රුධිරය පිළිබඳ අපූරු තොරතුරු

ඕනෑම ජීවී විශේෂයක රුධිරයෙන් ඉටුකෙරෙන ප්‍රධානතම මෙහෙය වන්නේ ජීවියාගේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් පරිවහනය කිරීම යි. මෙය විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස සැලකෙන අතර, මානව රුධිරයේ ප්‍රධාන වශයෙන් සෛල තුන් වර්ගයක් අන්තර්ගත වෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, හා රුධිර පට්ටිකා යනු ඒවා යි.

ලොව වෙසෙන පෘෂ්ඨවංශික ජීවීන්ට මෙන්ම අපෘෂ්ඨවංශික ජීවීන් සමහරකගේ ශරීරය තුළත් රුධිරය පිහිටා තිබෙනවා. ඔක්සිජන්වලට අමතරව විවිධ පෝෂක ශරීරයේ තැනින් තැන ගෙනයන පරිවහන මාධ්‍යයක් මෙන්ම සංධාරක ගුණය ලබාදීම ඇතුළු තවත් කාර්යයන් ගණනාවකට රුධිරය දායක වෙනවා. ජීවී විශේෂයෙන් විශේෂයට ඔවුන් දරන රුධිරයෙහි වෙනස්කම් ඇති අතර, ස්මස්ථයක් ලෙස ගත් කල්හී සුවිශේෂී ලක්ෂණයන් රාශියක් ද එහි දැකිය හැකියි. මේ ලිපිය වෙන්වන්නේ එවැනි කාරණා කිහිපයක් වෙනුවෙනුයි.

සියළු ජීවීන්ගේ රුධිරය රතු පැහැ නොවේ

මානව රුධිරය රතු පැහැති යි. කෙසේ නමුත් ලොව අනෙකුත් ජීවීන්ගේ රුධිරය සෑම විටම රතු පැහැති වෙන්නේ නැහැ. ක්‍රස්ටේෂියාවන්ගේ (කකුළුවන් වැනි), මකුළුවන්ගේ, දැල්ලන් වැනි සතුන්ගේ, බූවල්ලන්ගේ මෙන්ම තවත් සමහරක් ආත්‍රපෝඩා (කෘමි සතුන්) සතුන්ගේ රුධිරය නිල් පැහැයක් ගන්නවා. සමහර පණුවන්ගේ හා කූඩැල්ලන්ගේ රුහිරු කොළ පැහැති වන අතර මුහුදු පණු විශේෂයන් සමහරක දම් පැහැ රුධිරය අන්තර්ගත වෙනවා. කුරුමිණි විශේෂ හා සමනලයින් වැනි සතුන් හට වර්ණයක් නොදරන හෝ ලා කහ පැහැති රුධිරය තිබෙනවා.

සමහර ජීවීන්ගේ රුධිරය නිල් පැහැති යි- businessinsider.com

ඒ ඒ සත්ත්ව විශේෂවල රුධිරයෙහි වර්ණය තීරණය වන්නේ ඒවායේ අඩංගු, ඔක්සිජන් පරිවහනය සඳහා උරදෙන වර්ණකය අනුව යි. මානව රුධිරයෙහි අඩංගු මෙම වර්ණයකය හිමොග්ලොබින් නම් ප්‍රෝටීනය වන අතර එය රතු පැහැති වෙනවා.

මානව රුධිරයෙහි සංයුතිය

මානව රුධිරය සලකන කල්හි, ප්‍රධාන වශයෙන් එය කොටස් 4කට වෙන් කොට දැක්විය හැකියි. රුධිර පරිමාවෙන් වැඩිම කොටසක් අයත්වන්නේ ප්ලාස්මාවට වන අතර එය 55%ක් පමණ වෙනවා. මීට අමතරව රතු රුධිර සෛල 40%ක් ද, රුධිර පට්ටිකා 4%ක් ද, සුදු රුධිර සෛල 1%ක් ද එක් වී මානව රුධිරය සෑදෙනවා. මිනිස් රුධිරයෙහි සුදු රුධිර සෛල වර්ග කිහිපයක් ඇති අතර ඉන් වඩාත්ම බහුල වර්ගය වන්නේ නියුට්‍රොෆීල යි.

ගර්භණී භාවයට උරදෙන සුදු රුධිරාණු

ශරීරයේ ප්‍රතිශක්තීකරණය උදෙසා සුදු රුධිරාණුවලින් සිදුවන මෙහෙය අති මහත්. මෙය බොහෝ දෙනා දන්නා  කරුණක් වන අතර බොහෝ දෙනා නොදන්නා කරුණක් වන්නේ සුදු රුධිරාණු අතරින් එකක් වන ‘මහා භක්ෂාණු‘ ගර්භණී භාවය ඇතිවීම සඳහා ඉතා වැදගත් බව යි. මහා භක්ෂාණු ප්‍රජනන පද්ධතිය පුරා විසිරී පවතින අතර ගර්භාෂයෙහි රුධිර නාලිකා විකසනය වීමෙහි ලා ඒවා උපකාරී වෙනවා. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිෂ්පාදනය වීමෙහි ලා මේවා ඉතා වැදගත් වනවා. කළලය ගර්භාෂ බිත්තියට සවිවීම සඳහා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැදගත් මෙහෙයක් ඉටු කරනවා. යම් කාන්තාවකගේ රුධිරයෙහි මහා භක්ෂාණු ප්‍රමාණය අවම නම් ඇගේ සිරුරේ නිපදවෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයත් අවම වන අතර මේ හේතුවෙන් කළලය ගර්භාෂ බිත්තියට ඇලීමේ ගැටළු ඇති විය හැකියි.

