Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිපුර ගත්තොත් වැඩ වරදින “පැරසිටමෝල්”

“පැරසිටමෝල්” එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී  ඉතා හුරුපුරුදු, ඉතා සමීප, වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව පවා භාවිතයට ගැනෙන මට්ටමට සමාජ ගත වී ඇති ඖෂධයක් ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවේ ඕනෑම ඖෂධාලයකින් හෝ සාමාන්‍ය වෙළඳසැලකින් පවා පැරසිටමෝල් ඉතා පහසු මිලට මිල දී ගැනීමේ හැකියාව පවතී. සාමාන්‍යයෙන් නිර්දේශිත මාත්‍රාව ඉතා හොඳින් අනුගමනය කරමින් පැරසිටමෝල් භාවිතයට ගැනීම සෞඛ්‍යාරක්ෂිත වුණත්, දැනුවත්ව හෝ නොදැනුවත්භාවය නිසා පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත වීම, කෙටිකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් අහිතකර බලපෑම් විශාල සංඛ්‍යාවක් ඇති කරනු ලබයි. 

පැරසිටමෝල් භාවිතය මඟින් ශරීරයට සිදුවන හානි ක්ෂණිකව දැකගැනීමට හෝ විඳ ගැනීමට නොහැකි බැවින්, බොහෝ දෙනා මෙය වේදනා නාශකයක් ලෙසත් උණ වැනි රෝග තත්ත්වයන්හි දී ශරීර උෂ්ණත්වය පහළ හෙලීමටත් මාත්‍රාව පිළිබඳ මනා සැලකිල්ලක් නොදක්වමින් භාවිතයට ගනු ලබනවා. මෙවැනි තත්ත්වයක දී නොදැනුවත්භාවය නිසා පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත විය හැකියි. මීට අමතරව ඇතැම් පිරිස් දැනුවත්භාවය සහිතව ජීවිත හානි කර ගැනීමේ අරමුණින් ද පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගනු ලබන අවස්ථා පවතිනවා. නමුත් පැරසිටමෝල් අධිමාත්‍රාවක් භාවිතය මඟින් ක්ෂණික ජීවිත හානියක් සිදු නොවන අතර, එය සංකූලතා සහිත අතුරු ආබාධ ඇතිකරන, ශාරීරික හා මානසික වශයෙන් පීඩාවට පත් කළ හැකි, ක්‍රමිකව මරණය ළඟා කළ හැකි ආකාරයේ ඖෂධයක්. 

මේ හේතූන් නිසා පැරසිටමෝල් භාවිතයේ දී දැනුවත්භාවයක් සහිතව නියමිත මාත්‍රාව අනුගමනය කරමින් භාවිතයට ගැනීම ඉතා වැදගත් වෙනවා. එමෙන්ම යම් හෙයකින් අධිමාත්‍රාවක් ශරීරගත වුවහොත්, ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් වී සිටීම අතිශය වැදගත් වෙනවා.

පැරසිටමෝල් ඔබට හානිකර වෙන්නෙ කොහොමද?

පැරසිටමෝල් පෙති, කරල්, හෝ පැණියක් වශයෙන් නිපදවෙන, මුඛය හරහා ශරීරගත කරනු ලබන ඖෂධයක්. එය වේදනා නාශකයක් ලෙසත්, උණ ගතිය පහළ හෙලීමත් ප්‍රමුඛ වශයෙන් සිදු කරනු ලබනවා. මෙම ක්‍රියාවලීන් ඉටු කළ පසු, පැරසිටමෝල් ශරීරයෙන් ඉවත් වීමට පෙර අක්‍රීය වීම සිදුවෙනවා. ලබාගත් ඖෂධ ප්‍රමාණයෙන් 20%ක් පමණ මහා අන්ත්‍රයේ බිත්ති මත ඊට අදාල ප්‍රතිකාර ක්‍රියාවලිය සිදු කරනු ලබන අතර, ඉතිරිය අක්මාවේ දී ක්‍රියාකාරී වෙනවා. මෙම ඖෂධය බිඳෙන විට සාදන අතුරුඵල අක්මාවට අහිතකර නමුත් ඒවා ක්‍රියාකාරී වීමට ප්‍රථම, අක්මාවේ ගබඩා කර ඇති ග්ලූටැතියොන් නම් ප්‍රතිඔක්සිකාරක සංයෝගය මඟින්  ඖෂධයේ එම අතුරුඵල උදාසීන බවට පත් කරනු ලබනවා. 

