධාන අරමුණ තමයි ලංකාවේ ආහාරපාන ගැන ලන්ඩන් වැසියන් ඇතුළු බ්‍රිතාන්‍ය ජාතිකයන් හිතන පතන විදිහ වෙනස් කරන එක. “ලන්ඩන් වලදී ඉන්දියානු ආහාර නම් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. අපේ රටේ බොහෝ දෙනාට ඉන්දියානු ආහාර කිව්වම මතක් වෙන්නේ තෙල් අධික, බඩකට පිරෙන බර ආහාරයක්. යුරෝපීය වැසියන් බොහෝ දෙනෙක් ලංකාවේ ආහාරත් ඒ වගේ කියලයි තවමත් හිතාගෙන ඉන්නේ. (සුදු ජාතිකයන් බොහෝ දෙනෙක්ට දුඹුරු සමක් ඇති කවුරුත් පෙන්නේ ඉන්දියානුවන් වගේනේ) හැබැයි ලංකාවේ ආහාර ඉන්දියානු ආහාර වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ නිසා තවත් ඉන්දියානු ආහාර වගේම කෑමක් කියලා හිතනවා වෙනුවට ශ්‍රී ලාංකීය ආහාර වට්ටෝරු ගැන නිසි අවබෝධයක් එංගලන්ත වැසියන්ට ලබා දෙන්නයි මට වැඩියෙන්ම ඕනෑ වෙලා තියෙන්නේ.” එමිලි පැහැදිලි කළා. ඇයගේ මේ “මොඩර්න්” ආප්ප කඩේ ඒ උත්සාහයේ එක කොටසක්.

SUMMER’s BACK Lewis Cubitt sq 12-2pm

A post shared by EMILY DOBBS (@weligama_ldn) on

එමිලි තමන්ගේ පුංචි ආප්ප කඩේ අනාගතයේදී විශාල ආපන ශාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටේ ආහාර පාන වට්ටෝරු අඩංගු පොතක් ලියන්න සහ යුරෝපය පුරා වෙනත් රටවල් වලටත් ලංකාවේ ආහාරවලට නිසි පිළිගැනීමක් අරන් දෙන්නයි ඇය හිතාගෙනයි ඉන්නේ. ලෝකය පුරාම ලංකාවේ ආහාර පාන ජනප්‍රිය කරන එක ඇයගේ හීනයක්.

ශ්‍රී ලංකාවේ දේවල් ගැන අපේම රටේ අයටවත් උනන්දුවක් නැති අතරේ මේ වගේ දිරිමත් කාන්තාවක් අපේ රටේ කෑම ලෝකයට ගෙනියන්න උත්සාහ කරන එක ගැන අපි හදවතින්ම සතුටු වෙන්න ඕන. සංචාරකයන් බොහෝ දෙනෙක්ට දැන් ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් විදිහට පෙනෙන්න පටන් අරන් තියෙන්නේ. Roar එකේ අපිත් නිතරම සිංහල භාෂාව අන්තර්ජාලය තුල භාවිතය වැඩි කරන්න උත්සාහ ගන්නේ අපේ රටට හිමි වන පිළිගැනීම වැඩි කර ගන්න. ඒ කාර්යයේම කොටසක් ඉටු කරන එමිලි ඩොබ්ස්ට සුභ පතන්න ලාංකීය අපි කවුරුත් එකතු වෙන්න අවශ්‍යයි.

Pork belly, duck egg hopper, curd & lime #popup #egghopper #weligama

A post shared by EMILY DOBBS (@weligama_ldn) on

ඔබටත් පුළුවන් එමිලිගේ වෙබ් අඩවියට, ඇයගේ පුංචි ආප්ප කඩයේ ෆේස්බුක් පිටුවට හෝ ඇගේ ආහාර පාන වල පින්තුර පිරුණු ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට ගිහින් මේ ගැන තවත් විස්තර දැන ගන්න. ළඟදී එංගලන්තයට යනවා නම් හරි, දැනට යුරෝපයේ ඒ ආසන්න ප්‍රදේශයක ඉන්නවා නම් හරි ලන්ඩන් යන වෙලාවක ලන්ඩන් වල “ඩෘයිඩ් ස්ට්‍රීට් මාර්කට්” (Druid Street Market) එකේ තියෙන ඇයගේ වැලිගම ආප්ප කඩයට ගොඩ වෙලා බලන්නත් අමතක කරන්න එපා. අපේ රට වෙනුවෙන් වැදගත් උපකාරයක් කරන එමිලිගේ පුංචි ආප්ප කඩය ගැන දන්න හැමෝම දැනුවත් කරන්න කියලත් අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. කවදා හරි සිලෝන් ටී (Ceylon Tea) තරම්ම ශ්‍රී ලංකන් හොපර්සුත් (Sri Lankan Hoppers) ලෝකය පුරා ජනප්‍රිය වුණොත් කාටද ආඩම්බර?

Related Articles