Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවෙස් තුළ රැඳී, සුව පැතුම් බෝ කරමු

2020 මුල් භාගයේ සිටම වරින් වර හිස එසවූ කොවිඩ්-19 වෛරසය දැන් තෙවන රැල්ලක් ලෙස නැවතත් ලාංකික ජන ජීවිතයට බලපෑම් එල්ලකොට තිබෙනවා. වෛරසයේ පැතිරීම සමග අතීතයේ මතකය රැකගත් වයෝවෘද්ධ වැඩිහිටියන්, අනාගතයේ ගැබ දරාගත් මව්වරුන්, සහ අනෙකුත් ප්‍රතිශක්ති ඌණතා ඇති අයත් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක් වෙනවා. ඒ අතරේ, දේශයේ බුද්ධිමය සේනාව වූ දරුවන් ද අධ්‍යාපනය ලැබීමට නොහැකිව සිටිනවා සේම, වෛරසයේ පැතිරීම වළකන්නට සංචරණ සීමා පැණවීමත් සමග ආර්ථික අවදානමට ලකවන විශාල පිරිසකුත් සිටිනවා.

මේ සෑම පාර්ශවයක්ම පීඩාවට ලක්වීම වළක්වන්නට නම්, අපේ දේශයේ හැම හුස්මක්ම රැක ගන්නට නම්, අපි සෑම කෙනෙකුටම ඒ වෙනුවෙන් විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම සනීපාරක්ෂාව පවත්වා ගනිමින්, මුඛ ආවරණ පැළඳ, නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසේම රැඳී; ජාතිය මේ උවදුරෙන් මුදවා ගැනීම සඳහා සුව පැතුම් බෝ කරමු!

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු

indiatimes.com

මුහුණු ආවරණ 2ක් පැළඳීම, මීටර් 2ක දුරස්ථභාවය පවත්වා ගැනීම, බාහිර වස්තූන් ස්පර්ශ කළ සෑම අවස්ථාවක දීම නිරන්තරයෙන් දෑත් සේදීම, දෑත් සෝදන තෙක් මුහුණ නොඅල්ලා සිටීම ආදී බොහෝ සෞඛ්‍ය පිළිවෙත් ගැන ඔබ දැනටමත් දැනුවත් බවට සැකයක් නොමැතියි. අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගෙන ඒමට නිවසින් බැහැර වෙනවා නම් මෙඩිකල් මාස්ක් පැළඳීමට, සනීපාරක්ෂක දියර ළඟ තබා ගැනීමට, සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නටත් අමතක කරන්න එපා.

ඔබ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව දැනගතහොත් ඒබව නොසඟවා PHI වෙත දැනුම් දී, ඔවුන් ලබාදෙන උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට යොමු වන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ආකාරයට, ගොඩනැගිලි වැනි ආවරණය වූ ස්ථානවලට වඩා වාතාශ්‍රය හොඳින් ලැබෙන ස්ථාන වඩාත් ආරක්ෂිත වන අතර, ආසාදිතයන් පවා පවුලේ අයගෙන් වෙන්වූ කාමරයක ජනෙල් හැර නිරෝධායනය වීම වැදගත්. හුස්ම ගැනීමේ අපහසුතා, කථා කිරීමේ හා චලනය වීමේ අපහසුතා, සහ පපුව සම්බන්ධ අපහසුතා ගැන පවුලේ සෑම කෙනෙක්ම සැලකිලිමත් වෙන්න.

ඔබ ආසාදිතයකු බවට පත්ව රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම PHI වෙත දැනුම් දී රෝහල්ගත වීමට කටයුතු කරන්න.

අසත්‍ය පුවත්වලට වැට බඳිමු

track2media.com

වෛරසය වගේම ඉතාම වේගයෙන් අසත්‍ය පුවත් හා මිථ්‍යා මත සමාජ ජාල ඔස්සේත්, කටකතා වශයෙනුත් පැතිරෙනු දකින්නට ලැබෙනවා. ජනවර්ගය අනුව කොරෝනා පැතිරීමේ වෙනස්කම් ඇති බවට මුල් කාලීනව පැතිරුණු මතයක් නිසා ජාතිවාදය පවා හිස ඔසවන්නට වුණා. නොදැනුවත්කම, සහ පුවතක් share කරන්නට පෙර සත්‍ය අසත්‍යතාවය සොයා නොබැලීම මෙයට බෙහෙවින් හේතු වෙනවා. එනිසා අන්තර්ජාල ප්‍රවෘත්ති පිළිගන්නට පෙර විමසා බලමු.

