Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 වසරේ ජනප්‍රිය විලාසිතා

අනෙක් අයට ප්‍රියමනාප වෙන විදියට ලස්සනට අඳින්න පලඳින්න කවුරුත් කැමති යි. මේ අතරින් කාන්තා පාර්ශවයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. මෙහෙම ලස්සනට අඳින්න පළඳින්න නම් විලාසිතා ගැන මනා අවබෝධයක් තිබිය යුතු යි. ඒ වගේ ම ඒ විලාසිතා කාලයට ගැළපීම ද අත්‍යාවශ්‍ය යි.

මේ විධියට විලාසිතා ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් ලෝක ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පීන් 2017 වසර පුරාවට ජනප්‍රිය වෙන විලාසිතා කිහිපයක් ගැන අදහස් පළ කර තිබෙනවා. එවැනි විලාසිතා ගැන තොරතුරු ගෙන ඒම යි මේ ලිපියේ අරමුණ වන්නේ.

(pinterest.com)

රැළි වාටි සහ රේන්ද (Frills and Lace)

වික්ටෝරියානු යුගයේ දී තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක් වූ රැළි වාටි සහ රේන්ද සහිත ඇඳුම් 2017 දී අලුත් ම මුහුණුවරකින් කලඑළි බසින බව යි ලෝක ප්‍රකට විලාසිතා සමාගමක් වන Gucci හි විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ අදහස වන්නේ. එසේ ම ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම රැළි වාටි සහ රේන්ද යොදා ගැනීම ගෙල ආවරණය වන අයුරින් සිදු කිරීම වඩා අලංකාර බව යි. Prada විලාසිතා සමාගම මගින් 2017 වසරේ ඔවුන් එළි දැක් වූ ඇඳුම් බොහෝමයක අත් සඳහා රැළි වාටි යොදාගෙන ඇති ආකාරය දැක ගැනීමට පුළුවන්. එසේ ම ඔවුන්ගේ ඇතැම් ගවුම් සඳහා හරස් අතට රැළි වාටි කිහිපයක් ම යොදාගෙන තිබෙනවා.

(lxe.com.au)

කෙසේ නමුත් මෙවැනි ජාත්‍යන්තර සන්නාම යටතේ නිකුත් වන නව විලාසිතා නිර්මාණ ශ්‍රී ලංකාවේ දී දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් ඔවුන් විසින් එළි දක්නට ලද නිර්මාණයන්ට සමාන මෝස්තර ජනප්‍රිය ඇඳුම් සාප්පු තුළ දී දක්නට හැකි යි. ඒ නිසා අලුතෙන් ඇඳුම් මිල දී ගැනීමේ දී හැමදාමත් මිල දී ගන්න මෝස්තර කරා නොගොස් රැළි වාටි සහ රේන්ද යොදා ගත් සරල ඇඳුම් මිල දී ගැනීම, 2017 වසරේ ජනප්‍රිය විලාසිතාවන්ට ගැළපෙන ලෙස සැරසෙන්න ඔබට වඩාත් උපකාර වෙයි.

මල් ලියවැල් (Floral Prints)

2017 වසරේ දී ජනප්‍රිය වන තවත් විලාසිතාවක් ලෙස ප්‍රංශයේ වෝග් සඟරාව දක්වා ඇත්තේ මල් ලියවැල් මෝස්තර සහිත ගවුම්. මුල් වරට 2013 වසරේ දී ජනප්‍රිය වූ මෙම විලාසිතාව නැවතත් 2017 වසරේ දී කළඑළි බහින්නේ එළැඹෙන උණුසුම් කාලගුණික තත්ත්වය සමග යි. ගවුම් තෝරා ගැනීමේ දී ළා පැහැති පසුබිමේ‍ සෞම්‍ය වර්ණයන්ගෙන් මුද්‍රිත කුඩා මල් විසිරුණු මෝස්තර සහිත ඒවා තෝරා ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතු වුවත් දිගු සාය සඳහා ගැළපෙන්නේ තද පසුබිමේ දීප්තිමත් වර්ණයෙන් මුද්‍රිත විශාල මල් මෝස්තරයක්.

(us.shein.com)

පසු ගිය වසරේ අවසන් මාස කිහිපයේ දී ශ්‍රී ලංකාවේ ද මල් ලියවැල් සහිත සාරි අතිශය ජනප්‍රිය වුණා. ඒ හේතුවෙන් මල් ලියවැල් සහිත සාරි කිහිපයක් මිල දී ගත් අයට මේ වසරේ දී ද එය ජනප්‍රිය විලාසිතාවක් බව දැන ගැනීමට ලැබීම සතුටුදායක ආරංචියක් බව නම් නිසැක යි.

