Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරගලවලට මඟ පෙන්වූ පොත් තුනක්

ලෝකයේ අරගල සිදුවූ බොහෝ රටවල ජනතාව එම අරගලවලට අවශ්‍ය මානසික ශක්තිය ලබා ගැනීමට තෝරා ගත්තේ සාහිත්‍ය කෘති යි. වේගුවේරා, පිදෙල් ක්‍රස්තෝ, වැනි සටන්කාමී නායකයන්ගේ ජීවිත අත්දැකීම් සහිත පොත් මෙන් ම කාල් මාස්ක්ගේ ප්‍රාග්ධනය හා එංගල්ස්ගේ දේශපාලන කෘතිත් ඒ අතර තිබුණා. 

දේශපාලන පන්නරය හැරෙන්නට අවශ්‍ය මානසික ධෛර්යය ලබාගැනීමට ජනතාව කියෙව්වේ සාහිත්‍ය නිර්මාණ කෘති යි. සමහර කෘති සාහිත්‍ය ලෝකයේ නිහඬ විප්ලව කිරීමටත් සමත් වුණා. අප රටෙත් තරුණයන් අතර ජනප්‍රිය වි ඇති එවැනි පොත් කිහිපයක් ගැන පැවසීමටයි මේ උත්සාහය.

 අම්මා ලියූ මැක්සිම් ගෝර්කි- wikipedia.org

රුසියානු විප්ලවයට පාර කැපූ ගෝර්කිගේ අම්මා

රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි මේ නවකතාව ලිව්වෙ 1906 දී අමෙරිකාවේදී යි. ඒ ඔහු රුසියාවෙන් පැනගොස් සිටි අවස්ථාවක යි. මුල් පිටපත ඉංග්‍රීසියට පෙරළා ඒ කාලයේ ම සඟරාවක කොටස් වශයෙන් පළ කළ අතර එය රුසියානු බසින් පළ වුණේ 1907 දි යි. මේ පොතේ තියෙන්නෙ විප්ලවයට කරන අනුබලදීමක් සහිත කතා තේමාවක්.

සාර් රජ සමයේ බාධක මැද ලියූ අම්මා පොතේ සඳහන් ජනතා නැගීටීම රුසියානු සාර් පාලනයට එරෙහි ව 1917 ඔක්තෝබර් විප්ලවය මඟින් සිදු වුණා. නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපට කිහිපයක් ද, නාට්‍ය ද නිර්මාණය කර තිබෙනවා. මෙම කෘතිය සිංහල ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබෙන අතර පිටපත් මිලියන ගණනින් අලෙවි වී තිබෙනවා.

විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන්මල්කඩ

 අම්මා පොතේ විවිධ භාෂාවලින් කළ පරිවර්තන -amazone.com/ goodreads.com

විප්ලවවාදී සාහිත්‍යයයේ, මුදුන් මල්කඩ  ලෙස අම්මා පොත සැලකෙනවා. පැහැදිලි ලෙසත් දයාන්විත ලෙසත් කම්කරු පවුලක ජීවන තතු එම පොතට තේමා කර ගෙන තිබෙනවා. රුසියානු බසින් මේ පොත මුලින් ම සිංහලට පරිවර්තනය කර පළ කළේ සෝවියට් දේශයේ ප්‍රගති ප්‍රකාශන මන්දිරය යි. එහි පරිවර්තකයා දැදිගම වී. රුද්‍රිගු යි. සේනාරත්න වීරසිංහ එහි අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් ද මෑතක දී පළ කළා. තවමත් අම්මා පොතේ නව මුද්‍රණ ශ්‍රී ලංකාවේ පළ වෙනවා.

කම්කරු පංති සටන්වල වැදගත්කම ලොවට පෙන්වා දුන් මෙම කෘතිය සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය කර, සමාජවාදය ගොඩ නැඟීම සඳහා මඟ පෙන්වූ බවට පිළිගැනෙනවා. ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන්  වූ වී. අයි. ලෙනින්, අම්මා කෘතිය දේශපාලනමය හා දෘෂ්ටිමය අතින් දැවැන්තමය වැදගත්කමක් ගෙනදෙන පොතක් බව පවසා තිබෙනවා.

