Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව තරුණ උන්මාදයක් වූ ‘හිපි’ සංස්කෘතිය

ලොව කලින් කල විවිධ උපසංස්කෘතීන් පහළ වේ. පවතින සංස්කෘතික රාමුවෙන් පිට, සංස්කෘතික වටිනාකම්වලට වෙනස්ව ගොඩනැගෙන මෙම උපසංස්කෘතීන් පවතින සංස්කෘතියට විවිධත්වයෙන් යුතු දේ එක් කරනු ලබන අතරම සංස්කෘතියෙහි නවීකරණයටද බලපෑම් එල්ල කරයි. එමෙන්ම පවතින සංස්කෘතික සමාජයට  බලපාන අහිතකර දේවල්ද ඒ අතර නැතුවා නොවෙයි.

‘හිපි’ නමැති උප සංස්කෘතිය ද බටහිර යුරෝපා රටවලින් ඇරඹී, පසුව සමස්තයක් ලෙස ලොව පුරා බොහෝ සංස්කෘතීන් වලට යම් අන්දමක හෝ බලපෑමක් එල්ල කරන ලද උපසංස්කෘතියකි. හිපියන් යනු කවුරුන් ද, එවැනි උපසංස්කෘතියක් බිහි වූයේ කෙසේ ද, ජනප්‍රිය සමාජය එය ආක්‍රමණය කළේ කෙසේ ද සහ හිපි සංස්කෘතියෙහි බිඳවැටීම පිළිබඳවත් මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණ වේ.

 

i.pinimg.com

 

හිපි සංස්කෘතියේ ආරම්භය

“හිපි” යනුවෙන් හැඳින්වෙන උපසංස්කෘතිය 1960, 1970 දශකවල ප්‍රධාන ඇමෙරිකන් සංස්කෘතියට එරෙහි තරුණ ව්‍යාපාරයක් ලෙස එක්සත් ජනපදයේ දී බිහි විය. මුලින්ම මෙම ව්‍යාපාරය එක්සත් ජනපදයේ පාසල්වල සහ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වූ අතර එය කැනඩාව, බ්‍රිතාන්‍යය වැනි අනෙක් රටවල ද පැතිර ගියේ වසංගතයක් මෙනි. යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මෙක්සිකෝව, හා බ්‍රසීලය වැනි රටවලත්, ආසියාතික රටක් වූ ජපානය තුලත් පවා තරුණ තරුණියන් මෙම උපසංස්කෘතියට ආකර්ෂණය විය. සංගීතය, සාහිත්‍යය, නාට්‍ය කලාව, ඇඳුම් විලාසිතා, දෘශ්‍ය කලාවන් වූ චිත්‍රපටි, රොක් සංගීත සන්දර්ශන පිළිබඳ කියැවෙන පෝස්ටර් හා බැනර් ආදිය හරහා හිපි සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. 1967 වන විට එක්සත් ජනපද ජනගහණයෙන් 0.2% ක් හිපි සංස්කෘතිය නියෝජනය කරන්නන් බවට පත්ව සිටියේ ය.

හිපි යන්නෙහි තේරුම

Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ඇමෙරිකානු කතුවරයකු ලෙස කටයුතු කළ ඩේසි ශේයිද්ලොවර් පවසන්නේ ‘හිප්ස්’ සහ ‘හිපි’ යන වචන දෙකම බිඳී ආවේ ‘හිප්ස්ටර්’ යන වදනින් බව ය. හිප් යන්නේ අරුත උකුළ හෝ ඇටය වන අතර එම වචනයේ බිහිවීම කොයි ආකාරයෙන් සිදුවී ද යන්න පිළිබඳව වාග් විද්‍යාඥයින් සතුව පැහැදිලි අදහසක් නැත.

i.pinimg.com

ඉනෙන් පහළට එල්ලෙන ඇඳුමට 1940 දී හිප්ස්ටර් යන නම ලබා දුන්නේ හැරී ගිබ්සන් විසිනි. හිප් යන වචනය 1960 දශකය මුල් භාගයේ දී භාවිතයට ගත් අතර එය ඉතා පැහැදිලි අරුතක් සපයන වචනයක් ලෙස මුද්‍රිත මාධ්‍යයට පැමිණියේ 1965 සැප්තැම්බර් 5දා ‘A New Heaven for Beatnik’ යන ලිපියෙනි. එම ලිපිය සැන් ෆ්‍රැන්සිස්කෝ හි මාධ්‍යවේදියෙකු වූ Michael Fallon විසින් ලියා තිබිණි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ මෙම ලිපියෙන් විස්තර කෙරුණේ Fourth Beach සිට Ashburry දිස්ත්‍රික්කයට පැමිණ සිටි Beatnik නව පරම්පරාව පිළිබඳව ය. එම පරපුර හැඳින්වීම සඳහා මයිකල් හිපි යන වචනය යොදාගෙන තිබිණ.

