අන්තර්ජාලය බිහිවීමත් සමඟ ලෝකයේ අන්තර්ජාලයට සම්බන්ධ වූ ජනතාවගේ ජීවන රටාවල පෙරළියක් ඇති වුණා. ඩිජිටල් යුගයේ ස්මාර්ට්ෆෝනය සහ අන්තර්ජාලයට පිවිසීමට අවස්ථාවක් නැති වුවත් සමාජයේ වෙනස්කම ඒ සිග්නල් නොමැති ජනයා කරාද පියඹා ඇවිත් අවසන්. මීට කලෙකට පෙර කඳු වළල්ලකින් වටවී තිබුණු මීමුරේ වර්ථමානයේ දේශීය සංචාරකයන්ගේ රජදහනක් වී මාර්ග ඇති වී හුදකලා නොවූ කුඩාගමක් බවට පත් වන්නේ අන්තර්ජාලය හේතුවෙන්. එවැනිවූ අන්තර්ජාලය හා සම්බන්ධ නොවූ පිරිස් වල ජීවිත පවා අන්තර්ජාලය සහ ස්මාර්ට් ලෝකය හරහා වෙනස් කළ අවස්ථා එමට යි. අපි සරලව ම අපේ අන්තර්ජාලය සමඟ එකතුවෙන ජනතාවගේ ජීවන රටාව මොන විධියට ද වෙනස් වුණේ කියලා හොයලා බලමු.
ගූග්ල් මැප්ස්
දස වසකට පෙර ගම් පළාතක සිට කොළඹ එන හොඳ උගතෙක් වුවත් කොළඹ ආයතනයක් පිහිටි තැනක් සොයාගන්නට කොළඹ නෑයෙක් හෝ මිතුරෙකුගේ සහාය ලබාගත්තා. ඒ වගේ ම කොළඹ ප්‍රධාන මට්ටමේ බස් නැවතුම් ආසන්නයේ කොළඹ මැප් එකක්ද පේන පරිදි පිහිටුවා තිබුණා. එකල පොත් වෙළෙන්දන් අතර එක් එක් බස් රථ ගමන් ගන්නා ගමන් මාර්ග සහ ගමන් ගාස්තුව ඇතුලත් කුඩා පොත් පිංචක්ද මාර්ගෝපදේශ සංග්‍රහය යන නමින් තිබුණා. එම පොත් පිංචේ කොළඹ ප්‍රකට රාජ්‍ය ආයතන, වෙළඳසැල්, ස්ථාන ආදිය තිබෙන්නේ කුමන ස්ථානයේද යන්නත් සඳහන් වෙලා තිබුණා.
එහෙත් දැන් ගූගල් මැප්ස් කරලියට පැමිණිමත් සමගම අපිට ගමේ සිටිනවා නම්, ෆොන් එකට සිග්නල් තිබෙනවා නම් සරලවම ෆෝන් එකෙන් අපිට යන තැන බලාකියාගන්න අවකාශ ලැබී තිබෙනවා. ඉස්සර වගේ මිනිස්සුන්ට සෑම ස්ථානයකදී ම හැරෙන තැන් සහ මැප් සවිකරන්නට නගර සභාවට උවමනා වන්නේ නෑ. ඇතැම් අය සතුව ස්මාර්ට්ෆෝන් එකක් නැති වුවත් දන්න කියන අයෙකුගෙන් පාර අසාගෙන එන්නට ගූගල් මැප්ස් සහ වෙනත් ඔන්ලයින් මැප්ස් අපිට උදව් කරනවා.
කලකට පෙර සිරස රේඩියෝවේ පාන්දරම කොළඹට උඩින් හෙලිකොප්ටරයකින් ගොස් කොළඹ පාරවල වාහන තදබදය ගැන අනාවැකි කියනු ලැබුවා. ඒත් දැන් ගූග්ල් මැප්ස් තුලින් පාරේ වාහන තදබදය සහ අපේ ගමනට යන කාලය ආසන්න වශයෙන් පෙන්නුම් කරන මට්ටමට ගූගල් මැප්ස් දියුණු වෙලා තිබෙනවා.
