“වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ, කුමටද මා දුප්පත් වී ඉපදුනේ?” මේ අපි හැමෝම වගේ අසා තිබෙන පැරණි ගීතයක්. දුප්පත් වී ඉපදුනත් පෝසත් වී ඉපදුනත් අපි බොහෝ දෙනාට කරන්නට දවසේ රාජකාරියක් නියම වෙලා තිබෙනවා. ගොවිතැන මූලික වුනු අපේ රටේ ඉස්සර යුග වලදී එලිමහනේ විවේක අරගෙන කතා බහ කරමින් කවි කියමින් ගොවිතැන් කටයුතු වල බොහොම සැහැල්ලුවෙන් අපේ මුතුන් මිත්තන් ජිවත් වන්නට ඇති. එහෙත් අද තත්වය වෙනස්. බොහෝ අයට වැඩ කරන්නට සිදුවන්නේ බිත්තිවලින් වටවුනු අවකාශයක, එකිනෙකා සමග කතා බහ කරන්නට ලැබෙන අවස්ථාවත් අඩුයි. සිරුරට ව්‍යායාම ලැබෙන ප්‍රමාණයත් බොහෝවිට අඩුයි. කාර්මීකරණය එක්ක ආපු වැඩ කිරීමේ රටාව එක්ක අපේ සිරුරට සහ මනසට දැනෙන පීඩනය වෙහෙස වැඩිවුනා. දවසේ කාර්යයන් අවසානයේ දවස තිස්සේ ඇතිවූ වෙහෙස නිවාගන්නටත් ගතට සිතට යම් කිසි නැවුම් අත්දැකීමක් ලබාගන්නටත් ලෝ වටා ජනයා විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. අපි ඒ කිහිපයක් ගැන සලකා බලමු.
1 – එළිමහනේ ඇවිදීම
මිනිසුන් ස්වභාවයෙන්ම විවෘත පරිසරය දැකීමට ප්‍රියතාවක් දක්වනවා. වැඩ අවසානයේ හෝ සති අන්තයේ මුහුදු වෙරළ, උද්‍යාන, ජල උද්‍යාන ආදියේ ඇවිදීම කාලය ගතකිරීම බොහෝ රටවල ජනයා කරන දෙයක්. නැවුම් වාතය ආඝ්‍රහනය කිරීම මගින් හා අවකාශය දැකීමෙන් සිරුර දවස තිස්සේ එක් සීමාකාරී අවකාශයකට කොටු වීමෙන් ඇතිවෙන ඒකාකාරී බව නැතිවෙලා යනවා. ඇතැම් පිරිස් මෙවන් උද්‍යානවල ඇවිදීම සහ ව්‍යායාම කටයුතු කරනවා.
ලංකාවෙත් මෑතදී ජලාශ්‍රිතව ඉදිකල මෙවන් එළිමහන් මංතීරු බෙහෙවින් ජනප්‍රිය වුනා.
2 – මසාජ් ස්පා
ආසියානු කලාපයේ මසාජ් ක්ලිනික් යන අදහසින් යම් යම් ලිංගිකමය උත්තේජන ලබාදෙන මසාජ් සේවාවකුත් ක්‍රියාත්මක වෙනවා. එහෙත් ඇමරිකාව එංගලන්තය ආදී දියුනු රටවලදී මසාජ් කියන්නේ සිරුරේ විඩාව නිවන එක්තරා වෘත්තියමය ක්‍රමවේදයක්. ඒ තුලින් සිරුරේ මාංශපේශීන් රටාවකට තෙරපමින් ඒවාට නිසි ලෙස පීඩනය ලබා දෙමින් මාංශ පේශීන් සැහැල්ලුවට පත් කරනවා.
මසාජ් කියන්නේ ක්‍රීඩා කරන අයට සහ සිරුර වෙහෙසා වැඩකරන අයට සංධි සහ මාංශපේශීන් වල විඩාව දුරුකරන්නත් භාවිතා වෙන සාර්ථක පිළියමක්.
3 – ව්‍යායාමයේ යෙදීම
අපේ රටේ නම් වැඩ නිමවී නිවසට යෑමත් බස් රිය දුම්රිය වල යන අය නම් සලකන්නේ ව්‍යායාමයක් ලෙසයි. ඉන්ද්‍රිය චලන අඩු රැකියා වටපිටාවක සිටින අයට දිගින් දිගටම සිරුර වෙහෙසවන්නේ නැතිව එක්තැනක වැඩකරමින් කල් ගත කිරීමෙන් හෘදයාබාධ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැළදෙන්නට ඇති හැකියාව වැඩිවෙනවා.