සමහර ඉතිහාසඥයන් තර්ක කරන්නේ සාමාන්‍ය සමාජයේ ජීවන රටාවට ප්‍රතිවිරුද්ධ ආකාරයට දිවි ගෙවූ අය ඉපැරණි ග්‍රීක සමාජයේ පවා සිටියා කියා ය. සිනොපෙහි දියෝජීනිස් හා සිනික්ස් හිපි සංස්කෘතියේ ප්‍රථම අවධිය නියෝජනය කළ අය බව ඔවුන්ගේ අදහස වෙයි. හිපි දර්ශනය යේසුස් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, මැස්ඩක්, අසිසිහි ශාන්ත ෆ්‍රෑන්සිස්, හෙන්රි ඩේවිඩ් කොරියෝ, සහ මහත්මා ගාන්ධි වැනි අයගේ ඉගැන්වීම් හා දර්ශනයන්ගෙන් යම් තරමක පෝෂණයක් ලබා තිබේ.

i.pinimg.com

හිපි සංස්කෘතියෙහි විශේෂතා

බිට්නික්ස් පරම්පරාවේ අය සාමාන්‍ය යැයි පිළිගන්නා දිවි පෙවතට විරුද්ධ ජීවන රටා සහ ප්‍රතිසංස්කෘති පවත්වාගෙන ගිය අය වූහ. මොවුන් කුඩා කණ්ඩායම් සහ ප්‍රජාවන් ගොඩනඟාගත් අතර වේගවත් සංගීතයට ඇහුම්කන් දෙමින් ලිංගික විප්ලවයකට සැරසෙමින් චිත්ත සමාධිය උදෙසා මරිජුවානා සහ LSD වැනි මත්ද්‍රව්‍ය භාවිතා කළ අය වූහ.

1896 සහ 1908 අතර කාලයේ ප්‍රතිවිරුද්ධ සංස්කෘතියක් ලෙස සංවිධානය වූ තරුණ කල්ලියක් ජර්මනිය යන සංගීතය කේන්ද්‍ර කරගෙන විවිධ සමාජ හා සංස්කෘතික සංගම් බිහි කළේ ය. ‘ඩයර් වොන්ඩර් වොගෙල්’ නැතහොත් සංක්‍රමණික පක්ෂියා යන අරුතෙන් හැඳින්වුණ මෙම සමාජ ආධුනික සංගීතයට, ගායනයට, නිර්මාණයන්ට, කඳු නැගීමට, හා කඳවුරු පවත්වාගෙන යාමට මූලිකව කටයුතු කරනු ලැබීය. ෆ්‍රෙඩ්රික් නීට්ෂේ, ගොතේ, හර්මන් හෙසර්, එඩුවාර්ඩ් බෝල්ට්සර් වැනි අයගේ නිර්මාණ වලින් ප්‍රබෝධයක් ලබාගත්, පැවති සමාජ සම්මතයන් ප්‍රතික්ෂේප කළ දහස් ගණන් ජර්මන් තරුණයෝ මෙම සංගම් හා කල්ලි වලට එක්ව සෙවූයේ ආධ්‍යාත්මික සාමයකි. විසිවැනි සියවසේ මුල් දශකයන්හි ඇමරිකාවට සංක්‍රමණය වූ ජර්මන් තරුණයෝ වොන්ඩර් වොගේල්ගේ වටිනාකම් තමන් සමග එරට ගෙන ගියහ. ඒ සමහර අය ඇමරිකාවේ සෞඛ්‍ය සම්පන්න සැහැල්ලු ආහාර අලෙවි කරන අවන්හල් ඇරඹුවෝ ය. මේ නව සංක්‍රමණිකයන්ගේ ප්‍රතිසංස්කෘතික කටයුතු ඇදහීම් ආදිය ඇමරිකානු යෞවනයේ සිත් පැහැර ගන්නට සමත් විය.

all-that-is-interesting.com

එක් කණ්ඩායමක් තමන් ‘ස්වභාවධර්මයේ තරුණයින්’ ලෙස හඳුන්වා ගනිමින් කැලිෆෝනියා කාන්තාරයෙන් කාබනික ආහාර සපයා ගන්නටත්, ස්වභාව ධර්මයට ඉතා සමීපව දිවි ගෙවන්නටත් පටන්ගත්හ. ගීත රචක ඒඩ්න් අන්බෙස් ලියූ ‘Nature Boy’ ගීතය Gypsies කණ්ඩායම ගායන කළ අතර එය ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. ඉන් කියැවුණේ අධ්‍යාත්මික සාමය, යෝග ව්‍යායාම, සහ රසායනික පොහොර නොයෙදූ කාබනික ආහාර වර්ග ආදියෙහි වටිනාකමයි.