මේ නවකතාව 1971 කැරැල්ල සමයේ හා 1987-88 තරුණ අරගල කාලයේ විප්ලවවාදීන්ගේ අත්පොතක් තරමට ජනප්‍රිය වූ කෘතියක්. මේ නිසා පොලිසිය එකල අම්මා පොත ළඟ තබාගත් අයත් අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා.

 චිත්‍රපටයේ අම්මා සහ පුතු පාවෙල් – russianfilmhub.com

කතා තේමාව

නවකතාවේ ප්‍රධාන චරිතය ඉතා ධෛර්යවන්ත බිය නැති කාන්තාවක්. ඇගේ නම පෙලගේයා නීලව්නා. ඇගේ ස්වාමිපුරුෂයා කම්කරුවෙක්. ඔහු බීමත් ව පැමිණ බිරියට වද හිංසා පමුණනවා. පසුව මේ කම්කරුවා මිය යනවා. ඔහු මිය ගියාට පසුව පාවෙල් නම් තරුණ පුතායි, අම්මයි තමයි ඉතුරු වුණේ. පාවෙල් කාලයක් සමඟ විප්ලවාදී ක්‍රියාකාරකම්වලට යොමු වුණා. මේ චරිත ගොඩනඟලා තියෙන්නෙ, ගෝර්කි ආශ්‍රය කළ සැබෑ චරිත ඇසුරින් බව සඳහන් වෙනවා.

තම පුතු පාවෙල්ගේ විප්ලවීය කටයුතුවලට අම්මාගේ ආශිර්වාදය හිමි වුණා. ඇය වෙස්වලා ගෙන ප්‍රචාරක පත්‍රිකා රහසින් අරන් ගිහින් කර්මාන්ත ශාලාවලට, ගොවීන් අතට බෙදනවා. මෙසේ වෙස්වලා ගෙන යන විට අම්මා විවිධ කරදරවලට මුහුණ පෑවා. ඉතාමත් මානවීය හැඟීම් මතුවන ලෙස රචනා කළ මේ නවකතාව මගින් එකල රුසියාවේ පැවති සාර් පාලනයේ පීඩනය කම්කරුවන්ට දැනෙන ආකාරයත් නිරූපිත යි.

 තොල්ස්තෝයි සමඟ ගෝර්කි- wikipedia.org

විප්ලවයේ කැඩපත යුද්ධය හා සාමය

ලියෝ  තොල්ස්තෝයි (1828 -1910 ) නම් රුසියානු විශිෂ්ට ලේඛකයා ලියූ යුද්ධය හා සාමය ලෝක සාහිත්‍ය යේ විශිෂ්ටත ම කෘතිය සේ සැලකෙනවා. වංශවත් පවුලකට අයත් සිටුවරයෙක් වූ  තොල්ස්තෝයි තම පෑන මෙහෙයවූයේ පොදු ජනයාගේ සුබසෙත වෙනුවෙන් ලිවීමට යි. 1917 රුසියන් විප්ලවයේ නිර්මාතෘ වී. අයි. ලෙනින්, තොල්ස්තෝයි දුටුවේ රුසියානු විප්ලවයේ කැඩපත ලෙසට යි. එහෙත් තොල්ස්තෝයි විප්ලවවලට හෝ අරගලවලට ජනතාව පෙලඹවූ කෙනෙක් නොවෙයි. ඔහුගේ පොත්වල තිබෙන්නේ සාමයේ වැදගත්කම යි.

තොල්ස්තෝයි රුසියානු විප්ලවයට පෙර සාර් රජ කාලයේ ජීවත්වූ සාහිත්‍යකරුවෙක්. තමන්ගේ සැබෑ සතුරන් කවුරුන් ද යන්න මැනවින් හඳුනා ගැනීම සඳහා රුසියානු කම්කරු පන්තියට ඉඟි සැපයුවේ තොල්ස්තෝයිගේ සාහිත්‍ය කෘති වන බව විචාරකයන් පවසා තිබෙනවා.

යුද්ධය හා සාමය විශාල වෙළුම් ගණනාවකින් යුත් දීර්ඝ නවකතාවක්. 19 වන ශතවර්ෂයේ රුසියානු ඉහළ සමාජයේ ජන ජීවිතය යථාරූපී ව විස්තර කරන මෙම නවකතාවේ යටිපෙළ තේමාව අහිංසාව යි. යුද්ධයේ නිෂ්ඵල බව යි. සෝවියට් නායක ලෙනින්, තොල්ස්තෝයිගේ සියලූ ලේඛන හා කෘති නැවත පළ කිරීමට උනන්දු වුණා. ලෙනින් රාජ්‍ය පාලන කටයුතුවලින් එන මානසික වෙහෙස දුරුකර ගැනීමට ‘යුද්ධය හා සාමය’ කියවීම පුරුද්දක් කර ගෙන සිටි බව පැවසෙනවා.