ඉරි සහිත ඇඳුම් (Stripes)

මේ වසරේ ජනප්‍රිය වෙන තවත් විලාසිතාවක් වන්නේ ඉරි සහිත රෙදි යොදා ගෙන නිර්මාණය කරන ලද විවිධ ආකාරයේ ඇඳුම්. ඉරි මෝස්තර මගින් වඩාත් වැදගත් පෙනුමක් ලබා දෙන අතර ම ස්ත්‍රීත්වය වඩා ඉස්මතු කරන බව යි මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ අදහස වන්නේ.

(lyst.com)

මේ නිසා ගවොම් සහ දිගු සායවල් වැනි ඇඳුම් සඳහා පමණක් නොව කලිසම්, ගොතන ලද ඇඳුම් සහ අත් බෑගයන් සඳහා ඉරි මෝස්තර යොදා ගැනීමට පුළුවන්. මීට අමතර ව ඒක වර්ණයන් සමග එහි විවිධ ප්‍රභේදයන් හි ඉරි මුසු කිරීම මගින් වඩාත් නෙත්කළු විලාසිතා මතු කර ගත හැකි යි. මෙවැනි අවස්ථාවන් සඳහා ඕනෑම ප්‍රමාණයේ පළලෙන් යුතු ඉරි යොදා ගැනීම විලාසිතාවට හානියක් නොවන බව යි විශාරද මතය වන්නේ.

කෙටි උඩු ඇඳුම් (Crop Tops)

වර්ෂ 2000 මුල් කාලයේ දී අතිශය ජනප්‍රිය වූ විලාසිතාවක් විදියට කෙටි උඩු ඇඳුම් හැඳින්විය හැකි යි. දිගු කලිසම්, කෙටි කලිසම් හෝ සායවල් වැනි ඕනෑම ආකාරයේ ඇඳුමක් සමග ගැලපිය හැකි නිසා මෙම විලාසිතාව 2017 වසරේ දී යළිත් හිස ඔසවන බව යි නිව්යෝක් විලාසිතා සතියේ දී සඳහන් වුණේ.

(wheretoget.it)

මේ වසරේ දී දිගු සායවල් සමග ගැලපිය හැකි සරල මෝස්තර වඩාත් ජනප්‍රිය වනු ඇති බවට අනාවැකි පළ වී ඇති අතර මීට අමතරව ඩෙනිම් රෙදි යොදා නිර්මාණය කරන ලද කෙටි උඩු ඇඳුම් සහ උණුසුම් කබායක් ලෙස පෙනෙන සේ සැකසූ ඒවා ජනප්‍රිය වන ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක්ව ප්‍රකාශ කර තිබෙනවා.

රෝස පැහැය

පැරිස් විලාසිතා සතිය සඳහා Balenciaga, Céline සහ Valentino යන ලෝක ප්‍රකට විලාසිතා සමාගම් මගින් ඉදිරිපත් කළ මෝස්තර දෙසට අවධානය යොමු කළොත් 2017 වසරේ දී ජනප්‍රිය වන තවත් විලාසිතාවක් විදියට රෝස පැහැය හඳුනා ගැනීම ඉතාමත් පහසු යි. මේ මෝස්තර සෑම එකක් ම පාහේ සාම්ප්‍රදායික රෝස පැහැයෙන් බැහැර වූ වෙනස් ම ආකාරයේ රෝස පැහැයන්ගෙන් යුතු ඒවා යි.

(famecherry.com)

උදාසීන පැහැයක් ලෙස සලකන නිසා රෝස පැහැය විලාසිතා නිර්මාණ ශිල්පීන් අතර ජනප්‍රිය යි. එසේ ම ඇඳුම් තෝරා ගැනීමේ දී මේ වසරේ දී වඩාත් ජනප්‍රිය වූ කැරමල් රෝස, ස්ට්‍රෝබෙරි රෝස, චෙරි ගෙඩියක පැහැය ගන්නා තද රෝස සහ Fuchsia ලෙස හඳුන්වන රතු සහ දම් යන පැහැයන් මුසු වූ රෝස පැහැය යන ප්‍රභේදයන්ගෙන් ඇඳුම් තේරීම ගැන සැලකිලිමත් වෙන්න.

කවරයේ පින්තූරය: poslovni.hr

මූලාශ්‍ර :

  1. brightside.me
  2. glamour.com
  3. allure.com
  4. fashionista.com
  5. elle.com

Related Articles