Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආහාර මඟින් බෝවන රෝග ඇති කරන බලවත්ම රෝගකාරක 5 ක්

මිනිසා හට විවිධ ආකාරවලට රෝග වැළඳෙනවා. සමහර රෝග කාරක මොනයම් අකාරයකින් ශරීරගත වූවත් මිනිසාට රෝගය වැළඳීමේ අවදානමක් ඇති අතර තවත් සමහරක් රෝග වැළඳෙන්නට නම් ඒවා යම් විශේෂිත මාර්ගයකින් ම ශරීර ගත විය යුතු වෙනවා. ආහාර මාර්ගය ඔස්සේ රෝගකාරක ශරීරයට ඇතුළු වීම මින් එක මාර්ගයක්. මේවා බොහෝ විට ජලය හෝ ආහාර සමඟ මුසු වී ශරීරගත වෙනවා.

ආහාර මඟින් බෝවන රෝග සමහරක් ජීවිත හානි ගෙන දීමට තරම් බලවත් වෙනවා. ප්‍රශ්නය තවත් තීව්‍ර කරමින් මින් සමහරක් ආහාරවලට මුසු වී තිබුණාට එක්වර ම හඳුනාගන්නට නොහැකි යි. ඒ නිසා ආහාර භාවිතා කරන විට සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට මිනිසා යුහුසුළු විය යුතු යි. මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ ආහාර මඟින් බෝවන රෝග ඇති කරන බලවත්ම රෝගකාරක 5 ක් පිළිබඳ තොරතුරු යි.

කැම්ෆිලෝබැක්ටර් (Campylobacter)

CC BY-NC-SA 2.0 UK/le.ac.uk

කැම්ෆිලෝබැක්ටර් බැක්ටීරියාව කැම්ෆිලෝබැක්ටීරියොසිස් නම් ආහාර මඟින් බෝවන බලවත් රෝගාබාධය ඇති කරනවා. මේ රෝගය වැළඳුණු විට අතීසාරය, මස්පිඩු පෙරලීම, උදර වේදනාව සහ උණ යන රෝග ලක්ෂණ හටගන්නවා. රෝගකාරකය ශරීරගත වී දින 2 සිට 5 අතර කාලයක දී රෝග ලක්ෂණ හටගන්නවා. අතීසාරය ඇති වූ විට මළත් සමඟ රුධිරය පිටවිය හැකි අතර ඔක්කාරය හා වමනය ද මේ සමග හටගන්නවා. මේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් දින 7ක් පමණ පවතිනවා.

රෝගාබාධයේ ප්‍රබලත්වය එකිනෙකාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ශක්තිමත්භාවය මත වෙනස් විය හැකි අතර සමහරුන්ගේ රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ ශරීරය පුරා ම පැතිරී මාරාන්තික වන අවස්ථා ද තිබෙනවා.

කැම්ෆිලෝබැක්ටර් අසම්පූර්ණ ලෙස පිසින ලද මාංශ, කිරි වැනි ආහාරවලින් ශරීරගත විය හැකි අතර, සුරතල් හා පට්ටි කරන ලද සතුන්ගේ මළද්‍රව්‍ය අහම්බයකින් ආහාර මාර්ගයට පිවිසීමෙන් මෙන්ම අපිරිසිදු ජලයෙන් ද මිනිසුන්ට බෝවිය හැකියි. මේ රෝගාබාධය වැඩි වශයෙන් වැළඳෙන්නේ වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ට යි. නියමාකාරයෙන් අත් සේදීම, ජලය නටවා පානය කිරීම, මාංශ වැනි ආහාර හරියාකාර ව පිසීම, ආහාර පිසින භාජන පිරිසිදු ව තැබීම වැනි දේ මඟින් මේ රෝගකාරකයා ශරීරගත වීම වළක්වා ගත හැකියි.