සෞඛ්‍යමය අතින් ගතහොත් මිනිසාට දවසකට කෑම බීම වගේම ව්‍යායාමත් ජීවිතයට අවශ්‍යයි. බොහෝ දියුනු රටවල සමාගම් ඔවුන් ඔවුන්ගේම සමාගම තුල ව්‍යායාම ආගාරයක් (ජිම් එකක්) තනා තිබෙනවා. දවසේ වැඩ නිමවෙන බොහෝ අය එලිමහනේ ඇවිදිමින්, ව්‍යායාම ආගාර වල කාලය ගතකරමින් බයිසිකල් පදිමින්, ක්‍රීඩාවේ යෙදෙමින් කල් ගත කරන්නට පෙළඹීම විඩාව දුරුකරගන්නට වගේම සෞඛ්‍යය තත්වය ඉහල නංවා ගැනීමටත් ලොකු හේතුවක් වෙනවා ඇති.
4 – සෝනා සහ සොලාරියම්
සිරුරට බාහිරින් උණුසුම සැපයීම මගින් සිරුරේ විඩාව දුරුකරගැනීම සෝනා සහ සොලාරියම් වලින් සිදු වෙනවා. ෆින්ලන්තයේ නම් සෑම නිවසක පාහේ සෝනා කාමරයක් තිබෙනවා. ෆින්ලන්ත හා ඒ ආසන්න රටවල සංස්කෘතියේ එක් අංගයක් ලෙස සලකන හුමාලය ආශ්‍රයෙන් සිරුර උනුසුම් කරන සෝනා එකකට සිය කාර්යාලයේ සගයින් සමග ගොස් විඩා නිවාගැනීම එහි සාමාන්‍ය දෙයක්. එංගලන්ත ජනයා සැඳෑ භාගයේ විඩා නිමවාගන්නට පබ් එකකට ගොස් බීර විතක් තොලගෑම හා සමානවම ෆින්ලන්ත ජනයා සෝනා එකකට ගොස් පැයබාගයක් පමණ සිරුර උනුසුම් කරගනිමින් කතා බහ කිරීම ෆින්ලන්තයේ එදිනෙදා සිදුවීමක් තරමට ප්‍රචලිත වෙලා තිබෙනවා.
අපේ රටේ නම් මෙවන් සෝනා සොයාගන්න අපහසුයි. ඇඟ උණුසුම් කරගන්න උණුසුම ජල ස්නානය නම් අපිත් ඉඳහිට කරන දෙයක්.
5 – ස්ටෙලා බීම
බටහිර රටවල සන්ධ්‍යාභාගයේදී බියර් ටිකක් බීම හෝ සැර මත් පැන් ටිකක් තොලගෑම ස්ත්‍රීන් පවා කරන දෙයක්. ලංකාවේද ආයතන වැටුප් ලැබෙන දිනවලට බොහෝ බාර් සහ මත් පැන් සල් වල දිගු තදබදයක් තිබෙනවා. එකිනෙකා සමග කතා කරන්නට විවෘතව අදහස් ප්‍රකාශ කරන්නට කන බොන අවස්ථාව හොඳ තැනක්.
ඔෆිස් එකෙන් බොන්න දීම ලංකාවේදී නම් ඉතාම කලාතුරකින් සිද්ද වෙන දෙයක් වුනත් ඔස්ට්‍රේලියාව නවසීලන්තය ආදී රටවල සිකුරාදා හෝ සති අන්තයේ වැඩකරන ස්ථානයේදීම එතනෝල් බීමේ පාටි සංවිධානය කරන්නට ඒ ආයතන මගින්ම කටයුතු කරන අවස්ථා තිබෙනවා.
දුටුගැමුණු රජුගේ යෝධයින්ද සාද අවස්ථාවල බමණ මතින් පෙරළි කල සැටි අපේ ඉතිහාස කතා වල ලියැවී තිබෙනවා. එතනෝල් ටිකක් පාවිච්චිය වර්ථමානයේ සුඛෝපබෝගී විනෝදාංශයක් තරමට මිල අධික වුනත් අපේ සමාජයේ ජනප්‍රිය සිරිතක් බවට මේ එතනෝල් වලට සෙට්වීම දැන් පත් වෙලා ඉවරයි. වෛද්‍ය විද්‍යාත්මකව නම් බීම සිරුරට හොඳ දෙයක් නෙමෙයි. මනසට කෘතිම වෙනසක් වෙනසක් ඉක්මනින්ම ලබාගන්නට හැකි ක්‍රමයක් නිසා එතනෝල් වටා පිරිස එකතුවීම අපේ සමාජයේත් ලෝකයේ විවිධ සමාජ වලත් සාමාන්‍ය සිදුවීමක්.
