Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ වළක්වා ගැනීමට…

කුඩා දරුවෙකුගේ සිට මහලු අයෙක් දක්වා වන ඕනෑම කෙනෙකුට ඖෂධ නිසා අතුරු ආබාධ හටගැනීම සාමාන්‍ය දෙයක්. මොවුන් අතරිනුත් ශරීරය දුර්වල මට්ටමේ පවතින අයවලුන් හට ඖෂධවල අතුරු ආබාධ හටගැනීමේ ප්‍රවණතාව වැඩියි.

ඇතැම් රෝග සඳහා දීර්ඝ කාලීනව ගන්නා ඖෂධ වලින් අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍යයි.‍‍ නමුත් දීර්ඝ කාලිනව ලබා ගන්නා ඖෂධ වලින් පමණක් නොව, කෙටිකාලීනව ලබාගන්නා ඖෂධ වලින් පවා අතුරු ආබාධ ඇතිවීම දැකගත හැකි තත්ත්වයක්. එක් වරක් පමණක් ගත් ඖෂධයකින් පවා අතුරු ආබාධ ඇතිවිය හැකි බවයි වෛද්‍ය මතය. මෙසේ ඇති වන අතුරු ආබාධ එකකට එකක් වෙනස්.

ඇතිවිය හැකි අතුරු ආබාධ ආකාර දෙකකින් යුක්ත වෙනවා.

  • සුළු අතුරු ආබාධ
  • බරපතළ අතුරු ආබාධ

අතුරු ආබාධ හටගන්නා ක්‍රම දෙකක් තවදුරටත්,

  • ඖෂධයක් නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් ශරීරයට ලබාදීමෙන් ඇතිවන ආබාධ (Dose Dependent),
  • එක් වරක් ගන්නා ඖෂධයකින් ඇතිවන අතුරු ආබාධ (Dose Independent),

වශයෙන් බෙදා දැක්විය හැකියි.

ඉන් පළමු වැන්න, (Dose Dependent) ඖෂධයක් ශරීරයට දරාගැනීමේ කාලසීමාව ඉක්මවා යාමේදී  ඇතිවිය හැකි තත්ත්වයක් වශයෙන් හඳුනාගත හැකියි. එනම් යම් ඖෂධයක් නියමිත මාත්‍රාවෙන්ම ගත්තත්, එය දිගුකල් භාවිතය නිසාවෙන් අතුරු ආබාධ හටගැනීමයි.

දෙවැන්න, (Dose Independent) නම් ඖෂධ අසාත්මික වීම තුළින් (Allergy) හටගන්නා අතුරු ආබාධයි. එනම් එක් වාරයක් පමණක් ගත් ඖෂධයකින් පවා මේ තත්ත්වය හටගත හැකි බවයි.

කෙසේ වුවද දියවැඩියා රෝගයට ගන්නා ඖෂධ, කොලොස්ටරෝල් සඳහා ගන්නා ඖෂධ, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වූ විට ගන්නා ඖෂධ, පිළිකා රෝග සඳහා ගන්නා ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, ප්‍රබල වේදනානාශක ආදී ඖෂධ වර්ග වලින් අතුරු ආබාධ ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

දියවැඩියා රෝගයට ගන්නා ඖෂධ වල ඇති අතුරු ආබාධ

cchrint.com

‘දියවැඩියාව’ වර්තමානයේ බහුලව දැකගත හැකි රෝගී තත්ත්වයක්. දියවැඩියාවට දෙන ඖෂධ වලින් වකුගඩු හා අක්මාවේ ආබාධ ඇතිවන බවයි බොහෝ අයගේ අදහස. නමුත් එය නිවැරදි මතයක් නම් නොවේ. දියවැඩියාව නිසා මේ තත්ත්වය හටගන්නේ නියමිත මාත්‍රාවට ඖෂධ ගෙන රෝගය පාලනය නොකිරීම මතයි.