එකිනෙකාට සමානව සලකමු

aarp.net

සෞඛ්‍යය සහ ආර්ථිකය ගැන හිතනවා වගේම, මානසික සෞඛ්‍යයත් යහපත් මට්ටමක පවත්වා ගන්නට අපි එකමුතුව කටයුතු කළ යුතු වෙනවා. ස්වයං නිරෝධායනය වන පවුලක් හෝ, රෝගීව සිට නැවත නිවසට පැමිණි අයෙකු ඔබේ අසල්වාසියක සිටිනවා නම්, ඔවුන් වෙනකොට සලකමින් මානසික පීඩාවට ලක් කිරීමෙන් වළකින්න.

නිරෝධායන කාලය තුළ අදාල නිවසට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය සපයා දෙන්නට හැකියාව තිබෙනවා නම් ඒ බව දුරකථනයෙන් දැනුම් දී, ඔවුන්ගේ ගේට්ටුව අසල/දොරකඩ එම භාණ්ඩ ආරක්ෂිතව තබා යන්න. නිරෝධායනය අවසන් වී, ඔවුන් තවදුරටත් රෝග වාහකයන් නොවන බවට සෞඛ්‍ය අංශ තහවුරු කළ පසුව ද සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු තබාගත යුතු වෙනවා. එනමුත් අනියත බියකින් ඔවුන්ව පහත්කොට හෝ වෙන්කොට සැලකීමක් නොකර, කාරුණිකව කටයුතු කරන්න. ඔබ ද රෝගී විය හැකිබව, අසල්වැසියන්ගේ උපකාර අවශ්‍ය වනු ඇතිබව මතක තබාගන්න.

නව මිථ්‍යා මත පැතිරීම වළකමු

vecteezy.com

මේ දිනවල සෞඛ්‍ය අංශ විසින් තහවුරු නොකෙරුණු ඖෂධීය ගුණ සහිත පාන වර්ග ගැන, එන්නත් ලබා ගැනීම භයානක බවට පළවන මතවාද, මාස්ක් නොපිට දැමීමෙන් තමා ආසාදිතයකු නොවේයැ යි පෙන්විය හැකිය යන්න වැනි පදනම් විරහිත ප්‍රකාශ පැතිරෙනවා. එසේම, හුමාලය ඇල්ලීමෙන් රෝගය වැළඳීමට වැට බැඳෙන්නේ හෝ රෝගය සුව වන්නේ නැති අතර, රෝගයෙන් ඇතිකරන යම් යම් අපහසුතාවන්ට පමණක් සහනයක් ලබාදෙනවා. මෙවන් තවත් දෑ ගැන දැනගන්න නව කොරෝනාවෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද? ලිපියේ ‘හිතට වධ දෙන ප්‍රශ්න’ යන කොටස බලන්න. 

සෙනෙහසේ පණිවිඩය හැම හදකටම ගෙන යමු

youtube/Dialog

නිවසේම කාලය ගත කිරීම අපට “එපා වෙන වැඩක්”. නමුත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන්ට අවිවේකීව සේවයේ නියුතු වීමට සිදු වෙනවා. විශේෂයෙන් ආර්ථික පීඩාවන් ඇතිවීම, සහ රැකියාව නිවසට පැමිණීමෙන් විවේකය සහ රැකියාව අතර පවතින වෙනස අඩුවෙන් දැනීමත් නිසා මානසික පීඩාවන් වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩියි.

ඒ නිසා පවුලේ අය අතර හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගනිමින්, අසල්වැසියන් සහ මුළු දේශයම සමග හදවතින් පෙළ ගැසෙමින්, රට වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු වගකීම ඉටු කරමින් මේ සංග්‍රාමය ජය ගන්නට අපි එක්ව පෙළගැසෙමු!

Related Articles