  • පැරසිටමෝල් මිලිග්‍රෑම් 150 හෝ ඊට අඩු – හානිකර නොවේ (නමුත් වයස, වෙනත් රෝගාබාධ හා ලබා ගන්නා ලද අනෙකුත් ඖෂධ මොනවාද යන කාරණාව මත හානිකර විය හැකියි).
  • පැරසිටමෝල් මිලිග්‍රෑම් 250 හෝ ඊට වැඩි – හානිකර විය හැකියි
ශරීරය තුළ දී ග්ලූටැතියොන් ක්‍රියාත්මක වන ආකාරය (Verywell / Alexandra Gordon)

ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගතවීමේ දී, එම ඖෂධ මඟින් අක්මාව තුළ ඒකරාශී කරවන අහිතකර අතුරුඵල උදාසීන කිරීමට ප්‍රමාණවත් ග්ලූටැතියොන් අක්මාව තුළ නිපදවීමක් සිදුනොවේ. එවැනි වටපිටාවක් තුළ ඖෂධ අධිමාත්‍රාව නිසා අක්මාව තුළ එක්රැස් වූ විෂ ක්‍රියාකාරී වීම ආරම්භ වී, අක්මාවට හානි කිරීම ආරම්භ කරනවා. 

පැරසිටමෝල් අධිමාත්‍රණය නිසා, අක්මාව ක්‍රමිකව අක්‍රීය වීම දින ගණනක් තුළ දී ආරම්භ වෙනවා. නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවුනහොත්, අක්මාව අක්‍රීය වීම, මරණයෙන් පවා කෙළවර විය හැකි යි. සාමාන්‍යයෙන් එක් වර්ෂයක් තුළ ලොව පුරා මිනිසුන් 150කට අධික සංඛ්‍යාවක් පැරසිටමෝල් අධිමාත්‍රණය නිසා මරණයට පත් වන බව සඳහන් වෙනවා.

යම් කෙනෙක් ඖෂධ අධිමාත්‍රාවක් භාවිත කරන්නෙ ඇයි?

ඖෂධ අධිමාත්‍රාවක් භාවිතයට ගැනීම විවිධ හේතු කාරණා ගණනාවක් නිසා සිදුවිය හැකි යි. එහි ප්‍රතිඵලය ලෙස අයෙකුගේ ජීවිතය අහිමි වීම හෝ අදාල පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයට බරපතල හානි සිදුවිය හැකි යි. මීට අමතරව නොදැනුවත්භාවය නිසා, උදාහරණයක් ලෙස කුඩා ළදරුවෙකු අතින් හෝ පෙනීම අඩු වයෝවෘධ පුද්ගලයෙකු අතින්, ඖෂධ අධිමාත්‍රයක් ශරීරගත වීම සිදුවීමේ හැකියාව පවතිනවා. බොහෝ අවස්ථාවවල ඖෂධ අධිමාත්‍රණය තත්කාලීන පෞද්ගලික කරුණු කාරණා පදනම් කර ගනිමින් පුද්ගලානුබද්ධව සිදුවිය හැකි නමුත්, ඇතැමුන් පූර්ව සූදානමක් ඇතිව ඖෂධ අධිමාත්‍රාවක් භාවිතයට ගනු ලබන අවස්ථාව ද පවතිනවා. බොහෝවිට එවැනි පූර්ව සූදානමක් ඇති පිරිස් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර වශයෙන්, හෝ වෙනත් කාරණාවක් පෙරදැරිව තමා ළඟ ඖෂධ යම් ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටින පිරිස්, අවසන් කැමැත්ත ලියා ඇති පිරිස්, හෝ සියදිවි නසා ගැනීම සඳහා ලිපි ලියා තබන වැනි ආකාරයේ පිරිස් බව හඳුනාගත හැකි යි. එමෙන්ම ඇතැමෙක්, වේදනාව සමනය කර ගැනීම සඳහා ද නියමිත මාත්‍රාවෙන් පිට දින කිහිපයක් පුරා පැරසිටමෝල් අධිමාත්‍රා ලබා ගැනීම සිදු කරනු ලබනවා. ඔවුන් තුළ සියදිවි නසා ගැනීමේ චේතනාවක් නොපවතින අතර, පැරසිටමෝල් අධිමාත්‍රා භාවිතයට ගැනීම තම ශරීරයට අහිතකර බව, වෙනත් අතුරු ආබාධයක් හට ගන්නා තෙක් හඳුනා නොගනී. තව ද, ඇතැමුන් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙමින් හෝ ආහාර ගැනීමේ අක්‍රමවත් රටා සහිතව හිඳ පැරසිටමෝල් භාවිතයට ගැනීම තුළින් ද, මත්ද්‍රව්‍ය භාවිතය නිසා අක්මාවේ රෝග හටගත් පිරිස් පැරසිටමෝල් භාවිතයට ගැනීම තුළින් ද අක්මාව අක්‍රීය වීමේ ආබාධවලට මුහුණ දෙනු ලබයි. 