දියවැඩියා රෝගය පාලනය කිරීමට ගන්නා ‘මෙට්ෆෝමින්’ නිසා අතුරු ආබාධ ඇති වේ යන්න වැරදි මතයක්. ඒ තුළින් වකුගඩු අක්‍රිය වීමක් සිදුවන්නේ නැහැ. නිසි ලෙස ඖෂධ නොගැනීමෙන් වකුගඩු අක්‍රිය වූ රෝගියෙකුට මෙට්ෆෝමින් ලබාදීම වෛද්‍යවරුන් විසින් නතර කරන්නේ වකුගඩු අක්‍රිය වීම මත එම ඖෂධය තවදුරටත් ශරීරය තුළ එක්රැස් වීම තුළින් රෝගීයාට තවදුරටත් අතුරු ආබාධ ඇතිවීම වළක්වා ගැනීමටයි.

ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කිරීමට ලබාදෙන ඖෂධ නියම ලෙස ගත්තත්, තමන් ආහාර පාලනය නොකිරීම මත හෝ වෙනත් අසනීප තත්ත්වයන් නිසා නියම ප්‍රමාණයට වඩා සීනි ප්‍රමාණය අඩු වීම ද දැකගත හැකියි. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුනාගන්නේ ‘hypoglycemia’ ලෙසින්.

මීට අමතරව දියවැඩියා රෝගයට ගන්නා ඖෂධ වලින්,

  • කෑම අරුචිය
  • බඩ පුරවා දැමීම

වැනි සුළු අතුරු ආබාධ හටගැනීම ද දැකගත හැකියි.

කොලෙස්ටරෝල් සඳහා ගන්නා ඖෂධ

සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් වලට ප්‍රතිකාර කිරීමට කලින් රෝගියාට අක්මාවේ දුර්වලතාවක් පවතිනවා ද යන්න වෛද්‍යවරයෙකු විසින් සොයා බලනවා. එයට හේතුව වන්නේ කොලෙස්ටරෝල් සඳහා ගන්නා ඖෂධ වලින් අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින නිසයි.

එසේ සොයා බලන්නේ අක්මාවේ දුර්වලතාවක් පවතින්නේ නම්, ඖෂධ නිසා තවදුරටත් අක්මාවට බලපෑම් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින නිසයි. මෙවැනි විටෙක අක්මාවේ දුර්වලතාවක් නොමැති නම් ප්‍රතිකාර ඉක්මනින් ආරම්භ කරන නමුත්, ගැටළුවක් පවතින්නේ නම් ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් අනතුරුව මාස තුනකට හෝ හයකට වරක් අක්මාවේ පරීක්ෂණ සිදුකර බලන්නේ ඖෂධ නිසා අක්මාවට බලපෑමක් ඇති වී තිබේ ද යන්නයි.

මීට අමතරව හිසරදය, වමනය, නින්ද නොයාම වැනි සුළු අතුරු ආබාධ ද කොලෙස්ටරෝල් සඳහා ගන්නා ප්‍රතිකාර වලදී දැකගත හැකි වේ.

පිළිකාවට දෙන ඖෂධ

පිළිකාවට දෙන ඖෂධ නිසා ඇටමිදුළු වල හැදෙන රතු රුධිරාණු අඩු වීම, සුදු රුධිරාණු අඩු වීම සහ පට්ටිකා අඩු වීම  වැනි තත්ත්වයන් දැකගත හැකියි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වීම යන තත්ත්වයට දෙන ඖෂධ

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වීම යන තත්ත්වය වර්තමානයේ බහුලව දැකගත හැකි ‍රෝගී තත්ත්වයක්. මෙම රෝගය සඳහා ලබාදෙන ඖෂධ නිසා අක්මාවේ ක්‍රියාකාරිත්වයට මෙන්ම  ඇටමිදුළු වල ක්‍රියාකාරිත්වයට ද බලපෑම් ඇතිවිය හැකියි. මේ නිසයි මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර සම්පුර්ණ රුධිර පරීක්ෂණ සහ අක්මාවේ පරීක්ෂණ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ.

