Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුම්පානය කිරීමේ පුරුද්ද අත්හැරගන්නේ කොහොමද?

ශ්‍රී ලාංකික සමාජයේ නම් දුම්බීමට වැඩිපුර ඇබ්බැහි වෙලා ඉන්නේ පිරිමි පාර්ශවයේ අය. ඒත් ලෝකයේ වෙනත් රටවල් වල නම් පිරිමි පාර්ශවය වගේම කාන්තා පාර්ශවයේ අයත් දුම් බීමට ඇබ්බැහි වෙලා ඉන්නවා. දුම් බොන එකෙන් තමන්ට වගේම සමාජයටත් වෙන්නේ ලොකු අයහපතක්. මොකද දුම් බොන්නේ එක පුද්ගලයෙක් වුනාට ඒ අවට ඉන්න අයගේ ශරීර වලටත්  දුම් වැටි වල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළු වෙනවා.

දුම් පානය නිසා ඔබේ සුන්දර සිරුරට අත්වන ඉරණම. (stopsmoking.news)

දුම් පානය නිසා ඔබේ සුන්දර සිරුරට අත්වන ඉරණම. (stopsmoking.news)

සමහර මිනිස්සුගේ ජිවිතවල ප්‍රධානතම දේ බවට පත්වෙලා තියෙන්නේ දුම්බොන එක. ඒ අයට කන්න කෑම නැතත් දුම්වැටිය අත්‍යවශ්‍යම දේ බවට පත් වෙලා ඉවරයි. ඒ තරමටම සමහර මිනිස්සු දුම් බිමට ඇබ්බැහි වෙලා. සමහර අය දවසකට දුම්වැටි 100 ක් පමණ බොනවා කියලා ඔබ විශ්වාස කරනවාද? අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුම්බීමට ඇබ්බැහි වුවන් එයින් මුදවා ගන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න.

දුම් පානය කිරීමේ අයහපත් ප්‍රථිපල

දුම්පානය කරන අය ආකාර දෙකකට ඉන්නවා. ඒ තමයි සක්‍රීය දුම් පානය කරන්නන් හා අක්‍රීය දුම් පානය කරන්නන්. සක්‍රීය දුම් පානය කරන්නන් කියලා කියන්නේ  ඇත්තටම දුම්වැටි පානය කරන අය, අක්‍රීය දුම්පානය කරන්නන් කියලා කියන්නේ දුම්පානය කරන අය ලඟ සිටීම නිසා පිළිකාජනක ශරීරගත වෙන අය.

සක්‍රීය දුම්පානය කරන්නන්ට වඩා අක්‍රීය දුම්පානය කරන්නන්ගේ ශරීර තුළට පිලිකාජනක ඇතුල් වීමේ අවදානම පනස් ගුණයකින් විතර වැඩි බව ඔබ දන්නවාද?

දුම් පානය නිසා විනාශයට පත් වුන පෙනහළු. (ytimg.com)

දුම් පානය නිසා විනාශයට පත් වුන පෙනහළු. (ytimg.com)

දුම්වැටි වල පිළිකාජනක 40 කට වඩා වැඩි ගණනක් අඩංගු වෙනවා කියලා පරීක්ෂණ වලින් අද වෙනකොට සොයාගෙන තියෙනවා. දුම්වැටි වල අඩංගු අහිතකර හා හානිකරම රසායනික ද්‍රව්‍ය තමයි තාර (Tar) කියලා කියන්නේ. දීර්ඝකාලිනව දුම් පානය කිරීමේ  අයහපත් ප්‍රතිපල රැසක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුම්පානය කරන්නන් අතර පෙනහළු පිළිකා සෑදීමේ වැඩි ප්‍රවණතාවක් දකින්න පුළුවන්.

ඒ වගේම තමයි උගුර ප්‍රදේශය ආශ්‍රිත පිළිකා, ගලනාලය, අග්න්‍යාශය, වකුගඩු, මුත්‍රාශය, හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා සෑදීමේ හැකියාවද දුම්පානය කරන්නන්ට තියෙනවා. දුම්පානයට අමතරව මත්පැන් පානය කරන අයට මේ පිළිකා සෑදීමේ ප්‍රවණතාවය තවත් වැඩියි.