වොන්ඩර් වොගෙල් හා සමාන තරුණ කල්ලි බිහි වීම එක්සත් ජනපදයේ ද ආරම්භ විය. මේවාට එක්ව සිටියේ වයස අවුරුදු 15ත් 25ත් අතර තරුණ තරුණියන්ය. නව වාමාංශිකය, ඇමරිකානු සිවිල් අයිතීන් සඳහා වූ සංවිධානය මෙන්ම හිපි ව්‍යාපාරය ද 1960 දශකයේ ඇමරිකාවෙ ප්‍රබලතම ප්‍රතිසංස්කෘතික කණ්ඩායම් වූහ.

ස්ථාපිත ආයතන මධ්‍යම පාන්තික ජීවන රටාවන්, න්‍යෂ්ටික අවි, හා වියට්නාම යුද්ධය හිපියන්ගේ නිර්දය විචාරයට ලක් විය. නැගෙනහිර දර්ශනයන් අගය කළ ඔවුහු නිදහස් ලිංගික ජීවිතය ප්‍රිය කළහ. ඔවුන් මස් මාංශයෙන් තොරව, ස්වභාව ධර්මයට සමීපව ජීවත්වීමට ප්‍රිය කළ අතර විකල්ප කලා මාධ්‍යයන් ද ඔවුන් වෙතින් බිහි වන්නට පටන් ගැනුණි. වීදි නාට්‍ය, ජන සංගීතය ආදියට නැඹුරු වූ ඔවුන් මූලික වශයෙන් අගය කළේ සාමය, ආදරය, සහ පෞද්ගලික නිදහස යන කාරණායි.

ලිංගිකත්වය

spark.adobe.com

ලිංගිකත්වයට හිපි සංස්කෘතියේ තිබුණේ අසීමිත නිදහසකි. එහිදී කිසිම හිපියකු එකම ලිංගික සහයකයකු හෝ සහායිකාවක මත යැපුනේ නැත. ‘ලිංගික විප්ලවය’ යනුවෙන් අර්ථ දක්වමින් හිපියන් කීවේ තමන්ට ඕනෑම අයකු සමග ඕනෑම වෙලාවක ලිංගික කර්තව්‍යයේ දෙන්නට නිදහස තිබිය යුතුය කියායි. එම නිසා ඔවුන් විවාහය ගණනකට ගත්තේ නැත. මේ හරහා නීත්‍යානුකූල පියෙකු නොමැති පවුල් ඒකකයන්, දරුවන් බිහිවීම සමාජයට තර්ජනයක් බවට ද තර්ක ගොඩ නැඟිණි. බොහොමයක් හිපියන් අවිවාහකව ජීවත් වූහ. ඒ අතරතුර හිපියන් අතර සමලිංගිකත්වය, ද්විලිංගික සේවනය, මෙන්ම බහු ලිංගික සේවනය ද ප්‍රචලිතව තිබිණි

සංචාර

දේශීය හා විදේශීය සංචාරකයන් ද හිපි සංස්කෘතිය ප්‍රබල අංගයක් වූයේ ය. මිත්‍රත්වය වැඩි කරගැනීම පිණිස ඔවුහු විවිධ ප්‍රදේශවල සංචාර කළහ. අත්‍යවශ්‍යම දේ පමණක් ඔවුන්ගේ සැහැල්ලු ගමන් මලු වලට එකතු විය. එඬේර ජීවිතයන්ට සමානව තැනින් තැනට ගමන් කරමින් සමහර හිපියන් ජීවත්වූහ. සමහර අය ඒ සඳහා භාවිත කළේ කැරවෑන්ය. ප්‍රවාහනය සඳහා භාවිත කළ මෝටර් සයිකල්, මෝටර් රථ, වෑන්, හෝ බස් රථ සාමාන්‍යය ඒවාට වඩා වෙනස් ආකාරයෙන් පෙනෙන පරිදි ඔවුහු ඒවාට විවිධ වෙනස්කම් එකතු කළහ. විශේෂයෙන්ම විවිධ දීප්තිමත් පැහැ තීන්ත වර්ග වලින් ඒවා ආලේප කරන ලදී.