තරු සහ විචාර
රජය මගින් නියාමනයක් ඇති කළ යුතුයි. ඒ ලංකාවේ දේශපාලන සංවාද වල නිතර ඇසුණු කතාවක්. ඉස්සර අපි හෝටලේකට නිවාඩුවක් ගතකරන්න ගියා ද ඒ යන්න කලිං ඒ හෝටලේ මොන වගේද කියලා යාන්තමින් හෝ අයිඩියා එකක් ගත්තේ හෝටලේ තිබෙන තරු ගණනින්. තරු පහ කියන්නේ සුපිරි, තරු තුන ටිකක් සේප්. ඒ විදියට සහ කටින් කට ජනප්‍රිය වූ හෝටල නවාතැන් ජනප්‍රිය වුණා.
ඔන්ලයින් හැමදේට ම ලකුණු දෙන්න අවස්ථාව පැමිණීමත් සමඟ ම බුකින් ඩොට් කොම් (booking.com), අගොඩා (agoda.com), සහ ගූග්ල් මගින්ම නවාතැන් සහ හෝටල වෙත රේටින්ස් එක් කරනු ලැබුවා. ඒ වගේම කෑමට හොඳ කඩයක් තෝරගන්න එක ඉස්සර අපි දන්න කියන කෙනෙකු සොයාගෙන කරගන්නවා. ඒත් අපිට දැන් ලංකාවේ වුණත් බිහිවී තිබෙන යමු (Yamu) වැනි සයිට් හරහා අපිට ලඟපාත කන්න තියෙන හොඳ කඩ ආදිය බලාගන්න හැකියාවක් තිබෙනවා.
ඇතැම් නගරවල වර්ථමානයේදී පවා නගර සභාව මගින් හෝ සෞඛ්‍ය අධිකාරීන් මගින් නියාමනය වන කෑම කඩවල් වර්ගීකරණයක් තිබෙනවා. එනම් ආපනශාලා වර්ග කරනවා ඒ බී සී වශයෙන් ශ්‍රේණි වලට. ඒ කරන්නේ විශේෂිත මණ්ඩලයක් මගින්. එහෙත් ගූගල් සහ ඇතැම් අඩවි වල ආපනශාලා වලට පිවිසෙන ඕනෑම අයෙකුට එහි අඩුපාඩු සහ හොඳ කියා කමෙන්ට් කරන්නත් ඒවා වර්ගීකරණය කරන්නත් හැකියාව ලැබෙනවා.
මෙම රේටිංග්ස් ක්‍රමයට රේටිංග්ස් එකතු කිරීමත් ඉන් පසු ඒ සේවාවන්, ස්ථාන, භාණ්ඩ ආදිය ගැන කුඩා විස්තර සැපයීමත් හොඳ පුරුද්දක්. ඒ මගින් අපිට ආණ්ඩුවෙන් මේවා හොයා බලන්නේ පාලනය කරන්නේ නෑ කියලා චෝදනා කරන්නේ නැතිව අපේ අදහස ඊළඟට පැමිණෙන පාරිභෝගික මහත්මයාට දැනගන්නට ඉඩක් තබන්නට පුළුවනි.