6 – යෝග භාවනා වල යෙදීම
ආනාපාන සතිය එහෙම නැතිනම් හුස්ම ඉහල පහල හෙලීම ගැන සියුම්ව මෙනෙහි කිරීම මනස සැහැල්ලු කරන වේගවත් ක්‍රමයක් ලෙස ජනප්‍රියයි. සිත සන්සුන් කරගැනීමට භාවනා කිරීමත් දැන් දැන් යුරෝපීය රටවලත් ජනප්‍රිය වෙමින් යනවා. යෝග ව්‍යායාමයන්හි නිරත වීම මනස සංසුන් කරගැනීමට වගේම ශාරීරික යෝග්‍යතාවයටත් වැදගත් සාධකයක්.
භාවනා සහ යෝග ආදිය ආගමික පසුබිමක් තුල වගේම ඉන් පිටතදීත් මනස සැහැල්ලු කරගැනීමට භාවිතා කරනවා. යෝගා සහ වෘත්තියමය භාවනා වල මූලික අරමුණ වන්නේ තමුන්ගේ සිත තමුන් විසින්ම උත්සාහ කොට සංසුන් කරගැනීම. දෙවියන් යැදීම මගින් හෝ යම් යම් ආගමික ක්‍රමවේද තුලින් එළොව පරළොව දිවියට යමක් කමක් උපයා තැබීමට උත්සාහ කිරීමට වඩා එය හිතට නිදහස් ක්‍රියාකාරකමක්.
7 – විනෝදාංශයකට හුරු වීම
නාට්‍ය රඟපෑම,නැටුම් පුහුණු වීම. සංගීතය ඇසීම සහ සැපයීම, වාද්‍ය භාන්ඩයක් නාදය කිරීම, පොත් පත් කියවීම, චිත්‍රපට සහ කලාකෘති නැරඹීම,රාත්‍රියේ නගර සිරි නැරඹීම, විවිධාකාර ආහාර රටාවන් සොයා යෑම, කුඩා චාරිකා වල නිරත වීම, ක්‍රීඩා කිරීම ආදී විනෝදාංශ රාශියක් වර්ථමාන ලෝකයේ තිබෙනවා.
කුඩා කාලයේදී නම් විනෝදාංශය කුමක්දැයි ඇසූ විට මුද්දර එකතු කරනවා, මල් වවනවා ආදී සාම්ප්‍රදයික පිළිතුරු තිබුනා.අද සමාජයේ මනසට සිරුරට වෙනසක්, අලුත් යමක් එකතු කරගන්නට සමත් විනෝදාංශයක් අලුතින් සොයාගැනීම අපහසු නැහැ. ඒවන් විනෝදාංශයක් ජීවිතයට එකතු කරගැනීම ඒකාකාරී වෙහෙසකර ජීවිත රටාව බිඳදමන්නට ලොකු පිටුවහලක් වේවි.
එතකොට අපේ ප්‍රකට ජීවන රටාව?
වැඩ රාජකාරි නිමා වී අමාරුවෙන් නිවසට,නවාතැනට එන ලංකාවේ අය රූපවාහිනයෙන් හෝ අන්තර්ජාලයෙන් අනුන්ගේ පවුල් ප්‍රශ්ණ සහ රටේ ලෝකයේ දේශපාලන ගැටළු තමුන්ගේ මනසට දමා ගන්නවා. සිරුර කියන්නේ යන්ත්‍රයක් නෙමෙයි. පරම ලාභය නිරෝගීකම ලෙසත් පරම ධනය සන්තෝශය ලෙසත් බුදුරජානන් වහන්සේ මීට අවුරුදු 2500කට ප්‍රථම වදාරා තිබෙනවා. වෙහෙස නිවාගන්න, ජීවිතේ ඒකාකාරී බව නැතිකරගන්න විඩාව නිවන ක්‍රමවේද අනුගමනය කරන්නට උවමනාව තිබෙන ඕනාම අයෙකුට ඒ සඳහා වෙලාව සොයාගන්නට හැකියාව තිබෙනවා.