ක්ලොස්ට්‍රිඩියම් ප්‍රෙෆ්‍රින්ජන්ස් (Clostridium perfringens)

Scimat/ fineartamerica.com

ක්ලොස්ට්‍රිඩියම් ප්‍රෙෆ්‍රින්ජන්ස් විවිධ පාරිසරික තත්ත්වවල මෙන්ම මිනිස් හා සත්ත්ව අතුණුබහන්වලත් හමුවෙනවා. ආහාර ගැන සලකන කල්හි මේ බැක්ටීරියාව බොහෝ විට හමුවන්නේ කුකුල් මස් ඇතුළු අමු මාංශ වර්ගවල යි. ක්ලොස්ට්‍රීඩියම් බැක්ටීරියා ඔක්සිජන් නොමැති හෝ අවම පරිසරවල හොඳින් වැඩෙන අතර ඉතා ඉක්මනින් ගුණනය වෙනවා. සමහර ක්ලොස්ට්‍රීඩියම් විශේෂ මිනිස් සිරුරට ඉතා අහිතකර ධූලක නිපදවනවා. එබැවින් නිසියාකාර ව පිරිසිදු නොකර ටින් කරන ලද මාංශවල මේ වර්ගය බෝ විය හැකියි.

මේ බැක්ටීරියාව ශරීරගත වූ පසු පැය 6 -24ක කාලය තුළ අතීසාරය හා උදර වේදනාව වැළඳෙනවා. මේ රෝග ලක්ෂණ පවතින්නේ සාමාන්‍යයෙන් පැය 24ක් පමණ වන අතර සාමාන්‍යයෙන් උණ හෝ වමනය ඇති වන්නේ නැහැ. ක්ලොස්ට්‍රිඩියම් ප්‍රෙෆ්‍රින්ජන්ස් ආසාදනය වූ විට කලාතුරකින් සතියක් පමණ රෝග ලක්ෂණ පෙන්වන අවස්ථා තිබෙනවා. මෙය බොහෝ විට දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති කුඩා දරුවන්ට හා මහලු අයට සිදුවන අතර එය භයානක වෙනවා. දිගින් දිගටම පවතින අතීසාරය නිසා විජලන තත්ත්ව ඇති වීමෙන් ජීවිත තර්ජන පවා ඇති විය හැකියි.

ස්ටැෆිලොකොකස් ඕරියස් (Staphylococcus Aureus)

istockphoto.com

ස්ටැෆිලොකොකස් ඕරියස් සමහර මිනිසුන්ගේ හා සතුන්ගේ සමෙහි හා නාසයේ හමුවන බැක්ටීරියාවක් වන අතර එහි ධූලක ආහාර මාර්ගය ඔස්සේ ශරීරගත වූවොත් හැර කිසිදු රෝගාබාධයක් ඇති කරන්නේ නැහැ. කෙසේ නමුත් යම් හෙයකින් ආහාරවලට මුසු වී ධූලක පිට කිරීමේ හැකියාව ලැබුණහොත් මේ බැක්ටීරියාව මාරාන්තික රෝගාබාධ ඇති කිරීමට සමත් වෙනවා.

ස්ටැෆිලොකොකස් ඕරියස් ආහාර විෂවීම සඳහා දායක වන ප්‍රධාන බැක්ටීරියාවක් වෙනවා. රෝගාබාධය වැළඳෙන්නේ ධූලක මුසු වූ ආහාර ශරීරගත වීමත් සමග යි. මේ බැක්ටීරියාව පහසුවෙන් පැස්චරීකරණය නොකරන ලද කිරි ආහාරවල අන්තර්ගත වන අතර නිසිලෙස දෑත් පිරිසිදු නොකරන අයවලුන්ගෙන් ආහාරවලට මුසු වීම සිදුවනවා. මේ ධූලක තාපයටත් ප්‍රතිරෝධී වෙනවා. මේ හේතුවෙන් හරිහැටි නොපිසින ලද කිරි හා මාංශමය ආහාර මඟින් මිනිසාට බෝවීමේ වැඩි අවදානමක් තිබෙනවා.