පැරසිටමෝල් බහුලව සහ පහසුවෙන් මිල දී ගැනීමට හැකි වීමත්, ඕනෑම කඩ සාප්පුවක මෙන්ම නිවෙස් තුළ දී පවා පහසුවෙන් සපයා ගැනීමට හැකි වීමත් නිසා මෙම අධිමාත්‍රණය සිදුවීමට බහුලව බලපා තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රමවත් නියාමනයක් මඟින් මෙම තත්ත්වය පාලනය කිරීමේ හැකියාව ද පවතිනවා.

කුඩා ළදරුවෙකු අතින් හෝ පෙනීම අඩු වයෝවෘධ පුද්ගලයෙකු අතින් ඖෂධ අධිමාත්‍රයක් ශරීරගත වීම සිදු වීමේ හැකියාව පවතිනවා.(firstaidforlife)

පැරසිටමෝල් අධිමාත්‍රණයක දී දැකගත හැකි රෝග ලක්ෂණ මොනව ද?

බොහෝ විට පළමු දිනය ඇතුළත සැලකිය යුතු මට්ටමේ රෝග ලක්ෂණ පහළ නොවිය හැකි යි. මේ කාලය තුළ ශරීරය තුළ යම් අසනීප තත්ත්වයක් පවතින බව හැඟී යා හැකි යි. එමෙන්ම වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ හැකියාව ද පවතී. නමුත් පැය 24ක් ගත වූ පසු දකුණු ඉළ ප්‍රදේශය තුළ යම් වේදනාකාරී බවක් ඇති වීමට ඉඩකඩ පවතිනවා. ඊට හේතුව අක්මාව ඒ ආශ්‍රිතව පිහිටා තිබීම යි. තව ද, සම සහ ඇසේ සුදු පැහැති ප්‍රදේශය ක්‍රමයෙන් කහ පැහැයට හැරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මීට අමතරව ක්‍රමිකව බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ වෙනවා.

  • මොළයට බලපෑම් ඇතිවීම නිසා වික්ෂිප්තභාවය ඇති වීම හෝ සිහිමඳ ගතියක් ඇතිවිය හැකි යි.
  • වකුගඩු තුළට පෙරී යන මුත්‍රා ප්‍රමාණය අවප්‍රමාණය වීම සිදුවිය හැකි යි. එමෙන්ම වකුගඩු ක්‍රමයෙන් අක්‍රීය වීම ආරම්භ විය හැකි යි.
  • රුධිරගත සීනි ප්‍රමාණය අඩුවිය හැකි යි.
  • රුධිරය තුළ අම්ල නිෂ්පාදනය ආරම්භ වීම නිසා රෝගියාගේ ස්වසන ක්‍රියාවලිය වේගවත් වීම සිදුවිය හැකි යි.
  • සෑම අවස්ථාවක දීම නොවුණත්, ඇතැම් අවස්ථාවක දී විශාදය වැනි රෝගාබාධ මතු වීමේ ප්‍රවණතාවයක් පවතී.