ප්‍රබල වේදනානාශක

medicorx.com

බොහෝ විට ඔබ හිසරදය, ශරීරයේ වේදනාව සහ වෙනත් තත්ත්වයන් වල දී ‘ඇස්ප්‍රින්’ වැනි ප්‍රබල වේදනා නාශක පාවිච්චි කරන්න පුළුවන්. මෙවැනි වේදනා නාශක නිතර පාවිච්චියට ගන්නා අයට අන්ත්‍ර, ආමාශය, සහ ගලනාලය ආශ්‍රිතව තුවාල සහ ආසාත්මිකතා සහ හිසරදය ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. බෙහෙත් සැර නිසා ලේ වමනය යාම ද දැකගත හැකි තත්ත්වයක්. NSAIDS යන කෙටි නාමයෙන් හඳුන්වන වේදනා නාශක නිසා මේ තත්ත්වය බොහෝ විට දැකගත හැකියි.

පැරසිටමෝල්

පැරසිටමෝල් ද වේදනා නාශකයක්. මෙය අධි මාත්‍රාවෙන් ගැනීම ද අතුරු ආබාධ ඇති කරන නිසා පැරසිටමෝල් ද නියමිත මාත්‍රාවෙන්ම ගත යුතුයි. වෛද්‍යවරයා එය නිර්දේශ කර ඇත්තේ පැය 6න් 6ට නම් එය පැය 6කට වරක්ම විය යුතුයි. නැතහොත් එය අක්මාවට හානි කිරීමට ඉඩකඩ තිබෙනවා.

ප්‍රතිජීවක ඖෂධ

thehealthsite.com

ඇන්ටිබයොටික් (Antibiotic) ලෙසින් අප බොහෝ දෙනෙක් හඳුන්වන්නේ මේ ප්‍රතිජීවක ඖෂධයි. මේ ඖෂධ වලින් විශේෂයෙන්ම හටගත හැකි වන්නේ ආසාත්මිකතා වන අතර, එක දිගට භාවිතා කිරීමෙන් ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා විනාශ වීමෙන් පාචන තත්ත්වයන් ඇති වීම මෙයට හේතුවයි.

අතුරු ආබාධ වලක්වා ගැනීම

රෝගයක් සඳහා ඖෂධ භාවිතා කිරීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා එයින් අතුරු ආබාධ ඇති වීම ද සාමාන්‍යයි. නමුත් අතුරු ආබාධ වලින් වැළකී සිටීමට රෝගීන් සැළකිලිමත් විය යුතුයි. ඒ සඳහා පහත උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

  • වෛද්‍යවරයෙක් නියම කළ ඖෂධ නියමිත මාත්‍රාවෙන්ම සහ නියමිත වාර ගණනටම ලබාගැනීමට වගබලා ගැනීම.
  • ඖෂධ භාවිතා කිරීමට පෙර කළ යුතු වෛද්‍ය පරීක්ෂණ වෛද්‍යවරයා විසින් නියම කර ඇත්නම් වෛද්‍ය උපදෙස් මත එය නිසි පරිදි සිදුකර ගැනීම.
  • ඖෂධ භාවිතා කිරීමේදී සෑම විටෙකම වෛද්‍ය උපදෙස් අනුවම කටයුතු කිරීම.
  • ඇතිවන ආසාත්මිකතා සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුවත් කිරීම.
  • වෛද්‍යවරයෙක් ඖෂධ නියම කරන සැම අවස්ථාවක දීම ඖෂධ නිසා පෙර ඇති වූ ආසාත්මිකතා සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුවත් කිරීම .

කවරයේ කතාව- leskul.com  1

මූලාශ්‍ර

Cancer.org

diabetes.co.uk

webmd.com

webmd.com

webmd.com

Related Articles