ස්ටැෆිලොකොකස් ඕරියස් ධූලක ශරීරගත වූ විට මිනිත්තු 30 වැනි කෙටි කාලයක් තුළ රෝග ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්නවා. මේ රෝග ලක්ෂණ පැය 6ක් වැනි කාලයක් තුළ වර්ධනය විය හැකි අතර ඔක්කාරය, වමනය, උදර වේදනා, හා අතීසාරය ඇති වෙනවා.

සැල්මොනෙල්ලා (Salmonella)

istockphoto.com

සැල්මොනෙල්ලා බැක්ටීරියාව සාමාන්‍යයෙන් සත්ත්ව ප්‍රභවවලින් පැමිණෙන නොපිසින ලද ආහාරවල අන්තර්ගත වෙනවා විශේෂයෙන් බිත්තර, බිත්තරවලින් සකසන ලද ආහාර, මාංශ, මාංශවලින් සකසන ලද ආහාර, පැස්චරීකරණය නොකරන ලද කිරි හා කිරි ආහාරවල මේවා අන්තර්ගත වීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

සැල්මොනෙල්ලා බැක්ටීරියාව ශරීරගත වී පැය 12 සිට 72 අතර කාලය තුළ රෝග ලක්ෂණ මතු වෙනවා. අතීසාරය, උණ හා බලවත් උදර වේදනාව මෙහි ප්‍රධානතම ලක්ෂණ වන අතර රෝග ලක්ෂණ දින 7ක් පමණ පැවතිය හැකියි.

සාමාන්‍යයෙන් සැල්මොනෙල්ලා බොහෝ දෙනාට මාරාන්තික තත්ත්වයක් ඇති නොකරන අතර වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව ම සුව වෙනවා. කෙසේ නමුත් සමහර අවස්ථාවල දී ඉතා දැඩි ලෙස අතීසාරය පැවතීම හේතුවෙන් විජලනය වීමේ අවදානමක් පැන නැඟිය හැකි බැවින් මෙය වැළඳුණු විට වෛද්‍ය උපදෙස් පැතීම සිදුකළ යුතු වෙනවා. කලාතුරකින් සැල්මොනෙල්ලා බැක්ටීරියාව රුධිර සංසරණ පද්ධතියට එක් වී ශරීරයේ අනෙකුත් ස්ථානත් ආසාදනය කරන්නට පටන් ගන්නවා. තත්ත්වය මාරාන්තික වෙන්නේ එවිට යි. මෙවැනි අවස්ථාවක දී නිසි ප්‍රතිජීවක ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා.

සැල්මොනෙල්ලා හේතුවෙන් ජීවිත අවදානමකට පත්වන්නේ මහලු අය, කුඩා දරුවන්, හා දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය යි.

නෝරො වෛරසය (Norovirus)

rewardsnetwork.com

නෝරො වෛරසය ඉතා පහසුවෙන් යමෙකුට වැළඳිය හැකි වෛරසයක් වෙනවා. මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට, ආහාර හා ජලය මඟින් හෝ ආසාදනය වූ මතුපිටක් ස්පර්ශ වීමෙන් බෝ විය හැකියි.

නෝරො වෛරසය ශරීරගත වී ගුණනය වන විට ආමාශය හා අතුණුබහන් ඉදිමෙන්නට පටන්ගන්නවා. මේ හේතුවෙන් උදර වේදනාව, ඔක්කාරය, අතීසාරය, හා වමනය වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. දුර්වල ශරීරයක් ඇති අයෙකුට මේවා ඉතා දරුණු ලෙස ඇති විය හැකි අතර ජීවිත අවදානමක් පවා ගෙනදිය හැකියි.

කවරයේ පින්තූරය: kuzmichlaw.com

Related Articles