දුම් පානය නිසා හටගත් මුඛ පිළිකාවක්. (pinimg.com)

දුම් පානය නිසා හටගත් මුඛ පිළිකාවක්. (pinimg.com)

දුම්බීම මගහැර ගන්නා අයුරු

දුම්බොන්න ඇබ්බැහි වුන කෙනෙක්ට එක පාරටම ඒක නවත්වන්න බැහැ. ඒත් උත්සාහ කළොත් ටිකෙන් ටික ඒ පුරුද්ද මග හැර ගන්න පුළුවනි. ඒක බොහෝ කාලයක් තිස්සේ සිදුවෙන ප්‍රතික්‍රියා ගොඩක් ඇතුළත් වන ක්‍රියාවලියක්. මේ ප්‍රතික්‍රියා වලින් සමහරක් ඒවා මානසික ප්‍රතික්‍රියා හෝ ශාරීරික ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. දුම් බිම් නැවැත්වීමෙන් පස්සේ ඇතිවන ශාරීරික අපහසුතා කෙතරම් උග්‍රද කියල තීරණය වෙන්නේ ඒ පුද්ගලයා දුම් බීමට ඇබ්බැහි වුන මට්ටම අනුවයි.

දුම් බීම අත්හරින්න අනුගමනය කරන්න ඕන ක්‍රියා පිළිවෙත කෙටියෙන් පියවර අටකින් දක්වන්න පුළුවන්. ඒවා තමයි,

  1. අත් හරින්න
  2. මග හරින්න
  3. වෙන අතකට යොමුවන්න
  4. කල් දමන්න
  5. සිතින් මවා ගන්න
  6. සිතත් සමග සංවාදයේ යෙදෙන්න
  7. අමතර කටයුත්තක නිරත වෙන්න
  8. පසුබෑමේදී ඊට සාර්ථකව මුහුණ දෙන්න

අත් හරින්න

දුම්බීම අත් හරින්න නම් ටික කාලෙකට ප්‍රියසාද, උත්සව අවස්ථා වැනි දුම් බීමට පොළඹවන අවස්ථාවලින් මගහැරී සිටින්න. සමහර අය පුරුදු වෙලා ඉන්නවා සෑම ප්‍රධාන ආහාර වේලකටම පස්සේම දුම් වැටියක් බොන්න.

ඒකනිසා එහෙම පුරුදු වුන අය ආහාර වේලට පස්සේ දුම් වැටියක් දැල්වීමට ඇති පෙළඹවීම් නැති කර ගන්න නම් ආහාර ගත්ත ගමන්ම කෑම මේසයෙන් නැගිට ඒ ස්ථානයෙන් ඉවත්ව යෑම වඩාත් සුදුසුයි.

දුම්පානයෙන් ඉවත් වන ආකාරය. (physiciansweekly.com)

දුම්පානයෙන් ඉවත් වන ආකාරය. (physiciansweekly.com)

මග හරින්න

සෑම විටම දුම්බොන්නන් අසල රැඳී සිටීමෙන් වැලකී ඔවුන්ව මගහරින්න උත්සාහ ගන්න. මොකද දුම් බොන්නන් අසල හිඳීමෙන් පවා නැවත දුම් බීමට පෙළඹෙන්න පුළුවන් ඉඩ කඩ වැඩියි. එකපාරටම දුම්බීමට ඇතිවෙන ආශාව නැති කරගන්න නම් ගොඩක් අපහසු වේවි. ඒත් දිගටම උත්සාහ කරන්න. ඔබේ උත්සාහය කිසිම අවස්ථාවක අතහරින්න එපා.

වෙන අතකට යොමුවන්න  

මොන තරම් දැඩිව ඔබ  දුම්බොන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් විටින් විට නැවත ඔබේ සිත දුම් බොන්න පෙළඹෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබ සිත වෙන අතකට ඉක්මනින්ම යොමු කරන්න.

උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ වාහනයක් පදවන අවස්ථාවක එවැනි සිතුවිල්ලක් ඔබේ සිතට ආවා නම්, ඔබ වහාම ඒ සිතිවිල්ල ඔබේ සිතෙන් ඉවත් කර ගන්න කටයුතු කරන්න. ඒ සඳහා ඔබට පුළුවන් වාහනේ පදවන ගමන්  සින්දු අහන්න නැති නම් ඔබ යන්න කැමතිම ස්ථානයක් ගැන හිතන්න. එහෙමත් නැති නම් ඔබට පුළුවන් ඔබ කැමති වෙනත් දෙයකට හිත යොමු කරන්න.   

කල් දමන්න

ඔබට එක්වරම දුම් බීමට අවශ්‍යය යැයි සිතුන විට මිනිත්තු පහකට එය කල්දමන්න. නැවතත් දුම්බිමට අවශ්‍ය යයි සිතුන විට එය මිනිත්තු දහයකට කල් දමන්න. මේ ආකාරයට ඔබේ සිත සන්සුන් කරගෙන හැගීම් පාලනය කර ගන්නට උත්සහ ගන්න. මේක හරියට භාවනාවක් කරනවා වගේ. මේ ආකාරයට ඒ සිතිවිල්ල ටිකෙන් ටික කල් දමා සිතිවිල්ල යටපත් කර ගැනීමට උත්සහ ගන්න. මුලදී යම් අපහසුවක් ඇති වූවත් ටික කාලයක් පුරුදු වෙනකොට ඔබටම වැටහේවි එය කරන්න  පුළුවන් කියලා.  