 යුද්ධය හා සාමය නව මුද්‍රණයක් – AG readers facebook page

 

සිංහල පරිවර්තන

ජිනදාස ලේල්වල 1960 දශකයේ මැද භාගයේ යුද්ධය හා සාමය කෘතියේ සංක්ෂිප්ත සිංහල අනුවාදයක් පළ කළත් එය සාර්ථක වුණේ නැහැ. පසුව 1980 දශකයේ ප්‍රවීණ පරිවර්තක සිරිල් සී. පෙරේරා මෙම පොත සම්පුර්ණයෙන් පරිවර්තනය කළා. එය වෙළුම් 10ක් වශයෙන් ප්‍රදිප ප්‍රකාශනයක් ලෙස පළ වුණා.

 එම කෘතිය නැවත වෙළුම් තුනක් ලෙස මුද්‍රණය කළේ එස්.ගොඩගේ ප්‍රකාශකයන්. මේ කෘතිය සෝවියට් රජයේ අනුග්‍රහයෙන් චිත්‍රපටයක් බවට පත්වන්නේ 1965 වසරේදි යි.

යුද්ධය හා සාමය නවකතාවේ විවිධ සංස්කරණ- bbc.com

කතා තේමාව

නවකතාවට පසුබිම් වන්නේ නැපෝලියානු යුද සමයේ රුසියානු රදළ පවුල් දෙකක් මුහුණ දෙන අත්දැකීම්. 1805 අවුරොලිස් සංග්‍රාමය හා 1812 නැපෝලියන් රුසියාව ආක්‍රමණය , බිහිසුණු බොරෝදිනෝ සංග්‍රාමය , ‍මොස්කව් නගරය ගිනි තැබීම ආදි සිදුවීම් මෙහි නිරූපිත යි. සිටුවර පියෙරේ බෙකුසොව් නවකතාවේ ප්‍රධාන චරිතය යි. පියරේ යුද විරෝධියෙක් වගේ ම බුද්ධීමතෙක්. ඔහුගේ හොඳ ම මිතුරා වන ඇන්ඩ්‍රේ කුමාරයා හා නතාෂා රොස්තෝවා අතර ආලය මෙහි ප්‍රධාන තේමාව යි. නතාෂාට සිටුවර පියරේ ද රහසේ පෙම් කරනවා. නතාෂා හා ඇන්ඩ්‍රේ අතර සබඳතාව බිඳී ගිය පසු ඇගේ පිහිටට එන්නේ පියරේ යි. මේ සිදුවීම් පසුබිමින් නැපෝලියන් ගේ ආක්‍රමණය සිදුවෙනවා.

තොල්ස්තෝයි සිය පළමු මහා නවකතාව වන යුද්ධය හා සාමය ලියන විට වයස තිස් ගණනක තරුණයෙක්. එය වචන 400,000කටත් වැඩි කෘතියක්. එහි පළමු පිටපත ලියා නිම කිරීමට අවුරුදු තුනක් ගත ව තිබෙනවා. වසර 7ක් තිස්සේ සමස්ත අත්පිටපත අට වතාවක් ම යළි යළිත් ලියා තිබෙනවා.  

 ලේඛක කොය්යෝ සහ නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය- aplustopper.com

ලොව පුරා මානසික විප්ලවයක් කළ සන්තියාගෝ

‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ බ්‍රසීල ජාතික පාවුලෝ කොය්යෝ නම් ලේඛකයා පෘතුගීසි බසින් රචනා කළ නවකතාවක සිංහල පරිවර්තනය යි. 1988 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ මේ නවකතාවේ ඉංගිරිසි පරිවර්තනය වන Alchemist ඇසුරින් සිංහලට පෙරළුවේ චූලානන්ද සමරනායක යි. කෙටි කලක් තුළ ලෝකයට විශාල බලපෑමක් කළ නවකතාවක් ලෙස ‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ සැලකෙනවා.