විනෝදාස්වාදය
ඡායාරූප ගැනීම කියන්නේ පැරණි විනෝදාංශයක්. නමුත් අන්තර්ජාලය සහ සමාජ ජාලා වල මැදිහත් වීමත් සමඟ ඡායාරූප කලාව අලුත් මානයකට ගියා. පෙර කල 32-24 ආදී රීල් කිහිපයක් රැගෙන කුඩා කැමරාවක් සමග ට්‍රිප් එකක් ගියත් ඒවායේ පොටෝ ගැනීම වර්ථමානයේ තරම් ම සරල නැහැ. ඒ වගේම චාරිකාවක් අවසානයේ වර්ථමානයේ මෙන් පොටෝ දෙතුන් සීයක් තිබුණා නම් තිබුණේ ඉතාමත් වත්පොහොසත් කම් සහිත අයෙකුට පමණයි. ඒ ඡායාරූප මුද්‍රණය කොට ඇල්බම් වල බහා තබන්නට වුණා. මේ ඡායාරූප ඇල්බම නිවසේ විසිත්ත කාමරයේ ටීපෝවක තබා තිබෙනවා. නිවෙසට යන අය බීම එකක්, තේ එකක් ගෙනෙන තෙක් මේ ඡායාරූප නැරඹීම එකල නිවෙසකට පිවිසුණු අමුත්තෙක් අමතක නොකරන දෙයක්. “ආනේ..මේ කිරි පුතා ඉස්සර හරි කෙට්ටුයි නේ..දැන් එපායැ බලන්න..” ඒ නෑයෙකු කිරි පුතාගේ එකල පොටා් දැක දැමූ වාචික කමෙන්ටුවකි.
දැන් ෆේස්බුක් ට්විටර්, ෆ්ලිකර් ආදී සමාජ අවකාශ තුලින් ඡායාරූප කෙලින්ම හුවමාරු කරගන්නට අවකාශ ලැබෙනවා. කොරියාවේ සීතලෙන් මිරිකෙමින් අපහසුවෙන් හිම මත සිට ගන්නා පින්තූරයක් සිය දරුවාට පෙන්වන අම්මා “මේං පුතේ තාත්ති..කොරියාවේ.. හිම නේ.. සෝයි නේ” කියා එය එවෙලේම වාගේ නරඹයි. එහෙත් අද නම්, එම අවස්ථාවේ දර්ශන එසැණින් ලෝකයේ අනෙක් කෙළවරක සිට නැරඹීමට ද මෙම අන්තර්ජාල තාක්ෂණය හේතුවෙන් අවකාශ ලැබී තිබෙනවා.
අන්තර්ජාලයට ප්‍රථම නෑයින් සහ දුරස්ථ මිතුරන් අතර සන්නිවේදනය සිදු වූයේ ලිපි මගිනි. එකල මුද්දර එකතු කළ පාසැල් දරුවෝ සතුව අරාබි මුද්දර කිහිපයක් අනිවාර්යෙන් ම ළඟ තිබුණේ අරාබියේ සේවය කරන අයගෙන් ලැබෙන ලියුම් වල වූ මුද්දර හේතුවෙනි. එහෙත් වර්ථමානයේ ලියුම් ගනුදෙනු යනු බිල්පත්, ආරාධනා පත් වැනි දේට පමණක් සීමා වූ අවකාශයකි. ඔන්ලයින් වීඩියෝ සහ පොටෝ ලෙස පණිවුඩ හුවමාරුවට වර්ථමානයේ සමාජය පත් වී තිබේ.
එකල රජය සෑම අයවැයකින්ම පාහේ මුද්දර ගාස්තු වැඩිකර ජනතාවගේ ලිපි හුවමාරුවෙන් රජයට යමක් උපයාගන්නට වෙහෙසුණා වගේ දැන් අන්තර්ජාලය කෙරෙහි වැඩිමනක් බදු පිට බදු එකතු කරමින් ජනතාවගේ නූතන සන්නිවේදන මාධ්‍යයෙන් මුදල් උපයනවා.
හොරු ඇල්ලීම
“දැන් සුදු දුව ඇත්තම කියන්න බලන්න ඒ අයියා ඔයාව කසාද බඳිනවා කිව්වේ කවද්ද? “ ඒ නිවෙසක පෙම් පලහිලව්වක පරිච්ඡේදයකි.. ලියුම් වලින් පෙම් ගනුදෙනු කරන කාලයේදී නම් ඉකිගසන ඒ යුවතිය “මේං..මේ ලියුමේ ලියලාම තියෙන්නේ.. අයියගේ අකුරින්ම” කියා පෙම් හසුනක් ලැජ්ජාවෙන් ඉදිරිපත් කරන්නී ය.