ඊට පස්සේ ඔබ දුම් වැටියක් දල්වනවද? නැද්ද? කියලා සිතින් නෙවෙයි මොලයෙන්  කල්පනා කරලා බලන්න. ඔබට දුම් වැටියක් දල්වන්න සිතෙන්නේ නෑ නේද?

සිතින් මවා ගන්න

දුම්බීමෙන් විනාශයට පත්වුණු පෙනහළු හෝ මුඛයක රූප ඔබ නිතර මනසින් මවා ගන්න. එය ඔබට දුම් බීමෙන් වැලකී සිටීමට ආධාර වෙයි. ඒ සඳහා මේ ලිපියේ ඇතුළත් කරලා තියෙන රූප වුනත් ඔබට ආධාර කර ගන්න පුළුවන්. දුම් නොබී සිටීමෙන් අත්වෙන සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලි ජීවිතය පිළිබඳව නිතරම මෙනෙහි කරන්න. “ඔව්, මට දුම් නොබී ඉන්න පුළුවන්” කියලා ධනාත්මකව සෑම විටම සිතන්න.

සිතත් සමග සංවාදයේ යෙදෙන්න

ඔබේ සිත දුම්බීමට උත්තේජනය වූ වහාම ඒ පෙළඹවීම ඇති කිරීමට හේතු වූ ප්‍රභවය තේරුම් ගැනීමට උත්සහ කරන්න. එවිට ඔබ සිතෙන් ප්‍රශ්න කරන්න. සිතත් සමග සංවාදයේ යෙදෙන්න. බොහෝ දෙනා ගැඹුරින් මෙවැනි දේ සිතීම වෙනුවට කරන්නේ දුම් වැටියක පහස ලැබීමයි. හැකි පමණින් එය එසේ නොකිරීමට වග බලා ගන්න.

අමතර කටයුත්තක නිරත වෙන්න

ගැඹුරින් හුස්ම ගැනීම හෝ වැඩිදියුණු කරගත් මාංශපේශි බුරුල් කිරීමේ ව්‍යායාමයක නිරත වීමෙන් සිතේ නිශ්චල බව ඇති කරගන්නට පුළුවන්. එවැනි දේවල් වල නොයෙදෙන අයට සෙමින් දිවීම, උද්‍යාන වගාවේ යෙදීම, ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීම, කැරට්, සුරියකාන්ත බීජ, චුවින්  ගම් වැනි අඩු කැලරි ආහාර සැපීමද තවත් විකල්පයක් විදිහට හඳුන්වල දෙන්න පුළුවන්.

පසුබෑමේදී ඊට සාර්ථකව මුහුණ දෙන්න  

දුම් බීම නැවැත්වූ අයෙක් නැවත දුම් වැටිය දැල්වුවොත් තමාට නැවත එයින් කිසිසේත් වැළකිය නොහැකි බව තීරණය කරනවා. ඒත් ඒක සම්පුර්ණයෙන්ම වැරදියි. තරමක පසුබෑමක් ඇති වූනත් ඔබ සම්පුර්ණයෙන්ම පරාජය වෙලා නැහැ. ඔබට පුළුවන් නැවත නැවතත් උත්සාහ කරන්න. ඔබට ඒ සඳහා අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබ විසින්ම වැඩි දියුණු කර ගන්න. දුම් බීමෙන් ඔබට සිදුවන අයහපත ගැන නිතරම සිතන්න.

ඔබ දුක් විඳලා හොයා ගන්න මුදලින් කොච්චර ප්‍රමාණයක් දුම් වැටි සඳහා වැය වෙනවාද? ඒ විතරක් නෙවෙයි එමගින් ඔබේ ශරීර සෞඛ්‍ය කෙතරම් පිරිහෙනවාද? ඔබ පසුබසින සෑම අවස්ථාවකදීම ඔබේ පවුලේ අය හෝ ආදරේ කරන අය  ගැන සිතන්න. ඒ අය ඔබ නිසා දුක් විඳිනවා නේද? එනිසා අදම ඔබේ සිතට ධෛර්ය ගන්න මම කොහොමහරි අද ඉඳලා දුම් බොන්නේ නැහැමයි කියලා, මෙහෙම හිතාගෙන කොහොමහරි දුම් බොන එක නවත්තන්න. ඒක ඔබ ඔබට වගේම සමස්ත සමජයටත් කරන ලොකු සේවයක්. ලස්සන හෙට දවසක් උදෙසා දුම් බිමේ පුරුද්ද අපේ සමාජයෙන් තුරන් කරන්න අපි අපිට හැකි පමණින් දායක වෙමු.

Related Articles