එය ඉංගිරිසියට පරිවර්තනය වීමෙන් පසු ඒ ඇසුරෙන් ලොව පුරා භාෂා 80කට පමණ පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන 150ක් පමණ අලෙවි වී ඇති බව සඳහන්. එයට අන්තර්ජාතික සම්මාන 115ක් හිමි වී තිබෙනවා. එය වැඩියෙන් ම ලොව අලෙවි වුණු පොත් අතරට අයත් වගේ ම ලේඛකයා ජීවත් ව සිටියදී වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ පොත ලෙස ගිනස් වාර්තාවක් ද තබා තිබෙනවා.
‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් 2003 වසරේ පළමුවරට මුද්‍රණයෙන් නිකුත් වෙනවා. මේ වනවිට එම කෘතිය ශ්‍රී ලංකාවේ කිහිපවරක් ම මුද්‍රණය කර තිබෙනවා.

මිනිස් සිතේ අභ්‍යන්තරය නවකතා චරිත ඇසුරින් හාරා අවස්සන කොයියෝ එය නොනවතින ගමනක යෙදෙන බව අපට පසක් කරවනවා. කතන්දර කියවමින් සිටි නවකතා පාඨකයන් අතර මානසික විප්ලවයක් කිරීමට මේ විශිෂ්ට සාහිත්‍ය කෘතිය සමත් වෙලා. මිනිසාගේ චිත්ත අභ්‍යන්තරය ක්‍රියා කරන ආකාරය සන්තියාගෝ චරිතය හරහා කතුවරයා විස්තර කරනවා.

 පොතේ විවිධ සංස්කරණ සහ පරිවර්තන -amazone.ca/goodreads.com

කතාව සැකෙවින්

සෙමනේරියක අධ්‍යාපනය ලබමින් සිටින සන්තියාගෝ නම් එඩේර පවුලක ගැටවරයාට ලොව වටා සංචාරය කිරීමේ ආශාවක් හටගන්නවා. ඔහු ඒ බව සිය පියා සමග පවසනවා. පියා තමන්ගේ රැහේ එබඳු සංචාරකයන් නොමැති බවත් සිටින්නේ එඩේරුන් බවත් පවසනවා. එසේ පිටත් ව යනවා නම් බැටළු පට්ටියක් ද රැගෙන යන ලෙසත් ඉල්ලා සිටින පියා ඔහුට කාසි තුනක් තෑගි දෙනවා. සන්තියාගෝ ගමන පිටත් වන්නේ බැටළු පට්ටියක් ද අරගෙන යි. සන්තියාගෝ අතරමඟ දී කියවීමට පොතක් ද රැගෙන යනවා.

අන්දාලුසියාවට යන ඔහු රැය ගත කරන්නේ පැරණි නටබුන් පල්ලියක යි. තමාට ඊජිප්තුවේ පිරමිඩ පෙදෙසේ දී නිධානයක් හමුවන බව ඔහු සිහිනෙන් දකිනවා. නිධානය ලබා ගැනීමේ අරමුණෙන් ගමන් කරන ඔහුට තමාගේ අරමුණ කරා යන කෙනෙක් එය මුදුන්පත් කර ගැනීමට නම් සොබාදහම සමග ඒකාත්මික විය යුතු යැයි මෙහි චරිත හරහා කොයියෝ අපට සිහිපත් කර දෙනවා. තරුණයා මුලින් සිටින්නේ නිධානය තිබූ තැන ය. කාන්තාර හරහා දිගු ගමනක් යන තරුණයාට අවසානයේ නිධානය හමුවන්නේ ගමන ආරම්භ කරන තැනින්ම යි.

නිකොලායි ඔස්ත්‍රොස්ව්කි නම් විශිෂ්ට සෝවියට් ලේඛකයා අතින් ලියැවුණු “වානේ පන්නරය ලැබූ හැටි” කෘතිය ද එදාමෙදාතුර සමාජවාදී අදහස් ඇති තරුණයන් කැලඹ වූ නවකතාවක්. ඒ පිළිබඳ අප පළ කළ ලිපියට මෙතැනින් පිවිසිය හැකි යි.

කවරයේ ඡායාරූපය - රුසියන් විප්ලවයේ දී වී. අයි. ලෙනින් ජනතාව අමතමින් - expresstorussia.com

මූලාශ්‍ර:

cram.com
esustoday.lk
aplustopper.com
dinamina.lk
silumina.lk

Related Articles