වර්ථමානයේ නම් “මට දැන් මතක නෑ ඉමෝ එකේ හරි වයිබර් එකේ හරි, ෆේස්බුක් එකේ හරි, නැත්තං වට්සැප්ද මන්දා.. එයා කිව්වා මාව බදින්න කැමතිය කියලා”
ලියුම් යුගයේදී නම් කසාද බඳින පොරොන්දුව ලියුමක පේළි අතර අකුරින් ලියවී තිබුණත් වර්ථමාන ස්මාර්ට්ෆෝන් යුගයේදී යුවතියට අයියා බඳිනවා යැයි පොරොන්දු වූයේ කුමන චැට් එකේදැයි යන්න පවා අමතක ය.
සැබැවින්ම වර්ථමානයේ ඇතැම් වංචා වලදී පෙර මෙන් සරල වූ ක්‍රමවේදයන්ට වංචා හෝ අපරාධ සොයාගත නොහැකිය. සන්නිවේදන මාධ්‍යයන් වඩා දියුණු වීම තුල ඔව්හු වඩාත් දියුණු මට්ටමේ සන්නිවේදන ක්‍රමවේද අපරාධ සහ වංචා කෙරෙහි යොදාගනිති.
සීසීටීවී කැමරා, ඇමතුම් සොයාගත හැකි ක්‍රමවේද, ගමනාගමන විස්තර, ඔන්ලයින් අ’කවුන්ට් වල ස්වභාවය, වැනි ඇතැම් හේතු අපරාධ සෙවීමට වඩාත් වාසි සහගත වෙයි. එහෙත් වඩාත් තාක්ෂණයට නැඹුරු වූ සොරුන් සෙවීමට නම් ඊටත් වඩා දියුණු තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමට සිදු වීම වර්ථමානයේ නීතිමය අංශ මුහුණ දෙන එක්තරා අභියෝගයකි.
තාක්ෂණය සහ අපි
ඉහළ තත්වයේ නිශ්පාදන වලට සෑම අතින්ම සමාන වෙනත් අනුකාරක වෙළඳ පොළට පැමිණීම ඉන්දියාවේදී කලෙක විශාල ගැටළුවක් විය. දැන් බොහෝ ඉන්දීය සමාගම් ඒ සඳහා අන්තර්ජාලය හා සමග එකතුව විවිධ ආකාරයේ ක්‍රම සකස්කොට තිබේ. ඇතැම් බඩු බාහිරාදිය සමාගම මගින්ම නිවසට ම ගෙනැවිත් දෙනවා. එසේම ඉන්දීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ දුම්රිය සහ බස් සේවා රැසක් ඔන්ලයින්ම වෙන්කරගැනීමේ හැකියාව වර්ථමානයේ තිබේ.
අපේ රටේ ද මේ වසරේ සිට උසස් පෙළ විභාගයෙන් පසු සරසවි පිවිසුම් අයදුම්පත් අන්තර්ජාලය හරහා පිරවීම ආරම්භ කරන ලදී. එවැනිම පොලිස් සේවා, අධ්‍යාපන සහතික, වෙනත් සේවාවන් අන්තර්ජාලය හරහා ලබාදීමට රජය මේ වන විට කටයුතු කරගෙන යයි.
අපි කෙතරම් අකමැති වුවද වර්ථමාන අපගේ ජීවන රටාවන් තොරතුරු තාක්ෂණය විසින් සෙමෙන් සෙමෙන් ආක්‍රමණය කරමින් පවතී. එවන් වටපිටාවක තොරතුරු තාක්ෂණයේ ඇති බිහිසුණු පැති ගැනම සිතමින් නොසිට අපේ දියුණුවට තාක්ෂණය යොදාගත හැකි අන්දම ගැන වඩාත් පුළුල්ව කතා බහ කළ යුතු කාලය එළැඹ තිබේ. මේ ස්මාර්ට්ෆෝන් අන්තර්ජාල යුගයේ ජීවන රටාව වෙනස් වීම ගැන ඔබටත් අදහසක් තිබෙනවා නම් කමෙන්ට් එකක් විධියට එය එක් කරන්න.