මානව රුධිරයෙහි සෛල වර්ග කිහිපයක්ම තිබෙනවා.- videoblocks.com

මිනිස් රුධිරයෙහි ඇති ‘රන්’

මිනිස් රුධිරයෙහි ඉතා කුඩා ප්‍රමාණවලින් විවිධ අයන හා අණු අන්තර්ගත වී පවතිනවා. යකඩ, ක්‍රෝමියම්, මැංගනීස්, සින්ක්, ඊයම් හා තඹ මෙලෙස ප්‍රධාන ලෙසම අඩංගු වී පවතින පරමාණු වෙනවා. මේවාට අමතරව ඉතා අවම මට්ටම්වලින් මානව රුධිරයෙහි අන්තර්ගත අණු අතර රත්‍රන් ද තිබෙනවා. මානව ශරීරයක මිලිග්‍රෑම් 0.2ක් පමණ රත්‍රන් අන්තර්ගත අතර ඒවායින් වැඩි කොටස පවතින්නේ රුධිරයේ යි.

රුධිර සෛලවල ජීවිත කාලය

මානව රුධිරයෙහි අඩංගු විවිධ රුධිර සෛලවල ජීවිත කාල එකිනෙකට වෙනස් වෙනවා. මානව රතු රුධිර සෛලයක සාමාන්‍ය ජීවිත කාලය මාස 4ක් හෙවත් දින 120ක් පමණ වෙනවා. රුධිර පට්ටිකාවක් සාමාන්‍යයෙන් දින 9ක පමන කාලයක් පවතිනවා. සුදු රුධිරාණු සලකන කල්හී වර්ගය අනුව ඒවාත් එකිනෙකට වෙනස් ජීවිත කාල දරනවා. මේවායින් සමහරක් පැය කිහිපයක් පමණක් වූ ජීවිත කාලයක් දරන අතර තවත් සමහරක් දින කිහිපයක් පුරාවට පවතිනවා.

රුධිර ප්‍රෝටීන හා කාබන් මොනොක්සයිඩ් විෂ වීම

videoblocks.com

කාබන් මොනොක්සයිඩ් අවර්ණ, ගන්ධයක් නොදරන, රසයක් නොදැනෙන විෂ වායුවක්. මේ වායුව සාමාන්‍යයෙන් ඉන්ධන දහනය නිසා පැන නැග බාහිරින් ශරීරගත විය හැකි එකක් සේ සැලකුණත් මේවා පරිවෘත්තීය ක්‍රියා සමහරක ප්‍රතිඵලයක් ලෙස මානව ශරීරය තුළ ද හටගන්නවා. කෙසේ නමුත් මේවා මානව ශරීරය තුල හටගන්නේ ඉතා අවම ප්‍රමාණවලින් වන අතර මානව රුධිරයෙහි අඩංගු හිමොග්ලොබින් සමග අප්‍රතිවර්තීය ලෙස බැඳී ඒවා තවදුරටත් ඔක්සිජන් පරිවහනය කිරීම සඳහා නුසුදුසු තත්ත්වයට පත් කිරීමට සමත්. කෙසේ නමුත් මානව රුධිරයෙහි අඩංගු හිමොග්ලොබින් කාබන් මොනොක්සයිඩ් හා හැකිතාක් නොබැඳී සිටින්නට ‘සටන් කරනවා’. අඩු සාන්ද්‍රණවල කාබන් මොනොක්සයිඩ් පවතින වටපිටාවක් තුළ හිමොග්ලොබින් කාබන් මොනොක්සයිඩ්වලට තමන් හා බැඳිය නොහැකි වන ලෙස සිය ව්‍යුහය වෙනස් කරගන්නා අතර මේ නිසා ඒවා හිමොග්ලොබින් හා බැඳීමේ හැකියාව මිලියන ගුණයකින් පමණ අඩු වෙනවා.

කේෂනාලිකා හා රුධිර නාල අවහිර වීම

මානව මස්තිෂ්කයෙහි අඩංගු කේෂනාලිකා මිනිස් රුධිරයෙහි අඩංගු විවිධ ‘සුන්බුන්’ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා මහඟු දායකත්වයක් ලබා දෙනවා. මේවා අතර කොලෙස්ටරෝල්, කැල්සියම් කැටිති මෙන්ම රුධිර කැටිති ද වෙනවා. මේවා මස්තිෂ්කය කරා ළඟා වූ විට ඒවා තව දුරටත් යාමට නොදී, එහි පිහිටි කේෂනාලිකා මඟින් අල්ලාගෙන, කේෂනාලිකා තුළ ඇති සෛල ඒ වටා වැඩීම සිදුකර, එම සුන්බුන් තව දුරටත් රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ ඔබමොබ යාම වළක්වනවා. අනතුරුව මේවා කේෂනාලිකා බිත්තියෙන් ඉවතට ගමන් කරවීමට සලස්වනවා. මේ ක්‍රියාවලිය වයස්ගත වීමත් සමග අකාර්යයක්ෂ්ම වන අතර, මෙවැනි සුන්බුන් දීර්ඝ කාලීනව ශරීරයේ තිබීම ස්නායු පද්ධතියේ අකර්මණ්‍යතාවලට හේතු වෙනවා.

කවරයේ පින්තූරය- Jonathan Knowles/Getty

Related Articles

Exit mobile version