යමෙක් ඖෂධ අධිමාත්‍රාවක් ලබාගෙන ඇති බව ඔබට වැටහුණහොත්, ඔහු හෝ ඇය වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එමෙන්ම ඔවුන් විසින් භාවිතයට ගත් ඖෂධ වර්ගයෙහි හිස් කවර ඇත්නම්, ඔබට එම ඖෂධය හඳුනා ගත හැකි වුවත්, වෛද්‍යවරුන්ගේ පහසුව සහ රෝගියාගේ ආරක්ෂාව තකා එම හිස් කවර රෝගියා සමගම වෛද්‍යවරුන් වෙත භාර කිරීම ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව සියදිවි නසා ගැනීමට ගත් උත්සාහය තහවුරු වන, රෝගියා විසින් ලියා තැබූ යම් සටහනක් වේ නම්, ඒවා ද වෛද්‍යවරුන්ගේ අවධානයට ලක් කිරීමෙන්, රෝගියාට අවශ්‍ය මානසික වෛද්‍ය ප්‍රතිකාර ඇත්නම් ඒ සඳහා යොමු කිරීමේ පහසුව ඇති  කරවනවා.

සෑම විටම වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඖෂධ නියමිත මාත්‍රාව පමණක් භාවිතයට ගන්න. (www.mja.com.au)

රෝහලක දී පැරසිටමෝල් විෂ වීම තක්සේරු කරන්නේ කොහොමද?

ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වී රෝහල් ගත කරන්නෙකුගෙන් හෝ, රෝගියාගේ ආසන්නතමයෙකුගෙන් වෛද්‍යවරුන් ප්‍රශ්න ගණනාවක් ඇසීමේ හැකියාව පවතිනවා. ඒ නිවැරැදි රෝග තක්සේරු කිරීමක් සිදුකිරීම සඳහා යි.

  • කෙතරම් ඖෂධ ප්‍රමාණයක් භාවිතය ගනු ලැබුවා ද?
  • අධිමාත්‍රණය සිදු වූ වේලාව කුමක් ද?
  • ලබාගත් ඖෂධය, පෙත්තක්, කරලක්, දියරයක් හෝ දිය කළ හැකි යමක් ද යන වග?
  • අදාල ඖෂධය සමඟ වෙනත් ඖෂධ ලබා ගැනීමක් සිදු කළා ද?
  • අදාල අවස්ථාවේ මධ්‍යසාර භාවිතයක් සිදු වී තිබුණා ද?
  • සියදිවි නසා ගැනීමට උත්සාහ දැරීමක් හෝ එවැනි දෙයක් තහවුරු වන සටහනක් හෝ වෙනත් කාරණාවක් පවතී ද?

මීට අමතරව රෝගියාගේ ශරීරය පරීක්ෂාව සහ වෙනත් අදාල වෛද්‍ය පර්යේෂණ සිදු කිරීම මඟින් නිවැරැදි තක්සේරු කිරීමක් කිරීමට වෛද්‍යවරුන් උත්සාහ ගනු ලබයි.

පැරසිටමෝල් අධිමාත්‍රණයක දී කිනම් ආකාරයේ වෛද්‍ය පරීක්ෂාවන් සිදු කරන්නේ ද?

පැරසිටමෝල් අධිමාත්‍රණය බොහෝ විට රුධිර සාම්පල පරීක්ෂා කිරීම් මඟින් හඳුනාගනු ලබනවා. නමුත් ඒ සඳහා ශරීරගත වී ඇති පැරසිටමෝල් මට්ටම නිශ්චිතවම හැඳින ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා වෛද්‍යවරුන් අනුගමනය කරනු ලබන ක්‍රමවේද කීපයක් පවතිනවා.

  • ලබා ගත් පැරසිටමෝල් ප්‍රමාණය එකවරම භාවිතයට ලබාගෙන ඇත්නම් – එකවර භාවිතය ගනු ලැබූ අවස්ථාවක දී, පැරසිටමෝල් ඖෂධය අධිමාත්‍රණයෙන් පැය හතරකට පසු පැරසිටමෝල් මට්ටම පරීක්ෂා කිරීම සිදු කරනු ලබන අතර, අධිමාත්‍රණය සිදු වූ අවස්ථාව නොදන්නා අවස්ථාවක හෝ පැය හතරකට වඩා ගත වී ඇත්නම්, වහාම සාම්පල පරීක්ෂාව සිදු කරනු ලබයි.
  • ලබා ගත් පැරසිටමෝල් ප්‍රමාණය පැය කිහිපයක් ඇතුළත හෝ දින ගණනම් ඇතුළත ලබාගෙන ඇත්නම් – මෙවැනි තත්ත්වයක් “අවධි අධිමාත්‍රණය” ලෙස හඳුන්වනු ලබන අතර වහාම පැරසිටමෝල් මට්ටම හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කරනු ලබයි. මෙහිදී පැරසිටමෝල් මට්ටමින් පෙන්නුම් කරනු ලබන්නේ රෝගියා පැරසිටමෝල් ලබාගෙන ඇති බව පමණ යි. පියවරෙන් පියවර අධිමාත්‍රණය වීම නිසා ස්ථිර පැරසිටමෝල් මට්ටමක් හඳුනා ගැනීම මෙහි දී අපහසු වේ.
ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ ජීවිත රැකීමට මිස ජීවිත නැසීමට නොවේ. (Chris Whissen & shutterstock.com)