1969 අගෝස්තු 15 සිට 18 දක්වා නිව්යෝර්ක් හි පැවැති වූඩ්ස්ටොක් උත්සවයට මෙවැනි වාහන වලින් පැමිණි සංඛ්‍යාව 500000 ඉක්මවූ බව පැවසේ. නවාතැන් ගැනීමේ පහසුකම් සහිත වාහන ඇතුළත යහන්, වැසිකිලි මෙන්ම, ආහාර පිසීමේ පහසුකම් ද තිබිණි.

cdn.groovyhistory.com

1969 සහ 1971 කාලය ඇතුලත ඉන්දීය ගොඩබිම් මාර්ග ඔස්සේ හිපියන් ලක්ෂ ගණනින් එක්ව පැමිණි සංචාරය වඩාත් ප්‍රකටය. ඔවුන්ගේ ගමන් මලු ඉතා සැහැල්ලු ඒවා වූයේ ය. අත තබාගත් මුදල් ප්‍රමාණය ඉතා සීමිත වූ අතර වරින්වර ඔවුන් කණ්ඩායම් වශයෙන් පැමිණියේ එකම මාර්ගයක් ඔස්සේ ය. යුරෝපයේ සිට ඇතැන්ස් බලාත්, එහි සිට ඉස්තාන්බුල් දක්වා පැමිණි ඔවුන් මධ්‍යම තුර්කියේ දී දුම්රියට නැගී එර්සුරුම් හරහා ඉරානයට පැමිණ, ඉරානයේ ටෙහෙරාන් සිට මෂාඩ් දක්වා බස් රථයෙන් පැමිණ තිබිණි. පසුව ඇෆ්ගනිස්ථාන දේශසීමා හරහා කන්දහාර්, කාබුල් වෙත ද, ඊළඟට කයිබර් දුර්ගය හරහා පාකිස්තානයට පැමිණ තිබූ ඔවුහු රාවල්පිණ්ඩි සහ ලාහෝර් හරහා ඉන්දියාවට ළඟා වූහ. ඉන්දියාවේ දී විවිධ දිශාවන්ට බෙදී ගිය හිපියන් වැඩි පිරිසක් පැමිණ තිබුණේ ගෝවේ මුහුදු වෙරළටය. තවත් අය නේපාලයට ගොස් කත්මණ්ඩුවල මාස ගණනක් ජීවත් වී තිබිණි.

දේශපාලනය

හිපියන් දේශපාලනමය කාරණා සඳහා ද බලපෑම් එල්ල කළ අතර ඔවුන් එසේ කළේ ඉතාමත් සාමකාමී ආකාරයෙනි. වියට්නාම් යුද්ධයට එරෙහිව අයිතිවාසිකම් උදෙසා ඔවුහු නිහඬ සාමකාමී පා ගමන් වල යෙදුණහ. හිපියන්ගේ ප්‍රධානතම දේශපාලන දර්ශනය වූයේ සාමයයි. ඔවුහු යුද්ධය හා ප්‍රචණ්ඩත්වය පිළිකෙව් කළහ. පසුකලෙක ඇමරිකාවේ හා ඉන්දියාවේ ඇති වූ ‘හරේ රාමා – හරේ ක්‍රිෂ්ණා’ වැනි සංවිධාන ද හිපියන්ගේ ආභාෂය ලබාගත් ඒවා වෙයි.

අද බහුලව භාවිත කරන සාමයේ සංකේතය බ්‍රිතාන්‍යයෙන් බිහිවූයේ න්‍යෂ්ටික අවි සඳහා විරෝධය පාමින් 60 දශකයේදී හිපියෝ එය ඇමරිකාවේ දී යුද විරෝධී කටයුතු සඳහා පාවිච්චි කළහ.

සිනමාව

හිපි ජීවන රටාවන් මූලික කරගෙන හොලිවුඩයෙන් සිනමාපට කිහිපයක්ම බිහිවිය. Woodstock, Easy Rider, Hair, The Doers, Across the Universe එම චිත්‍රපට අතර වෙයි.

ජනප්‍රිය සමාජය තදින් වැළඳගත් හිපි සංස්කෘතිය ‘80 දශකය වන විට ගරා වැටෙමින් තිබිණි. ඒ වෙනුවට හිපි සංස්කෘතියේ ලක්ෂණ ප්‍රධාන සමාජයට ද කාන්දු වෙමින් නව සමාජ ප්‍රවණතා ඉස්මතු වන්නට විය. හිපියන්ගේ අවසානය සහ ඔවුන්ගේ නව මුහුණුවර පිළිබඳව ඉදිරියේදී දැනගනිමු.

Cover Image – encrypted-tbn0.gstatic.com

මූලාශ්‍ර :

britannica.com

all-that-is-interesting.com

මුතුහර සඟරාව

Related Articles