පැරසිටමෝල් අධිමාත්‍රණයක් හඳුනා ගැනීමට සිදු කරනු ලබන පරීක්ෂණ මොනවා ද?

  • අක්මා ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂාව – අක්මාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂණ කිහිපයක් පැවැත්ම සිදුවිය හැකි යි. මූලික අදියරේ දී අක්මාව නිසි ආකාරයට ක්‍රියා කරන බව පෙන්නුම් කළත්, අධිමාත්‍රණයෙහි බලපෑම ආරම්භ වූ පසු අක්මා සෛල මරණයට පත් විම ආරම්භ වී අක්මාව අක්‍රීය වීම ආරම්භ විය හැකි යි. එම නිසා මෙලෙස වරින්වර අක්මා ක්‍රියාකාරීත්ව පරීක්ෂණ සිදු කරනු ලබයි.
  • රුධිරය කැටි ගැසීමට ගත වන කාලය පිළිබඳ පරීක්ෂාව – රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියේ දී අක්මාව ඉතා විශාල මෙහෙවරක් සිදු කරනු ලබ යි. මේ හේතුව නිසා රුධිරය කැටි ගැසීමට ගතවන කාලය මැනීම වරින් වර සිදු කිරීමට වෛද්‍යවරුන් හට සිදු වේ. ඒ අනුව රුධිරය කැටි ගැසීමට ගතවන කාලය ක්‍රමයෙන් වැඩි අගයක් ගනු ලබයි නම්, අධිමාත්‍රණය නිසා අක්මාවට හානි සිදුවී ඇති බව හඳුනාගත හැකි වේ.
  • වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂාව – රුධිර සාම්පල හරහා සිදු කරනු ලබන මෙම පරීක්ෂණ හරහා වකුගඩු වලට හානි වීමක් හෝ වකුගඩු අක්‍රීය වීමක් සිදු වෙමින් පවතී නම් එය හඳුනා ගැනීම සිදු කරනු ලබයි.
  • රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂාව – අක්මාව අක්‍රීය වීම නිසා රුධිරගත සීනි ප්‍රමාණය අවප්‍රමාණය වීම සිදුවිය හැකි යි. මේ හේතුව නිසා සෑම පැයකම පාහේ ඇඟිලිතුඩු හරහා ලබා ගන්නා රුධිර සාම්පල මඟින් රුධිරගත සීනි ප්‍රමාණය මැනීම සිදු කළ යුතු වෙනවා.
  • රුධිරගත අම්ල ප්‍රමාණය පිළිබඳ පරීක්ෂාව – මෙම පරීක්ෂාව බොහෝවිට අතෙහි මැණික් කටුව ආශ්‍රිතව හෘද ස්ඵන්දනය මනින ස්ථානයෙන් ලබා ගන්නා රුධිර සාම්පල පරීක්ෂා කීරිම මඟින් සිදු කරයි. මෙහි දී රුධිරගත අම්ල ප්‍රමාණය මැනීම සිදු කරනු ලබන අතර, රුධිරගත අම්ල ප්‍රමාණය ඉහළ අගයක් ගනී නම්, රෝගියා පැරසිටමෝල් අධිමාත්‍රණය නිසා රෝගී වීම ආරම්භ වන බව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කිරීම සිදු කළ හැකි වෙනවා.
නීරෝගී අක්මාවක් සහ හානි වූ අක්මාවක් (www.yourcareeverywhere.com)

පැරසිටමෝල් අධිමාත්‍රණයක දී ලබා දෙන ප්‍රතිකාර මොනවද?

වෛද්‍යවරුන් ඉතා ඉක්මනින් අදාල තක්සේරු කිරීම් සිදු කරන අතර, රෝගියා යම් ආකාරයට අස්ථාවර ස්වභාවයක සිටී නම්, එනම් අධි රුධිර පීඩනය වැනි අවස්ථාවල දී වහාම දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම ආරම්භ කරයි. ශරීරගත පැරසිටමෝල් ප්‍රමාණය නිශ්චය කිරීමෙන් අනතුරුව එය ප්‍රස්තාරයක් ආශ්‍රය කර ගනිමින් නිරීක්ෂණය කරනු ලබන අතර, ශරීරගත උපරිම පැරසිටමෝල් මට්ටමට වඩා වැඩි මට්ටමේ රෝගීන් සඳහා වහාම අදාල ප්‍රතිකාර ඇරඹීම සිදු කරන අතර, ප්‍රතිකාර අවශ්‍ය නොවේ නම් ඒ පිළිබඳ රෝගියාගේ පාර්ශ්වය දැනුවත් කරනු ලබයි. මෙහි දී ලබා දෙන ප්‍රතිකාරය N-acetylcysteine (NAC) ලෙස හඳුන්වන අතර, අවධි අධිමාත්‍රණක දී නම් වහාම NAC ප්‍රතිකාර ලබා දීම ආරම්භ කරනු ලබයි.

NAC ප්‍රතිකාරය මඟින් අක්මාවට හානි වීම වලක්වා, ග්ලූටැතියොන් පරිමාව ඉහළ නංවා, අක්මාව ආරක්ෂා කිරීම සිදු කරයි. සම්පුර්ණ ප්‍රතිකාර ක්‍රියාවලිය කාලානුක්‍රමික ප්‍රතිකාර පෙළ තුනකින් යුක්ත වන අතර, පැය 24කට වඩා වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව ලබා දීම සිදු කරයි. මෙය ලබා දෙන කාල සීමාව අඩු වැඩි වීම පැරසිටමෝල් අධිමාත්‍රණ මට්ටම අනුව වෙනස් වේ. ඖෂධ විෂවීමක දී කුඩා දරුවන් සහ ගැබ්ණි මව්වරුන් සඳහා විශේෂයෙන් මෙම ප්‍රතිකාරය ක්‍රියාත්මක කරනු ලබයි. කෙසේ වෙතත්, ප්‍රමාදවීම හෝ ශරීරගත පැරසිටමෝල් මට්ටම ඉතා ඉහළ අගයක් ගන්නා අවස්ථාවක දී, අක්මාව සම්පුර්ණයෙන් අක්‍රීය වීම හෝ සුව කළ නොහැකි මට්ටමට හානි වීමක් සිදුවුණහොත්, ඉතා ඉක්මනින් අක්මා බද්ධ කිරීමක් වැනි අවදානම් සහ ඉතා අපහසු ප්‍රතිකාර සඳහා යොමු වීමේ අවස්ථාවන් ද ඇතිවිය හැකි යි.

වගකීමෙන් ක්‍රියා කිරීමෙන් ඔබට රටේ සම්පත් අවභාවිතයට ලක් වීම වැලැක්විය හැකි යි. (shutterstock)

ඉතා පහසුවෙන් භාවිතයට ගතහැකි වූ පමණින්, වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමනාපය පරිදි පැරසිටමෝල් වැනි ඖෂධ අවභාවිතයට ගැනීම ඉතා විශාල හානිකර මාවත් වෙත ඔබේ ජීවිතය ඇද දැමිය හැකියි. එමෙන්ම එමඟින් රටේ සෞඛ්‍ය පද්ධතිය තුළට අනවශ්‍ය වියදමක් සහ බරක් එක් වන අතර, තවත් රෝගියෙකු වෙනුවෙන් වෙන් කළ යුතු අත්‍යාවශ්‍ය සම්පත් ඔබේ නොසැලකිලිමත් බව නිසා අවභාවිතයට ලක් වීමේ අවධානමක් පවතී. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් වගකිවයුතු පුරවැසියෙකු ලෙස ඔබත් ඔබේ රට වෙනුවෙන්, ඔබේ වගකීම නොපිරිහෙලා ඉටු කරන්න. සෑම විටම නියමිත මාත්‍රාව පිළිපදිමින්, වෛද්‍ය නිර්දේශයන් අනුවම සෑම ඖෂධයක්ම භාවිතයට ගෙන නීරෝගී පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට වගබලා ගන්න.

Related Articles